2022 මාර්තු 27 වන ඉරිදා

සර්ව පාක්ෂික සමුළුවෙන් ලෝකෙත් රැවැට්ටුවා

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 87

රනිල් සජිත්ට හිස ඔසවන්න සහය දෙන්නෙ නැහැ
ආණ්ඩුවේ කුණු ගොඩවල් අපිට එපා:
අපිට පුළුවන් ඩොලර් අර්බුදය විසඳන්න
සජබ දැන් රටේ ප්‍රධාන දේශපාලන බලවේගයක්
ගම් මට්ටමෙන් දැන් එජාපය ඉන්නෙත් අපි එක්කයි
චම්පිකගෙයි අපෙයි බෙදීමක් නෑ
ආණ්ඩු විරෝධීන් අපි එකතු කරනවා

 

 

මොකද මේ කාලයක් කරළියේ හිටිය තිස්ස අත්තනායක දැන් පේන්නවත් නැත්තේ?

තිස්ස අත්තනායක තවම ඉන්නවා. දේශපාලනමය වශයෙන් යටපත් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මම. සමගි ජනබලවේගයේ සංවිධායක ලෙස සංවිධාන මෙහෙයුමට සහභාගි වෙලා ඉන්නේ. මම ජ්‍යෙෂ්ඨයෙක් හැටියටත් වගකීම් සහගත තනතුරක් දරන කෙනෙක් හැටියටත් සමගි ජනබලවේගයේ ප්‍රධාන ව්‍යාපෘති කීපයක් බාරව ඉන්නවා. ඡන්ද පොළ 12,000ක් සම්බන්ධ කරන ජනපවුර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන එක. ඒ වගේම පක්ෂයට ආගමික නායකයන් සම්බන්ධ කරන වැඩපිළිවෙළ, සමගි භික්ෂු බලවේගය පිහිටුවීම, ඒ වගේම සමගි ජනපවුර ව්‍යාපාරයේ සමුළුව ජූලි 23 කැඳවන්නත්, සමගි භික්ෂු පෙරමුණේ සමුළුව ජූනි 28 පවත්වන්නත් කටයුතු කරමින් යන්නේ. 

ඔබේ ඉතිහාසය ගත්තම නායකයත් එක්ක ඉතාම ළඟ ඇසුරක් තිබ්බ කෙනෙක්. ඒත් මේ පාර සජිත් එක්ක සමීප බවක් පේන්නේ නෑනේ?

සජිත් මගේ මිත්‍රයෙක්. ඒ වගේම ඔහුට හිමිතැන පක්ෂය ඇතුළෙන් අරන් දෙන්න කටයුතු කළ මිනිහෙක් මම. ඔහුව නියෝජ්‍ය නායකකමෙන් ඉවත්කළාම ඔහුට ඒක දිය යුතුයි කියලා සටන් කළ මිනිහෙක් මම. මම ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වෙලා ආයේ සම්බන්ධ වුණෙත් සජිත් ප්‍රේමදාස මහතා ගැන තිබ්බ විශ්වාසය නිසා. එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ එතුමා එක්ක. මම දේශපාලන ලෝකයේ ගෞරව කරන නායකයෝ ඉන්නවා. සජිත් ප්‍රේමදාස කියන්නෙත් එහෙම නායකයෙක්.

පවතින ආර්ථීක අර්බුදය සඳහා එකමුතුව වැඩකරන්න ඕන කියලා ඔබලත් පිළිගන්නවා. ඒ අනුව පහුගිය දවසක සර්වපාක්ෂික සමුළුව කැඳෙව්වා. ඒත් ඔබලා ඊට සහභාගි වුණේ නෑ. ඇයි එහෙම නොගියේ?

