2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

ඇතිලියේ නටන කකුළුවන්ගේ කාලය තව ටිකයි - සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 135

♦ කුමන්ත්‍රණකරුවන් ගැන කතා කරනකොට ආණ්ඩුව අපිට ගහනවා
♦ අර්බුද හදලා බලය ගන්න අපට ඕනෑ නෑ
♦ යහපාලනය කාලේ විපක්ෂය දැනට වඩා බලවත්
♦ නැති ජාතිවාදී ප්‍රශ්නයක් හැදුවේ එදා විපක්ෂයයි
♦ හිරගෙවල්වල දැම්මට අපේ කටවල් වහන්න බෑ
♦ පාස්කු ප්‍රහාරය ගැන හඬ නගන අය සී.අයි.ඩියට ගෙන්වනවා
♦ අපි ආණ්ඩුව එක්ක ඩීල් නැති කණ්ඩායමක්

අපි දැක්කා ඔබ ඇතුළු විපක්ෂයේ ඇතැම් පිරිස් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග විවේචනය කරමින් දැඩි ප්‍රහාරාත්මක වැඩපිළිවෙළක් ගෙන යනවා. ඔබ හිතනවද ඔබලාගේ ඒ විරෝධය ජනතාව පිළිඅරගෙන තියෙන්නේ කියලා?

දැන් මේ ආණ්ඩුව ආවේ 2/3 බලයක් අරගෙන, 69 ලක්ෂයේ ඡන්දයකුත් අරගෙන, මේක වෙනස් කරනවා, සිස්ටම් හදනවා කියන පොරොන්දුව මත. මේ අය මේ බලයට එන්න ඉස්මතු කරපු ජාතිවාදය, වෙන වෙන ප්‍රශ්න වගේ දේවල් අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත අපිට ඔප්පු කරන්න පුළුවන් වුණා ඒ සියල්ල බොරු කියලා. විශේෂයෙන් කොව්ඩ් මර්දනයට මිත්‍යාව යොදාගැනීම, කොරෝනාව ගරානාවක් කිරීම, හොරකම දූෂණය මේ සියල්ල අපේ හඬත් එක්ක හෙළිවුණා. අපි නිහඬව සිටියා නම් ජනතාව මේ ප්‍රශ්න කිසිම දෙයක් දන්නේ නෑ. එහෙනම් මිනිස්සු අන්දගෙන යනවා. හැබැයි අපේ හඬ නිසා මේ ආණ්ඩුව ෆේල්, මේ අයටත් මේක කරන්න බෑ කියන එක ඔප්පු වුණා. මේ දේවල් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරලා ඒකාධිපතිවාදය ආරම්භයත් එක්ක ජනතාව තීරණය කරලා තියෙනවා මේ ආණ්ඩුව එපා කියලා. දැන් අපේ පළවෙනි ඉලක්කය සාර්ථකයි.

නෑ ඒකෙන් පිළිගන්න පුළුවන්ද ජනතාව ඔබලා කිව්වදේ පිළිගත්තා කියලා?

ඔව්. ජනතාව අපි කිව්ව දේ පිළිගත්තා. ඒ නිසා තමයි මේ ආණ්ඩුවේ බොරුව ප්‍රෝඩාව ‍හෙළිකරගෙන තියෙන්නේ.

දැන් ඒකත් එක්ක හිතන්නේ ඊළඟට බලය දියයුතු සුදුස්සො හැටියට ජනතාව ඔබලව පිළිඅරගෙන ඉන්නවා කියලද?

දැන් ඔබට මම කිව්වේ ඉස්සෙල්ලා අපේ පළවෙනි වැඩපිළිවෙළ. දැන් මේ ඔබ කියන්නේ අපේ දෙවැනි වැඩපිළිවෙළ ගැන. දැන් මේ ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දුන්න 69 ලක්ෂයේ ජනතාවගෙන් බහුතර සංඛ්‍යාවක් හිතනවා ඔවුන් ඒ ගත්ත තීරණය වැරදියි කියලා. දැන් ජනතාවට තිබෙන පළවෙනිම කාරණය තමයි මේ රටට බොරු නොකරන පිරිසක් නැවත ගෙන ඒම. ඒ අය හොරකම් නොකරන, දූෂණයෙන් තොර අය හැටියට තමයි ඒ අයගේ පළවෙනි අරමුණ. දෙවැනි කාරණය වෙන්නේ මේ රට තියෙන තැනින් ගොඩගන්න පුළුවන් කණ්ඩායමක් පත්කරගන්න එක. ආර්ථික ප්‍රශ්නය විසඳගන්න පුළුවන් කාටද කියන ප්‍රශ්නය තමයි ජනතාවට දැන් තියෙන්නේ. මේ අය කිව්වේ ඉන්න රටක් හදනවා කියලනේ. ඒත් දැන් යනවා හැමෝම. මෙන්න මේ දේවල්වලට හරි උත්තරය අපට සපයන්න පුළුවන් නම් තමයි ඔයා අහපු ප්‍රශ්නයට උත්තරේ.

