2017 මැයි 13 වන සෙනසුරාදා

ජනතාව ඉල්ලන්නේ රාජපක්ෂ කෙනෙක් නෙවේ මහින්ද රාජපක්ෂමයි

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 319

- හම්බන්තොට දිස්ත්‍රික් එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

මේ පාර මැයි දිනයට මහා ජනතාවක් ගෙනල්ලා ගෝල්ෆේස් පිට්ටනිය පිරෙව්වා. මේ වැඩ පෙන්නන්නේ ආණ්ඩුවටද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද?

මේ වැඩ පෙන්වන්නේ ආණ්ඩුවට. ඒ කියන්නේ ඔය එක්සත් ජාතික පක්ෂයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකතුවෙලා හදලා තියෙන හවුල් ආණ්ඩුවට. ඒකට ආණ්ඩුව කියන්න බෑ හවුල් අවුලට. මේක වැඩ පෙන්වීමකටත් වඩා ජනතාවගේ ආණ්ඩු විරෝධය පෙන්වීමක්. ආණ්ඩුව හිතන්න ඕන අන්න ඒ දේ. එහෙම නැතුව ගෝල්ෆේස් පිට්ටනිය පුරවලා ගිනස් වාර්තා තියන්න නෙවෙයි මේ මිනිස්සු ඇවිත් තියෙන්නේ.

 

හරියට කියන්න පුළුවන්ද කීයක් ආවද කියලා?

අවංකව ගත්තොත් හරියට කියන්න බෑ. හම්බන්තොට නාමලේඛන අනුව ඒ පළාතෙ විසිදහස් ගණනක අත්සන් තියෙනවා.

එස්.බී. ඇමතිතුමා කියන්නේ නම් පිට්ටනියේ හිටියේ 25000ක් වගේ සංඛ්‍යාවක් කියලා?

එස්.බී. ඇමැතිතුමාගේ ගණන් හිලව් ප්‍රකාශ ගැන එච්චර වලංගුභාවයක් නෑ ඉතිහාසය එක්ක බලද්දී. ඒ නිසා ඒ ගැන වාද විවාද කරලා තේරුමක් නෑ.

ඔබේ පියා මහින්ද රාජපක්ෂ මහත්තයා නම් කිව්වෙ වෙසක් පෝය දෙකක් ගිය ගමන් ආණ්ඩුව පෙරළනවා කියලා. ඔය පෝය දෙක ඉවර වෙන්නේ නැද්ද?

වෙසක් පෝය දෙක කෙසේ වෙතත් මේ ආණ්ඩුවේ වෙසක් පෝයට කළින් කරනවා කිව්ව කැබිනට් සංශෝධනය කරන්න බැරුව ගියානේ. ඒනිසා අපේ වෙසක් පෝයවල් දෙක ගැන ආණ්ඩුව හොයන්න නරකයි.

දෙපැත්තෙ කකුල් තියාගත්ත අයත් අපි ළඟ ඉන්නවා 

දැන් වෙසක් පෝය අතඇරලා හර්තාල් කරන්න යන්නේ ඇයි?

ඔය හර්තාල් කතාව මෙහෙමයි. ඇත්තටම අපිට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික රැකගන්න වුවමනායි. එහෙම නැතුව ඉන්දියාවේ අගමැතිතුමා ලංකාවට ආපුඑක ගැන විරුද්ධත්වයක් අපිට නෑ. අපි පිළිගන්නවා රාජ්‍ය නායකයෝ එන්න ඕන. ආයෝජන කරන්න ඕන කියලා. හැබැයි අපේ රටේ සම්පත් විජාතීකරණය කරන්න යනවා නම් අපි ඊට විරුද්ධව හඬ නගනවා. ඒක ඉන්දියානු විරෝධයක්වත් චීන විරෝධයක්වත් නෙවෙයි. ඒ දේශීයත්වය පිළිබඳ අරගලයක්. ඇත්තටම අපි සතුටු වෙනවා ඉන්දියාවේ වගේ රාජ්‍ය නායකයෙක් තොරණක් විවෘත කරන්න මෙරටට පැමිණෙන එකට. හැබැයි අපිට තියෙන අවුල තමයි එතුළ සැඟවුණු දෙයක් තියෙනවද කියන එක. අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ගිහිල්ලා අත්සන් කළේ එට්කා. අනිත් පැත්තේ ඉන්දියාව ශ්‍රී ලංකාව යාකරන පාලමක්. පාලමත් එක්ක තියෙනවා මන්නාරම ත්‍රිකුණාමලය යාකරන අධිවේගී මාර්ගයක්. ඊට පස්සේ තෙල් ටැංකි. එකෙන් පේනවා මේවා සැලසුම් සහගත බව.

