2022 මාර්තු 20 වන ඉරිදා

අර්බුදයේ ගමන් මග

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 163

නිදහසින් පසු ශ්‍රී ලංකාව ඉතිහාසයේ බරපතළම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටියි. මේ අර්බුදයේ ගමන් මගට දීර්ඝ ඉතිහාසයක් තිබුණත් පවතින තත්ත්වයේ වගකීමෙන් මිදීමට ආණ්ඩුවට හැකියාවක් නැත. කවුරුන් කාට ඇඟිල්ල දිගු කළත් මේ අර්බුදයෙන් දැඩි ලෙස පීඩා විඳින ජනතාව එයින් ගලවා ගැනීමට ආණ්ඩුව සාමූහික උත්සාහයක් දරණ බවක් පෙනෙන්නට නොතිබීම බරපතළ තත්ත්වයකි.

එයට එක් උදාහරණයක් වන්නේ ජනාධිපතිවරයා විසින් පසුගියදා පත්කරනු ලැබූ ආර්ථික සභාව සහ ඉන්පසුව එයට උපදෙස් ලබාදීම සඳහා ඇතිකළ විද්වත් කමිටුවයි. ආර්ථික සභාවේ පරමාර්ථය වී තිබුණේ රටේ ආර්ථිකයේ වර්ධනය වේගවත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමය. රටේ ආර්ථිකය හොඳින් කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය තීන්දු ගැනීමය.

අරමුණ යහපත් බවට කතා දෙකක් නැත. නමුත් මේ සභාවේ සංයුතිය රටේ බහුතරයකගේ කැමැත්ත හෝ විශ්වාසය දිනාගැනීමට අසමත් වූ බව පැහැදිලිය. එයට නම්කෙරුණු නිලධාරීන් පිළිබඳ නොව ගැටලුව වූයේ මේ ආණ්ඩුවේම ඇමැතිවරුන් කිහිප දෙනකුද එයට නම්කරනු ලැබීමය. ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේද මේ ආර්ථික සභාවට පත්කර තිබීම හේතුවෙන් බොහෝ දෙනකු කියා තිබුණේ මේ සභාවට අඩු රෝහිත අබේගුණවර්ධන පමණක් බවය. ඒ ප්‍රකාශය හාස්‍යය දැනවීම පිණිස කළ ප්‍රකාශයක් වුණත් රටේ ආර්ථිකයේ වර්ධනය සහ කළමනාකරණය පිළිබඳ තීන්දු ගැනීමට මේ අර්බුදකාරී අවස්ථාවේ ඊට පත් කළ ඇමැතිවරුන්ට දිය හැකි දායකත්වය කුමක්ද යන්න ජනතාව ප්‍රශ්න කිරීම ගැන පුදුම විය යුතු නැත. එපමණක් නොව ආර්ථික සභාවට පත් කළ සෙසු අමාත්‍යවරුන්ද වත්මන් ආණ්ඩුවේ මුල සිටම සිටි කැබිනට් ඇමැතිවරු වෙති. මේ වනවිට ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට ඔවුන්ගේද වගකීමක් තිබේ. මේ නිසා එම ආර්ථික සභාව පත්කිරීමේ අරමුණ ජය ගැනීමට තිබෙන හැකියාව ප්‍රශ්න කිරීමට ලක්වීම වැළැක්විය නොහැකි විය.

මේ හේතුවෙන් ජනාධිපතිවරයාට සිදුවූයේ එකී ආර්ථික සභාවට උපදෙස් දීමට තවත් මණ්ඩලයක් පත් කිරීමටය. මෙය සාමාන්‍යයෙන් සිදු නොවන දෙයකි. රටේ පිළිගත් දැවැන්ත ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගෙන් සමන්විත එම මණ්ඩලයට කළ හැක්කේ කළ යුතු දේ පිළිබඳ නිර්දේශ ආර්ථික සභාවට ඉදිරිපත් කිරීම පමණි. ඒ ගැන අවසන් තීන්දු ගන්නේ ආර්ථික සභාවය. එවැනි තත්ත්වයක් යටතේ මේ ව්‍යායාමයෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිද යන්න ගැටලුවකි. රටේ පවතින බරපතළ ආර්ථික අර්බුදය හමුවේ ස්වාධීන ආර්ථික සභාවක් නම්කර එයින් ගනු ලබන තීරණ ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මගින් කටයුතු කිරීම වඩාත් ප්‍රතිඵලදායක වනු ඇත. 