දැන් එහෙම වැඩපිළිවෙළක් තියෙනවද ඔබලට?

ඔව්. අපි ගාව එහෙම සැලසුම් සහගත වැඩපිළිවෙළක් තියෙනවා. අපිට පළපුරුද්ද සහිත කණ්ඩායමක් ඉන්නවා. ඒක ජනතාව දන්නවා. ආණ්ඩුවත් එක්ක ඩීල් නැති එකම කණ්ඩායම අපි.

දැන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ පොරොන්දු දේශපාලනයට වඩා ජාතික සැලැස්මක් සහිත කණ්ඩායමක්. එවැනි සැලැස්මක් ඔබලට තියෙනවද?

සජබේ ජාතික සැලැස්මේ ආකෘතිය අපි හදලා ඉවරයි. ඒකේ ඉතිරිය වන සවිස්තර වැඩපිළිවෙළ අපි දැන් විවිධ කණ්ඩායම්වලට දීලා හදාගෙන යනවා. අපි ඒක නුදුරේදීම ඉදිරිපත් කරනවා සැලසුම් ඇතුව. දැන් අර්බුදයක් තියෙන නිසා අර්බුදය මැද්දේ මේක දාලා කලදුටු කල වළ ඉහගන්න අපි සූදානම් නෑ. දැන් තියෙන ප්‍රශ්නයත් විසඳන්න උදව් කරන ගමන් නැවත එවැනි ප්‍රශ්න ඇති නොවෙන වැඩපිළිවෙළක් අපි සංයමෙන් ඉදිරිපත් කරනවා. අපිට කිසිම අර්බුදයක් නිර්මාණය කරලා බලයට එන්න වුවමනාවක් නෑ.

ඔබලා බලයේ හිටියා නම් අද මේ කොවිඩ් අස්සේ මිනීකඳු තියෙන්නේ කියලා ආණ්ඩුව චෝදනා කරනවා. ඇත්තටම ඔය ඉල්ලන හැටියට බලය ලැබුණොත් කරන්න පුළුවන්ද?

මේ ආණ්ඩුවට බලය නොදී අපිට ඒ බලය ලබාදුන්නා නම් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නෑ. හැබැයි දැන් දුන්නා කියලා එකවර ප්‍රශ්න විසඳන්න බෑ. හැබැයි අපි නිසි මාර්ගයට ගන්නවා. මොකද අපි ගාව ඉන්නවා ආර්ථික විශේෂඥයෝ කණ්ඩායමක්. අපි ගාව ආර්ථික හොරු ඝාතකයෝ නෑ. මේ ආණ්ඩුවේ ඉන්නේ පික්පොකට් ගහලා හරි ආර්ථිකය ගොඩනගන මිනිස්සු. දැන් මේ බලන්න අපේ රටේ ආර්ථිකය හසුරුවන අයට මොන තරම් චෝදනා තියෙනවද?

ආණ්ඩුව කියන්නේ මේ අවුල ඇතිවෙන්න හේතුව කොරෝනා තත්ත්වය කියලා?

නෑ. මේ අය ආර්ථිකය බුද්ධිමත්ව කළමනාකරණය කරලා නෑ. මොකද විද්‍යාවට කලින් මිත්‍යාව හින්දා තමයි මේ වැරදි වුණේ. අපේ ආණ්ඩු කාලේ මිනිස්සු මිත්‍යාවෙන් නෙමෙයි හිතුවේ විද්‍යාවෙන්. ඒක සම්පූර්ණයෙන් කනපිට හැරුණා.

දැන් ඔහොම කිව්වට යහපාලන ආණ්ඩුවේ වැඩ නිසානේ ඔවුන්ව අත්ඇරියේ?

අනිවාර්යයෙන්ම. ඒ ගැන තර්කයක් නෑ. යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ වුණේ යහපාලන මූලධර්ම ක්‍රියාත්මක කිරීම. ඒ දේවල් ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය වුණා. හැබැයි ජනතාව බලාපොරොත්තු වුණේ හොරු අල්ලයි කියලා. හැබැයි වුණේ අල්ලන්න හිටිය හොරු එක්ක ඒ ආණ්ඩුව පෙරළීමයි. එවකට ජනාධිපතිවරයා කළේ. ඒකට හේතුව ජනපති, අගමැතිගේ පෞද්ගලික ප්‍රශ්න. ඒ තුළ සිදුවුණු වරදවල් එදා විපක්ෂය පුම්බලා පෙන්නුවා. ඒ නිසා ජනතාව කලකිරුණා.

