2022 ජුලි 03 වන ඉරිදා

අකාල නොනගතේ!

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 81

අද රජයේ කාර්යාල තිබේ. එහෙත් විවෘත නැත. විවෘත වූ දිනවලද සේවකයන් හෝ නිලධාරීන් හෝ නැත. හිටියත් ඒ ඉතාම සුළු පිරිසකි.

අද පාසල් තිබේ. එහෙත් සිසුන්, ගුරුවරුන් නැත. පැවැත්වෙන පාසල් කිහිපයකටද ඇතැම් සිසුන් පැමිණෙන්නේ බස් රියවල වහළේය. මේ ඇඟ හිටිවැටෙන දර්ශන දකින විට අනේ අපේ රටට ගිය කලක් කියා නොසිතෙන මවක හෝ පියෙක් මේ රටේ සිටිය නොහැක.

දුම්රියේ ගමන් කිරීමට දහස් ගණනින් මගී ජනතාව දුම්රිය පොළවලට පැමිණියද දුම්රිය ගමන් කැන්සල් කෙරෙන්නේ එම ජනතාව කබලෙන් ළිපට ඇද දමමිනි. දුම්රියේ බලධාරීන් කියන්නේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට සියලු විධි විධාන යොදා ඇති බවය. ඒත් නියමිත දුම්රිය ධාවනය නොවන බව දුම්රිය පොළේ ශබ්ද විකාශනයෙන් ප්‍රචාරය වන සිට මගීන්ට සිදුවන්නේ දත්මිටි කෑමය. බස් ධාවනයද අඩු වී තිබේ.

පෙට්රල් ෂෙඩ් කොතරම් විවෘතව තිබුණත් ඒවායේ තෙල් නැත. අයි.ඕ.සී. ඉන්ධනහල්වලට පැමිණෙන තෙල් මිලදී ගැනීමට ටෝකන් අවශ්‍යය. එම ටෝකන් ලබාගැනීම සඳහාද පෝලිමේ සිටිය යුතුය. ගෑස් ලබා ගැනීමටද එවැනිම සටනකි.

පෞද්ගලික අංශයද අද කටයුතු කරන්නේ පණ අදින තත්ත්වයකිනි. තම නිෂ්පාදන වෙළෙඳපොළට යවා ගැනීමත් අපනයන කටයුතු සඳහා වරායට යවා ගැනීමත් එකම යුද්ධයකි. අමාරුවෙන් දහදුක් විඳ හෝ නිපැයුම් එතෙර යැවීමට කටයුතු කරන කර්මාන්තකරුවන් හේතුවෙන් රටට ඩොලර් යම් ප්‍රමාණයක් හෝ ලැබෙමින් තිබේ. ඒ අනුව මේ වසරේ මුල් මාස පහේදී ඩොලර් බිලියන 05කට ආසන්න විදේශ විනිමයක් උපයාදීමට සමත් වූ බවද සඳහන් වෙයි. මේ මහා ආර්ථික කළු වළාවේ එකම රිදී ඉරක් සේ පෙනෙන්නේ එම කාරණය පමණි. සෙසු සියලු කාරණා අඳුරුය. රටේ අනාගතය ගැන මවන්නේ මහා අඳුරු චිත්‍රයකි.

මේ පසුබිමේ දරාගත නොහැකි ජීවන බරකින් ජනතාව මිරිකෙමින් සිටිති. ආහාර සපයා ගැනීම පමණක් නොව කෙසේ හෝ ලබාගන්නා ආහාර පානද උයා පිහාගෙන කෑම එකම අවුලකි. කටට රසට මුහුදු මාළු නොඅඩුව කැමට හැකිවූ පිරිස් අද එවැන්නක් ගැන සිතන්නේත් නැත. යන්තම් මාළුවක් හදාගෙන සම්බෝලයක් කොටාගෙන කෑම කනවා හැරෙන්න පෝෂණයක් ගැන සිතන්නවත් ඉඩක් නැත.

මේ හේතුවෙන් වඩාත්ම හානිය සිදුවන්නේ මේ රටේ දරු පරපුරටය. දරුවන්ට ළමා කාලයේ ලබාදිය යුතු පෝෂණය මගහැරී ගියොත් එහි බලපෑම ජිවිත කාලයටමය. මේ නිසා මේ රටේ මවුපියන් බහුතරයක් අද සිටින්නේ මහත් සිත් වේදනාවෙනි. දරුවන් මන්දපෝෂණයට ලක්වනු ඉවසිය හැකි මවක් හෝ පියෙක් මේ මිහිපිට හෝ සිටිය නොහැක. ලංකාවේ දරුවන් සිටින්නේ බරපතළ ආහාර අර්බුදයක් ආසන්නයේ බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලද ප්‍රකාශ කර තිබිණි. මේ නිසා ලංකාවේ දරුවන්ට පිහිටවීමට වැඩපිළිවෙළක්ද ඔවුන් සකස්කර තිබේ.

