2022 මාර්තු 06 වන ඉරිදා

ආණ්ඩුව හදපු අපට අද පාරෙ බැහැලා යන්න බෑ

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 81

- බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර
♦ ප්‍රශ්න විසඳන්න වටමේස සාකච්ඡාවක් ඕනෑ
♦ පක්ෂ නායකයන්ට කතා නොකරන විට මෙහෙම වෙනවා
♦ ජවිපෙටවත් සජිත්ටවත් මේ ප්‍රශ්නවලට තනිවම විසඳුම් හොයන්න බෑ
♦ අපි ආණ්ඩු විරෝධී කැරලිකාරයෝ නොවේ
♦ මිනිස්සු දුක් විඳිනකොට ඉබේම කැරුලි හැදෙනවා
♦ පුද්ගලයෝ එක්ක අපට ප්‍රශ්නයක් නෑ
♦ අපි ඉදිරියට ආවේ ජනතාව වෙනුවෙන්

එදා ආණ්ඩුවට හරි මඟ පෙන්නන්නන ගිහින් අවසානයේ දෙන්නෙක්ට ගෙදර යන්න වුණා නේද?

ඔව්. අපි බලමු මොකද වෙන්නේ කියලා. මොකක්ද මේවට හේතු කියලා බලමු.

දැන් ඔබලාගේ ඇමැතිවරු දෙන්නත් අයින් වෙනවද?

අපි අපේ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරලා තීරණය කරනවා. බලමු.

දැන් මේ ඔය පක්ෂ එකොළහ අයින් වෙලාම යනවද ආණ්ඩුවෙන්?

අපි බලමු අපේ කණ්ඩායම එක්ක තීන්දු කරලා. තවම ඒ ගැන තීරණයක් නෑ.

මොකක්ද මේ හදිසියේ පටන් ගත්තේ? ආණ්ඩුවට රිද්දන වැඩක්ද? ආණ්ඩුවට පාර පෙන්නන වැඩක්ද? ආණ්ඩුව රැකගන්න වැඩක්ද?

නෑ කාටවත් රිද්දන්න අපිට උවමනාවක් නෑ. මේක අපි පත්කරගත්ත ආණ්ඩුව. මේක අපි පත්කරගත්ත ජනාධිපතිතුමා. අපේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන අපිට පක්ෂ 11ක් හැටියට යම් කියවීමක් තියෙනවා. වර්තමානයේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයෙන් ගොඩඑන්න අපි කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුමක් තමයි අපි මේ එකමුතුවෙන් ගෙනාවේ. ඒ හැර විකල්පයක් නෑ. අපි කියන්නේ ආණ්ඩුව මේ ගැන සලකලා බලලා මේ කරැණු අධ්‍යනය කරන්න කියලා.

දැන් ඔය හරි මඟ ඉදිරිපත් කළේ ජනතාවටනේ. ඕක ඉදිරිපත් කරන්න ඕන අපිට නෙමෙයි ආණ්ඩුවට? එහෙනම් ඒ මග දෙන්න ඕන ආණ්ඩුවට නේද?

මෙහෙමයි පක්ෂ නායකයන්ට කතා කරන්න ආණ්ඩුවෙන් ආරාධනාවක් නැති වෙද්දී මෙහෙම වෙනවා. අපිටත් තියෙනවනේ මේ අර්බුදයෙන් ගොඩ එන වැඩ පිළිවෙළක් සහ විසඳුම්. අන්න ඒක අපි ජනතාව එක්ක කතා කළා.

ඔබලා මේ ආණ්ඩුවේ ඉන්න අය. ආණ්ඩු කරපු අය. මිනිස්සු ඔය දේවල් පිළිගනී කියලා හිතනවද?

විකල්පමය අදහසක් තියෙනවා කියලා ජනතාව දන්නවා. අන්න ඒ අදහස ඉදිරිපත් කරන්න තමයි අපි මේක ඉදිරිපත් කළේ. අපි පක්ෂ නායකයෝ හැටියට විකල්පමය අදහසක් ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒක ගැන ආණ්ඩුවක් හැටියට ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැත්නම් අපි ඒක ජනතාවට ඉදිරිපත් කරන්න ඕනනේ.