ඒ ආණ්ඩුව පෙරළන්න මහ බැංකු හොරකමම ඇති?

ඔව් පිළිගන්නවා. එතන හොරකමක් වෙලා. හැබැයි ඒ සල්ලි හැමදේම තිබුණා. ඒ සියල්ල එවකට රජය විසින් ඒ සල්ලි සීස් කරලා තිබුණේ. ඒත් මේ ආණ්ඩුව ආපු ගමන් ඒ මුදල් නිදහස් කළා භාණ්ඩාගාරයට. දැන් ඒ සල්ලි කොහෙද ගියේ කියලා කවුරුත් දන්නේ නෑ. ඒත් ඇත්තටම එදා කළේ නැති ජාතිවාදී ප්‍රශ්නයක් විපක්ෂය විසින් නිර්මාණය කරපු එක. ඒවා තමයි ප්‍රධාන හේතු. ඒත් අද ජනතාව දන්නවා ඒවා කුමන්ත්‍රණවල ප්‍රතිඵල කියලා. ඒ කුමන්ත්‍රණයෙම කොටසක් තමයි දින 28 ආණ්ඩුව.

හිතෙන්නේ නැද්ද ඔබලා ආණ්ඩු කරන කාලේ හිටිය විපක්ෂය එක්ක බලන විට අද විපක්ෂය දියාරුයි කියලා? අද ඉන්නේ තුන් හතර දෙනෙක් විතරයි?

ඒක මමත් පිළිගන්නවා. මේ වෙලාවේ කණ්ඩායමක් හැටියට විපක්ෂය කටයුතු කරන්න ඕන. යහපාලන ආණ්ඩුව කාලේ විපක්ෂය මීට වඩා ශක්තිමත්. ආණ්ඩුවේ ඉඳලා හදිසියේම එළියට ආපු කණ්ඩායමක්. ඒ අයට තිබ්බ නඩු හබවලින් බේරෙන්න තමයි කටයුතු කළේ. ඒ අයට ඕන වුණේ තමන් බේරෙන්න ආණ්ඩුවක අවශ්‍යතාවයක්. ඒ දේ වෙනුවෙන් ඔවුන් වැඩ කළා. මරාගෙන මැරෙන සටනක ඔවුන් හිටියේ. ඒකේ අරමුණ අවුල් වුණාට විපක්ෂය හැටියට සංවිධානාත්මකයි.

කවුද ආණ්ඩුවේ අය එක්ක ඔබලගේ කණ්ඩායමේ ඩීල් තියෙන අය?

මට කියන්න පුළුවන් කිසිම කෙනෙක් අපේ පැත්තේ නෑ. අපි ආවේ ඩීල් දාපු කණ්ඩායම අත් ඇරලා. අද කට්ටිය නිදහසේ එළියට යන්නේ එදා අපේ ආණ්ඩුවේ සමහර අය දාපු ඩීල් නිසා.

පාස්කු ප්‍රහාරය ගැන වැඩියෙන් කතා කරන්නේ ඔබත්, හරීන් මන්ත්‍රීවරයත්. දැන් තවම නිශ්චිතව මේ ප්‍රශ්නය විසඳිලා නෑ. ඇත්තටම ඔබලා මේ කරන්නේ දේශපාලන ගේම් එකක්ද? නැත්නම් සාක්ෂි තියාගෙනද කතා කරන්නේ?

මතක තියාගන්න දැන් කකුළුවෝ ඇතිලියේ නටන්න පටන් අරන් තියෙන්නේ. තව පොඩි කාලයයි කකුළුවන්ගේ කාලය. ආණ්ඩුවේ සමහර අය කියනවා අපේ රෙදි ගැලෙව්වා කියලා. මම ඒ අයට කියන්නේ රෙදි ඇඳගෙනද කතා කරන්නේ කියලා. ඒ අයට තව ටික දවසකින් තේරෙයි.

හැබැයි ඔබලා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා මේ වැඩේ කරනවා කියලා චෝදනා කරනවා?

ඇත්තටම අපි ඒවා පාර්ලිමේන්තුව ඇතුළේ කියන්නේ අපිට අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන හිරකරන්න යන බව දන්න නිසා. එළියට අරගෙන අපේ වචනයක් අල්ල ගන්න හදන්නේ බන්ධනාගාරවලට දාලා අපේ කටවල් වහන්න. ඒ අයගේ දේවල්වලට අහුවෙන්න අපිට උවමනාවක් නෑ. එහෙම වුණොත් අපේ හඬ නිහඬ වෙලා මේ සටන ගෙනියන්න බැරි වෙනවා.

