2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

උත්තර නැති ප්‍රශ්න!

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 104

අපේ රටේ ආර්ථිකය කොරගසන හැම අවස්ථාවකම ආණ්ඩු පක්ෂයට එරෙහිව විපක්ෂය ගෙන එන පොදු සටන් පාඨයක් තිබේ. අද තියෙන්නේ එදා වේල හොයන ආණ්ඩුවක්* යන මේ සටන්පාඨය වත්මන් ආණ්ඩුව මේ වනවිට හොඳින්ම තමන්ටම ගලපා ගනිමින් සිටින බව හැම අතින්ම පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය කොතරම් බැරෑරුම්දැයි කිව්වොත් අද මේ සටන්පාඨය විපක්ෂය අතිනුත් ගිලිහී ගොස් පොදු ජනතාව අතට පත්ව තිබේ. දැන් තියෙන්නේ එදා වේල ආණ්ඩුවක් කියන්නේ විපක්ෂය නොවේ. පෝලිම්වල හතර අතේ රස්තියාදු වන මහජනතාවය. පැය ගණන් කරුවලේ සිටින ජනතාවය.

පහුගිය කාලේ මේ සටන්පාඨය තිබුණත් බොහොමයක් ආණ්ඩු එයට සැලුණේ නැත. ඔවුන්ට ලබාදිය හැකි උත්තරද තිබිණි. නමුත් මේ වනවිට ඒ තත්ත්වය උඩු යටිකුරු වී තිබේ. අද එදා වේල* කතාව නොකියා කියන්නේ මේ ආණ්ඩුවේම ඇමැතිවරුය. බලශක්ති ඇමැති උදය ගම්මන්පිල තමන්ට දිනකට ලබාදිය හැකි ඩීසල් සහ පෙට්රල් ප්‍රමාණය මේ තරම් යැයි ප්‍රකාශ කරයි. අද ඩීසල් නැවක් ගොඩබාන බවත් තවත් පෙට්රල් නැව් වරායේ නැංගුරම්ලා ඇති බවත් කියන ඇමැතිවරයා ඒවාට ගෙවන්න ඩොලර් ලැබුණු වහාම එම තොගද ගොඩබාන බවත් කියයි. ඒ කියන ගමන්ම රට පුරා ඩීසල් හිඟයක් තිබෙන බවද පිළිගනී.

විදුලිය බාර ඇමැතිවරයා වන ගාමිණී ලොකුගේ මහතා මේ දිනවල වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී. මේ නිසා අමාත්‍යවරයා වෙනුවට රටට විදුලිය ලබාගත හැකි වෙලාව නිවේදනය කරන්නේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකය. ඇමැතිවරයා සිටියදී ඔහු කිව්වේ විදුලිය නොකපන කතාවකි. ඇමැති එහෙම කියද්දී විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් දිගටම කිව්වේ තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් තරම් ඩීසල් නොලැබෙන්නේ නම් විදුලිය කැපීමට සිදුවන බවය. වැස්ස නොලැබුණොත් මාර්තු මාසය වනවිට පැය ගණනාවක් විදුලිය කැපීමට සිදුවන බවටද ඔවුන් කල් ඇතිවම අනතුරු අඟවා තිබුණි. හැබැයි ඇමැතිවරුන් කිව්වේ එහෙම විදුලිය කප්පාදුවකට ඉඩ නොතබන බවයි.

ආණ්ඩුවේ ප්‍රචාරයට තල්ලුවක් දෙමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාද කිව්වේ ඉදිරි මාස තුනේදී විදුලිය නොකපන බවය. එහෙම කියන විට විදුලි ඉංජිනේරුවරු නිහඬ වූහ. අද ඔවුන් මාධ්‍යයට ප්‍රකාශයක්වත් දෙන්නේ නැත. හැබැයි විදුලිය එක්වරම පැය 05ක් දක්වා කපන්න සිදුවී තිබේ. මේ තත්ත්වයට නිසි පිළියම් නොයෙදුවොත් අප්‍රේල් මාසය වනවිට දවසේ බාගයක්ම විදුලිය නොමැතිව සිටීමට සිදුවනු ඇති බවට විදුලි ඉංජිනේරුවරුන් කර ඇති අනාවැකියද හරි යාමට ඉඩ තිබේ. මේ තත්ත්වය මේ තරම් බරපතළ වුණත් ආණ්ඩුව එයට නිසි පිළියම් යොදන බවක් පෙනෙන්නට නැත. අඩුම තරමින් ඒ ගැන ආණ්ඩුව ඇතුළේ හරවත් සංවාදයක් තීන්දු ගැනීමක්වත් සිදුවී ඇති බවක් පෙනෙන්නට නැත. සිදුවෙන්නේ හෙට දවසේ විදුලිය කැපෙන්නේ මෙන්න මේ වෙලාවට කියා නිවේදනයක් නිකුත් වීම පමණි. ආණ්ඩුව දුවන්නේ එදා වේල* ක්‍රමයට බව ජනතාව කියන එක ගැන පුදුම විය යුතුද?

