සමගි ජනබලවේගය - මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර
♦ රට බේරාගන්න ඕනෑම දේකට අපි සූදානම්
♦ අපේ පක්ෂයේ කවුරුවත් ආණ්ඩුව එක්ක ඩීල් නෑ
♦ අපට ජනවරමක් නැති නිසා ආණ්ඩුවක් ගන්න බෑ
♦ රනිල්ගේ යෝජනා ගැන අපේ විරෝධයක් නෑ
♦ ගෙවල්වලට පහරදීම මුළුමනින්ම හෙළා දකිනවා
♦ මිරිහානේ වැඩේ සැලසුම් කළේ මුහුදු කොල්ලකාරයා
♦ ඡන්දයක් කරන්නෙ කොහොමද කඩදාසි නැතුව
ඇත්තටම මේ වෙමින් යන්නේ මොකක්ද?මොකක්ද ඉදිරියේ වෙන්නේ?
මේ වෙන්නේ ජනතාවගේ එකමුතුවක්, නැගිටීමක්. මේ සියලු සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකහෙලා ඉල්ලන්නේ රාජපක්ෂලට මේක දාලා යන්න කියලා. මොකද මේ අය රටේ ධනය මංකොල්ල කාලා තියෙනවා. හරි පාලනයක් කරලා නෑ. ඒ නිසා වහාම අස්වෙන්න කියලා තමයි ජනතාව මේ කියන්නේ වීදී බැහැලා. ඒ අය දැනගන්න ඕනෑ ජනතාව කියන දේ අහලා යන්න.
අපි දන්නවා මේක ජනතාවගේ නැගිටීමක් කියලා. මේ ජන අරගලය ඇතුළේ සමගි ජනබලවේගයේ මුහුණුවර මොන වගේද?
ජනතාව වීදී බහින්නේ ඔවුන්ගේ ප්‍රශ්න නිසා. විදුලිය නෑ. තෙල් නෑ. ගෑස් නෑ. මෙන්න මේ වගේ අඩුපාඩු රාශියක් නිසා ජනතාව වීදී බහින්නේ. අන්න ඒ අරගලයට අපි විපක්ෂය හැටියට උපරිම සහාය දෙනවා. ජනතාව මෙහෙම වීදී බහිද්දී අනෙක් පක්ෂ ඊට සහාය දුන්නේ නෑ. ඒත් සජබය ජනතාවට සහය දෙනවා කිව්වා. අපිට දේශපාලන වාසි නෑ. අපි ජනතාවගේ ප්රශ්නයේදී ජනතාව එක්ක හිට ගන්නවා. අපිට ඕන ජනතාවට ප්‍රශ්න නැති රටක් හදන්න. ඒ වෙනුවෙන් අපි දේශපාලනමය වශයෙන් කැපවෙනවා.
මේ ජන අරගලය පිටිපස්සේ ඉඳලා ජනතාව උසි ගන්වන්නේ ඔබලා කියලා ආණ්ඩුවේ අය චෝදනා කරනව. ඒක ඇත්තද?
අපිට ජනතාව උසිගන්වන්න දෙයක් නෑ. උසිගන්වන්න කලින් ජනතාව එළියට බැහැලා ලංකාවේ ප්‍රථම වතාවට ආණ්ඩුවට එරෙහිව අරගල කරනවා. මහජන දේපළ කොල්ල කාලා, රට පාලනය කරගන්න බැරි වුණාම, බඩු මිල වැඩිවුණාම ජනතාව ඉබේ පාරට එනවා. ඒකට කවුරුත් ඕන නෑ. අනික දැන් ඔය උසිගන්වන වචනය අල්ලන් මේ අරගලය මර්දනය කරන්න යනවා. ඒකට අපි ඉඩ දෙන්නේ නෑ.
ආණ්ඩුවේ මැති ඇමැතිවරු කියන්නේ මේ වැඩේ ජනතාවගේ කැමැත්තෙන් පටන් ගත්තට දැන් ඔබලත් ජේවීපීයත් මේ අරගලය කොල්ල කාලා තියෙන්නෙ කියලා?
මතක තියාගන්න ඔය හැමෝටම වඩා අපි තමයි ජනතාවට කලිනුත් පාරට ආවේ. ගොවි අර්බුද, ගෑස් අර්බුද ඇති වෙනකොට. අද ඒක ජනතාව අතට අරන් ඉන්නවා. ඒත් අපි මේක කොල්ලකාලා නෑ. වෙන පක්ෂ කොහොමද කියලා අපි දන්නේත් නෑ. අනික අපි ඉතාම සාමකාමීව හැමදේම කළේ. ත්‍රස්ත ක්‍රියා සිදුකරලා නෑ.
දැන් ඇතැම් අරගල කරන තැන්වල ගෙවල්වලට පහරදීම් සිදුවෙලා තියෙනවා. ඒවා තුළ දේශපාලන මුහුණුවරක් තියෙනවා. මේ පහර දෙන්නේ ඔබලගේ පාක්ෂිකයොද?
