අපනයනය වර්ධනය වෙයි
මෙරට අපනයන ක්ෂේත්‍රය 2022 වසර සුබවාදී ආරම්භයක් ලබා තිබේ. වාණිජ භාණ්ඩ අපනයනයෙන් පසුගිය වසරට වඩා 13.4%ක වර්ධනයක් පෙන්වා තිබෙන අතර එය ඩොලර් බිලියන 1.06කි. නමුත් එම අගය පසුගිය දෙසැම්බරයට වඩා ඩොලර් මිලියන 63ක අඩුවීමක් බවද අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි. කෙසේ වුවද 2020 ජනවාරියට වඩා 2022 ජනවාරි අපනයනය ඉහළ වර්ධනයක් පෙන්වා තිබේ.
සේවා අපනයන අංශයේ වර්ධනය පසුගිය වසරේ ජනවාරියට වඩා 7%ක ඉහළ අගයක් පෙන්නුම් කරයි. එයින් ලද ආදායම ඩොලර් මිලියන 313.22කි. ඇඟලුම් කර්මාන්තයෙන් ජනවාරියේදී ඩොලර් මිලියන 514.14ක් උපයා තිබෙන අතර එය පසුගිය වසරට වඩා 22.1%ක වර්ධනයකි. රබර් සහ රබර් නිෂ්පාදිත අපනයනයද 3.52%කින් ඉහළ ගොස් තිබෙන අතර එයින් ඩොලර් මිලියන 87.12ක් උපයා තිබේ. එහෙත් තේ අපනයනයෙන් ලද ආදායම අඩු වී තිබෙන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 9.67%කින් අඩුය.ඩේලි එෆ්.ටී.
විමල්ලාගෙන් අමුතු යෝජනාවක්
ආණ්ඩුව ඇතුලේ අලුතින් බිහි වී ඇති සන්ධානය තමන්ගේ විකල්ප යෝජනා ලබන 02 වැනිදා රජයට ලබාදීමට නියමිතය. රටම හරි මඟට තේමා පාඨය වන මේ යෝජනා මාලාව &ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතිකත්වය රුක ගනිමින් සිදුකෙරෙන සමාජ පරිවර්තනයක්* වශයෙන් හඳුන්වා දී තිබේ.
මේ තේමා පාඨය සහ හැඳින්වීම අනුව පැහැදිලි වන්නේ වර්තමානයේ රටේ පවතින පාලන ක්‍රමය පූර්ණ සංශෝධනයකට ලක්විය යුතු යැයි ඔවුන් සිතන බවය. මේ යෝජනා අතර ද්විත්ව පුරවැසිභාවය හිමි කිසිවකුටත් රජයේ ප්‍රධාන තනතුරු ලබා නොදිය යුතු බවට වන යෝජනාවක්ද ඇතුළත් බවද වාර්තා වී තිබේ. වර්තමානයේ කැබිනට් මණ්ඩලය තුළ ද්විත්ව පුරවැසිභාවය හිමි එකම පුද්ගලයා වන්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පමණි.
මේ මෑතකදී ජාතික වෘත්තීයවේදීන්ගේ පෙරමුණ මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් බැසිල් රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරන මෙන් ඉල්ලීමක් කර තිබිණි. මේ සංවිධානය වත්මන් රජය බලයට පත්වීමේදී එයට සහාය දැක්වූ වෘත්තීයවේදීන්ගේ සංවිධානවල එකතුවකි.
විකල්ප යෝජනා ඉදිරිපත් කරන නව සංවිධානයට විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ඇමැතිවරුද මහාචාර්ය තිස්ස විතාරණ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ටිරාන් අලස්, වෛද්‍ය ජී. වීරසිංහ, අසංක නවරත්න සහ ගෙවිඳු කුමාරතුංග මහත්වරුද අතුරලියේ රතන හිමියෝද ඇතුළත් වෙති.
මේ සියලු දෙනා බැසිල් රාජපක්ෂට අකැමැති පිරිසකි. ඔවුන් අනාගතයේදී හෝ බැසිල් රාජපක්ෂ නායකත්වය ලබාදෙන දේශපාලන සංධානයකට එකඟ නොවන බවට ඉඟිකර තිබේ. මේ නිසා මාර්තු 02 වැනිදා ආණ්ඩුවේ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වීමටත් ඉඩ තිබෙන බව දේශපාලන කරළියේ කතාබහට ලක් වී තිබේ.