ඒකට පළවෙනි හේතුව තමයි සර්වපාක්ෂික සමුළුව කියලා කැඳෙව්ව දේ සම්පූර්ණයෙන් මිත්‍යාවක් කියලා අපිට ඒත්තු යාම. මොකද අපිට අත්දැකීම් තියෙනවා. මතකනේ කොවිඩ් වෙලාවේ තිබුණු රැස්වීම. ඔය සර්වපාක්ෂික රැස්වීමෙන් මාධ්‍ය සංදර්ශනයක් විතරයි තියෙන්නේ කියලා අපි දැක්කා. දැන් බලන්න පළවෙනි සැසිය තිබ්බා. මොකක්ද ඒකෙන් ලැබුණ ප්‍රතිඵලය. මොනවත් නෑ. කිසිම වගකීමක් නෑ. නිකන්ම කතා සාප්පුවක් විතරයි. අන්න ඒක මුල ඉඳලා දැක්ක නිසයි අපි ගියේ නැත්තේ. මේක රට විතරක් නෙමෙයි ජාත්‍යන්තරව පවා රුවටීමක්.

දැන් ඔබලා කිව්වනේ අපේ අදහස් ගන්නේ නෑ කියලා. මේක අවස්ථාවක් නෙමෙයිද ඔබලට ලැබුණු?

නෑ නෑ අපේ අදහස් අපි පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරනවා. ඒ වගේම අපේ කණ්ඩායමක් ගිහිල්ලා මහ බැංකු අධිපතිවරයා පවා හම්බවෙලා යෝජනා ලබාදුන්නා. එහෙත් මේ උද්දච්ච ආණ්ඩුව ඒවා පිළිගන්නේ නෑ. ඒවා මග අරිනවා. එහෙනම් අපි කොහොමද ඒ අය එක්ක වැඩ කරන්නේ. අනික මේක සම්පූර්ණයෙන් ජනතාව රුවටීමක්.

ජනතාව හිතනවා ඇති සමගි ජනබලවේගය කියන්නේ රට ගොඩගන්න උවමනාවක් නැති කණ්ඩායමක් කියලා. මේ සිද්ධියෙන්. මොකක්ද දෙන පිළිතුර?

මට කියන්න තියෙන්නේ හැමෝම පළවෙනි සැසිවාරය දිහා බලන්න කියලා. අපි කිව්ව දේ හොඳටම සනාථ වෙලා. මොනවද පළවෙනි සැසිවාරයෙන් ගත්තේ රට හදන්න. එතනයි අපිට තියෙන ප්‍රශ්නය. දැන් බලන්න ගියාට හරි තොරතුරක් ආණ්ඩුවෙන් දෙන්නේ නෑනේ. අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන්න කෙටුම්පත ඉල්ලුවම මුදල් ඇමැතිගේ හැසිරීම දැක්කනේ. දැක්කනේ මහ බැංකු අධිපතිවරයාගේ හැසිරීම. එහෙම අතීතය විවේචනය කර කර සර්වපාක්ෂික සමුළු තියෙලා එකමුතුව වැඩ කරන්න පුළුවන්ද?

දැන් මේ සමුළුව සාර්ථක නැද්ද?

අසාර්ථකයි කියලා පෙන්නලා ඉවරයි. එක විසඳුමක් ආවද? මේ දැනට තියෙන ප්‍රශ්නවලට නෑ. මුදල් ඇමැති ඉන්දියාව එක්ක කතා කළා. ගිවිසුම් ගතවුණා. ඒවා මොනවද? ඒවා රහසිගතයි සියල්ල.

දැන් ඔබ කියන්නේ ඉන්දියාව එක්ක ගිවිසුම්ගත වීම සැකයි කියලද?

ඔව් අස්සන් කරපු ගිවිසුමක් ගැන දැන් කතාබහක් ඇතිවෙලා. ඒ අපේ ගුවන් සීමාව ඉක්මවා කටයුතු කරන්න ඉඩදීපු කරුණක් ගැන. මේක ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක්. මොකක්ද මේ ගිවිසුම. ඒවා හෙළිකරන්නේ නෑනේ.

ඔබේ හිටපු නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ලකුණු දාගත්තා නේද?

රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන හොඳ හෝ නරක මම කියන්න යන්නේ නෑ. හැබැයි එතුමා කොච්චර දක්ෂ වුණත් ජනතාව ප්‍රතික්ෂේප කළේ  ඇයි?