ඊළඟට හැම ආණ්ඩුවක්ම බලයට පත්වෙන විට මුලින්ම කියන්නේ අපට ලැබුණේ හිස් භාණ්ඩාගාරයක් කියන කතාවය. එයද පොදු චෝදනාවකි. හැබැයි ඒ කතාව අද වත්මන් ආණ්ඩුවට හැබැහින්ම දැකගන්නට සිදුවී තිබේ. අද රටේ ඇත්තේ හිස් භාණ්ඩාගාරයක් බව රටේ මිනිස්සු පමණක් නොව ලෝකයේම මිනිස්සු දැන සිටිති. ලංකාවේ පෙට්රල් ෂෙඩ්වල දිගින් දිගටම පෝලිම්ය. පොදු ප්‍රවාහන සේවයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු වී ඇතැයි එම සංගම් කියයි. සමහර බස් සහ ලොරි ඩීසල් සොයා නගරය පුරාම ෂෙඩ්වල කරක් ගසන ආකාරය මේ දවස්වල සුලබ දසුනකි. ලංකාවේ හෙට දවසට අවශ්‍යම බඩු භාණ්ඩ මොනවාදැයි තෝරාගෙන ඒවා ගෙන්වා ගැනීමට හෝ ආණ්ඩුවට සැලැස්මක් ඇති බවක් පෙනෙන්නට නැත.
මේ වනවිට සංඛ්‍යාලේඛන දත්තවලට අනුව මේ රටේ වැඩිදෙනාට ජීවත්වීමට සිදුව තිබෙන්නේ දිළිඳු බවේ සීමා රේඛාවෙන් පහළය. හෙට දවසේ අවශ්‍ය වන තෙල් ටික, ආහාර සහ බෙහෙත් ටික ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරන ආකාරය තුළ එහෙම වීම ගැන පුදුම විය යුතු නැත. එදා වේල* කතාව යළිත් එතැනට හොඳින්ම ගැලපෙයි.

අනෙක් පැත්තෙන් ඉන්දියාවෙන්, චීනෙන්, බංග්ලාදේශයෙන්, පාකිස්තානයෙන් ලැබෙන ගතමනාව මත හෙට දවස තීරණය වන මට්ටමකට රට ඇදවැටී තිබේ. මේ තත්ත්වය තව කොතරම් දුරකට ඇදගෙන යා හැකිද? හැමදාම එදා වේල* ෂේප් කර ගැනීමේ න්‍යායෙන් රටක් පාලනය කරන්න පුළුවන්ද? අද රටේ ජනතාව ප්‍රශ්න කරන්නේ මෙයයි. එහෙත් ආණ්ඩුව නිහඬය. ඇහෙන්නට තිබෙන්නේ පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ වෙන බවක් පමණි.

මේ පරස්පර කතාවලින් පෙනෙන්නේ ආණ්ඩුව ඇතුළේ මතගැටුම් වැඩිවෙමින් තිබෙන බවය. ආර්ථික ප්‍රශ්න ඔඩුදුවන විට අඬදබර වැඩිවීම ඕනෑම නිවෙසක වුවද දැකිය හැකි තත්ත්වයකි. එය ආණ්ඩුවටද අදාළය. මීට කලින්ද ඇතැම් ආණ්ඩු මැතිවරණවලට කලින්ම ඇතුළෙන් කඩා වැටීමට ආර්ථික ප්‍රශ්න හේතු විය. දැන් ආණ්ඩුව ඇතුළේ මැති ඇමැතිවරුන් අතරද ගැටලු මතුවෙමින් තිබේ. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් එකතු වී රට ගොඩනැගීමට විකල්ප යෝජනා මාලාවක් සකස් කිරීමද මේ ගැටලුවලම එක ප්‍රතිඵලයක් බව පෙනෙන්නට තිබේ. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවෙසේ මේ දේශපාලන නායකයන් මේ යෝජනා ගැන සාකච්ඡා කර තිබීමද මෙහිදී  කැපී පෙනෙයි. එය මෙතෙක් ආණ්ඩුවට එරෙහිව බර අවි යොදාගෙන පහර ගසමින් සිටි මෛත්‍රීපාල සිරිසේනගේ පැහැදිලි වෙනසක් බවද පෙනී යයි. ආණ්ඩුව සමඟ මතගැටුම් ඇතිකරගෙන සිටි විමල් සහ උදයලාද මේ සඳහා එක්වී සිටීමද විශේෂයකි.

පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් වනතුරු රටේ මුදල් අමාත්‍යවරයා වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂය. මුදල් ඇමැතිකම බැසිල්ට ලබාදිය යුතු බවට ආණ්ඩුව ඇතුළෙන් හඬ නගන විට මහින්දත් කලබල විය. එහෙම වෙනසක් සිදුනොවන බවට අගමැතිගෙන් ඉඟි පළ විය. එහෙත් බැසිල් වෙනුවෙන් නැගූ හඬ ප්‍රබලව ඉදිරියට එන විට එම මතයට ඉඩදීම හැර මහින්දට වෙනත් විකල්පයක් නොතිබිණි. ආණ්ඩුව ඇතුළේ බැසිල් පිලේ පූර්ණ අනුග්‍රහයෙන් බැසිල් මුදල් ඇමැති විය. ඔහු වෙනුවෙන් හඬ නැගූ පිරිස ගොඩනැගූ මොළ හත* සටන් පාඨයද කැපී පෙනුණේය. මෙය කොතරම් බලවත් වූවාද කිව්වොත් පසුගිය අවුරුද්දේ තෙල් මිල වැඩි කළ අවස්ථාවේ මොළ හත* සටන් පාඨයේ නිර්මාතෘවරු උදය ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු බවට හඬ නැගූහ. බැසිල් පිටරට සිටියදී සිදුවූ මේ තෙල් මිල වැඩි කිරීම ආණ්ඩුව ඇතුළේ බැසිල් විරෝධීන්ට එල්ල කරන ප්‍රහාරයක් හැටියටද ජනගත විය.

කෙසේ වුවද බැසිල් මුදල් අමාත්‍යවරයා වීමෙන් පසුව බලාපොරොත්තු වූ වෙනස සිදුකිරීමට හැකි වීදැයි යන්න විවාද සම්පන්නය. ඔහු ඉදිරිපත් කළ පළමු අයවැයෙන් රටේ ප්‍රධානම ප්‍රශ්නය වූ විදේශ විනිමය හිඟයට උත්තරයක් නොතිබිණි. අලුතින් ඩොලර් උපයන මාර්ග යෝජනා කිරීමක්ද නොවීය. ඒ වෙනුවට රජයේ සේවයේත් විශ්‍රාමිකයන්ගේත් වැටුප් වැඩි කිරීමට මේ වසරේ මුලදී ගෙන ආ යෝජනාවෙන් රුපියල් බිලියන 229ක අතිරේක බරක් අයවැයට පැටවුණේය. ඊළඟ මාසයේදී සමෘද්ධි දීමනාද වැඩි කිරීම සඳහා තවත් මිලියන 89ක් වෙන් කෙරුණේය. මේ මුදල් සොයා ගැනීමට ක්‍රම යෝජනා නොවීම නිසා එය ලබාදෙන්නේ මුදල් අච්චු ගැසීමෙන් පමණක් බවට වන මතය රටේ පැතිරීම වැළැක්විය නොහැකි විය. වරායට ආ තෙල් නැව් ටිකට ගෙවීමට ඩොලර් නොමැති වෙන්නත් වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන ගණනින් වෙන් කිරීමටත් වෙනත් ක්‍රමයක් නැත.

මේ සියල්ලේ ප්‍රතිඵලය රටේ ආර්ථික තත්ත්වය තවදුරටත් අසාධ්‍ය තත්ත්වයට පත්වීමය. දැන් රටේ ආර්ථික ලෙඩ සේලයින් ලබාදීමෙන්වත් බේරාගත නොහැකි මට්ටමට වැටී තිබේ. කොටින්ම කෙටිකාලීන විසඳුම්වලින් ගොඩයා හැකි මට්ටමෙන් එහාට ආර්ථික වැටී තිබේ. දැන් අවශ්‍ය වන්නේ බරපතළ සැත්කමකි. බයිපාස්වලටත් වඩා බරපතළ ප්‍රතිකාරයකි.

ආණ්ඩුව ආර්ථික ගොහොරුවේ මෙසේ එරී සිටින විට විපක්ෂය ටෝච් පත්තු කරමින් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අසීරුවට පත්කරන වැඩ සිදුකරමින් සිටියි. ජනතාව තුළ පවතින අදහස් නිවැරදිව වටහා ගැනීමට විපක්ෂය සමත් වීද යන්න ප්‍රශ්නකාරීය. පොදුවේ ගත් කල ආර්ථික වශයෙන් දැඩිව පීඩනයට පත්ව සිටින ජනතාවට හැම දේශපාලනයම දැන් එපාවෙලා බව වටහා ගැනීම අසීරු නැත. ආණ්ඩුව කෙරෙහි තිබෙන අප්‍රසාදය හේතුවෙන් ජනතාව විපක්ෂයේ සමගි ජන බලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට වැඩි නැඹුරුවක් දක්වන බව පැහැදිලිය. එහෙත් මැතිවරණයක් ළඟදී නැති තත්ත්වයක් තුළ මේ නැඹුරුව දිගටම පවත්වාගෙන යාම පහසු නැත. අනෙක් අතට ආණ්ඩු බලයක් හදිසියේ හෝ පාර්ලිමේන්තුවේ බලය හුවමාරුවකින් හෝ (එය සිදුවෙතැයි ඇදහීම අපහසු වුණත්) විපක්ෂයට ලැබුණොත් ඔවුන්ට මේ ප්‍රශ්නවලට තිබෙන විසඳුම් මොනවද?

ජනතාව අද අහන්නේ මේ ප්‍රශ්නයයි. ඒකට උත්තරේ පාර්ලිමේන්තුවේ ටෝච් පත්තු කිරීම නොවන බව නම් සහතිකය.

 ශශීන්ද්‍ර