ආණ්ඩුව නම් කියන්නේ රාජපක්ෂලාට එහෙම කියන්න අයිතියක් නෑ, මොකද පෝර්ට් සිටි එක ගෙඩිය පිටින් චීනයට ලියලා තිබ්බේ කියලා. ඒ නිසා චෝදනා කරන්න බෑ නේද?

අනිවාර්යයෙන්ම චෝදනා කරන්න පුළුවන්. මොකද පෝර්ට් සිටිය ගෙඩිය පිටින් දීලා තිබ්බේ නෑ. ඒක අමූලික බොරුවක්. ඇත්තටම අපි කණගාටු වෙනවා මෛත්‍රිපාල ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා මේ රටට කියන බොරු ගැන. පෝර්ට් සිටි ගිවිසුම අරගෙන බැලුවොත් හෙක්ටයාර් ප්‍රමාණයක් ලබාදීලා තියෙනවා. යම් කිසි අයෙක් ආයෝජනය කරනවා නම් ඒ දේ කරන්න වෙනවා. එහෙම නැතුව ගෙඩිය පිටින් දීලා නෑ. අද මොකද කරන්නේ ඒ හෙක්ටයාර් විස්ස පෙන්නලා අක්කර 15000ක් දෙන්න යනවා. ඒ විස්ස පෙන්නලා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දෙන්න යනවා. ඒක සාධාරණද?.

නැවත මුලට ආවොත් මේ මැයි දිනයට මිනිස්සු ගෙන්නලා පෙන්නුවේ අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම් කියන එකද? 

අනිවාර්ය යෙන් ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ ආණ්ඩුව පුළුල් සන්ධානයක් එක්ක පුළුල් බලමුළු එක්ක පිහිටුවන්නේ.

රාජපක්ෂව සාටකෙන් එල්ලන එක ලේසි වෙන්නෙ නෑ

ජනතාව දැකලාද ඒක විශ්වාස කරන්නේ?

අපි විශ්වාස කරන්නේ ජනතාව. අපි දේශපාලනඥයෝ නිසා. 

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ රැස්වීම් හැම එකටම මේ වගේ සෙනඟක් හිටියා. කෝ ඒත් පරාදයිනේ?

ඇත්තටම ඒ මැතිවරණයේදී අපට එල්ල වුණු දූෂණ චෝදනා, ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ ගැන අපිට උත්තර දෙන්න බැරිවුණා. මොකද ඒ වෙනුවට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි කටින් කියනදේට වඩා පරීක්ෂණ කරලා ඔප්පු කරන එක. ඒ බව ආණ්ඩුව විසින් අද ඔප්පු කරලා තියෙනවා අපේ වතුවලට පැනලා. හෙලිකොප්ටර්, රත්තරන් අශ්වයෝ නෑ කියලත් ඔප්පු කරලා තියෙනවා මේ ආණ්ඩුව. ඒ විතරක්ද මේ ආණ්ඩුව කෝටි ගණනක් වියදම් කරලා තියෙනවා අපේ ගිණුම්වල මුදල් හොයන්න. හම්බවුණේ නෑ. 

