ලංකාවේ ජීවන වියදම මේ වනවිට ලෝකයේ මාතෘකාවක් බවට පත්වෙමින් තිබේ. ජාත්‍යන්තර මාධ්‍යවල සිරස්තල මැවූ මේ ගැටලුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්ම ඒජන්සිය මගින් නිකුත් කෙරුණු නවතම වාර්තාවකින් කියා තිබුණේ ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනකු පෝෂණයෙන් අඩු ලාභ ආහාර පරිභෝජනයට යොමු වී සිටින බවය. පසුගිය 26 වැනිදා එම ඒජන්සිය මගින් නිකුත් කර තිබූ ගෝලීය තොරතුරු සහ කල් තබා අනතුරු අඟවන යෙදවුම යාවත්කාලීන කළ නිවේදනයේ මේ බව සඳහන් වී තිබුණි.
බොහොමයක් පවුල්වලට ලැබිය යුතු සාමාන්‍ය කැලරි අගය මේ හේතුවෙන් අහිමි වී ඇති බවද සඳහන් කරන එම වාර්තාව ආහාර පරිභෝජනය අඩුවීමට හේතුව වශයෙන් සඳහන් කර ඇත්තේ අහස උසට ගිය මිල උද්ධමනයයි. රුපියලේ අගය පහත වැටීමද පොහොර අර්බුදය සහ ඉන්ධන හිඟයද ඒ සමඟ බැඳී තිබෙන බවද එහි සඳහන්ය. රටේ ප්‍රධාන ආහාරය වන සහල් මිල ගණන් පසුගිය සැප්තැම්බර් සහ නොවැම්බර් කාලය අතරතුරදී වේගයෙන් ඉහළ ගිය බවත් දෙසැම්බර් වනවිට තරමක් ස්ථාවර වූ නමුත් යළිත් මිල ගණන් වැඩි වූ බවත් සඳහන්ය. වර්තමානයේ පවතින සහල් මිල ගණන් පසුගිය වසරේ මේ කාලය සමඟ සසඳන විට 50%කින් ඉහළ යාමක් බවද එම වාර්තාව හෙළිකර තිබිණි.
එක්සත් ජාතීන්ගේ ඇතැම් වාර්තා මෙන්ම මේ වාර්තාව තුළ ද අඩංගු කරුණු එසේ නොවන බව පැවසීමට ආණ්ඩුව ඉක්මන් වූයේ නැත. ජීවන වියදම සම්බන්ධයෙන් රට ඇතුළේ පවතින තත්ත්වය ආණ්ඩුව හොඳින්ම දැන සිටීම එයට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය. නිල වශයෙන් මේ කතාව ප්‍රතික්ෂේප නොකළත් ඉකුත් සතියේ සිකුරාදා (11) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ කිරිපිටි, ගෑස්, පාන්පිටි සහ සිමෙන්ති වැනි භාණ්ඩ කිහිපයක &සුළු හිඟයක්* පමණක් පවතින බවය. ඔහු තවදුරටත් කියා තිබුණේ මේ භාණ්ඩ හැරුණුවිට සෙසු අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රමාණවත් තරම් ආණ්ඩුවේ ගබඩාවල පවතින බවය.
අත්‍යාවශ්‍ය සේවා සඳහා පත්කෙරුණු ජනාධිපති කාර්ය සාධක බලකායේ රුස්වීමක් මහා භාණ්ඩාගාරයේදී පැවැති අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා එසේ කියා තිබුණේ එම බලකායේ සභාපති වශයෙන් රුස්වීමට සහභාගි වෙමිනි. මේ රුස්වීමට සහභාගි වී සිටි පිරිස අතර වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගලද ඊට අමතරව විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියහ.
රටේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳ දැන සිටි ඇතැම් නිලධාරීන් තුළ මුදල් අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය යම් තිගැස්මක් ඇතිකළ බවට සැකයක් නැත. විදේශ විනිමය අර්බුදය හේතුවෙන් වරායේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුගත් කන්ටේනර් 1000කට අධික සංඛ්‍යාවක් මුදාගැනීමට නොහැකිව හිර වී තිබියදී ඒ හේතුවෙන් රට තුළ උද්ගතව තිබෙන බරපතළ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය පිළිබඳව පවතින සැබෑ තත්ත්වයේ සැරකම මුදල් අමාත්‍යවරයාගේ කතාවෙන් එසේ සැහැල්ලු කෙරුණි. එය එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම ඒජන්සි වාර්තාවට ලබාදුන් නිල නොවන පිළිතුරක් දැයි හරියටම කිව නොහැක.
