2022 මාර්තු 13 වන ඉරිදා

අතුරේ ගමන

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 128

දැන් රට පවතින්නේ කරකවා අතහැරිය තත්ත්වයකිනි. සර්ව පාක්ෂික සමුළුවකට ආණ්ඩුව කැමැති වෙන්නේ මේ කරකවා අතහැරි තත්ත්වයක සිටිමිනි. සර්ව පාක්ෂික සමුළුවකට ආණ්ඩුවක් කැමැති වෙනවා කියන්නෙම ඔවුන් මේ වනවිට ''බැට් කරන්නේ හොඳ විකට්ටුවක'' නොවන බවය. 

සාමාන්‍යයෙන් සර්ව පාක්ෂික සමුළුවකට ඇරියුම පැමිණිය යුත්තේ ආණ්ඩුවෙනි. මීට පෙර රටේ එවැනි සර්ව පාක්ෂික සමුළු පැවැත්වුණු විට ඒ සියල්ල සිදුවුණේ ආණ්ඩුවේ ඇරියුමක් මතය. මේ වාරයේ සර්ව පාක්ෂික සමුළුව පැවැත්වෙන්නේ ආණ්ඩුවේම හවුල්කාර පක්ෂයක් වන ශ්‍රීලනිපයේ යෝජනාවක් මත බව එම පක්ෂය පසුගිය බදාදා (09) කොළඹ ඩාලි පාරේ එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය. ශ්‍රීලනිප උප සභාපති නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එහිදී කිව්වේ මෙහෙමය.

''පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීම සර්ව පාක්ෂික කමිටුවක් කැඳවන ලෙසට අපේ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමට මෙහිදී ජනාධිපතිවරයාගේ කැමැත්ත පළ වුණා. ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කර මේ මස අගදී සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළා. මේ අවස්ථාවේ සියලු පක්ෂ භේදයකින් තොරව එක්වී වත්මන් අර්බුදය ජයගත යුතු බව අප විශ්වාස කරනවා.''
ශ්‍රීලනිපය මෙහෙම කිව්වත් ඇත්තටම ආණ්ඩුවට සර්ව පාක්ෂික සමුළුවට කැමැත්ත දීමට සිදුවුණේ විමල් - උදයලාගේ නික්ම යාමත් සමඟ ආණ්ඩුව ඇතුළේ ඇතිවෙන්න ගිය බරපතළ දෙදරීමට බ්‍රේක් එකක් දැමීම බව පැහැදිලිය. ඒ අවස්ථාවේදී ශ්‍රීලනිපය කුමක් කරන්නේද යන්න රටේ දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් බවට පත් විය. විමල්ලාගේ ඉවත් කිරීමෙන් පසුව මුහුණදීමට සිදුවන තත්ත්වය පිළිබඳව ආණ්ඩුව තුළ කිසියම් තක්සේරුවක් තිබෙන්න ඇත. එසේ වුවත් ඇමැති ධූරවලින් පන්නා දැමූ විමල්ලා මාධ්‍ය සාකච්ඡාවේදී බැසිල් ඉලක්ක කර ගනිමින් එල්ල කළ බරපතළ විවේචනය හේතුවෙන් ආණ්ඩුව කිසියම් තිගැස්මකට පත් නොවුණා නම් පුදුමය. සාකච්ඡාවකට සති ගාණක් තිස්සේ ශ්‍රීලනිපය කළ ඉල්ලීම් තඹ සතේකට මායිම් නොකර සිටි ආණ්ඩුව එක්වරම එම ඉල්ලීමට හිස නැමීම එම තිගැස්මේ එක් ප්‍රතිඵලයක් බව පෙනෙන්න තිබුණි.

ශ්‍රීලනිපයට ඒ සාකච්ඡාව සඳහා ලැබුණේ ළඟම දිනයකි. ඒ කියන්නේ විමල්ලාගේ මාධ්‍ය සාකච්ඡාවෙන් (04) යන්තම් දින 04කට පසුවය. මේ සාකච්ඡාව ලබාදෙන්නැයි ජනාධිපතිවරයාට බැසිල්ගෙන් කිසියම් හෝ උපදෙසක් නොලැබුණා නම් ඒ ගැනත් පුදුම විය යුතුය. ශ්‍රීලනිපයට එසේ කඩිනමින් ඇරියුම් කිරීමත් ඒ සඳහා ශ්‍රීලනිපය සහභාගි වන බවට හැරෙන තැපෑලෙන් පිළිතුරු ලැබීමත් සමහරවිට විමල්ලා බලාපොරොත්තු නොවූ හැරවුමක් වෙන්නත් ඉඩ තිබේ. එය කෙසේ වෙතත් ආණ්ඩුවේ සැඟවුණු උපක්‍රමයට ශ්‍රීලනිපය හසුවූ බවත් විමල්ලාගේ ගමනට එයින් බ්‍රේක් වැටුණු බවත් ඇතැමුන් නගන තර්කයට කිසියම් පදනමක් තිබෙන බව බැලූ බැල්මට පෙනී යයි.