මේ වෙනකොට ආණ්ඩුවට තමන් විසින් නගපු චෝදනා අසත්‍ය බවට ඔප්පු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ මැතිවරණයේදී අපේ පක්ෂයේ ඇතිවුණු කුමන්ත්‍රණයට මුහුණ දෙන්න හැකියාවක් අපිට තිබ්බේ නෑ. විශේෂයෙන් ජනාධිපතිතුමා අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්න යෝජනා කළේ මෛත්‍රිපාල මහත්තයා. ඒ වගේම කැම්පේන් මැනේජර් හිටියෙත් එතුමා. ඒ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් ආපු මුදල් කන්දරාව. ටීවීඑකේ අපේ එක ඇඩ් එකක් යනකොට එයාලගේ ඇඩ් හතරක් යනවා. ඒ නිසා ඒ මුදල් කන්දරාවත් එක්ක හැප්පෙන්න අපිට බැරුව ගියා. ඒකෙන් ජනතාව යම් ආකාරයක නොමඟ යෑමක් සිද්ධ වුණා.

දැන් ඔබලා කියන හැටියට මේ බලය ගන්න හදන්නේ රට රැකගන්න කියලනේ. ඇයි රට රකින්න රාජපක්ෂලා විතරමද ඕන. වෙන නායකයෝ හරියන්නේ නැද්ද?

ජනතාවගේ ඉල්ලුම මත තමයි අපි දේශපාලන නායකයෙක් තීරණය කරන්නේ. රටේ ජනතාව කියනවා නම් මහින්ද රාජපක්ෂ වෙනුවට වෙන විකල්පයක් දෙන්න කියලා අපිට දෙන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න ඕන ගාලු මුවදොරට මිනිස්සු ආවෙ මහින්ද රාජපක්ෂ මහත්තයා හින්ද මිසක් වෙනත් සාධකයක් හින්දා නෙවෙයි කියන එක. ඒක තමයි යථාර්ථය. රටේ ජනතාවත් ශ්‍රීලනිපයේ මිනිස්සුත් ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයව. එහෙම නැතුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ නැතුව නෙවෙයි. 

අපේ කාලේ යවන්න ඕනෑ අය යැව්වෙ නැහැ

මහින්ද මහත්තයා දේශපාලනය අත ඇරියොත් ඒ කියන්නේ ඒකාබද්ධය අනාථයි?

මම මේ කිව්වේ මේ අවස්ථාවේදී. අනාගතය ගැන ඉදිරියේදි බලන්න ඕන. විස්සෙන් පස්සේ ගැන දැන්ම හිතන්න නරකයි. මොකද අපිට තාම දෙවන, තුන්වන හතරවන වශයෙන් හොඳ දේශපාලන පෙළක් ඉන්නවා. ඉදිරියේදී බලමු. හැබැයි කවුරු හරි හිතනවා නම් මේ ඉල්ලන්නේ රාජපක්ෂ කෙනෙක් කියලා ඒක වැරදි. මේ ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ. වැරදියට තේරුම් ගන්න එපා රාජපක්ෂ කෙනෙක් නෙවෙයි මේ ජනතාව ඉල්ලන්නේ.

රට හදන්න එන මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු රාජපක්ෂ පවුලටම දූෂණ, වංචා, මිනිමැරුම් වගේ චෝදනා රැසක් එල්ලවෙනවා. මේවා දේශපාලන පවුලකට එල්ලවෙනකොට ලේසි නැහැ නේද? 

දැන් මේ ආණ්ඩුවට ඕන තරම් හැකියාව තියෙනවා ඔය කියන චෝදනා ඔප්පු කරන්න. මාව ගෙනල්ලා දෙපාරක් රිමාන්ඩ් කළා. මගේ මල්ලි දවස් 45ක් රිමාන්ඩ් කළා. බාප්පව දෙපාරක් රිමාන්ඩ් කළා. ගෝඨාභය මහත්තයට නඩු දැම්මා. ඒ නිසා දැන් මේ ආණ්ඩුව ඕන තරම් කාලය නිදහස දේශපාලන බලය තියෙනවා මේවා හොයන්න. හැබැයි මේ කාරණා හොයන ක්‍රමවේදය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට සාක්ෂි තියෙනවා. රෙකෝඩ් කරපුවා තියෙනවා. එෆ්සීඅයිඩී නිලධාරින් අපේ අයට කියපුවා රෙකෝඩ් කරලා තියෙනවා. සමහර අයට අම්මා මතක් කරලා බණිනවා. ගෑනු ළමයිව අඬවනවා. ඊට පස්සේ නාමල්ගේ නම කියන්න ගෝඨාගේ නම කියන්න කියලා කියනවා. රජයේ නිලධාරින් බය කරනවා. ඒ නිසා මේවා ගැන දැන් කතා කරන්නේ නෑ. මේ අවස්ථාව නෙවෙයි. මොකද අපිට අධිකරණය ගැන තවම විශ්වාසය තියෙනවා. 