රට ඇතුළේ පවතින සැබෑ තත්ත්වය මුදල් අමාත්‍යවරයා නොදැන සිටින්නේ යැයි කීම පිළිගත නොහැක. භාණ්ඩ අලෙවියේදී උපරිම සිල්ලර මිල ඉවත් කිරීම තාවකාලික පියවරක් වශයෙන්ද මුදල් අමාත්‍යවරයා විසින් හඳුන්වා දී තිබිණි. එය තාවකාලික පියවරක් විය හැකිය. එහෙත් රට තුළ ප්‍රබල ලෙස කළු කඩයක් නිර්මාණය වීමට එය හේතු වී තිබේ. සිමෙන්ති කොට්ටයක නියම මිල රුපියල් 1375ක් වුවද එය මේ වනවිට කළු කඩේ රුපියල් 2000 දක්වා ඉහළ ගොස් තිබේ. ඇතැම් සහල් වර්ග සාමාන්‍ය කඩවල පවා විකිණෙන්නේත් කළු කඩේ මිලටය. පරිප්පු, පාන්පිටි විශාල ලෙස මිල නැග තිබෙන අතර ඇතැම් කඩවල ඒවා මිලදී ගැනීමටත් නැත.
ආණ්ඩුව පසුගියදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී මහා විශාල රුලියක් පැවැත්වූයේද මේ පසුබිමේ සිටිමිනි. එය තාවකාලික වින්දනයකට හේතු විය හැකි වුවද විශාල පිට්ටනි සෙනඟින් පුරවා සාර්ථක රුලි පැවැත්වීමෙන් මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. ඒ රුලියේ සාර්ථකත්වයෙන් උදම් වී තව තවත් රුලි පැවැත්වීමද සාර්ථක පියවරක් වන්නේ දැයි රජය විසින්ම සොයා බැලිය යුතුය. එය විපක්ෂයට යම්කිසි පාඩමක් ඉගැන්වීමටත් පාක්ෂිකයන් තුළ කිසියම් ජවයක් ඇතිකිරීමටත් හේතු විය හැකි වුවද ඡන්දයක් ළඟ පාතක නැතිවීම හේතුවෙන් මේ රුස්වීම් පාක්ෂිකයන් නොවන ජනතාව සලකනු ඇත්තේ දේශපාලන ඇස්බැන්දුම් වශයෙන් පමණි. ඔවුන් මුහුණ දී සිටින ප්‍රශ්න තවදුරටත් බරපතළ වන බවට ලකුණු පහළ වෙමින් තිබියදී රුස්වීමකින් සැනසීමට ඔවුන්ට පුළුවන්කමක් නැත.
වැඩිකල් නොයවාම ජනතාව මුහුණදෙන ඔවුන්ගේ ප්‍රශ්න උග්‍ර කරවන තවත් තීන්දුවකට යාමට අකැමැත්තෙන් වුවද ආණ්ඩුවට සිදුවන බව පෙනෙන්නට තිබේ. එම තීන්දුව තෙල් මිල සම්බන්ධයෙනි.
ඉන්ධන සඳහා පනවා තිබෙන බදු ඉවත් කර දෙන්නැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මුදල් අමාත්‍යාංශයෙන් කර තිබෙන ඉල්ලීම ඉන්ධන මිල වැඩිකිරීමේ කසකරුවා වශයෙන් පෙනී යයි. අධිභාර යෝජනාවේදී ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. වැනි විශ්‍රාමික අරමුදල් එයින් ඉවත් කරන්නැයි කෙරුණු ඉල්ලීමට ඉඩ දෙමින් මුදල් අමාත්‍යවරයා තම යෝජනාවෙන් එම අරමුදල් අත්හැර දැම්මේ එයින් අපේක්ෂිත බදු ආදායමෙන් බිලියන 80ක් පමණ අහිමි වන බවට ප්‍රකාශයක්ද කරමිනි. මෙවැනි අවස්ථාවක තවදුරටත් බදු අඩු කරගෙන රජයේ ආදායම පහළ දැමීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වනු ඇතැයි සිතිය නොහැක. මේ නිසා උදය ගම්මන්පිලගේ ඉල්ලීමට ලැබෙන ප්‍රතිචාරය සුබවාදී නොවීමට හොඳටම ඉඩ තිබේ.
