ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍යවරුන් ඔවුන්ගේ ධුරවලින් ඉවත් කරනු ලැබීම ආණ්ඩුව ඇතුළේ මත ගැටුම් එළියට පැමිණීමක් විය. එය ආණ්ඩුව තුළ විපක්ෂයක් බිහිවීම සනිටුහන් කළේය. ඔවුන් නියෝජනය කරන පක්ෂ එකොළහේ හවුල්කාර පක්ෂ වරින්වර හමුවී පෞද්ගලික මට්ටමේ රැස්වීම් පවත්වා ඒවායින් මතුවූ බරපතල කාරණා සම්බන්ධයෙන් තම නායකයන් දැනුවත් කිරීම දිගින් දිගටම සිදුවිය. තමන්ගේ පක්ෂවල අදහස්වලට කිසිදු සැලකිල්ලක් නොදක්වමින් බලවත් හස්ත මගින් සියලු තීන්දු ගැනීම් සම්බන්ධයෙන් ඔවුන් තමන්ගේ අසතුට මේ හැම අවස්ථාවකදීම පළකර තිබිණි.
එහි කූඨප්‍රාප්තිය වූයේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවලට අභියෝග කරමින් තමන්ගේම ''ආර්ථික මාර්ග සිතියමක්'' එළිදැක්වීමය. එය අමාත්‍ය ධුර වලින් ඔවුන් නෙරපා දැමීමට හේතු විය. පිටු 42කින් යුත් එම ප්‍රතිපත්ති මාලාව ජනගත කිරීම සඳහා තලවතුගොඩ මොනාර්ක් හෝටලයේ පැවති උත්සවයට විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද පිරිස් මෙන්ම සිවිල් සමාජ කණ්ඩායම්ද ඒ අතර සිටියහ. එහිදී විමල් සහ උදය සිදුකළ කතා සමඟ ඔවුන්ගේ ආණ්ඩුවේ ධුරවල ආයු කාලය නිම වූ අතර මාර්ග සිතියම අතැතිව ඔවුහු මාර්ගයටම විසි වූහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මේ තීන්දුව ගැනීමට පෙළඹවූයේ ඔහුගේ සොහොයුරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂය. බැසිල් මේ කැරලිකාර කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව සිටියේ මාස කිහිපයක සිටමය. බොහෝ දෙනකු නොදැන සිටියද ඔවුන් බැසිල් පිළිබඳව මාස කිහිපයක් සිටියේ දැඩි විමසිල්ලකිනි. ආණ්ඩු පක්ෂ සංධානයෙන් තමන් නෙරපා දැමීමේ උත්සාහයට එරෙහිව ඔවුහු එකටෙක කරමින් සිටියහ. මේ රාජපක්ෂ සොහොයුරන් දෙදෙනා විමල්ලාගේ ඇමැති පට්ටම් ගලවා දැමීමට ස්ථීර තීන්දුවක් ගෙන තිබුණත් රාජපක්ෂ සොහොයුරන් අතරේ වඩාත්ම පළපුරුදු දේශපාලනඥයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාපජක්ෂ මහතා එම තීන්දුව යළි සලකා බැලීම සඳහා ඔවුන් පෙළඹවීමට දැඩි උත්සාහයක් ගත්තේය. ඒ වනවිට ආණ්ඩු පක්ෂයෙන් 30 දෙනකුගෙන් යුත් මන්ත්‍රී පිරිසක් ඉවත්වනු ඇති බවට කතා පැතිරෙමින් තිබිණි. කෙසේ වුවද එවැනි පියවරක් පිළිබඳ තොරතුරු තිබුණත් මේ 30 දෙනාගේ කතාව තහවුරු වී නොතිබිණි.
අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ වර්තමානයේ පවතින ආකාරයේ සන්ධාන රජයක විවිධ මතවාද පැවතීම ස්වභාවික සිද්ධියක් බවයි. ආණ්ඩුවේ නායකයන් එම මතවලට සවන් යොමුකළ යුතු බවද ඔහු කියා තිබිණි. මහින්ද රාජපක්ෂ කවදත් විමල් වීරවංශගේ කථිකත්වයට ඇළුම් කළ දේශපාලනඥයෙක් විය. ඔහු මැතිවරණ වේදිකාවලදී තමන්ගේ කතාවට පෙර විමල්ට කතාව ලබාදීමට උනන්දු විය. මේ කරැණු කෙසේ වුවත් තමන්ගේ අදහසට සොහොයුරන් දෙදෙනා නම්මවා ගැනීමට මහින්දට හැකිවූයේ නැත. මේ නිසා ඔහු අවසානයේ තම සොහොයුරන් ගත් තීන්දුවට එකඟත්වය පළ කළේය. මහින්ද දුරකතනයෙන් විමල් සහ උදය දෙදෙනාම ඇමතුවේය. එසේම පක්ෂ එකොළහේ නියෝජිතයන් සමඟ අදහස් හුවමාරැ කර ගැනීමටද මහින්ද ක්‍රියා කළේ තත්ත්වය සමනය කර ගැනීමේ අරමුණෙනි.
