2022 මාර්තු 20 වන ඉරිදා

පුංචි කෑලි

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 137

විපක්ෂයේ තේරුමක් නැති ඉල්ලීම්

පසුගිය 15 වැනිදා කොළඹදී සමගි ජන බලවේගය පැවැත්වූ දැවැන්ත රැලියේදී විපක්ෂ නායකයා වහාම ජනාධිපතිවරණයක් පවත්වන්නැයි ඉල්ලීමක් කරමින් පොදුජන පෙරමුණු එයට සූදානම් නැත්නම් සජබට ආණ්ඩුව බාරදිය යුතු බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතා තම මතය මෙසේ පළකරයි.

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට බලයක් නැත. 31 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයක් කැඳවිය හැක්කේ තම පළමු ධුර කාලයෙන් වසර 04ක් ගෙවීමෙන් අනතුරැව පමණි. වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රථම ධුර කාලයේ ආරම්භය 2019 නොවැම්බර් මාසයේදී සිදුවූ බැවින් 2023 නොවැම්බර් වනතුරැ මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ වගන්තිය ක්‍රියාත්මක කළ නොහැක. එසේම තමන් දෙවැනි ධුර කාලයක් අපේක්ෂා කරන්නේ නම් පමණක් පළමු ධුරකාලය අවසානයේ හෝ වසර 04කට පසුව හෝ එම කැඳවීම කළ හැක.

කෙසේ වුවද 38 (1) වගන්තියට අනුව ජනාධිපතිවරයාට අවශ්‍ය වූ ඕනෑම අවස්ථාවක ධුරයෙන් ඉල්ලා අස්විය හැක. එසේ සිදුවුවහොත් මාසයක් තුළදී පාර්ලිමේන්තුව මගින් රහස් ඡන්ද විමසීමක් පවත්වා පරම බහුතරයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ධුර කාලයේ ඉතිරිය සඳහා ජනාධිපති වශයෙන් පත් කරගත හැක. එය සිදුවන තුරු ධුරයේ වැඩබැලීම අග්‍රාමාත්‍යවරයාට පැවරෙයි.

ජනාධිපති ධුරය හිස්වන ඊළඟ අවස්ථාව 38(2) වගන්තියෙන් ප්‍රකාශ වෙයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ජනාධිපතිවරයා ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු තත්ත්වයක සිටින බව දක්වමින් කතානායකවරයාට යෝජනාවක් ලබාදීම එයින් කියැවෙයි. මානසික හෝ කායික හෝ හේතූන් නිසා ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට ඔහුට හෝ ඇයට ස්ථීරවම හැකියාවක් නොමැති බව එම යෝජනාවේ සඳහන් යුතු වෙයි. නැතහොත් ව්‍යවස්ථාව සිතාමතා උල්ලංඝනය කිරීම, දේශද්‍රෝහී වීම, අල්ලස, බලය අයුතු ලෙස යොදවා දූෂිත ආකාරයට කටයුතු කිරීම යන චෝදනා ඔප්පු වන සේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගනු ලබන යෝජනාවක් මගින්ද ඔහු හෝ ඇය ධුරයෙන් පහකළ හැකිය. මෙහිදී කතානායකවරයා එම යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණයට යවා විමර්ශනයක් සිදුකර වාර්තාවක් කැඳවීම අවශ්‍යය.

මේ නිසා හදිසි ජනාධිපතිවරණයක් පවත්වන්නැයි කරන ඉල්ලීමක් අර්ථ විරහිතය.

එසේම ආණ්ඩුව සජබට බාරදෙන්නැයි කළ ප්‍රකාශයද වගකීමෙන් තොර මුදුන් පමුණුවා ගත නොහැකි ඉල්ලමකි. 43 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා තෝරාගත යුත්තේ පාර්ලිමේන්තුවේ වඩාත්ම විශ්වාසය දිනා සිටින මන්ත්‍රීවරයාය. ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාවෙන් 113 දෙනකුගේ සහාය හිමිවිය යුතුය. ස.ජ.බ. නායකයාට එම අවස්ථාව සම්පූර්ණ කරගත හැකි යැයි විශ්වාසද?

එය කළ නොහැක්කක් බව පෙනෙයි. පූර්ණ විධායක බලය ඇතිව ජනාධිපතිවරයා බලයේ සිටින තුරැ පොදුජන පෙරමුණෙන් ආණ්ඩු බලය වෙනත් පක්ෂයකට පැවරිය නොහැක.

සජබට පාලන බලය ලබා ගැනීමට නම් ඊළඟ මහ මැතිවරණය පැවැත්වෙන තුරැ සිටීම අවශ්‍යය.

- ඩේලි එෆ්.ටී.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00