ආණ්ඩුව මුල සිටම ප්‍රමුඛතා පටලවා ගැනීම හේතුවෙන් අර්බුද ගණනාවක් ඇතිකරගෙන තිබේ. මෙහි ආරම්භය කාබනික පොහොර තීන්දුව බව බැලූ බැල්මට පෙනී යයි. එහෙත් එම තීන්දුව ගත් පසුගිය වසරේ මාර්තු මාසය වන විටද රට බරපතළ ආර්ථික අර්බුදයකට යන බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. ඒ පිළිබඳව රටේ ස්වාධීන ආර්ථික විශේෂඥයන් විසින්ද විපක්ෂයේ නායකයන් විසින්ද අනතුරු අඟවමින් සිටියත් ආණ්ඩුව ඒවා ගණන් ගත්තේ නැත. රට ඉදිරියේදී බරපතළ විදේශ විනිමය හිඟයකට මුහුණදෙනු ඇති බවටද විදේශ සංචිතය සිඳී යනු ඇති බවටද ණය ගෙවාගැනීම අසීරු වනු ඇති බවටද නිකුත් කෙරුණු ප්‍රකාශවලට ආණ්ඩුව කන් දුන්නේ නැත. රසායනික පොහොර ගෙන්වීම වහාම නවත්වන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ අර්බුදයේ රතු එළි දැල්වෙමින් තිබියදීය.

මේ ආර්ථික සභාවට පත්කර සිටින මහින්දානන්ද ඇමැතිවරයා එහිදී දිගින් දිගටම කිව්වේ කාබනික පොහොර විප්ලවයෙන් රටේ අලුත්ම පෙරළියක් සිදුකරන බවත් රටේ ගොවි ජනතාවටත් පොදුවේ රටටත් එයින් විශාල යහපතක් සිදුවන බවත්ය. එහෙම කිව්වේ රටේ කෘෂිකර්ම විශේෂඥයන් සහ විපක්ෂයේ නායකයන්ද ආණ්ඩුව ඇතුළේම ඇතැම් මැති ඇමැතින්ද මේ තීන්දුවේ බරපතළ ප්‍රතිවිපාක පිළිබඳ අනතුරු අඟවමින් සිටියදීය.

එම තීන්දුවෙන් වසරකට පසුව ආපසු හැරී බලන විට අමාත්‍යවරයාට කුමක් සිතෙනු ඇතිදැයි යන්න ගැන විවාදයක් තිබිය නොහැක. ආණ්ඩුව මුලින්ම ප්‍රමුඛතා පටලවා ගත්තේ එම තීන්දුවෙන් බවත් එහි අනිටු ප්‍රතිඵල ආණ්ඩුවට විශාල ගැටලු ඇතිකළ බව පමණක් සඳහන් කිරීමත් සෑහෙයි. එයින් පසුව ආණ්ඩුව ආර්ථිකය සම්බන්ධයෙන් ගත් තීරණ බොහොමයක් යහපතට වඩා අයහපතට හේතු වූ බව දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ.

රුපියල සහ ඩොලරය අතර කෘත්‍රිම සම්බන්ධතාවකට වඩා සැබෑ සම්බන්ධතාවක් තිබීමේ අවශ්‍යතාවද රටේ ආර්ථික විශ්ලේෂකයන් ආණ්ඩුවට පෙන්වා දෙන්නේ දැන් කාලයක සිටය. ඩොලරයේ වටිනාකම හමුවේ රුපියල වඩ වඩාත් පීඩනයට පත් කරනවාට වඩා එහි සැබෑ වටිනාකමට ඉස්මතු වීමට ඉඩ දිය යුතු බවට වූ යෝජනා කුණු කූඩයට ගියේය. එසේම රට ඉදිරියේ ඇතිවීමට නියමිත ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට සිදුකෙරුණු යෝජනාවටද අත්වුණේ එම ඉරණමය. මුල්‍ය අරමුදලට යා යුතු බවට වූ යෝජනාවට විරෝධය දක්වන ආණ්ඩුවේ පාර්ශ්වවල ප්‍රධානම චෝදනාව වුණේ මුල්‍ය අරමුදල දමන කොන්දේසි හේතුවෙන් රටේ ජනතාව දැඩි ලෙස පීඩනයට පත්වන බවය. ඩොලරය පාවීමට ඉඩ දුන්නොත් බඩු මිල දරාගත නොහැකි මට්ටමකට පත්වනු ඇති බවය. එහෙම කියූ ආණ්ඩුව ආර්ථිකය කඩා වැටෙන තුරුම කිසිම තීන්දුවක් ගැසීමෙන් වැළකී සිටියේය.