කෙසේ වුවද මේ තත්ත්වය සම්බන්ධයෙන් විශාලම හවුල්කාර පක්ෂය වන ශ්‍රීලනිපය තුළ පරස්පර අදහස් ගොඩනැගෙමින් තිබිණි. ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට හඬ නැගූ අයද සිටියත් රජයේ වැදගත් ධුරයක් හොබවන ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් එයට විරෝධය පළකර තිබිණි. පසුව තීන්දුකර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව තීරණයක් ගත යුතු බවය.
- සන්ඩේ ටයිම්ස්
ආනයන සීමාවල බලපෑම්
රට මුහුණ දී සිටින බරපතළ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 367කට ආනයන සීමා පැනවූයේය. ගැසට් පත්‍රය නිකුත් වූ දිනයේ මධ්‍යම රාත්‍රියේ සිට එම සීමාකිරීම් බලපැවැත්වුවද වලංගු බලපත්‍ර ලාභීන්ට මේ භාණ්ඩ ආනයනය කළ හැක.
ශ්‍රී ලංකාව බරපතළ විනිමය අර්බුදයක් සමඟ සටන් වැද සිටින අතර නිල වශයෙන් රටේ සංචිතය වශයෙන් ජනවාරි මාසයේ දැක්වුණේ ඩොලර් බිලියන 2.36ක් තරම් පහත අගයකි. මේ වසර අවසානයට පෙර ඩොලර් බිලියන 4ක විදේශ ණය ගෙවීමටද ශ්‍රී ලංකාවට සිදුව තිබේ. 2020 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාව ආනයන සීමා හඳුන්වා දුන් අතර වාහන ගෙන්වීම, මොබයිල් ෆෝන්, සෙරමික් භාණ්ඩද ඒ අතර විය.
කෙසේ වුවද කොළඹ මූලික කරගත් විද්වත් සංවිධානයක් වන ඇඩ්වොකේටා ඉන්ස්ටිටියුට් ආයතනයේ විශ්ලේෂකයකු වන දනනාත් ප්‍රනාන්දු අනතුරු අඟවන්නේ වෙළෙඳපොළ තවදුරටත් විකෘති වීමටත් අපනයනකරැවන්ට බලපෑම් ඇති කිරීමටත් මේ තීන්දුව හේතුවනු ඇති බවටය. ''අත්‍යාවශ්‍ය භාණ්ඩ මොනවාද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මොනවාද යන්න ආණ්ඩුවට තීරණය කළ නොහැකියි'' ඔහු කියයි.
''රටේ බොහොමයක් ආයතන තිබෙනවා මේ භාණ්ඩ අවශ්‍ය වන. ඒ වගේම සමහරුන්ගේ ජීවනෝපාය සඳහාද ඒවා අවශ්‍ය වෙනවා. ගැටලුව තිබෙන්නේ ආනයනය තුළ නොවේ. අතිරික්ත වශයෙන් යම් භාණ්ඩ ගෙන්වනවා නම් ඒ තත්ත්වය විනිමය අනුපාත හරහා කළමනාකරණය කිරීමයි අවශ්‍ය වන්නේ.'' දනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
2021 වසරේදී ශ්‍රී ලංකාවේ ආනයනය සියයට 28.5කින් ඉහළ ගිය අතර එය අමෙරිකානු ඩොලර් බිලියන 20.6කි. එයින් වැඩිම මුදලක් වන බිලියන 1.2ක් වැය කෙරැණේ ඉන්ධන ආනයනයටය. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම් සහ සැපයුම් ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය පෙබරවාරියේදී 16.1%ක් දක්වා ඉහළ ගිය අතර එය ආසියාවේ ඉහළම උද්ධමන අගයයි.
- රොයිටර්