මේ රටේ දේශපාලනය සාමාන්‍යයෙන් රත්වෙන්නේ ජූලි මාසයේය. ආණ්ඩු කැඩෙන්නේ, මැතිවරණවලින් ආණ්ඩු වැටෙන්නේ, යුද්දෙ කාලෙ නම් කොටි බෝම්බ වැඩියෙන් පුපුරන්නේත් මේ කාලයේදීය. හැබැයි මේ ආණ්ඩුවට නම් ඒ කාලසටහන අදාළ බවක් පෙනෙන්නට නැත. දැන් මාස කිහිපයක පටන්ම ආණ්ඩුව තිබෙන්නේ අභ්‍යන්තරයේ උණුසුම් බවක්ද සමඟිනි. මේ බව පසුගිය සති කිහිපය තුළදීම පෙනෙන්නට තිබිණි.
දේශපාලන කරළියේ අකාල බෝම්බයක් පත්තු වෙන්නේ මේ රත්වීම තවදුරටත් දරාගත නොහැකි මට්ටමට පැමිණි බව සටහන් කරමිනි. ඊයේ පෙරේදා විමල්ලා පත්තු කළ මේ දේශපාලන බෝම්බය බරපතළ ආර්ථික ගැටලුවලට මුහුණ දී සිටින ආණ්ඩුවේ පැවැත්ම උරගා බලන අවස්ථාවක් වීමටද ඉඩ තිබේ.
වැරුද්ද කළේ කවුදැයි සොයන්නට නොගොස් වැරුද්ද කුමක්දැයි සොයා බැලුවොත් පෙනෙන්න තිබෙන්නේ ආණ්ඩුව තමන්ගේ ආදායම සහ වියදම සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක නොසිටි බවය. ආදායම රුපියල්වලින් පමණක් ගණන් හැදීමෙන් පළක් නැත. රටට වඩාත් අවශ්‍ය ඩොලර් උපයා ගැනීම සඳහා ආණ්ඩුවේ මුල සිටම තිබූ ප්‍රතිපත්තිය පැහැදිලි නැත. රටට ආයෝජන ගෙන ආ යුතු බවට කියන ආණ්ඩුව ඒ වන විටද රටේ ආරම්භ වීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය, නැගෙනහිර වරාය ආයෝජන නවත්වා දැමීමට ක්‍රියා කළේය. ඒවා යට තිබුණේ කුමන ගනුදෙනුවක් වුණත් ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමේදී ඉදිරියෙන්ම සිටි ජපානය වැනි රටක් අමනාප කර ගැනීමේ ආදීනව ගැන ආණ්ඩුව මුලින් සිතුවේ නැත.
ඉන් පසුව ආයෝජන ගෙනෙන විට රටේ ජනතාව ඒවාට විරුද්ධව උසිගන්වන දේශපාලන බලවේගවලට ආණ්ඩුව යට විය. ඒවා රටට අහිතකර විකිණීම් නොව රටේ අනාගතය තීන්දු කරන ආයෝජන බවට ජනතාව තුළ මතයක් ඇතිකිරීමට ආණ්ඩුව අපොහොසත් විය. සියලු දේ මේ රටේම නිපදවා ගැනීම වැදගත් වුවද එය ප්‍රායෝගික නොවේ. රසායනික පොහොර අතහැර කාබනික වගාවට යොමුවීම වැදගත් තීන්දුවක් වුණත් එය ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුව විශේෂඥ උපදෙස්වලට පිටුපෑවේය. ආර්ථිකයේ සෙසු තීන්දු ගැනීමේදීද දේශීය බවට පමණක් මුල් තැනක් දීමේ ප්රතිපත්තියකට ගොස් ආනයනවලට දැඩි ලෙස සීමා පැනවීමෙන් රට ආර්ථික වශයෙන් විශාල අනතුරකට වැටුණේය. ගෑස්, පෙට්‍රල්, ඩීසල් සියල්ල හිඟ වූයේ ඒවා මිලදී ගැනීමට ඩොලර් නොමැති වීමෙනි. දැන් රටට පැය 7 ½ක් විදුලියත් නැත. විමල්ලාගේ ඇතුළේ සටන එළියේ සටනක් බවට පත්වුණේ මේ පසුබිමේය.