දැන් හරියටම ඊට වසරකට පසුව වෙලා තියෙන්නෙ මොකක්ද?

ආණ්ඩුව කියූ දේ නොව රටේ ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන් විසින් පළ කළ අනාවැකි සත්‍ය වීමය. ඩොලරය කෘත්‍රිමව අල්ලාගෙන සිටීම හේතුවෙන් රටට පැමිණෙමින් තිබූ ඩොලර් මිලියන ගණනින් අහිමි විය. විදෙස් ශ්‍රමිකයන් රටට එවන ඩොලර්වලට බැංකුවලින් ගෙවන කෘත්‍රිම මිලට වඩා එක ඩොලරයට රුපියල් තිහක් හතළිහක් පිටින් ලබාගත හැකිව තිබියදී එය වැළැක්වීමට කාටවත් හැකියාවක් නැත. එහෙම මුදල් එවන ක්‍රමවලට තහංචි දැමීම ගැන කතා කිරීමත් නිෂ්ඵලය. බැංකු හරහා ඩොලර් එව්වේ නැත්නම් බලාගෙනයි යනුවෙන් විදෙස් ශ්‍රමිකයන්ට තරවටු කිරීමද පලක් නැත. ඒ වෙනුවට වසරකට කලින් සිටම ඩොලරයට නියම වටිනාකම ලබා දී තිබුණේ නම් රටේ ආර්ථිකය මේ තරම් බරපතළ කඩා වැටීමකට ලක්වන්නේ නැත. ඩොලරය රුපියල් 275ක් තරම් ඉහළ යන්නේත් නැත.

ඩොලරය සම්බන්ධයෙන් හරි වෙලාවට නියම තීන්දුව නොගැනීමේ පළ විපාක දැන් ඇස් පනාපිට පෙනෙන්නට තිබේ. තෙල් මිල ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ඉහළ ගියේය. සෙසු ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලටද අත්වුණේ එම ඉරණමය. රටේ නිෂ්පාදනය වන සහල් ඇතුළු සෙසු කෘෂිකාර්මික වගාවලටද එම ඉරණමෙන් ගැලවීමට හැකියාවක් ලැබුණේ නැත. එහි අවසන් ප්‍රතිඵලය රටේ ජනතාව කර මුලටම හිරවීමය.

ණය ගෙවීමේදී අනුගමනය කරන ක්‍රියාදාමයද වෙනස් කරන්නැයි ආර්ථික විශේෂඥයෝ උපදෙස් දුන්හ. මහ බැංකුව කිව්වේ ණය ගෙවීමට තමන්ට හැකි බවය. ඒ සඳහා ඩොලර් තිබෙන බවය. නමුත් ඒ වන විටද ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කිරීම ආරම්භ කර තිබුණි. එයට රජය හරි නම් ධනාත්මක ප්‍රතිචාර දක්වා ණය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතුව තිබුණි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඒ සඳහා යොදාගත හැකි එක් උපක්‍රමයක් බවද ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී තිබිණි.

එහෙත් ආණ්ඩුව කළේ වැරුද්ද නිවැරදි කර ගැනීමට කටයුතු කරනු වෙනුවට වැරුද්ද පෙන්වා දුන් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට පහරදීමේ ප්‍රතිපත්තියකට මාරුවීමය. සාමාන්‍යයෙන් ආර්ථික වශයෙන් දුර්වල වන කිසිම රටක් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන සහ මුල්‍ය අරමුදල අමනාප කර ගන්නේ නැත. ඔවුන්ට ලොවේ ආර්ථිකයට කළ හැකි බලපෑම ඉතා විශාල වීම ඊට හේතුවය. එහෙත් අපේ රට ඒ වෙනුවට දිගින් දිගටම සිදු කළේ උද්ධච්ඡ ප්‍රතිපත්තිවල එල්ලී සිටීමය.

