2022 ජුනි 26 වන ඉරිදා

ආර්ථික වටුවැද්දෝ

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 110

තෙල් අර්බුදය අද පාර්ලිමේන්තුවත් වසා දමන තත්ත්වයකට පත්වෙද්දී සිකුරාදා (24) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් පෙට්රල්, ඩීසල් සහ භූමිතෙල් මිල දැරිය නොහැකි ගණනකින් වැඩි කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබිණි. ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 05කින් අඩුවෙද්දී සහ ඩොලරයට සාපේක්ෂව රුපියල යන්තමින් ශක්තිමත්ව පැත්තට හැරෙද්දී මේ මිල වැඩිවිම සිදුවන්නේ කුමන න්‍යායකට අනුවදැයි තේරුම් ගැනීම රටේ ජනතාවට නම් පහසු නොවනු ඇත. ජනතාවට සහන සලසන බවට ප්‍රතිඥා දෙමින් තිබුණු ආණ්ඩුව වෙනුවට අටවාගත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ආණ්ඩුව යටතේත් ජනතාවගේ පීඩනය තවදුරටත් වැඩිවන බව පැහැදිලි වෙමින් තිබේ. අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවේ ඉදිරි කටයුතු පෙන්වන මාර්ග සිතියම ගැන පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයේ සඳහන් කළේ මෙසේය.

ඩොලර් සංචිත බිංදුවටම වැටුණු ආර්ථිකය ගොඩනැගීම ලේසි නෑ. ඉන්ධන සඳහා මාසෙකට ඩොලර් මිලියන 550ක් පමණ අවශ්‍යයි. අපේ ආර්ථික ප්‍රශ්න මත මේ මුදල මාසිකව සපයා ගැනීම දුෂ්කර කාර්යයක්. ඒ නිසා අපට ලැබෙන ඩොලර් ආදායම අනුව හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. ඉන්ධන ගැටලුව සම්පූර්ණයෙන් විසඳීමට තව කාලයක් ගතවේවි. මේ ලෝකෙ හැමෝම අපට තෙල් දෙන්න පස්ස ගහනවා. ඉන්දියාවත් හැමදාම මේ විදියට ණය දෙන එකක් නෑ. අයි.එම්.එෆ්. සහතිකය ලැබුණොත් අනෙක් රටවලුත් අපට ණය දෙයි. අපේ ආර්ථිකය කඩා වැටිලා බරපතළම තත්ත්වය ඒකයි. මේක හදාගන්න නම් ඩොලර් අර්බුදය මුලින්ම විසඳාගත යුතුයි. දැන් අපි ඉදිරියේ තිබෙන එකම ආරක්ෂිත මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමයි. වෙනත් කිසිම මාර්ගයක් අප ඉදිරියේ නෑ.

මෙහෙම දීර්ඝ කතාවක් කරපු අගමැති රනිල් රටේ ඔක්කොම එකතු වී රට ගොඩගැනීමට ක්‍රියා නොකළොත් රට පතුළටම වැටෙනු ඇති බව කිව්වේ වටු වැද්දාගේ කතාව උදාහරණයක් ගනිමිනි. &වටුවැද්දාගේ දැලෙන් වටු කුරුල්ලන් ගැලවුණේ හැමදෙනාම එකට එකතු වී දැල ඔසවාගෙන පියෑඹූ නිසයි. වටු වැද්දාට බැණ බැණ හිටියා නම් මුළු වටු රුලම වැද්දාගේ දැලට හසුවෙනවා යැයි ඔහු කිව්වේය.