එහෙම කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?

නෑ අපිට අදහසක් නෑ කියලා ජනතාව දැනගත්තොත් මේ අර්බුදයේ කොටස්කාරයෝ හැටියට අපිවත් එකතු කරනවා. ඒ නිසයි අපි අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ.

ආණ්ඩුවක් හැටියට මේ අවුලේ වැරැද්ද සාමූහිකව ගන්න ඕනෑනේ?

ඔව්. ආණ්ඩුවක් හැටියට අපි ඒ වගකීම ගන්නවා. ඒත් වැඩපිළිවෙළක් තියාගෙන ඒක ඉදිරිපත් නොකර සිටින එක ජනතාවට වැරදි මතයක් එන්න පුළුවන්. අන්න ඒ නිසයි අපිට ආණ්ඩුව ඇතුළේ ඒ වෙනුවෙන් ඉඩක් නැති නිසා අපේ අදහස ජනතාව අතරට ගෙනාවේ.

මේ ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳලා කියනවා අපිට ආණ්ඩුවෙන් කතා කරන්න ඉඩක් නෑ කියලා. ඇත්තටම ආණ්ඩුව ඇතුළේ ඉන්න ඕන නිසා ඉන්නවද?

නෑ මේක තමයි යථාර්ථය. අපිට ආණ්ඩුව ඇතුළේ ඉඩක් තිබ්බා නම් ජනතාව අතරට එන්න ඕන නෑනේ.

ඇයි එහෙම අවස්ථාවක් ආණ්ඩුවෙන් නොදෙන්නේ?

අනේ මන්දා. ඒ අයගෙන් තමයි අහන්න ඕන.

අපි දැක්කනේ එතැනදී දෙතුන් දෙනෙක් කේන්ද්‍ර කරගෙන ප්‍රහාරයක් එල්ල කළා. මුදල් ඇමතිතුමාට තමා වැඩිම ප්‍රහාරය එල්ල කළේ?

ඒක සම්පූර්ණයෙන් වැරැදි කතාවක්. එක එක කථිකයන්ට අනුව තමයි කතා සිද්ධවුණේ. මේ රැස්වීම ගත්තේ පක්ෂ 11 එකතුවෙලා. කාට පහර දෙනවද? පහර දෙන්නේ ඇයි කියන්න වෙන වෙනම ගතයුතු කාරණයක්. අපිට ප්‍රශ්නය තියෙන්නේ පුද්ගලයෙක් එක්ක නෙමෙයි. මේ ආණ්ඩුව, ජනාධිපතිතුමා ගේන්න වැඩකරපු කණ්ඩායමක් හැටියට තව දුරටත් බලාගෙන ඉන්න බැ‍රි තත්ත්වයකට රට පත්වෙන නිසයි අපි මෙහෙම කතා කළේ. ගම්වල මිනිස්සු තෙල් පෝලිම් වල. උද්දමනය 16%ක්. බඩුමිල ගණන්. කරන්ට් නෑ. මිනිස්සුන්ට දුක කියන්න තැනක් නෑ. මිනිස්සු දවසේ ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයේ ඉන්නේ. ජනතාවගේ අන්න ඒ ප්‍රශ්නය නිසා තමයි අපි ජනතාවගේ දුක හඳුනන පක්ෂ හැටියට අපි මේ වගේ ඉදිරියට ආවේ.

එහෙම කතා කළාම දැන් විසඳුමක් ලැබෙයි කියලා හිතනවද?

අපි හිතනවා මේ හරහා සාකච්ඡාවකට අවස්ථාව උදාවෙයි කියලා. දෙවනි කාරණය මේ දුක් අඳෝනා ප්‍රශ්නවල හේතුවක් නොවී අපිට විකල්පයක් වෙන්න ඕන.

ඊයේ වේදිකාවේ කැබිනට් ඇමැතිවරු තුනක් හිටියා. පහළ හිටියා ඔබේ පක්ෂයේ දෙන්නෙක්. ඔක්කොම කැබිනට් ඇමතිවරු පහක්. මම අහන්නේ රටේ යම් අවුලක් හැදෙන්න කැබිනට් තීරණ බලපානවා. දැන් ඒ අයට පුළුවන්නේ මේ අවුල කැබිනට් එකේ විසඳගන්න?