අපි දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තය කිව්වා රටවල් වලින් තෙල්දෙන්න එතුමට පොරොන්දු වුණා කියලා. එදා පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිතුමා ඉල්ලුවා ගෙනල්ලා දෙන්න කියලා. එවේලේ කිව්වා ඒවා රජයන් අතර වියයුතු දේවල් කියලා. එහෙම මගහරින එක හරිද ජනතාව අමාරුවේ වැටුණු වෙලාවක?

මේ ආණ්ඩුව එක්ක ජාත්‍යන්තර සහයෝගය බිඳවැටිලා තියෙනවා. ඒ නිසයි සහය නොලැබෙන්නේ. එතුමා කිව්වේ තානාපතිවරු කිව්ව දේවල් එතුමා එක්ක. ආණ්ඩුවක් එක්ක ගනුදෙනු කරන්න ඒ රටවල් වලට විශ්වාසය ඕන. ඒත් ඒ විශ්වාසය මේ ආණ්ඩුවට නෑ. ඒක තමා එතුමා පෙන්නලා දුන්නේ. එහෙම නැතුව වෙන දෙයක් නෙමෙයි. ජාත්‍යන්තර වශයෙන් වුණත් හිත දිනාගන්න රජය දැනගන්න ඕන. ඒත් ආණ්ඩුව කරන්නේ රට බංකොලොත් කරන වැඩ.

දැන් මේ රට බංකොලොත් කියලනේ ඔබලා කියන්නේ. එහෙම රටක් අරන් කරන්නේ කොහොමද?

එහෙම රටක් ගොඩගන්න නම් ජාතික වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට හොඳ නායකත්වයක් ඕන. කණ්ඩායමකුත් ඕන. මේ ටික කරන්න අපේ කණ්ඩායමට පුළුවන්. දැන් තියෙන ලොකුම අර්බුදය ඩොලර්. ඒ ප්‍රශ්නය විසඳගන්න අපි මුල ඉඳලා කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යමු කියලා. ගියේ නෑ. ආණ්ඩුව මග ඇරියා. අන්තිමේ අද යන්න හදනවා. ඒත් ඩොලරය සීමාව පැනලා. ඒ නිසා අපි සැලසුම කලින්ම කිව්වා. ඒ වගේම මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නත් ඕන. ඒවා ලැජ්ජ වෙන්න ඕන කාරණා නෙමෙයි. ඒ වගේම අපේ අපනයන ආනයන ආදායම අතර පරතරය අඩු කරගන්නත් ඕන. මේ සියල්ල එක්ක රට ගොඩනගන්න පුළුවන්.

දැන් මේ ආණ්ඩුව ගෙදර යන්න තව අවුරුදු තුනක් වගේ තියෙනවා. ජනාධිපතිවරයා මාරු වෙන්න තව අවුරුදු දෙකහමාරක් තියෙනවා. ඊට කලින් ආණ්ඩු බලය අතට ගන්න වැඩපිළිවෙළක් තියෙනවද?

දේශපාලන පක්ෂයක මූලික අරමුණ බලය ලබාගැනීම. මේ වෙනකොටත් පක්ෂය අභ්‍යන්තර වශ‍යෙන් ඊට සූදානම් වෙමින් යන්නේ. දෙවැනුව අපි ජාතික බලවේගයක් ගොඩනගන වැඩේ ආරම්භ කරලා තියෙන්නේ. ඒ වෙනුවෙන් ආණ්ඩු විරෝධී කණ්ඩායම් අපි එකතු කරමින් ඉන්නේ. ඒ සඳහා විවිධ ආකාරයෙන් සකච්ඡා කරමින්. පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි මාරුවකින් එය සිදුකරනවද යන්න එක ගැන අපි බලන්න ඕන. කොහොම වුණත් ආණ්ඩුව මේ වෙද්දී දෙදරලා ගිහින් ඉවරයි. එක පේන්න තියෙනවා. හොඳම උදාහරණය ලන්සා ඇමතිතුමා ඉවත්වීම. කොහොම වුණත් අපේ අදහසක් නෑ ඔලු මාරුවෙන් මේ ප්‍රශ්නය විසඳන්න අපිට ඕන ජන මතයකින් එය වෙනස් කරන්න. ඕන නම් ඒ වෙනුවෙන් ලබන අප්‍රේල්වලින් පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී බහුතරයකට ඉල්ලීමක් කරන්න පුළුවන් ආණ්ඩුව විසුරුවන්නත්.