ගෙවල්වලට පහරදීම සම්පූර්ණයෙන් හෙළා දකිනවා. අනුමත කරන්නේ නෑ. සමහර විට වෙන අරමුණු තියෙන කණ්ඩායම් ඉන්න පුළුවන්. හැබැයි අපේ පක්ෂය ප්‍රණ්ඩත්වය අනුමත කරන්නේ නෑ. ඒ මන්ත්‍රීවරැන්ට අපේ කනගාටුව පළකරනවා. එදා රොෂාන් රණසිංහ කිව්වා එයගේ ගෙදරට ගහපු පක්ෂ ටික. අපේ නම කිව්වේ නෑ. ඒත් ඇතැම් මාධ්‍ය අපේ නමත් කිව්වා හිතාමතාම. මොකක්ද එහෙම කරන්න හේතුව.
එතකොට මිරිහානේ වැඩේ සැලසුම් කළේ කවුද?
ඒ වැඩේ සැලසුම් කළේ මුහුදු කොල්ලකාරයාගේ කට්ටිය. ඒ කණ්ඩායමක් තමයි මෙතන ප්රශ්නය ඇති කළේ. ඒ ප්රශ්නය ඇති කළ අය ඒ මුහුදු කොල්ලකාරයා එක්ක හිතවත් අය. විශේෂයෙන් මහරගම ව්‍යාපාරයක් කරන කෙනෙක් තමයි මේකට සම්බන්ධ. ඒක අපි දන්නවා.
දැන් රටේ ජනතාවට මේ ආණ්ඩුව එපානම් විපක්ෂය දැනගන්න ඕන ජනතාව වෙනුවෙන් ආණ්ඩුව අතට ගන්න. ඒත් ඒකට තවම ලෑස්ති නෑ. ඇයි මේ සූදානම් නැත්තේ?
අපිට මහජන වරමක් නෑ. තියෙන්නේ මේ ආණ්ඩුවට. බහුතරයක් නැතුව ආණ්ඩු කරන්න බෑනේ. බහුතරය හදාගත්තත් මිනිස්සු එපා කියන ජනාධිපතිවරයෙක් එක්ක කොහොම ආණ්ඩු කරන්නේ? අනික මේ පවුලක් එක්ක කොහොමත් ආණ්ඩු කරන්න බෑ.
හරි. ආණ්ඩුවක් කරනවා නම් ඔබලගේ කොන්දේසි මොනවද?
සලකලා බලන්න පුළුවන් මේ ජනාධිපතිවරයත් දූෂිත අණ්ඩුවත් අයින් වුණොත්. එහෙම නැතුව බෑ.
දැන් ඔහොම එක එක ඒවා කියලා මඟඇරියට ජනතා අරගලයට උත්තරයක් දෙන්න බැරි වුණොත් අද හෙටම ජනතාව ඔබලා හොයාගෙන එයි?
ජනතාවට කියන්න තියෙන්නේ මේ රටේ සියලුම බලය තියෙන්නේ මේ දූෂිත ආණ්ඩුවට. ඒ අය අයින් වෙනකල් අපිට බෑ මේක කරන්න. ඒ අය අයින් වුණොත් අපි කරන්න ලැස්තියි.
දැන් ඔය කියන විදිහට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය අයින් නොවුණොත් යන්න පුළුවන් හොඳම ක්‍රමය තමා දෝෂාභියෝගයක් හා විශ්වාසභංගයක් කියන එක?
ඔව් අපි ඒ දෙකම ගේනවා. මොකද ජනතාවගේ ඉල්ලීම අනුව අපි කටයුතු කරනවා.
කවද්ද ගේන්නේ?
ඉතා ඉක්මනින් කරනවා.
බහුතරයක් ඉන්නේ තවම ආණ්ඩුවෙනේ?
අපිට ඉන්නවා විශේෂ කණ්ඩායමක්. තව සුළු පිරිසයි අඩු. ඒ අයත් එකතු කරගෙන ඉක්මනින් අපි මේක ගේනවා.
ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමත් ඉන්නවා. ඒ අය ඉන්නෙත් වෙනම දැන් ඒ අය එක්ක ගනුදෙනුවක් හදාගෙන ඉවරද මේ ආණ්ඩුව ගෙදර යවන්න?
අපේ විශේෂ ගනුදෙනුවක් නෑ. හැබැයි මේ රට වෙනුවෙන්, මේ ආණ්ඩුවෙන් රට බේරා ගැනීම වෙනුවෙන් ඕනම දෙයක් කරන්න අපි සූදානම්.
දැන් ජනතාව කියන්නේ ජනාධිපති සහ ආණ්ඩුව ගෙදර යන්න කියලා. ඔබත් මේ කතාවේදී කිව්වේ ඒක. ඒත් විපක්ෂ නායකතුමා ගේනවා එදා පාර්ලිමේන්තුවේදී යෝජනාවක් මේ විධායකය අහෝසි කරන්න ඕන කියලා. මේ සටන් පාඨය එතුමාගේ විතරයි. එතුමා ඉන්නේ ජනතාව එක්ක නෙමෙයිද?