නෑ. එතුමන්ලත් මේ ගැන සාකච්ඡා කරනවා. නමුත් මේ තත්ත්වයට එහෙම සාකච්ඡාවක් නෙමෙයි අවශ්‍ය ඊට එහා ගිය සාකච්ඡාවක්. කැබිනට් එකට විසඳුම් දෙන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි මේක. කැබිනට් එක වෙනමයි පක්ෂ නායකයෝ ගන්න ඕන තීන්දු වෙනමයි තියෙන්නේ.

මොකක්ද දැන් මේකට විසඳුම?

මේ ප්‍රශ්න තැන තැන විසඳන්න බෑ. වටමේස සාකච්ඡාවක් ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි කියන්නේ සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න ඕන කියලා. මොකද මේක රටම මුහුණ දී තියෙන ප්‍රශ්නයක්. ජේ.වී.පී. හරි සජිත්ට හරි විසඳුම් හොයන්න බෑ තනියම. පක්ෂ සියල්ලම එකතුවෙන්න ඕන. අපිට මතකයි මෛත්‍රීපාල මහත්තයාගේ කාලේ සර්වපාක්ෂික සමුළු දෙකක් තිබ්බා. මහින්ද මහත්තයගේ කාලෙත් තිබ්බා. අද ලංකාව ඉතිහසයේ දරැණුම ආර්ථික අවුලක ගිලිලා ඉන්නේ. රටක් කරන්නත් රටක් තියෙන්න එපැයි. ඒකට හොඳම දේ සාකච්ඡා කරලා විසඳුමකට එන එක.

දැන් ඔබලත් එළියට ඇවිත් අපිට දුක කියනවා. නිකන් නෙමෙයි පක්ෂ 11ක්.එහෙම බලද්දී හිතෙනවා මේ ආණ්ඩුව කරන්නේ කවුද කියලා?

ආණ්ඩුව කරන්නේ කැබිනට් එකේ කීපදෙනෙක්. පොදු තීරණ රටේ ප්‍රශ්න වලට නෑ කියන්නේ ඉතිං පේනවනේ.

කෙලින් කියන්න බැරිද මෙන්න මේ අය කියලා?

එහෙම මට කියන්න බෑ. ඒත් ජනතාව දන්නවනේ කවුද කරන්නේ කියලා. බුද්ධිමත් අයනේ ඉන්නේ.

මේක මේ ආණ්ඩුව හරිමඟට ගන්න කියලා ආවට ඊළඟ නායකයා ගේන වැඩක් නේද?

නෑ නෑ අපේ පළවෙනි කාරණය තමයි අපේ යෝජනා ටික ආණ්ඩුවට කියන එක. එහෙම කරලා මේ අවුලට විසඳුමක් හොයන එක. තව නායකයෝ හදන ඒවා ජනාධිපතිවරණ මහමැතිවරණ ගැන හිතලා නෑ අපි. අනික අපි පුද්ගලයෝ වෙනුවෙන් නෙමෙයි ප්‍රතිපත්තිමය වෙනසක් බලන්නේ. ඒක තමයි වැදගත් වෙන්නේ.

දැන් ඔය කිව්ව වැඩපිළිවෙළ ආණ්ඩුව ගණන් ගත්තේ නැත්තන් මොකද කරන්නේ?

ඇත්තටම අපි ඒ ගැන තවම තීරණය කරලා නෑ.

ගම්මන්පිල මහත්තයා නම් කිව්ව ජනතාව කැරැල්ලකට ළං වෙමින් ඉන්නේ ඒක නවත්තන්න බෑ කියලා. දැන් මේ ඒකට ලෑස්ති වෙන්නේ?

