2022 අප්‍රේල් 24 වන ඉරිදා

විධායක ගැටේ ලිහන්න බෑ: කපන්න ඕනෑ - මැතිවරණ සීමා නීර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 265

♦ මේ ආණ්ඩුව ගෙනාපු අයත් අද පාරේ කෑගහනවා

♦ ජනපතිට ඕනෑ නම් විධායක බලතල අදම අත්හරින්න පුළුවන්
♦ ගෝල්ෆේස් වගේ මහජන සභාවක් දිගටම තිබිය යුතුයි
♦ අරගලයේ ඉල්ලීම් බෝඩ්වල තියෙනවා
♦ ඩීසල් නැතුව මොන ඡන්ද ද?
♦ අපි වගේ නාකි මිනිස්සු දැන් යන්න ඕනෑ
♦ 225ටම යන්න කියන එක විහිළු සටන්පාඨයක්
♦ මකරා මරපු කෙනාට මකරා වෙන්න බෑ

ඔබට දේශපාලනය එක්ක පුදුම බැඳීමක් තිබෙන කෙනෙක්. ඔබේ පවුලත් දේශපාලන පවුලක්. ඔබේ රැකියාවත් කාලයක් දේශපාලනය එක්ක. ඔබට විවිධ දේශපාලන සමයවල් පහුවෙන්න ඇති. ඒත් මේ වෙද්දී ගෝල්ෆේස් අරගලය වෙනත් මුහුණුවරක් තියෙන්නේ. ඔබ ඒක දකින්නේ කොහොමද? මේක හිටි හැටියේ ආපු දෙයක්ද? නැත්තන් දීර්ඝ කාලයක ඉඳන් ඇදී ආ අවුලක පිපිරීමක්ද?

මේ අරගලය තනි පුද්ගලයෙක් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ ජනධිපතිතුමාට යන්න කියලා සිදුකළාට, මට මේ අරගලය 2015 ජනාධිපතිවරණය හා සමානයි. ඒ වගේම 2019 ජනාධිපතිවරණයෙන් දැක්කෙත් ඒ වගේ. මේ රටේ අවස්ථා කීපයක් තියෙනවා. කැපී පෙනෙනම ඡන්දය වුණේ 2015දී මහා ආණ්ඩුව පෙරළා දැමීම. හේතුව හැම පක්ෂයම එකතු වුණ අවස්ථාවක්. මොකද ඒ රැල්ල තමා ආණ්ඩුව, විධායකය පෙරළුවේ. ඒ වගේමයි 2019දීත් වුණේ.

එතකොට මේ අරගලය ඒවාට සමාන විතරද? වෙනසක් නෑ?

නෑ නෑ වෙනසක් තියෙනවා. මම මේ කියන්න ගියේ ඒ සෑම වෙලාවකම උත්සාහ කළේ ඔලුගෙඩි මාරුවක් සිද්ධ කරන්න. හැබැයි මේ වෙලාවේ ප්‍රධාන සටන් පාට තුනක්, ඒ කියන්නේ ගෝඨා ගෝ හෝම්, ආණ්ඩුවට යන්න සහ 225 එපා කියන දේ තිබ්බට මෙවර මූලික අරමුණ මේ සිස්ටම් එකම එපා කියලා ප්‍රතික්ෂේප කිරීම. ඒක පැහැදිලිව පේනවා.

දැන් මේ සිස්ටම් චේන්ජ් එකකට විතරද මිනිස්සු ආවේ පාරට?

නෑ. ඉන්ධන නැතිකම, කිරිපිටි, ගෑස් හිඟකම, කරන්ට් එක නැතිකම මේ සියල්ල හේතුවුණා. සමහර තැන්වල විරෝධතා ප්‍රචණ්ඩකාරී වුණේ ඉන්ධන හිඟකම නිසා. ඒත් කියන්න ඕන අරගල කරන එක හොඳයි. ඒත් මිනිස්සුන්ට යන එන පාරවල් වහන එක වැරදියි. ඒත් බලන්න ගෝල්ෆේස් එකේ එහෙම නෑනේ. හැබැයි තව දෙයකුත් තියෙනවා ගමේ මිනිහා පෝලිමේ ඉන්නකොට තෙල්මිල වැඩිවෙලා තියෙනවා. එතකොට යම් තරහක් යන එක සාධාරණයි. ඒක තමයි රඹුක්කනයි, රත්නපුරයෙන් පිපිරුවේ.

මේ අරගලය ගැන හරියටම කිව්වොත්?

මේ තාරුණ්‍යයේ අරගලයක්. ඒක අපිට පේනවා අපි දන්නවා. ඒ නිසා අපි වගේ නාකි මිනිස්සු වේදිකාවෙන් බැහැලා යන්න ඕන තරුණයන්ට ඉඩ දීලා.