කර්මාන්ත අමාත්‍ය ධුරයෙන් විමල් වීරවංසද බලශක්ති අමාත්‍ය ධුරයෙන් උදය ගම්මන්පිලද ඉවත් කරනු ලැබීමෙන් පසුව ඔවුන් සිකුරාදා (04) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට රටේම අවධානය යොමු විය. එම සාකච්ඡාව රෑපවාහිනී චැනල් කිහිපයක් සහ සමාජ මාධ්‍ය හරහා සජීවී ලෙස විකාශනය කරනු ලැබීය.
මේ මාධ්‍ය හමුවේදී කැපීපෙනුණේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතරේ විශාලම පක්ෂය වන ශ්රීලනිපය නියෝජනය කරමින් කිසිදු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු සහභාගි නොවීමය. එහිදී ශ්රීලනිපය නියෝජනය කරමින් ප්‍රාදේශීය දේශපාලනයට සම්බන්ධ දේශපාලනඥයන් පිරිසක් පමණක් සහභාගි වී සිටියහ. ඒ පිළිබඳව මාධ්‍යයෙන් ප්‍රශ්න කෙරුණු අවස්ථාවේදී විමල් ප්‍රකාශ කළේ ශ්‍රීලනිපයේ සහභාගිත්වය පිළිබඳව තීරණ ගන්නේ එම පක්ෂයේ නායකයන් විසින් බවය. තමන්ගේ පොදු වේදිකාවට ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතාද එදා පැමිණි බව සඳහන් කළ ඔහු ප්‍රකාශ කළේ ශ්රීලනිපය නියෝජනය කරමින් පළාත් මට්ටමේ දේශපාලනඥයන් පිරිසක් සහභාගි වී සිටින බවය.
කෙසේ වුවද මෙහිදී ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් වාසුදේව අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වී සිටීමද කැපී පෙනිණි. ඔහු එහිදී ප්‍රකාශ කළේ තමන් අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමෙන්ද අමාත්‍ය මණ්ඩල රුස්වීම්වලට සහභාගි වීමෙන්ද වැළකී සිටින බවය. තමන්ගේ වැරැද්ද පිළිගෙන ඒ අනුව ආණ්ඩුව කටයුතු කරන තුරු තමන් අමාත්‍ය ධුරයේ කටයුතු නොකරන බවද තමන්ව අමාත්‍ය ධුරයෙන් අස්කර නැති බවද වාසුදේව මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කිව්වේය. මේ සංවාදය ඉදිරියට ඇදී යද්දී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කිව්වේ මේ කියන්නේ මාවත් අස්කරපියෝ කියලා යැයි පැවසුවේ මාධ්‍ය සාකච්ඡාව සිනහ ගන්වමිනි.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් විමල් වීරවංස දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමද කැපී පෙනුණේය. මේ රජය බලයට පත්වූ මුල් අවස්ථාවේ සිටම විමල්ලා බැසිල්ගේ ආගමනයට තිරය පසුපස සිට විරෝධය දැක්වූ බව පෙනෙන්නට තිබූ අතර 20 වැනි සංශෝධනය සම්මත කළ අවස්ථාවේදීද තම විරෝධය එදාම ඍජුව ප්‍රකාශ කළ බව විමල් මෙහිදී කිව්වේය. 1958 දී ප්‍රකාශයට පත්වූ විලියම් ලෙඩරර් සහ ඉයුජින් බර්ඩික් දෙදෙනා විසින් රචිත සුප්‍රකට දේශපාලන නවකතාවක් වූ දි අග්ලි ඇමරිකන් පොතද උදාහරණයකට ගනිමින් විමල් වීරවංස බැසිල් රාජපක්ෂගේ භූමිකාව එහි එන චරිතයට සම කළේය. (මේ නවකතාවෙන් නිරූපණය වන්නේ අමෙරිකාව විසින් දකුණු ආසියානු රටවල සිදු කරන දේශපාලන කුමන්ත්‍රණවලදී පෙන්වන අසාර්ථකත්වයයි.) විමල්ගේ කතාවෙන් කියැවුණේ අවලස්සන අමෙරිකානුවකු මේ රටේ සිටිමින් කුමන්ත්‍රණයක් මෙහෙයවන බවය. සමහරුන් අර්ථකථනය කරන්නේ විමල් විසින් බැසිල් අවලස්සන අමෙරිකානුවාට සමාන චරිතයක් බවට හඳුන්වා දුන් බවය.