හිටපු ජනපති මෛත්‍රීපාලට මේ ඇරියුම හොඳම අත්වැලක් විය. පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ උසාවි කටයුතුවලින් තෙරපීමකට ලක්ව සිටි ඔහු මේ ඇරියුමින් හොඳින්ම ප්‍රයෝජන ගත්තේය. මීට පෙර රැස්වීම් ගණනාවකදී ආණ්ඩුවට එරෙහි බරපතළ ප්‍රකාශ ගණනාවක් සිදු කළ මෛත්‍රීපාල හිටපු ජනපතිවරයා ශ්‍රීලනිපය තවදුරටත් ආණ්ඩුවේ සිටිය යුතුද නැද්ද යන ප්‍රශ්නාර්ථය පවා රට හමුවේ තැබුවේය. එහෙත් ජනාධිපතිවරයාගේ ඇරියුමත් සමඟ එම ස්ථාවරය වෙනස් වූ බවක් පෙනෙන්නට තිබිණි. දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය එහි ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ශ්‍රීලනිපයේ ඇරියුමින් සර්ව පාක්ෂික සමුළුවට සූදානම් වෙමින් සිටී. ඒ අනුව විමල්ලාගේ ප්‍රහාරය සමඟ බලවත් අසීරුතාවකට පත්ව සිටි ආණ්ඩුවට මෛත්‍රීපාලගේ පැමිණීම සේලයින් ලැබීමකි. ඩොලරය අතහැරීම, බඩු මිල වැඩිවීම, තෙල් මිල නැගීම මේ සියල්ල සිදුවුණේ සර්ව පාක්ෂික සමුළුව පිළිබඳ තීන්දුව ගත් ශ්‍රීලපොපෙ සහ ශ්‍රීලනිප හමුවෙන් පසුවය.

මේ තත්ත්වය විමල්ලා බලාපොරොත්තු වූ තත්ත්වයමද යන්න පැහැදිලි නැත. පක්ෂ එකොළහ සමඟ දිගින් දිගටම රැඳී සිටිමින් සටන ඉදිරියට ගෙන යන බවට ශ්‍රීලනිප නායකයන් කොතෙක් ප්‍රකාශ කළත් මේ දේශපාලන පසුබිම තුළ සිදුවිය නොහැකි දෙයක් නැති බව විමල්ලා දනිති. දැනට බැලූ බැල්මට පෙනී යන්නේ ශ්‍රීලනිපය හොඳ ගේමක් ගැසූ බවත් ආණ්ඩුව එයින් නිසි ප්‍රයෝජන ලබමින් සිටින බවත්ය.

රටේ ආර්ථිකය බරපතළ කඩා වැටීමකට ලක්වෙමින් තිබූ මුල් අවදියේදී එජාප නායක රනිල් වික්‍රමසිංහත් සජබ නායක සජිත් ප්‍රේමදාසත් රට මුහුණ දී සිටින බැරෑරුම් තත්ත්වය සලකා පක්ෂ භේදයකින් තොරව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවට යෝජනා ගණනාවක් ගෙනාවත් ඒ යෝජනාවලට ආණ්ඩුව එකඟ වූයේ නැත. මේ අනුව ශ්‍රීලනිප යෝජනාවට එකඟ වී සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ආණ්ඩුව ගත් තීරණය සැබෑවටම ආර්ථිකය හරි මගට ගැනීම සඳහා දරණ උත්සාහයක්ද නැතහොත් අසීරු අවස්ථාවක් මගහැරීමට ගත් දේශපාලන තීන්දුවක්ද යන්න බලාගත හැකි වන්නේ ඉදිරියේදීය.

ආණ්ඩුව බලයට පත්වූයේ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක්ද සමඟිනි. ඊළඟට විධායක බලතල තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා 20 වැනි සංශෝධනයද සම්මත කර ගත්තේය. මේ බලයත් සම්මතයත් ජනගත කළේ රටේ ජනතාවට සමෘද්ධිමත් රටක් ලබාදෙන බවට වන පොරොන්දුවද සමඟය. එසේ වුවද ආණ්ඩුව දැන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා සියලු පක්ෂ පූට්ටු කරගෙන ප්‍රශ්න විසඳීමේ මාර්ගයකට අවතීර්ණ වී සිටී. මෙය දේශපාලන උප්පරවැට්ටියක් හරහා ආණ්ඩුවේ ජාම බේරාගැනීමේ උත්සාහයක් නොවී සැබෑ ලෙසම ගැටලු විසඳීමේ උපක්‍රමයක් නම් එයින් රටට යහපතක් වනු ඇත. එහෙත් පසුගිය දශක කිහිපය තිස්සේම අප දැක ඇත්තේ පක්ෂ එකතු වී ආණ්ඩු කිරීමේ අවසන් අරමුණ තමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම මිස රට ගොඩදැමීම නොවන බවය. එසේ නොවුණා නම් කවදාවත් මේ රට මේ අගාධයට වැටෙන්නේ නැත.

