කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පසුගියදා පැය 03කට අධික කාලයක් ඉන්ධන පෝලිමක කාලය ගත කර පිරවුම්හලේ තෙල් අවසන් වීම හේතුවෙන් හිස් අතින් ආපසු යාම මාධ්‍ය හරහා රටම දැනගත්තේය. එම පෝලිමේම පසුපසින් සිටි විශේෂඥ වෛද්‍යවරියක වන ඒ මහතාගේ බිරිඳටද සිදුව තිබුණේ එම ඉරණමට මුහුණ දීමටය. රටපුරා වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් ඇතුළු විවිධ වෘත්තීයවේදීන් අද පෝලිම් හේතුවෙන් මුහුණ දී සිටින සැබෑ මුහුණුවරේ මෙය එක් සිදුවීමක් පමණි. අද අපේ රට පෝලිම් හේතුවෙන් ඇදවැටී තිබෙන ඛේදනීය තත්ත්වයේ බරපතළකම මෙයින් හොඳින් පැහැදිලි වෙයි. ඉන්ධන සහ ගෑස් පෝලිම්වල සිටි පුද්ගලයන් ගණනාවක් මේ වනවිට මරණයට පත්වී තිබෙන බවද මෙහිදී සිහි කටයුතුය.
රෝහලේ සිටිය යුතු කාලයෙන් පැය ගණනක් ඉන්ධන පෝලිමේ සිටීමට විශේෂඥ වෛද්‍යවරුන්ට බල කෙරෙන තත්ත්වයක් තුළ රෝහල්ගතව සිටින රෝගීන්ගේ ඉරණම ගැන කතා කිරීමත් අවශ්‍ය නැත. වෛද්‍ය වෘත්තිකයන් සහ වෛද්‍යවරුන් මෙසේ තෙල් පෝලිම්වලට එක්වී සිටීම හේතුවෙන් රෝහල් වැඩ කටයුතුවලට පවා විශාල බාධා පැමිණ තිබෙන බවට ඇතැම් රෝහල් අධ්‍යක්ෂවරුන්ද ප්‍රකාශ කර තිබිණි. පෝලිම් හේතුවෙන් අද රට මුහුණ දී සිටින අවදානම රෝහල් පද්ධතිය කරාද විහිදෙමින් පැවතීම භයානක පෙර නිමිත්තකි. රජයේ බලධාරීන්ගේ අවධානය වහාම යොමුවිය යුතු තත්ත්වයකි.
ඉන්ධන හිඟය හේතුවෙන් පසුගිය දිනවලදී රට පුරාම මහාමාර්ගවල පවා පැවතුණේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකි. කොළඹ මාර්ග ගණනාවක්ම ඉන්ධන නොමැතිකමින් පීඩා විඳිමින් සිටි මහජනතාව විසින් වරින් වර වසා දමා උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම හේතුවෙන් ගමනාගමනය පවා අසීරු වී තිබිණි. මහ මගට බැසීමෙන් පසුව තමන් යා යුතු ස්ථානයට යාගත හැකිවේද යන්න පවා මහත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබීම හේතුවෙන් මහජනතාව පසුවන්නේද මහත් පීඩනයකිනි. මේ පීඩනය, ආවේගශීලී බව, නොසන්සුන්කම, අවිනිශ්චිතභාවය මුළු මහත් ජන සමාජයම වෙලාගනිමින් තිබේ. හෙට දවස ගැන විශ්වාසයකින් තොරව ජීවත්වීමට ජනතාවට මේ තත්ත්වය විසින් බල කරනු ලැබ තිබේ. මෙය කවදා අවසන් වේද යන්න පිළිතුරක් නැති ප්‍රශ්නයක් ගාණට වැටෙමින් තිබේ. මෙය රටේ ජනතාව අපේක්ෂා භංගත්වය කරා තල්ලු කරන තත්ත්වයකි. තෙල්, ගෑස් පෝලිම් දිගුවීමෙන් සිදුවන්නේ එම තල්ලුවීම තවදුරටත් වේගයෙන් සිදුවීම පමණි.
ඉන්ධන හිඟය හේතුවෙන් උද්ගත වූ ගැටලු පසුගිය සිකුරාදා පාසල්වලට නිවාඩු දිනයක් ලබාදීමට තරම් උග්‍ර වී තිබිණි. මේ නිවාඩුව තවදුරටත් දිගුවේද යන්නට පිළිතුර ඇත්තේ දෙවියන් අතේ නොව රට කරවන බලධාරීන්ගේ ක්‍රියාමාර්ග තුළය. රජයේ අමාත්‍යාංශ කිහිපයක හැර අනෙක් සියලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල සේවකයන්ටද සිකුරාදා දිනය නිවාඩු ලබා දී තිබේ. මෙය තාවකාලික පියවරක් බව සැබෑය. එහෙත් රටකට මෙසේ කොතරම් කාලයක් පැවතිය හැකිද? හැමදාම පාසල් වසාගෙන දරුවන් නිවෙස්වල රඳවාගෙන සිටිය හැකිද? සතියකට දිනක් නිවෙසේ සිට වගා කටයුතුවල නිරතවීම සඳහා නිවාඩු ලබාදීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබිය හැකිද? මේ සියල්ලටම පිළිතුරත් ප්‍රශ්නාර්ථයක්ම පමණි.