රටේ ජනතාවගේ ගැටලු මේ තරම් උග්‍ර වනතුරු මේ ප්‍රශ්න කතා කිරීමට බලා සිටියේ ඇයිදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විමල් සහ උදය ප්‍රකාශ කළේ ආණ්ඩුව පිහිටුවූ දා පටන්ම තමන්ගේ විරෝධතා ආණ්ඩුව ඇතුළෙත් නායකයන් සමඟත් කතා කළ බවය. ඇතැම් අවස්ථාවලදී ඒ ගැන එළිපිටද කතා කිරීමට සිදුවූ බවද මේ දෙදෙනා කීහ. තවදුරටත් ඒ ගැන කතා කිරීමෙන් පලක් නොවන තැන හවුල්කාර පක්ෂ සමඟ එකතු වී රට ගොඩගත හැකි ක්‍රම සහ යෝජනා ඇතුළත් ප්‍රකාශය එළිදැක්වූ බවත් එය ආණ්ඩුවට විරෝධය පෑමක් නොවන බවත් ඔවුහු කීහ.
විමල් සහ උදය එකතු වී පත්තු කළ මේ දේශපාලන බෝම්බයේ කම්පනය ආණ්ඩුව ඇතුළේ තුමන වෙනසක් සිදු කරනු ඇතිදැයි දැන්ම කීම අපහසුය. ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක්දැයි සිකුරාදා සවස් වන තුරුම දැනගන්නට නොතිබිණි. බැසිල්ට එරෙහි විමල් සටනේ ජයග්‍රාහකයා කවුරුන් වනු ඇතිදැයි ඉදිරියේදී බලාගත හැකිවනු ඇත.
මේ මාධ්‍ය සාකච්ඡාවේදී විමල් සහ උදය දෙදෙනාම ප්‍රකාශ කළේ තමන්ගේ ගැටුම ඇත්තේ ආණ්ඩුව සමඟ හෝ පුද්ගලයන් සමඟ හෝ නොවන බවය. තමන් සටන් කරන්නේ ප්‍රතිපත්තිය උදෙසා බවද ඔවුහු කීහ. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ තමන් නැවත වරක් අමාත්‍ය ධුරයක් භාර නොගන්නා බවද විමල් කීය. විමල් සහ උදය දෙදෙනාම මෙතෙක් කාලයක් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විවේචනයක නොයෙදුණත් මෙවර මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයාගේ භූමිකාව බැසිල් විසින් වසාගෙන ඇති බවත් ජනාධිපතිට ක්‍රියා කිරීමට සිදුවි තිබෙන්නේ බැසිල් කියන ආකාරයට බවත් ප්‍රකාශ කිරීමද කැපී පෙනෙයි. එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මේ දෙදෙනාම කතා කළේ ගෞරවනීය ආකල්පයකිනි.
එසේම තමන්ගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ තනතුරු සම්බන්ධයෙන් පවතින අවදානම භාරගනිමින් බවට විමල් කළ ප්‍රකාශයද මෙහිදී කැපී පෙනෙයි. ඒ කියන්නේ වෙනත් වචනවලින් කිව්වොත් මෙය එළියට යන්න බලාගෙන ගහපු ගැහිල්ලකි.
මේ අරගලය මෙතනින් නවතින්නේ නැති බව පැහැදිලිය. මේ රජයේ ජනාධිපතිවරයා හැරුණුවිට බලවත්ම චරිත දෙක මහින්ද සහ බැසිල් බව රහසක් නොවේ. මහින්ද බේරලා බැසිල්ට ගැහැව්වත් ඒ ගැහිල්ල වදින්නේ පොදුවේ රාජපක්ෂලාටය. මේ රුධිරගත සම්බන්ධය හොඳින්ම දන්නා විමල් සහ උදයලා රාජපක්ෂවරුන් සමඟ මෙහෙම කොක්කක් නිකම්ම දා ගනු ඇතැයි සිතිය නොහැක. ඔවුන්ට බැසිල් සම්බන්ධයෙන් පමණක් නොව පොහොට්ටුව සම්බන්ධයෙන්ද විවේචනයක් තිබිණි.පොහොට්ටුව තනි පුද්ගලයකුගේ බූදලයක් බවට පත්වූ පක්ෂයක් බව ඔවුන්ගේ මතය විය. එසේම තමන්ගේ ඉදිරි වැඩපිළිවෙළක් ඇතැයිද සියල්ල පැය 24න් විසඳෙන්නේ නැතැයිද විමල් කිව්වේ මේ මාධ්‍ය හමුව ශ්‍රී ලංකා පොදුජන පක්ෂ ආණ්ඩුවේ හැරවුම් ලක්ෂයක් විය හැකි බවට සැකයක් කරළිය තුළ ඉතිරි කර තබමිනි.