නෑ ආණ්ඩුවට විරුද්ධව කැරැලි නායකත්ව ගන්න අපි සූදානම් නෑ. අපි ආණ්ඩුවක් හදපු අය. නමුත් එවැනි අවදානමක් තියෙන බව අපි හැමෝම දකිනවා. මොකද මෙහෙම මිනිස්සු රස්තියාදු වෙන්නයි, දුක් විඳින්නයි ගත්තම ඒක ඉබේ වෙනවා.

මිනිස්සු තෙල් ගන්න පාරේ පැදුරු දාගෙන නිදි. එහෙන් විදුලිය කපනවා. කිරිපිටි පෝලිම්, ජීවන බර මේවා දැක දැක ඔබලට පාරේ බැහැලා යන්න පුළුවන්ද බයක් නැතුව?

අපිට පාරේ බැහැලා යන්න තියා මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. විශේෂයෙන් මේ ආණ්ඩුව බලයට ගේන්න ඡන්දය දුන්න මිනිස්සුන්ට. මේක මේ අර්බුදකාරී අවස්ථාවක්. මේ වෙලාවේ පටුකතා වැඩක් නෑ. මොකද එක නැවකට තෙල් ගහන්න අවශ්‍ය ඩොලර් මිලියන 37ක් 40 ක් පවා නැතිවෙලා තියෙන්නේ. මේවා තමයි අපි කල්පනා කරන්න ඕන. මේක මේ අවුරුදු ගණනක වැඩවල ප්‍රතිඵල.

දැන් ඇත්තටම ආණ්ඩුව කැමති නෑනේ ෆේල් වෙන්න. ආණ්ඩුවටත් ඇති වැඩපිළිවෙළක්. මොකක්ද ආණ්ඩුවට තියෙන ආර්ථික සැලසුම?

මට නම් එහෙම එකක් පේන්නේ නෑ. යම් යම් සැලසුම් තියෙනවා. ඒත් මේ අර්බුදයට විසඳුමක් හැටියට පේන්නේ නෑ.

දැන් මෙතන ප්‍රශ්නය ඩොලර්නේ. ඩොලර් උත්පාදනයට ඔබේ කණ්ඩායමේ යෝජනාව මොකක්ද?

මෙතන ඉස්සෙල්ලම කරන්න ඕන විදෙස් ශ්‍රමිකයන්ගේ මුදල් වෙනුවෙන් අපේ රටේ ඩොලරයට වැඩි වටිනාකමක් දෙන්න ඕන. 240ක් වගේ. ඒ අයට විතරක්. ඒත් වෙලා තියෙන්නේ දැන් වැඩේ වෙන්නේ උණ්ඩියල් ක්‍රමය හරහා. ඒක දැන් දැවැන්ත ජාවාරමක් වෙලා තියෙන්නේ. මේක නතර කරන්න ඕන. දැන් සමහර ආනයනකරුවන් කළුකඩවලින් ඩොලර් ගන්නේ 260 වගේ දීලා මොකද බැංකුවල ඩොලර් නැති නිසා. අනෙක් කාරණය ලංකාවට එන ආයෝජන වැඩි කරන්නත් ඕන. විශේෂයෙන් කියන්නේ මේ අත්‍යවශ නොවන භාණ්ඩ ආනයනය නතර කරන්න ඕන. පහුගිය මාසයේ විතරක් ඇපල් මිදි ඩොලර් මිලියන ගණනින් ගෙනැල්ලා. මේවා මේ ඕන දේවල් නෙමෙයිනේ.

කවුද ඒවා ගේන්න ඩොලර් නිදහස් කළේ?

ඒක තමා අපිත් අහන්නේ. කොහොමද මේවා කරන්නේ කියලා.

ආණ්ඩුවෙන් මේවා අහන්න බැරිද?

නෑ. මේ කළු කඩ හරහා සිදුවන ගනුදෙනු හවාලා, උණ්ඩියල් වගේ දේවල් නිසයි මේ තත්ත්වය වෙලා තියෙන්නේ. අපේ අපනයනකරුවෝ පවා මුදල් පොඩ්ඩයි ලංකාවට ගෙන්නේ. බාගයක් ඒ රටවල තියන්නේ. එහෙම වෙන්න හේතුව තමයි මේ ක්‍රමවේදයක් නැතිකම.

I ගයාන් ගාල්ලගේ