නෑ. මේ සියල්ලටම හේතුව විධායක බලතල. ඒක අහෝසි කරන්න ඕන. ඒක තමයි එතුමා කියන්නේ. ඒ වගේම 19 වැනි සංශෝධනය බලාත්මක කරන්නත් ඕන. එහෙම නැතුව ජනතාවගේ ප්‍රශ්නයට උත්තර හොයන්න බෑ.
දැන් සමහර අය කියනවා පාර්ලිමේන්තුව එකතුවෙලා මේක ඉක්මනින් විසුරැවලා මැතිවරණයකට යන්න කියලා. ඒකට ඔබලා කැමතිද?
ඡන්දයක් කරන්නේ කොහෙද? මේ සතයක් නෑ. අඩුම ගානේ ඡන්ද කොලයක් ගහගන්න කඩදාසියක් නෑ රටේ. මොන ඡන්දද?
දැන් අපි දැක්ක ගොඩක් අය කියනවා මේක භාරකාර ආණ්ඩුවකට බාරදෙන්න කියලා. ඔබලා ලෑස්තිද එහෙම බාරකාර ආණ්ඩුවක් කරන්න?
එහෙම කිව්ව ගමන් කියන්න බෑ. ඒක ගැන හොයන්න ඕන. කවුද ඉන්නේ මොනවද බලතල කියලා. ඒත් මේ ජනාධිපතිවරයා යටතේ භාරකාර ආණ්ඩුවකට ලෑස්ති නෑ.
ඇයි මේක ගැන හරි, මේ රට ගොඩනගන විදිහක් ගැන හරි කතා කරන්න අර සර්වපාක්ෂික සමුළුවට නොගියේ?
මේ ජනාධිපතිවරයා එක්ක මොන විසඳුම්ද හොයන්න තියෙන්නේ. ජනතාව කියන්නේ ඔහුට අයින් වෙන්න කියලා. ඊට කලින් අපි ඒ මතයේ හිටිය නිසයි ඔය වැඩවලට නොගියේ. මොනවද ඒ හමුවෙන් පස්සේ රට වෙනුවෙන් ගත්ත තීරණ. කෝ නෑනේ. මේ රට විනාශ කරපු අය එක්ක තව මොන කතාද?
එදා පාර්ලිමේන්තුවේදී අනුර කුමාර කිව්වා සමහර නායකයෝ ආණ්ඩුවේ ලොකු අය එක්ක උදේ කතා කරනව කියලා. සජබයේ ඉන්නවද එහෙම අය?
එහෙම අය සජබයේ නෑ. එහෙම කිව්ව නම් එතුමා කියන්න ඕන කවුද එහෙම කරන්නේ කියලා. කොහොම වුණත් අපේ පක්ෂයේ අය ආණ්ඩුවේ අය එක්ක ඩීල් නෑ. තව නායකයෝ ඉන්නවනේ පාර්ලිමේන්තුවේ ඒ අයට වෙන්න ඇති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙද්දී ස්වාධීනයි. ඒ අය එක්ක ඔබලාගේ සාකච්ඡා තියෙනවා කියලා ආරංචි. ඒක ඇත්තද?
එහෙම සාකච්ඡා නෑ. විශේෂ ගනුදෙනුවකුත් නෑ. හැබැයි ජනතාව වෙනුවෙන් තීරණයක් ගන්නවා නම් අපි හැමදෙනාම ඒ තීරණය එක්ක එකට ඉන්නවා.
අපි දැක්කා ඔබලගේ හිටපු නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා යෝජනා රැසක් ගෙනාවා. ඔබලට වඩා ඔහු ක්‍රමයෙන් ඉස්සරහට යනවා වගේ?
එතුමා තනි කෙනෙක්. එතුමාගේ යෝජනා සම්බන්ධයෙන් අපිට විරෝධයක් නෑ. ඒත් ඉතින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ අපේ ආණ්ඩුවක්.
දැන් ඔබලගේ සහ චම්පික රණවකගේ 43 කණ්ඩායම එක්ක බෙදීම ඉවරද?
නෑ එහෙම ගැටලුවක් බෙදීමක් නෑ. ඒ අය එක්ක අපි ඉන්නවා.
ඒත් තවම චම්පික මන්ත්‍රීතුමාට පක්ෂයේ තනතුරක් හෝ සමාජිකත්වයවත් නෑනේ?
එතුමාට අපි ටිකට් එක දුන්නේ. ඒ තමයි දෙන්න පුළුවන් ලොකුම තැන. අපේ මන්ත්‍රීවරයෙක් එතුමා.
හරීන් ප්‍රනාන්දු නම් කිව්වා හර්ෂ ද සිල්වාට හරි ජනාධිපතිකම දෙන්න කියලා? ඇයි සජිත් සුදුසු නෑ කියලා මන්ත්‍රීවරු හිතනවද?
කිසිම ප්‍රශ්නයක් නෑ. එතුමා තනි පුද්ගලයෙක් හැටියට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි තීන්දු ගන්නේ පක්ෂය විසින් එකතුවෙලා.
ගයාන් ගාල්ලගේ