හැබැයි ඔය කියන අමුතු නඩු විසඳන ක්‍රමවේදයක් රාජපක්ෂලා බලයේ ඉන්නකොටත් තිබ්බා නේද?

සරත් ෆොන්සේකා මහත්තයා ගැන කතා කරනකොට ඒ දේවල් සිද්ධ වුණේ යුද හමුදා අධිකරණයකින්. යුද හමුදා නීතියට අපිටවත් ඇඟිලි ගහන්න බෑ. දැන් මගේ සහෝදරයා නේවි එකේ කියලා ආණ්ඩුවට ඇදන් යන්න බැරිවුණා. ඒ සඳහා නාවික හමුදාපතිගෙන් අවසරය ගන්න වුණා. ෆොන්සේකා මහත්තයගේ එකත් යුධ හමුදා අධිකරණයෙන් චෝදනා ඔප්පු කරලා ගත්ත තීරණයක්. ඔහුගේ බෑණට මේ ආණ්ඩුවෙන් සමාව දීලත් තියෙනවා. අපි හිතනවා සරත් ෆොන්සේකා මහත්තයට එවැනි දෙයක් නොවුණානම් හොඳයි කියලා. මොකද එතුමට බෝම්බ ගහපු වෙලාවේ අපි තමයි එතුමට බෝධි පූජා තිබ්බේ. ඒ වගේම එළිවෙනකල් නිදි මැරුවේ. ඔය අද අපි සාටකයෙන් එල්ල ඕන කිව්වාට ඊට පස්සේ කට්ටිය එපා කියද්දී නැවත හමුදාපතිකම දුන්නේ මහින්ද මහත්තයා. ඒ විතරද සමාව දෙන්නෙත් මහින්ද මහත්තයා. ඒකට විරාන් අලස් මන්ත්‍රීවරයා මැදිහත් වෙනවා. ශිරාණි බණ්ඩාරනායකගේ සිද්ධියත් එහෙමයි. මත ගැටුම් තිබුණට ඇයව ඉවත් කළේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින්. අද ඔය කෑගහන අයට එදා ඡන්දය නොදී ඉන්න තිබුණනේ. ඒත් බලන්න යහපාලන ආණ්ඩුව ආපු ගමන් මොහාන් පිරිස් මහත්තයා එළියට දාපු හැටි පැය 24න් ගෙදර. මොකක්ද එතන තියෙන ප්‍රජාතන්ත්‍රවාදය. අඩුමගානේ ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ එක පාර්ලිමේන්තුවට හරි ගියා. හැබැයි එදා ඒ සිද්ධීන් දෙකම සිද්ධ නොවුණා නම් හොඳයි කියලා පෞද්ගලිකව මම අදත් හිතනවා. හැබැයි ඒ දෙකම සිද්ධ වුණේ පවත්නා නීතිය මත. 

මේ චෝදනා එල්ල කරන්නේ ඔබතුමාලත් එක්ක හිටිය රාජිත සේනාරත්න, එස්.බී. දිසානායක වැනි ඇමැතිවරුන්නේ?

ඒක සාධාරණයි. දැන් බලන්න රාජිත සේනාරත්නට නැව් තියෙනවා කියලා කිව්වේ යූඇන්පියයි. මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ මල්ලී පොළොන්නරුව වැව් තාවුල්ලේ හෝටල් හැදුවා කිව්වේ අපි නෙවෙයි එයාලමයි. චන්ද්‍රිකා මැඩම්ගේ රෙදි ගලවන්න ඕන කිව්වේ එස්.බී. ඇමතිතුමා. අපි නෙවෙයිනේ. 