නමුත් ඔබේ වයසේ අය කියනවනේ මේක කානිවල් එකක් කියලා. වැඩිහිටියෝ එහෙම කියන්නේ?

කවුද එහෙම කියන්නේ? ඔතෙන්ට විවිධ මිනිස්සු එනවා. හැබැයි මෙතනින් නායකත්ව මණ්ඩලයක් එහෙම නැත්තන් ජනසභාවක් පිහිටුවන්න ඕන. අපි හිතන්න ඕන ගෝල්ෆේස් එකෙන් ඔබ්බට.

ඔබ ඒ පැත්තේ ගියාද?

මම අරගලයට ඍජුව සම්බන්ධ නෑ. ඒත් පුළුවන් විදිහට සමහර අවස්ථාවල මම ගිහින් ඒ අයගේ ක්‍රියාකාරකම් බලලා එනවා. එතැන යම් වැඩපිළිවෙළක් තියෙනවා. මගේ අදහස ඒ කණ්ඩායමේ අය පාර්ලිමේන්තු හරි නියෝජිත සභාවකට හරි පත්වෙන්න ඕන. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් ඔබ්බට මහජන සභාවක් තියන්න ඕන කියලා මම පිළිගන්නවා. අපි පේරාදෙණියේ ඉන්නකොට සටන් පාඨයක් තිබ්බා &පාර්ලිමේන්තුව කතා සාප්පුව-දිනවමු දිනවමු මහජන සභාව* කියලා අපි කියාගෙන යනවා. ඒ නිසා මම කියන්නේ මේ කණ්ඩායම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට ගියත් මේ වගේ මහජන සභාවක් පිහිටුවන්න ඕන.

දැන් මේ අරගලකරුවන්ගේ සටන් පාඨය ජනාධිපතිවරයා ඉවත් කිරීම? ඒක ලේසිද? අමාරුද?

මෙහෙමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එළවන අයට වෙන්නේ මේක නිවැරදි ලෙස මෙහෙයුවේ නැත්තන් අර මකර මරලා, මකර මරපු කෙනා මකරා වුණා වගේ වැඩක්. වෙන කෙනෙක් ජනාධිපති කරපු ගමන් වෙන්නේ මකර මරාපු කෙනා මකර වෙන එක. මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන. මේක මේ ගෝඨාභය මහත්තයාගේ වැරැද්දක් නෙමෙයි.

ජනාධිපතිගේ බලතල අඩුකරලා අගමැතිට 2015දී දුන්නා හරි ගියේ නෑනේ?

නෑ නෑ දුන්නේ නෑ. බැරුව තියෙද්දීත් පාර්ලිමේන්තුවෙ විසිරෙව්වේ.

ඒ කියන්නේ මේ ගැටේ ලිහාගන්න බැරිවෙයි නේද?

ලිහන්න නෙමෙයි ගැටේ කපන්න ඕන.

ඒ කියන්නේ විධායක ගැටේ ලිහනවා කියන එක ප්‍රෝඩාවක් නේ?

ඔව් ගැටේ ලිහනවා කියලා ආවට කවුරුත් ගැටේ ලිහුවේ නෑනේ. ඒ නිසා ගැටේ කපලම දාන්න ඕන. හැබැයි විලියම් ගොපල්ලව මහත්තයා වගේ ජනාධිපති කෙනෙක් නෙමෙයි තරමක බලයක් තියෙන්න ඕන. ඒ වගේ පාර්ලිමේන්තුව මිශ්‍ර සමානුපාතිකව ක්‍රමයට ගන්න ඕන.

ඔබට ජනාධිපතිවරයාට මේ වෙලාවේ දෙන්න පුළුවන් උපදෙස මොකක්ද? තරුණයෝ ගෝ හෝම් කියද්දි?

ඕක තමා ප්‍රශ්නය. දැන් ගෙදර යන්න එපා කිව්වොත් කොල්ලෝ බනිනවා. යන්න කිව්වොත් කියයි රජයේ වැඩකරන ගමන් ඔහොම කියන්නේ කොහොමද කියලා. මෙහෙමයි යන නොයෙන එක එතුමාගේ අයිතියක්. යන්න කියලා කියන එක තරුණයන්ගේ අයිතියක්.

එතුමා මේ තරුණ බලපෑම් හමුවේ නොයා ඉන්නවා නම් කරන්න පුළුවන් දේ මොකක්ද?

අදම කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ විධායක බලතල භාවිතා කිරීමෙන් වැළකී ඉන්න පුළුවන්. මේක විසඳනකල්. මේක දැක්කම කවුරු හරි කියයි මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කඩේ යනවා කියලා. ඒත් මම කියන්නේ යන නොයෙන එක එතුමාගේ කැමැත්ත. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී රටක අයිතියක් තියෙනවා බලය නැවත කැඳවීම. ඒක තමයි තරුණයෝ මේ කරන්නේ. ඒක ඉල්ලන්න අයිතියක් තියෙනවා.