එහෙම වුණොත් ඉන්ධන මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් ආණ්ඩුවට ඉතිරි වන්නේ නැත. ඉන්ධන මිල තවදුරටත් ඉහළ දැමීමට කටයුතු නොකරන ස්ථාවරයක සිටින උදය ගම්මන්පිල අමාත්‍යවරයා එම ස්ථාවරය වෙනස් කිරීමේදී තවදුරටත් පීඩනයට පත්වීම වැළැක්විය නොහැක. ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවුණොත් ජනතාව හමුවේ ඔහුට ලබාදීමට පිළිතුරක් සොයා ගැනීම පවා අසීරු විය හැක.
කොතරම් අසීරු වුවද අයි.ඕ.සී. ඉන්ධන මිල ඉහළ දැමීම නිසා සංස්ථාවේ ඉන්ධන වැඩියෙන් අලෙවි වීමේ අවාසිය දරාගැනීමට නම් මිල ඉහළ දැමීම හැර වෙනත් යමක් කළ නොහැක. පාඩු ලබන ආයතනයක අලෙවිය වැඩිවීම යනු පාඩුව තව තවත් අධික වීමක් පමණි.
මේ හැර ආණ්ඩුව මුහුණදෙන තවත් ප්‍රශ්නයක් වනු ඇත්තේ විදුලිය කප්පාදුවකට යාම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවීමය. ආණ්ඩුව කොතරම් නැහැ කිව්වත් විදුලිය කප්පාදුවකට යාමට සිදුවීම වැළැක්විය නොහැකි බව සිකුරාදා (19) වනවිට පෙනී ගියේය. කපන්නේ නෑ කියා කපන විට ජනතාව තවදුරටත් පීඩනයට පත්වීම වැළැක්විය නොහැක. මේ විදුලිය කැපීමට ප්‍රධානම හේතුවද ඉන්ධන ගැටලුව බව පැහැදිලිය.
ඉන්දියාවෙන් ඩීසල් නැවක් පැමිණි විට බලශක්ති ඇමැතිවරයා වරායටම ගොස් එයට පිළිගැනීමක් ලබාදීම විපක්ෂයේ දැඩි විවේචනයට හේතු විය. මෝදි මේ රටට නිවාස ලබාදෙන විට කළු කොඩි දැමූ උදවිය ඉන්දියාවේ ඩීසල් නැව් එන විට මල්මාලා දැමීම ඔවුන්ගේ හාස්‍යයට පවා ලක් විය. එහෙත් මේ සමස්ත කතාවේ යටිපෙළින් කියවෙන්නේ අද රට මුහුණ දී සිටින විදේශ විනිමය හිඟයේ බරපතළකමය. විදේශ විනිමය හිඟ නිසා තෙල් ගෙන්වා ගැනීමට ඩොලර් නැත. ඒ නිසා විදුලිය උත්පාදනයට දිගටම තෙල් ලබාදීම අර්බුදයට ගොස් තිබේ. විදුලිය කැපීම තමන්ට මහත් අවාසියක් වන බව ආණ්ඩුව හොඳින් දැන සිටියද විදුලිය කැපීම හැර එයට වෙනත් විසඳුමක් නැත.
මේ විදේශ විනිමය, ජීවන වියදම් අලකලංචි මැද ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසමේ අභියෝගයටද මුහුණ දී සිටියි. මෙවර සැසිවාරය ලබන 28 වැනිදා ආරම්භ වෙයි. ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇත්තේ මාර්තු 03 වැනිදාය. මෙහිදී ඡන්ද විමසීමක් සිදු නොවන අතර මේ සැසියේදී ඉදිරිපත් වන කරුණු සැප්තැම්බර් සැසියට වාර්තා කෙරෙයි. එම සැසියේදී ඉදිරිපත් විය හැකි ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවේ පූර්ව පියවරක් වශයෙන් මාර්තු 03 සැසිය සැලකෙයි.
ශ්‍රී ලංකාවටත් ආණ්ඩුවටත් ඉදිරි කාලය බරපතළ තීන්දු ගත යුතු කාලසීමාවක් බව පැහැදිලිය. එහෙන් මෙහෙන් පත්තුවෙන විපක්ෂයක් සිටීම හැර ආණ්ඩුවට වෙනත් වාසියක් නම් පෙනෙන තෙක් මානයක නැත.
- ශශීන්ද්‍ර