ඔය කියන හැටියට හරි වැරදියි නේද රාජපක්ෂලා වැරදිකාරයෝ රැක්ක එක?

අපේ ආණ්ඩුවේ නොයෙක් අඩුපාඩුකම් තිබ්බා. නොයෙක් චරිත හිටියා. හැම ආණ්ඩුවකම ඒවගේ චරිත ඉන්නවා. එහෙම හිටිය එකේ පල විපාක අපි විඳිනවනේ. අද මහින්ද රාජපක්ෂ මහත්තයා පරාදයිනේ. එදා ධීවර සම්මේලනය වෙලාවේ රාජිත සේනාරත්න මාරු කළා නම් තවමත් මහින්ද රාජපක්ෂ මහත්තයට සියලු ධීවරයන්ගේ ඡන්ද ලැබෙන්න තිබ්බා. සමහර ඇමතිවරු නිසා ඇතිවුනු සිද්ධි නිසා පක්ෂයෙන් කිව්වා ඒ අය අයින් කරන්න කියලා. ඒත් මහින්ද මහත්තයා එහෙම කළේ නෑ. එදා කළා නම් ඒ අයට මේ ආණ්ඩුවේ ඇමැතිකම් හම්බෙන්නේ නෑ. එදා වෛද්‍ය සභාව ඇමතිවරයාට විරුද්ධව යනකොට කටයුතු කරා නම් සමහරවිට මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති වෙනේනෙත් නෑ. ඒ නිසා එවැනි අතපහසුවීම සිද්ධ වුණා. දැන් අපිට ඇඟිල්ල දික්කරන්නේ ඒ අයනේ. 

අපේ අයගෙන් ප්‍රශ්න කරපු සමහරු අම්මා මතක් කරලා බැන්නා

දැන් මහින්ද මහත්තයා එක්ක පරාජයට සාධක වෙච්ච පිරිස නැද්ද?

මෙහෙමයි ඒ පරාජයට අඩු වැනි වශයෙන් අපිත් දායක වෙනවා. ඒක තමයි දේශපාලන ස්භාවය. පක්ෂයක් හැටියට දේශපාලන ව්‍යාපාරය මෙහෙය වනකොට අඩු වැඩි වශයෙන් ඒකට දායක වෙනවා. හැබැයි අද සියයට 99ක් සියයට සීයක් කියන්න බෑ. සමහර අය ඉන්නවා තවමත් එහෙත් අඩිය තියාගෙන මෙහෙත් අඩිය තියාගෙන ඉන්න අය. හැබැයි 99ක් විශ්වාසයි. මොකද දැන් අපි දන්නවා අපේ වටේ ඉන්න අය ගැන. අපි කටයුතු කරන්නේ ඒ ගැන අවබෝධයෙන්. ඒ නිසා ඉදිරි ආණ්ඩුවකදි බොහෝ දේවල් මඟහැර ගන්න පුළුවන්. 

මහින්ද රාජපක්ෂ පරාජයේදී ඔබත් එක් සාධකයක්. ඇමතිවරැන්ට ලියුම් දීලා බලය පෙන්නපු කෙනෙක්. දැන් ඔබ හැදිලද?

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඇමැතිවරයකුට ලියුමක් දෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුතා වීම තුළ ඒක උළුප්පා දැක්වුවා. මම විතරක් නෙවෙයි හැමෝම ලියුම් දුන්නා. හැබැයි මගේ ලියුමට වටිනාකමක් ලැබුණා. මම නෑ කියන්නේ නෑ. මන්ත්‍රී කෙනෙක් තමන්ගේ පාක්ෂිකයකුට ලියුමක් නොදුන්නොත් වැඩක් නෑ. හැබැයි අපි අතිනුත් යම් අතපසුවීම් වුණා. වැරදි පුද්ගලයෝ ආශ්‍රය කළා. ඔබට නම් වශයෙන් කියන්න ඕන නෑ. එදා මාත් එක්ක වේදිකාවල හිටිය අය, මම විශ්වාස කරපු අය දැන් කොහෙද ඉන්නේ කියලා බලනකොට ඔබටත් තේරෙනවා. අපි දැන්, අපේ අතපසුවීම් හඳුනාගෙන ඉන්නේ. 