වහාම විසඳුම් ලබාගත යුතු අර්බුද ගණනාවකින් රටම වෙලී පවතී. ඉන්ධන නැතිවීම එහි එක් අර්බුදයකි. නමුත් අඩු තරමින් එම අර්බුදය හෝ විසඳාගත හැකි නම් රටේ වෙනත් ගැටලු විසදා ගැනීමට තරමක කාලයක් ගැනීම ජනතාවට ප්‍රශ්නයක් නොවනු ඇත. එහෙත් අර්බුද ජාලයක පැටලී සිටිමින් ආණ්ඩුවත් විපක්ෂයේ බොහෝ දෙනාත් තවමත් සිදු කරන්නේ අර්බුද විසදා ගැනීමට යොදවාගත හැකි වටිනා කාලය බොරු කතා සාප්පු හරහා දියකර හැරීම පමණක් බව පෙනෙන්නට තිබේ. මෙය රටේ අනාගතය පිළිබඳව ජනතාව යම් පමණකින් හෝ රඳවාගෙන තිබෙන බලාපොරොත්තුව පවා විනාශ කර දැමීමකි. ජනතාවට අවශ්‍ය වන්නේ තමන් අද දුක් වින්ඳත් අඩුම තරමින් තමන්ගේ දූ දරුවන්ගේ අනාගතය හෝ ආරක්ෂා වනු දැකීමටය. නමුත් ආණ්ඩුවත් විපක්ෂයේ බොහෝ දෙනාත් කටයුතු කරන ආකාරයෙන් පෙනෙන්නේ ඔවුන් තුළ එවැනි හැඟීමක් හෝ දැනීමක් නොමැති බවය. එය අවාසනාවකි.
රටේ පෝලිම් යුගය අවසන් කිරීමටත් ජනතාව විඳින දුක් පීඩාවලට නිමාවක් ලබාදීමටත් කැපවී කටයුතු කරනවා නම් ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් රටේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරවන ඉහළ පෙළේ නිලධාරීන් වෙන වෙනම හමුවන්නේ නැත. පසුගියදා අපට දැකගත හැකි වූයේ එවැනි තත්ත්වයකි. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරීන් ජනාධිපති සමඟ හමුවකින් පසුව වෙනත් දිනයක අග්‍රාමාත්‍යවරයා හමුවී තිබිණි. සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද එය එසේම සිදුවිය. මෙය යහපත් තත්ත්වයක් නොවේ. රට ගොඩනැගීම සඳහා දියත් විය යුත්තේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් මිස පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමක් නොවේ. මේ බව ආණ්ඩුවේ ඉහළම බලධාරීන් විසින් තේරුම් ගත යුතුව තිබේ.
පෝලිම් ඇතිවූයේ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළදීය. මේ නිසා ඔහු එම ධූරය දරණ තාක් කල් එම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා උපරිමව කැපවී ක්‍රියා කිරීම අවශ්‍යය. පසුගියදා ජාත්‍යන්තර නාළිකාවකට ලබා දුන් සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා කියා තිබුණේ අසමත් ජනාධිපතිවරයකු වශයෙන් ධූරයෙන් ඉවත්ව යාමට තමන්ට අවශ්‍යතාවක් නැති බවය. එසේ නම් ඉදිරි කාලය තමන්ගේ සමත්කම් පෙන්වීමට ඔහු යොදාගත යුතුය. ඒ සඳහා පැලැස්තර විසඳුම් නැති බවත් විසඳුම ඇත්තේ කෙටිකාලීන සහ දීර්ඝකාලීන වශයෙන් හොඳින් සකස් කෙරෙන සැලසුම් සහගත වැඩපිළිවෙළක් තුළ පමණක් බවත් ජනාධිපතිවරයා තේරුම් ගත යුතුය. ජනතාවට ඉතිරිව ඇත්තේ එවැනි වැඩපිළිවෙළක් පැමිණ පෝලිම් යුගය අහෝසි වී ජන ජීවිතය තරමක් දුරකට හෝ යථා තත්ත්වයට පත්වනු ඇති බවට බලාපොරොත්තු දල්වාගෙන දෙවියන්ගේ පිහිට පැතීම පමණි.