රටේ ප්‍රධානම ගැටලුව වන ඩොලර් ආදායම අහිමි වීමත් විදෙස් සංචිතය සිඳී යාමත් යන සාධක දෙක අමතක කර රට ගොඩගැනීමක් ගැන කතා කිරීමත් පළක් නැත. එහෙම ඩොලර් ආදායම සහ සංචිත දියවී යාමට වගකිවයුතු පිරිස් තවම ඉන්නේ කිසිවක් නොවූ ගාණටය. රටේ ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන බවට පෙර නිමිති පහළ වෙමින් තිබියදී ඒ ගැන රටේ ආර්ථික විද්වතුන් අනතුරු අඟවද්දී ආණ්ඩුව හිටියේ නිර්වින්දනය වෙලාය. මේ පෙර නිමිති අනුව අයි.එම්.එෆ්. යා යුතු බවට විපක්ෂය පාර්ලිමේන්තුවේදී හඬ නැගුවේය. රටේ ප්‍රධාන පෙළේ ආර්ථික විශ්ලේෂකයකු වන මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මේ ගැන පාර්ලිමේන්තුවට පිටින් සිට තමන් දැන සිටි හැම වචනම යොදා ගනිමින් ආණ්ඩුවට බරපතළ අනතුරු ඇඟවීමක් කළේය. ඔහු කියා සිටියේ අප්‍රමාදව අයි.එම්.එෆ්. යා යුතු බවය. ඒ අනුව කටයුතු කරනු වෙනුවට ආණ්ඩුවේ සිටි මහදැනමුත්තලා කළේ ඔහුට අපහාස කිරීමය. අයි.එම්.එෆ්. යාම විහිළුවට ලක් කිරීමය. කුමන තත්ත්වයක හිටියත් අයි.එම්.එෆ්. නොයන බව ඔවුන් රට හමුවේ කිව්වේ එය ජාත්‍යන්තර කුමන්ත්‍රණවලින් රට ගලවා ගැනීමක් හැටියට පෙන්වා දෙමිනි. එය ඉතා ලාබ දේශපාලන ව්‍යාපෘතියක් විය.

මේ ලාබ දේශපාලනය තුළ රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගත නොහැකි විය. අන්තිමේදී ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ දැන් අයි.එම්.එෆ්. යාමට ප්‍රමාද වැඩි බවය. එම ක්‍රියාදාමයට මාස 06කට අධික කාලයක් ගතවන බවද ඔහු පෙන්වා දුන්නේය. ඊළඟට ඉතිරිව තිබුණේ සියල්ල වනතුරු බලා සිටීම පමණි.

ආණ්ඩුවේ තීරණ ගන්නා සියලුදෙනා විදෙස් සංචිත බිංදුවට සිඳී යන බව පෙනෙමින් තිබියදීත් ඒ බව පිළිගැනීමට සූදානම් වූයේ නැත. අන්තිමට රන් සංචිතය විකුණාගෙන කෑමට පවා ක්‍රියාකර තිබුණේ අඩුම තරමින් පාර්ලිමේන්තුව හෝ දැනුවත් කිරීමකින් තොරවය. රන් සංචිත තිබෙන්නේ අවශ්‍ය අවස්ථාවලදී විකුණා දැමීමට බවත් විදෙස් සංචිත පවත්වාගෙන යාම අත්‍යාවශ්‍යම දෙයක් නොවන බවත් මහ බැංකුවේ බලධාරීන් විශාරදයන් කියන විට ජනාධිපති ගෝඨාභය මහතාත් අග්‍රාමාත්‍යවරයාත් මුදල් අමාත්‍යවරයාත් කටක් ඇරියේ නැත. රටේ ආර්ථික විශ්ලේෂකයන් විශාල පිරිසක් විදෙස් සංචිතය දිය කරමින් ඩොලර් බැඳුම්කර ගෙවීමේ ආදීනව මීට වසරකට කලින් පෙන්වා දෙමින් සිටියත් ආණ්ඩුව එය කනකට ගත්තේ නැත. එහෙම ගෙවීම් සිදුකර සංචිතය හිඳෙන විට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාවේ අනාගත ණය ගෙවීමේ හැකියාව පිළිබඳව සැක පහළ කරමින් ලංකාව පහළට ඇද දමන විටත් ආණ්ඩුවේ ඇස් ඇරුණේ නැත. එය වළක්වා ගැනීමේ පියවර ගන්නවා වෙනුවට ආණ්ඩුවේ බලධාරීන් කළේ ලොව පිළිගත් එම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට පහර ගැසීමය. ඒවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ වශයෙන් හංවඩු ගැසීමය.