කෝ අර නාමල් රාජපක්ෂගේ නිල් බලකාය?

ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය හැටියට හැදුවේ. ඒක අපි මෛත්‍රිපාල මහත්තයට බාර දුන්නා. මොකද ඒක පිහිටුවන්න අවසරය දුන්නේ මෛත්‍රිපාල මහතා. පළවෙනි මහා සභා රැස්වීමට ආවෙත් එතුමා. එතුමගේ අත්සනින් තමයි සහතික නිකුත් කරලා තියෙන්නේ.

ඔය නිල් බලකායටත් විශාල චෝදනා එල්ල වෙනවා?

ඔව් ඉතින් නිල් බලකායෙන් නළු නිළියන්ට ගැහුවායි කියන අයටත් මෛත්‍රිපාල මහත්තයා ආසන සංවිධායකකම් දුන්නේ. ඒ නිසා දැන් ප්‍රශ්නයක් නැතුව ඇති.


මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වුණා ශ්‍රීලනිපය දෙකට කඩන්නේ නෑ කියලා. ඒත් මැයි දිනේදි මහින්ද රාජපක්ෂ වේදිකාවට නැග්ගේ පොදුජන පෙරමුණ පිටුපස තියාගෙන. ඇයි මෙහෙම දෙයක් කළේ?

කිසිසේත් ශ්‍රීලනිපය දෙකට කඩලා නෑ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති අත ඇරලා නෑ. හැබැයි ඒකාබද්ධය තුළ පක්ෂ රැසක් ඉන්නවා. ඒකයි මම කිව්වේ පුළුල් සන්ධානයක් කියලා. 

සරත් ෆොන්සේකා මහත්තයා කිව්වා මහින්ද රාජපක්ෂව සාටකයෙන් එල්ලන්න ඕන කියලා.

එතුමගේ ඒ පහත් මානසිකත්වය. හැබැයි ඒක ලේසි නෑ කියන එක මතක තියාගන්න.

මෙයාලගෙ බැරිකම අපේ පිට ගහලයි බේරෙන්න හදන්නේ 

තර්ජනයක්ද කරන්නේ? නැත්නම් අවවාදයක්ද?

මේ පුවත්පත් සාකච්ඡාව කියවනවා නම් එතුමාට දැනෙන විදිහට ගන්න පුළුවන්.

ආණ්ඩුව හිරවෙලා ඉන්නේ රාජපක්ෂලගේ ණය නිසාලු. ඇයි මෙච්චර ණය ගත්තේ?