නිදහසින් පසු විශේෂයෙන් 1970 න් පසුව බලයට පත් හැම ආණ්ඩුවක්ම කළේ යහපත් පාලනයක් නොව අයහපතක්  බවට හොඳම උදාහරණය අද රටේ පවතින ආර්ථික තත්ත්වයේ අසරණකමයි. සුදුසු පුද්ගලයන්ට නොව තම ඥාතීන්ට සහ හිතවතුන්ට මුල්තැනක් දී කටයුතු කිරීමත් රටේ අනාගතයට වඩා තමන්ගේ සහ තම පක්ෂයේ දේශපාලන අනාගතය ගැන සිතා කටයුතු කිරීමත් තුළින් රටට සිදු වී ඇත්තේ බරපතළ විනාශයකි. ආර්ථික කළමනාකරණය බල්ලාට ගොස් දූෂණ සහ වංචා ඉහවහා යාමත් ඒ හේතුවෙන් සිදුවන නාස්තියත්, ආදායමක් නොලැබෙන ඡන්දය බලාගෙන සිදු කරන අනවශ්‍ය සංවර්ධන ක්‍රියාත් රට මේ වනවිට ගැලවිය නොහැකි ණය උගුලක හිර කර තිබේ. වත්මන් රජයද මේ බලලෝභී දේශපාලන කරළියේ ගොදුරක් බවට පත්ව තිබේ. එසේ සිටිමින් සර්ව පාක්ෂික සමුළුවක් හරහා ගැටලු විසදා ගැනීමට කටයුතු කරමින් සිටී. මෙය තවදුරටත් ජනතාව ඇන්දවීමට දරණ වෑයමක්ද යන්න සමුළුව අවසානයේදී පැහැදිලි වනු ඇත.

ඒ කෙසේ වුවද රටේ ජනතාව නම් මේ වන විට සිටින්නේ කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකිනි. මේ සර්ව පාක්ෂික සමුළුව තවත් එක් ''පූට්ටුවක්'' පමණක් බවත් එයින් තමන්ට හෝ රටට වැඩක් නොවන බවත් ඔවුන් කියන්නේ නම් ඒ ගැන පුදුම විය යුතු නැත. උසස් බලාපොරොත්තු තබාගෙන තමන් පිහිටුවූ ආණ්ඩුවට මෙහෙම තීන්දු ගන්න වුණේ ඇයිදැයි ඔවුන්ට නොසිතෙනවා නම් පුදුමය.

එළඹෙන මාස කිහිපය තුළදී කිසිදු මැතිවරණයක් පැවැත්වෙන බවට සලකුණක් හෝ නැත. පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දමා තිබේ. පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු වුවත් එය පවතින්නේ නොපැවැත්වෙන ගාණටය. මේ නිසා ආණ්ඩුව ඉදිරි මාස කිහිපය කිසියම් අස්වැසිල්ලක් ලබාදෙන ''සහන කාලසීමාවක්'' බවට පත්වී තිබේ. බැරි වෙලාවත් නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සිදුවූවා නම් මේ වනවිට ආණ්ඩුව බරපතළ ගැටලුවලට මැදි වී සිටින බවට සැකයක් නැත. එහෙත් ඉදිරි දිනවලදී ආණ්ඩුවේ ''සහන කාලසීමාව'' පරීක්ෂණයකට ලක්කෙරෙන අවස්ථා කිහිපයක්ද යෙදෙන බවද සැලකිල්ලට ගත යුතුය.

එයින් පළමුවැන්න ලබන 15 වැනිදා සජබ විසින් සංවිධානය කෙරෙන ජන රැලියයි. මේ රැලියේ සංවිධාන කටයුතු සිදුකෙරෙන්නේ තරමක් රහසිගත මට්ටමකිනි. එය කොළඹදී පැවැත්වෙන බව කිව්වත් පටන් ගන්නේ කොහෙන්ද ඉවර කරන්නේ කොහෙන්ද යන්න ප්‍රකාශ වී නැත. එහෙත් වටින් ගොඩින් ලැබෙන ආරංචිවලින් පැවසෙන්නේ එය දැවැන්ත ජන රුලියක් බවට පත් කිරීමට සජබ සම්පූර්ණ බලයම යොදවමින් සිටින බවය. එයින් පසුව රාජපක්ෂ ආණ්ඩුවේ ගමනක නිමාව සිදුවනු ඇති බවට හේෂා විතානගේ මන්ත්‍රීවරයා අපගේ පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබිණි.

ඊළඟ ජන රැලිය විමල් සහ උදය කණ්ඩායම නුගේගොඩදී පැවැත්වීමට සූදානම් කරන ජන රැලියයි. ඒ සඳහා විශාල ජනකායක් සහභාගි වනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.

එහෙත් මේ රැලිවලින් රටේ පොදු මහජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන බවට සහතිකයක් නොවීම ලොකුම ඛේදවාචකයයි.
- ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00