දැන් එහි ප්‍රතිඵලද පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාවට භාණ්ඩ ගෙන එන කන්ටේනර් පුරවාගත් නැව් එම බඩු ගොඩබාන්නේ නැත. තෙල් නැව්ද එසේමය. මීට පෙර තෙල් ලංකාවට ලැබුණේ මාස 06 සිට 09 දක්වා කාලයක් තුළ මුදල් ගෙවීමේ පදනම මතය. සෙසු භාණ්ඩද ණයවර ලිපියට පමණක් ගොඩබෑවේය. නමුත් දැන් එහෙම නැත. වරායට නැව් ආවත් ඒවා ගොඩබාන්නේ නැත.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මුල ඉඳන්ම කිව්වේ ඕක වෙන බවය. ඔවුන්ගේ අනතුරු ඇඟවීම් ආණ්ඩුවත් මහ බැංකුවත් ගණන් ගත්තේ නැත. නමුත් අපේ රටට භාණ්ඩ සපයන රටවල් සහ ජාත්‍යන්තර ආයතන පිළිගන්නේ අපි කියන දේ නොව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන කියන දේය. එම ආයතන පිහිටුවා තිබෙන්නේම ලොවේ රටවල් පිළිබඳ ස්වාධීන නිරීක්ෂණ ලබා දෙමින් රටවල්වලට උදව් කිරීමට මිස ඔවුන්ට පහරදීමට නොවන බව තේරුම් ගැනීමට අපේ රටේ බලධාරීන්ට නොහැකිවීමේ පාප කර්මයට කර ගැසීමට සිදුව තිබෙන්නේ මුළු රටේම ජනතාවටය.

අද ශ්‍රී ලංකාව ණය ගෙවීමේ අවදානම සහිත රටක් බවට පුරෝකථනය වී තිබීම හේතුවෙන් තෙල්, ආහාර ඇතුළු කිසිම භාණ්ඩයක් මුදල් අයකර ගැනීමකින් තොරව ගොඩබාන්නේ නැත. තෙල්, ගෑස්, ආහාර, ඖෂධ ලැබෙන්නේ ඩොලර්වලින් බිල් ගෙව්වොත් පමණි. මෙය සාමාන්‍ය ආර්ථික න්‍යායයි. කඩේකට වුණත් ණයට බඩු දාන්නේ ඔවුන්ට එම ණය ගෙවීමට හැකි බවට සහතිකයක් තිබෙන තුරු පමණි. යම් විදිහකින් කඩේ බංකොළොත් විය හැකි බවට බැංකුවලින් හෝ වටපිටාවෙන් හෝ සැපයුම්කරුවන්ට දැනගන්නට ලැබු‍ණොත් ඔවුන් මුලින් කරන්නේ ණයට බඩු දීම නවත්වා අත්පිට මුදලට බඩු දීමය. දැන් ලංකාවට කරන්න සිදුවී තිබෙන්නේත් ඒකමය.

දැන් ලංකාව ඉන්නේ ආර්ථික වශයෙන් අනාගත් තත්ත්වයකය. එසේ තිබියදීත් තවමත් ආර්ථිකය පාලනය කරන ඇතැම් දොරටු පාලයන් කියන්නේ මුල්‍ය අරමුදලට නොයා යුතු බවය. ණය ප්‍රතිව්‍යුහකරණයකට නොයා යුතු බවය. එහෙම නම් කළ යුත්තේ කුමක්ද කියන එකට උත්තරයක් නැත. 

ස්වාධීන වාර්තා මගින් රටේ ආර්ථිකයේ සැබෑ තත්ත්වය පිළිබඳ නිසි තක්සේරුවක් ඇතිව තීරණ ගත්තා නම් රට කවදාවත් මේ තරමට වැටෙන්නේ නැත. රසායනික පොහොර තහනම නොතිබුණා නම් අද සහල් ඇතුළු කෘෂිභෝග පිළිබඳ කිසිම ගැටලුවක් නැත. ඩොලරය පාවීමට ඉඩ දුන්නා නම් රුපියල මේ තරමට වැටෙන්නේ නැත. ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන සමඟ ගේම ඉල්ලනවාට වඩා අනතුර කලින්ම හඳුනාගෙන මුල්‍ය අරමුදලට ගොස් ණය පහසුකම ගත්තා නම් සංචිතය දිය වී ලෝකෙට ණයකාරයන් වීමෙන් ගැලවිය හැකිව තිබිණි. එසේ වුණා නම් වරායේ තෙල්, ඖෂධ, ආහාර නැව් කන්ටේනර් හිරවෙන්නේ නැත. තෙල්, ගෑස්, භූමිතෙල් පෝලිම් ඇතිවෙන්නේද නැත.

එහෙම තත්ත්වයකදී විපක්ෂයේ රුලිවලට විශාල ලෙස ජනතාව සහභාගිවීම ගැන පුදුම විය යුතුද? ආණ්ඩුව ඇතුළේ කසකාරයන් වී සිටි විමල්ලා ස්වාධීන වීම අහන්නත් දෙයක්ද?

- ශශීන්ද්‍ර

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00