අන්තිමට ලංකාවත් එක්ක ගනුදෙනු කළ ලෝකයේ රටවල් එම ආයතන මගින් පෙන්වා දෙනු ලැබූ නිර්ණායක අනුව කටයුතු කරමින් ලංකාවට ණයට භාණ්ඩ සැපයීම අත්හරින විටත් ආණ්ඩුවේ ඇස් ඇරුණේ නැත. ඒ තීරණවල ප්‍රතිඵල හැටියට කොළඹ වරායේ බඩු කන්ටේනර් ගොඩ ගැසෙන බව මාධ්‍ය මගින් පෙන්වා දෙන විට මහ බැංකු බලධාරීන් ලබාදුන්නේ ඔයගොල්ලො වරායේ කන්ටේනර් ගණන් කළාද වැනි උද්දච්ච පිළිතුරුය. ඒ වනවිට රට ඇතුළේ භාණ්ඩ හිඟ වී බරපතළ උද්ධමනයක් කරා රට ගමන් කරන බවට හැම අතින්ම පෙරනිමිති පහළ කරමින් තිබුණත් ආණ්ඩුව සිටියේ නිහඬවය. දැන් ඒ උද්ධමනය මුළු රටේම ජන ජීවිතය බුල්ඩෝසර් කරන තරමට බරපතළ වී තිබේ. අද ලෝකයේ එක මාසයක් තුළ අධිකම උද්ධමනය සහිත රටවල් අතුරින් දෙවැනි වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයට පමණක් බව සඳහන් වෙයි. මේ තත්ත්වයට රට පත්වීමට ගතවුණේ මාස 06ක කාලයක් පමණි. සිම්බාබ්වේ රටේ උද්ධමනය එහෙම තත්ත්වයට පත්වීමට මුගාබේ පාලනයේ වසර 10කටත් අධික කාලයක් ගතව තිබූ බව ආපසු හැරී බලන විට සොයාගත හැකිය.

ලංකාවට මෙහෙම වුණේ රටේ සැබෑ සංවර්ධනයට වඩා ඉවක් බවක් නොමැතිව කාලයක් තිස්සේ කරගෙන ආ අනාගත දැක්මක් නොමැතිව සංවර්ධනයේ නාමයෙන් සිදුකළ රටට ඔරොත්තු නොදෙන ව්‍යාපෘතිය. ආර්ථිකය කාබාසිනියා කරමින් අධික පාඩු ලබන එම ව්‍යාපෘති බොහෝ ගණක් ආරම්භ කර පවත්වාගෙන ගියේ රාජපක්ෂ පාලන කාලය තුළදීය. රටේ ආදායමින් ලැබුණු මුදල වෙනුවට විදෙස් ණය යොදාගෙන සිදුකළ මහා ව්‍යාපෘති මේ විනාශයට මග පෑදුවේය. අද එම ව්‍යාපෘති තිබේ. එහෙත් රටට සල්ලි නැත. තෙල් නැත. පිටරටින් බඩු ගෙන්වන්නේ නැත. දරුවන්ට කිරිපිටි නැත. රෝහල්වල බෙහෙත් නැත. තෙල් පෝලිම්වල ජනතාව මිය යමින් සිටිති. අද රටේ සැබෑ තත්ත්වය එයයි.

රටේ සල්ලි කාබාසිනියා කළ ව්‍යාපෘති අතර නෙළුම් කුලුන, මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මහින්ද රාජපක්ෂ රඟහල, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය, මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවද වෙයි. මේ ව්‍යාපෘති සඳහා වැයකළ ඩොලර් බිලියන සංඛ්‍යාවත් ඒ සඳහා රට ණය වී තිබෙන ප්‍රමාණයත් එකට ගෙන එම ව්‍යාපෘති හරහා රටට ලැබෙන ආදායම ගණනය කළහොත් අද රට වැටී තිබෙන ආර්ථික අඝාධයට හේතු පැහැදිලි කර ගැනීම අසීරු නැත. මේ රටේ ආර්ථික විශ්ලේෂකයන් කාලයක් තිස්සේ මේ ආර්ථික හානිය පෙන්වා දී තිබුණත් ඒ බව රාජපක්ෂ ආණ්ඩු ගණන් ගත්තේම නැත.