ඔබලා පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳලා බොරු කියනවා කියලා කියන්නේ?

ඔව්. ඒ අය කියනවා. ඒත් අපි මෑතක මතුකරපු කාරණයක් තමයි නිලන්ත ජයවර්ධන කියන පුද්ගලයා රජයේ සාක්ෂිකාරයෙක් කළේ ඇයි කියලා. අපි ඒක ගැන කිව්වම නීතිපති දෙපාර්තමේන්තුවට බණින එක වැරදියි කිව්වා. ඒත් හේමසිරි ප්‍රනාන්දු, පුජිත ජයසුන්දර නඩු තීන්දුවේදී අපි කියපු කාරණා තමයි අවසානයේ මතුවුණේ. වචනයක් අල්ලන් තර්ක කරන්න පුළුවන්. ඒත් යථාර්ථය මේ පිටුපස දීර්ඝකාලීන කුමන්ත්‍රණයක් තියෙනවා. ඒක දැන දැන හංගපු අය කවුද? කුමන්ත්‍රණය කළේ කවුද? කියලා හොයන්න කිව්වම ආණ්ඩුව අපිට ගහනවා. හැබැයි මේක දන්න ජනාධිපති කොමිසමේ සාක්ෂි දුන්න අයට ප්‍රමෝෂන් දීලා රජයේ සාක්කිකාරයෝ කරනවා. මේ ගැන පරීක්ෂණ කරපු සී.අයි.ඩී. නිලධාරීන් මාරු කරනවා.

ආණ්ඩුවට නිකන් චෝදනා කරනකොට ගහන එක හරිනේ?

නෑ. අපි ඉල්ලන්නේ මේක කළේ කවුද කියලා කියන්න. ඒත් මේක දන්න මිනිස්සු ආරක්ෂා කරනවා. එහෙම ආරක්ෂා කරන අයත් එහෙනම් මේකට සම්බන්ධ ඇති.

මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියන්නේ ආණ්ඩුව. ඔබලා පිටිපස්සේ ඉන්නේ කවුද මේවා මෙහෙයවන්නේ?

අපි දෙන්නා පිටිපස්සේ කවුරුත් නෑ. අපිට තිබුණේ මේක ගැන හොයන ප්‍රශ්නය. ඒ නිසයි අපි මේක ගැන හොයන්නේ. ඊටත් වඩා ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්න. නමුත් වුණේ අපිට ගහන එක. හරීන් එදා කිව්ව කතාව නිසා ගැහුවා. ඇත්තටම හරීන් මේක දැනන් හිටියේ නෑ. තාත්තා දැනගත්ත එක හරින්ගේ අක්කා කියලා තිබ්බා. අන්න ඒ සිද්ධියත් එක්ක තමයි මේක අපිට සැක ආවේ. දැන් හරීන්ගේ තාත්තට කිව්වේ කවුද කියලා කොමිසම් වාර්තාවේ තියෙනවා. ඒ නිසයි අපි කියන්නේ මේක පිටුපස බල පෙරළියක් තියෙනව කියලා.

දැන් එක ප්‍රශ්නයක් ඉවරනේ? වෙළුම් ඔක්කොම කොමිසම් වාර්තාවේ ලැබුණනේ?

ඔව්... ඔව්... එතන තවත් කොටසක් තියෙනවා ඉදිරිපත් කරලා නෑ. එතැන සැකයක් තියෙනවා. ඒක ජනාධිපතිවරයා සන්තකයේ තියෙනවා.

නෑ ආණ්ඩුව කියනවා සියල්ල දුන්නා කියලා?

නෑ... තව තියෙනවා. මේ ටික නොදැම්මෙත් මේ සාක්ෂිවල ගැටලුකාරී තත්ත්වයක් තියෙන නිසා. අපි තවම දුන්න ටික දැකලා නෑ. ලැබිලත් නෑ. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා අපි මේ ගැන කතා කරන්නම්. ඒ ගැන කතාකරන අයව රහස් පොලීසියට ගෙන්නනවා. සාධාරණයක් ඉල්ලන එක වැරදිද?

මොකද මේ විපක්ෂයේ කචල්? චම්පික වෙනම යනවා? ඉන්න අය රණ්ඩු වෙනවා?

නෑ අපි ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක්. වහල් පක්ෂයක් නෙමෙයි. අපි ඊට වඩා දේශපාලන ව්‍යාපාරයක්. අපිට වැඩපිළිවෙළක් තියෙනවා. එහෙම නැතුව නායකයා කියන දේ පිළිගන්න කණ්ඩායමක් නෙමෙයි අපි.

 ගයාන් ගාල්ලගේ