තවත් පැත්තකින් ගත්කොට ශ්‍රීලනිපයට ඇත්තේද මේ හා සමාන දුක් ගැනවිල්ලකි. ඔවුන් ආණ්ඩුව සමඟ කොකු දාගත්තේ තමන්ට පොහොට්ටුව නොසලකන බවට චෝදනාවක් ඉදිරියට දාගෙනය. ඒ ගැටලුව තවමත් විසඳී නැත. ඒ සමඟ ශ්රීලනිපය රට පුරා තම පක්ෂයේ සංවිධාන කටයුතුද ඇරුඹුවේය. ඒවායෙදී මෛත්‍රීපාල ආණ්ඩුවට දැඩිව පහර දෙන ප්රතිපත්තියක පිහිටා කටයුතු කළේය. විමල්ලාගේ ආරාධනය ශ්‍රීලනිපයට ලැබුණේ මේ පසුබිමේදී නිසා ශ්රීලනිපයටද විමල්ලාගේ වේදිකාව අත්වැලක් සේ පෙනෙන්නට ඇත. එහෙත් ශ්රීලනිපය මේ වනතුරු සිටින්නේ ආණ්ඩුව අත් නොහරින ස්ථාවරයකය.
ශ්රීලනිපය විමල්ලාගේ පක්ෂ මෙන් එකවර නායකයාට පමණක් තීන්දු ගත හැකි තත්ත්වයක නැත. එහි විවිධ මත තිබේ. ඇතැම් දෙනා විමල්ලාට අකැමැතිය. එහෙම වුණත් ඉදිරියේදී කවදා හෝ විමල්ලාගේ භූමිකාව ආණ්ඩුව එරෙහි බලවේගයක් බවට පත්වන ලකුණු පහල වුණොත් ශ්රීලනිපයටද නිකම් බලාගෙන සිටිය නොහැකි වනු ඇත. ආණ්ඩුවද ශ්රීලනිපය එම වේදිකාවටම තල්ලු කරනු ඇතිදැයි ඉදිරියේදී බලාගත හැකිවනු ඇත. එසේම තවදුරටත් ආණ්ඩුව තුළ සිටිමින් තමන්ගේ දේශපාලනය යා යුතු මග තීරණය කරගත නොහැකි තත්ත්වයකට ශ්රීලනිපය පත්වුණොත් එය එම පක්ෂයේ පැවැත්මටද දැඩි බලපෑමක් ඇති කරනු ඇත.
මේ අතර විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක සජබ සහ ජවිපෙ මේ තත්ත්වය දෙස විමසිල්ලෙන් බලා සිටින බව පෙනෙන්නට තිබේ. ඔවුන් තවමත් මේ ගැන ප්‍රසිද්ධියේ අදහස් පළ කරන්නේ නැත. එහෙත් මෙය ආණ්ඩුව දෙකඩ වීමේ පෙරනිමිත්තක් හැටියට ඔවුන් දකින බවට සැකයක් නැත.
විමල්ලා පහර දුන් බෝලය දැන් ඇත්තේ ආණ්ඩුව පැත්තේය. ආණ්ඩුව මේ දවස්වල ඉන්නේ කිසිසේත්ම සතුටු විය හැකි තත්ත්වයක නුවූවද බැසිල් බිල්ලට දී විමල්ලා එකතු කර ගැනීමක් නම් කවදාවත් සිදුවනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක. එහෙම වුණත් ඩීසල් පෝලිම්, ලයිට් කැපීම්, බඩු හිඟකම් මැද ජනතාවගේ දහසක් දොස් අසමින් සිටින ආණ්ඩුවට මේ බෝලය ආපසු විමල්ලා දෙසටම තල්ලු කර දැමීමත් පහසු වන්නේ නැත.
- ශශීන්ද්‍ර