අද රට මේ තරම් දුප්පත් තත්ත්වයට වැටුණු ලොකුම ප්‍රශ්නය වන ඩොලර් සංචිතය සිඳී යාමට ප්‍රධානම හේතුව මේ අනුව තේරුම් ගැනීම අපහසු නැත. කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදුවූ බරපතළ හානියට ඔරොත්තු දීමට අපේ රටට නොහැකි වීමට ප්‍රධානම හේතුව වූයේ සංවර්ධනයේ නම ඉදිරියට යොදාගෙන පුද්ගල චරිත බැබළවීමට සිදුකළ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ලබාගත් ජාත්‍යන්තර බැඳුම්කර ණය කල්පිරී ගෙවන්නට සිදුවීමය. 2009ත් 2014ත් අතර මෙවැනි ණය බැඳුම්කර ගණනාවක් ලබාගෙන තිබූ අතර චීනය වරාය සහ ගුවන් තොටුපළ ඉදිකිරීමට ඉහළ පොලී අනුපාතයක් යටතේ ලබාගත් ණයද එයට එකතු වූ විට රටේ ණයබර උසුලාගත නොහැකි තත්ත්වයකට ඇද වැටුණේය. 2015න් පසුව කල්පිරුණු බැඳුම්කර ණය ගෙවීමට එවකට තිබූ යහපාලන ආණ්ඩුවද ක්‍රියා කළ බැවින් මේ තත්ත්වය තවත් උග්‍ර අතට හැරුණි. කොවිඩ් හේතුවෙන් රටේ ප්‍රධානම ඩොලර් ආදායම් මාර්ගය වූ විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරකයන්ගේ පැමිණීම කඩා වැටීමත් සමඟ ආර්ථිකය නැත්තටම නැති විය. එම කඩාවැටීම කොතරම් බරපතළදැයි කිවහොත් ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකරණ නිලධාරිනී හනා සිංගර් හම්දි පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 22%ක් එනම් මිලියන 4.9ක ජනතාවක් අද සිටින්නේ ආහාර ආධාර ලබාදිය යුතු තත්ත්වයක බවය. මීට වසර තුන හතරකට පෙර ඉහළ මැදි ආදායම් රටක් වශයෙන් හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාව ඉතිහාසයේ බරපතළම ආර්ථික කඩා වැටීමේ ඉරණමකට මේ තරම් ඉක්මණින් මුහුණදීම මහත් අවාසනාවන්ත තත්ත්වයකි.

මම සුඩාන්, සෝමාලියා සහ යේමනයේ වැඩකර ඇත්තෙමි. එහෙත් ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය මේ හැම රටකම අර්බුදවලට වඩා වෙනස්ය.* ශ්‍රි ලංකාවේ සිටින යුනිසෙෆ් ප්‍රකාශකයා ඕස්ට්‍රේලියාවේ ඒ.බී.සී. රෑපවාහිනී නාළිකාවට එසේ ප්‍රකාශ කර තිබිණි.

ගෝලීය වෙනස්කම් පිළිබඳ ටෝනි බ්ලෙයාර් ආයතනයේ වැඩසටහන් ප්‍රධානී මැතිව් ගෝඩ්න් මෑතකදී ශ්‍රී ලංකාවේ මේ පවතින තත්ත්වය ගැන නිව්ස්වීක් සඟරාවට සැපයූ ලිපියක මෙසේ සඳහන්ව තිබිණි.

ශ්‍රී ලංකාව සිටින්නේ කඩා වැටීමේ අද්දරය. මීළඟ සිංගප්පූරුව වීමට පෙරුම්පුරමින් සිටි ශ්‍රී ලංකාව දැන් ලෙබනන් ආකාරයේ කඩා වැටීමකට මුහුණ දෙමින් සිටී. ශ්‍රී ලංකාවේ රුපියල ලොවේ නරකම මුදල් ඒකකය බවට පත්ව තිබේ. රුසියානු ආක්‍රමණයට කාලයක පෙර සිටම ශ්‍රී ලංකාව තමන් විසින්ම ඇති කරගත් ආහාර අර්බුදයකටද මුහුණ දී ඇත. කිසිදු සොයාබැලීමකින් තොරව මූලික පොහොර ආනයනය කපා දැමීම හේතුවෙන් අස්වැන්න අඩු වී තිබේ. මේ අඩුව සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සහල් ආනයනය කිරීම 368෴කින් ඉහළ නංවා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ පවතින බරපතළ අර්බුදය මේ වනවිට රටේ පැවැත්ම සඳහා කරන අරලයක් බවට පත්වෙමින් තිබෙන බව මේ අනුව පැහැදිලිය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වටු වැද්දාගේ කතාවද උදාහරණයකට ගනිමින් ආණ්ඩුවේ මාර්ග සිතියම සභාගත කළේ මේ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන තිබීම හේතුවෙනි. හැබැයි මේ රට ආර්ථික විනාශයේ කරමුලටම කැඳවාගෙන ගිය &වටුවැද්දන්* සිටිනා තුරු ලංකාව ගොඩගන්නවා නම් බොරුය.

- ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00