අපේ ආණ්ඩුව කාලයේ යුද්ධය අවසන් කළා. හම්බන්තොට වරාය හැදුවා. මත්තල ගුවන්තොටුපළ හැදුවා. හම්බන්තොට වරාය පාඩුයි කියනවා දැන් බිලියන එකහමාරකට විකුණන්න යනවා. අපි ආණ්ඩුව කාලයේ ගත්තා ඩොලර් බිලියන 1.7ක ණය හම්බන්තොට වරාය හදන්න. හැබැයි අපිට පුළුවන් වුණා ඩොලර් මිලියන 800ක් නැවත ගෙවන්න. ඇයි මේ ආණ්ඩුවට ගෙවාගන්න බැරි. මත්තල ගුවන්තොටුපළ හැදුවා ආයෝජකයෝ ගෙනාවා. ඒත් මේ අය නැවැත්තුවා. දැන් ආයිත් ආණ්ඩුව සාකච්ඡා කරනවා. පෝර්ට් සිටි එක යෝජනා කළා. මහා පරිමාණ ඇළ වේලි හැදුවා. ග්‍රාමීය මාර්ග හැදුවා. මේ ගත්ත හැම ණයෙන්ම මාත්‍රෘ භූමියට වටිනාකමක් දුන්නා. දැන් මේ ආණ්ඩුව තුන් ගුණයක් ණය අරගෙන තියෙනවානේ. කියන්නේ මහින්ද රාජපක්ෂගේ ණය ගෙවන්න කියලනේ. හරි කෝ දැන් ගෙවපු ණය පෙන්නන්නකෝ. ගෙවලා නෑ. මහින්ද මහත්තයාගේ කාලේ විදෙස් සංචිත ඩොලර් බිලියන 09ක් තිබ්බා. විදෙස් සංචිත එතකොට ඩොලර් බිලියන 5ට අඩුවුණේ කොහොමද? ඒ ගැන කතා කරන්නේ නෑ. මහින්ද රාජපක්ෂගේ කාලේ බැංකු පොලිය සියයට 06, දැන් 14ක් වෙලා තියෙන්නේ කොහොමද. එකෙන්ම පේනවා මෙයාලගේ නොහැකියාව. ඒක වහගන්න හැමදේම මහින්ද රාජපක්ෂගේ ඇඟේ ගහන්න හදනවා. 

මෙච්චර පිළිවෙළට වැඩකරපු මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු දෙකකට කලින් ඡන්දය තියලා ඇයි වැඩේ අනාගත්තේ?

ඒක අනාගැනීමක් නෙවෙයි දේශපාලන තීන්දුවක්. ඒක තනි තීරණයක් නෙවෙයි. සියලු දෙනාගේ තීන්දුවක්. මම ඇතුළු බහුතරයක් කිව්වේ පාර්ලිමේන්තු මැතිවරණයකට යමු කියලා. ඒත් දැන් ඔය කයිවාරු ගහන අප ඒකට බයවුණා. ඒකයි ජනාධිපතිවරණයකට ගියේ. කොච්චර පළපුරුදු දේශපාලනඥයෙකුට වුණත් සමහර අවස්ථාවල වරදින්න පුළුවන්. හැබැයි මම හිතනවා එය හොඳ තීන්දුවක් කියලා. හැබැයි ඒ නිසා ජනතාවටත් රටේත් අභිමානය නැති වුණා. ඒක වෙනම කාරණාවක්. නමුත් ඒක නිවැරදි දේශපාලන තීන්දුවක්. ඒ හරහා අපි හොඳ දේශපාලන අත්දැකීම් ගත්තා. මගේ සහ පියාගේ දේශපාලන ජීවිතයේ වැඩිම අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධවුණේ පසුගිය අවුරුදු දෙකේදි. 
මම සතුටු වෙනවා අඩු වයසින් ඒ අභියෝගවලට මුහුණ දෙන්න ලැබීම ගැන. තාත්තා කියන හැටියට අසූ ගණන්වල භීෂණ කාලයේදීවත් මෙවැනි අත්දැකීමකට මුහුණ දීලා නෑලු.

ඉක්මනට මංගල යෝග ලබාවි

ඔබ කියන හැටියට රාජපක්ෂලට තියෙන චෝදනා ඔක්කොම බොරුද?

සියල්ල බොරු. සියයට දාහක් වගකීමෙන් කියනවා මේවා දේශපාලන බොරු. අද ඊයේ නෙවෙයි එදා තාත්තට ත්‍රිපුද්ගල මිනීමැරුමක් දැම්මා. මාස 06ක් හිරේ තිබ්බා. ඒත් ඒවා බොරු කියලා ඔප්පු වුණා. 

දැන් කවද්ද ඔබේ රාජ යෝගය ලබන්නේ?

ඒක ඉතින් ජ්‍යෙතිෂ අයගෙන් තමයි අහන්න ඕන.

මංගල යෝගය ලබන්නේ කවද්ද?

ලබන කාලයක් දන්නේ නෑ. හැබැයි ඉක්මනට ලබයි කියලා හිතනවා. 

 ගයාන් ගාල්ලගේ