හැබැයි අද තියෙන තත්ත්වය එක්ක බොහෝ අය ඡන්දය දුන්නම එතනින් වරදක් වුණොත් එක නිවැරදි කරගන්න බයයි. ඒ පක්ෂග්‍රාහී බවෙන් මිදෙන්න බයයි?

එහෙම වෙන්නේ කොහොමද? හොඳම උදාහරණය ඔය පාරේ කෑ ගහන අය අතර මේ ආණ්ඩුව බලයට ගේන්න උදව් කළ අයත් ඉන්නවා.

දැන් අරගල භූමියට ඇතැම් ජනප්‍රිය අය ඇවිත් කියනවා මම ඡන්දය දුන්නා මට සමාවෙන්න කියලා. එතන්ට එකතු වෙනවා. මේක දැක්කම ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි අරගල භූමිය කියන්නේ පව් කමාකරන තැනක්ද කියලා?

බොහෝ වෙලාවට. එහෙම බැරි නම් කාටවත් එන්න බැරිවෙනවනේ. එහෙම නම් කවුද එතකොට එන්නේ. එහෙම එකක් නෑ. ඕනම කෙනෙක්ට එන්න පුළුවන්.

අපි දැක්කා එක සටන් පාඨයක් තියෙනවා 225ම එපා කියලා. ඒක සාධාරණද?

මම දැක්කම විහිලුව සටන් පාඨය තමයි ඒක. ඕක අන්තිමට ආවේ මෑතක. ජෙනරල්ලා 9යි, බ්‍රිගේඩියර්ලා 25යි ඇති කියලා. 225ම එපා කියන්නේ කොහොමද ගෝඨාභය මහත්තයට යන්න කියලා. එතුමා අයින් වුණාම ඊළඟ තේරීමේ බලය යන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා යම් අවුලක් තියෙනවා නම් පුළුවන් පක්ෂවල ජාතික ලැයිස්තුවෙන් හොඳ අය ගන්න. එහෙම නැතුව 225ම එපා කියන එක නරකයි. ඒ නිසාත් ක්ෂණික විසඳුම විධායක බලතල අහෝසි කරන යෝජනාව.

මේ ජනතා කැළඹීමට හේතුව නිවැරුදි තොරතුරු ජනතාවට නොයන නිසාද?

පැහැදිලිවම ඉස්සරහට ඇවිල්ලා වරද වරද විදිහට බාරගන්න ඕන.

ගෝඨාභය මහත්තයට නාමයෝජනා දුන්න නිසා ඔබටත් මිනිස්සු බණිනවා වගකියන්න ඕන ඔබ කියලා?

ඔව් ඔව් මම දැකලා තියෙනවා. හැබැයි මම මොනවා කරන්නද? එතුමාගේ නාමයෝජනාවල ගැටලුවක් තියෙනවා නම් එක්කෝ එදා අධිකරණයට යන්න ඕන. පැමිණිල්ලක් දන්න ඕන. අනික මට බැන්නට වැඩක් නෑ. ඒ වෙලාවේ කොමිසමේ නිලධාරීන් තුනක් හිටියා. මගේ තනි කැමැත්ත නෙමෙයි. ඒ නිසා පුච්චල මැරුවත් කියන්න තියෙන්නේ අපි කළේ හරිදේ ඒවෙලාවේ. දැනට ඇති. මේ ගැන නඩුවක් විභාග වෙනවා. අනික අපේක්ෂකයෙක්ගේ සුදුසුකම් විමර්ශනයට කොමිසමට අයිතියක් නෑ කියන්නත් ඕන.

ගොඩක් අය යෝජනා කරනවා ඉක්මනින් භාරකාර ආණ්ඩුවකට යන්න කියලා?

ඔව් ඒක හොඳ දෙයක්. මොකද මේ වෙලාවේ ඡන්ද තියන්න බෑ. එක පැත්තකින් මුදල් නෑ. ඩීසල් නෑ. ඩීසල් නැතුව ඡන්ද තියන්න බෑනේ. මොකෝ ඡන්ද පෙට්ටි පයින් අරන් යන්නද?

මහින්ද රාජපක්ෂ මහත්තයා අරගලකරුවන්ට ආරාධානා කළා. ඒත් අරගලකරුවෝ ගියේ නෑ. ඔබ කිව්වා හොඳ අවස්ථාවක් මේක කියලා?

ඔව් මේක හොඳ අවස්ථාවක්. අරගලයකදි සාකච්ඡාව අවශ්‍යයි .ඕනෑම අරගලයකදී. ඒත් මේ අය ගියේ නෑ. නමුත් මේ අයගේ ඉල්ලීම ප්‍රසිද්ධ කරලා තියෙන්නේ පුවරුවල ඉඳලා. ඒ නිසා ඒක ගැටලුවක් නෑ.

 ගයාන් ගාල්ලගේ

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00