අපි දැක්කා වාසුදේව ඇමතිතුමා කිව්වා විපක්ෂය කියන කුණුගොඩට වැටෙන්නේ නෑ කියලා. විපක්ෂය කුණුගොඩක්ද?

අපි එක දෙයයි කියන්නේ ආණ්ඩුවේ ඉන්න කුණුගොඩවල් අපේ එකට දාගන්නත් අපි කැමති නෑ. බංකොලොත් දේශපාලන පක්ෂ සංවිධාන අපිට උවමනාවකුත් නෑ. අපි බලාපොරොත්තු වෙන්නෙම අලුත් දේශපාලන ව්‍යාපාරයක්. වාසුදේවගේ දේශපාලන ව්‍යපාරය දැන් අවුරුදු 30-40 කට කලින් ප්‍රතික්ෂේප කළා. අද ඔවුන් ඉන්නේ ඔවුන්ගේ දර්ශනයේ නෙමෙයි පොහොට්ටුවේ දර්ශනයේ.

දැන් ආණ්ඩුවේ ඉන්නවා විපක්ෂ කණ්ඩායමක්. ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නවා. ඔබලත් ඉන්නවා. අනෙක් කණ්ඩායම් දෙක අභියෝගයක් නෙමෙයිද?

අනාගතයේ එක් දේශපාලන මතයකට එනවා නම් ඒ පක්ෂ එක්ක පුළුවන් අපිට එක වේදිකාවකට යන්න. හැබැයි හැමෝම මතක තියාගන්න ඕන සමගි ජනබලවේගය කියන්නේ මේ රටේ ප්‍රධාන දේශපාලන බලවේගය. බිමේ තියෙන සංවිධානාත්මක බලවේගය තියෙන්නෙ අපිට. ඒ නිසා අපිට තවත් අනෙක් දේවල් අභියෝග නෙමෙයි. විශේෂයෙන් අපි සහ එජාපයේ එකතුවක් බිම් මට්ටමෙන් සිදුවෙනවා. ඉහළ නායකයෝ මොනවා කිව්වද පක්ෂ දෙකක් නෙමෙයි එකක් වෙලා ඉවරයි.

දුරකථනය සහ අලිය එක වේදිකාවක දකියි නේද?

ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා තීරණය කරන්න ඕන එකක්. මම කියන්නේ ගමේ අය එකතුවෙන්න ඉන්නේ. සජිත් එකතුවීමක් ගැන නෙමෙයි කියන්නේ.

ඇයි එහෙම එකතු වෙන්න බැරිද?

ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයගේ හැසීරීම අනුව වෙන්නේ. ඔහු සජිත් ප්‍රේමදාස මහතාට හිස ඔසවන්න සහයක් දෙන බවක් පේන්න නෑ. ඒ වගේ අපිට එකඟ නොවෙන කාරණත් තියෙනවා. විශේෂයෙන් පරණ චෝදනා එල්ලවුණු කට්ටිය. හැබැයි එජාපය කියන්නේ රනිල් නෙමෙයි. පාක්ෂිකයෝ.

උපන්දිනයට සුබපැතුවෙ නැද්ද? 

කළා...

දැන් ලොකුම අභියෝගය පාඨලීගේ 43 වැනි සේනාංකය නේද?

එතුමා වෙනම පක්ෂයකින් එකතු වුණ කෙනෙක්. එතුමා අයින් වුණේ අපේ පක්ෂයට එකතුවෙනවා කියලා. ඒත් ඒක වුණේ නෑ. 43 වැනි සේනාංකය ගැන අපි විමසද්දී එතුමා කිව්වේ අපේ පක්ෂයෙන් වෙන්ව ඉන්න අය එකතු කරන්න පටන් ගත්ත පාලමක් කියලා. සමහර අය පෙන්නන්න යනවා අපි බෙදිලා කියලා. ඒක නම් වෙන්නේ නෑ.

I ගයාන් ගාල්ලගේ

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00