රට අද මුහුණ දෙමින් සිටින්නේ අකාල නොනගතයකට බව පැහැදිලිව පෙනී යයි. මේ නොනගතය අලුත් අවුරුද්දේ උදාවන නොනගතය මෙන් නැකතට අනුව වෙනස් වන්නක් නොවේ. එය වෙනස් කිරීමට රටේ බාරකරුවන් පැහැදිලි සැලසුමක් ඇතිව වැඩකළ යුතුය. නමුත් තම තමන්ගේ දේශපාලන ප්‍රශ්න විසඳා ගැනීමට ගන්නා උනන්දුව රටේ ප්‍රශ්න විසඳා ගැනීමට යොදවන බවක් පෙනෙන්නට නැත. සැලැස්මක් තිබුණා නම් ඉන්දියාවෙන් ණයට ලැබෙන අවසන් තෙල් නැවත් පිටත්ව යාමෙන් පසුව තෙල් සොයා විදෙස් රටවලට පියාඹා යාමට අමාත්‍යවරුන් ක්‍රියා කරන්නේ නැත. ඒ වෙනුවට ඉන්දීය ණය ආධාර යෝජනාව යටතේ තෙල් නැව් ලැබෙමින් තිබියදී ඊළඟට ගතයුතු පියවර ගැන තීරණ ගත යුතුව තිබිණි. එහෙත් එය සිදුවූයේ නැත. දැන් රට තිබෙන්නේ තෙල් නැවක් නාවොත් මුළු රටම අඳුරෙන් අඳුරට යාමට සිදුවන තත්ත්වයකිනි.

මේ වසරේ ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍ය තෙල් ගෙන්වීමට ඩොලර් බිලියන 03ක්ද, අත්‍යාවශ්‍ය ආහාර ආනයනය සඳහා ඩොලර් මිලියන 900ක්ද, ගෑස් සඳහා ඩොලර් මිලියන 250ක්ද පොහොර සඳහා ඩොලර් මිලියන 600ක්ද ආසන්න වශයෙන් අවශ්‍ය බව රජය මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මෙම ඩොලර් ප්‍රමාණය මේ රටේ ප්‍රධානම අවශ්‍යතාවන් සපුරා ගැනීමට පමණක් ප්‍රමාණවත් වන අතර ජනතාවට අවශ්‍ය වෙනත් කිසිදු භාණ්ඩයක් නොගෙන්වූවත් එම ඩොලර් ප්‍රමාණය කෙසේ හෝ සපයා ගත යුතුය. ඖෂධ ඇතුළු වෙනත් සෞඛ්‍ය අවශ්‍යතා සඳහා වැයවන මුදල කොතරම්දැයි සඳහන් නොවූවත් රටේ රෝහල් පද්ධතියම ඖෂධ සහ ප්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය උපකරණ හිඟයෙන් බරපතළ ලෙස පීඩා විඳින බව රහසක් නොවේ. එම ගැටලුවටද අප්‍රමාදව විසඳුමක් අවශ්‍යය. නැතහොත් රට ඉදිරි මාස 06 අවසන් වනවිට දරුණු සෞඛ්‍ය අර්බුදයකට පත්වීම වළක්වා ගත නොහැකි වනු ඇත.

පවතින මේ නොනගතය හැමදාම පවතිනු ඇතැයි අප සිතන්නේ නැත. මේ රටේ කිසිවකුත් එවැන්නක් ප්‍රාර්ථනය කරන්නේද නැත. එහෙත් එසේ සුබවාදී මට්ටමින් කල්පනා කිරීම පමණක් මේ අර්බුදයෙන් ගොඩඒමට පාර කියාදෙන්නේ නැත. රට ගොඩගැනීම සඳහා වහාම ඵලදායී කාර්යක්ෂම වැඩපිළිවෙළකට යා යුතුය. ඒ සඳහා දේශපාලන වශයෙන් ගතයුතු පියවර ඇත්නම් ඒවාද නොපමාව ගතයුතුය. ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් දේශපාලන අර්බුදය හැකි ඉක්මණින් විසඳීමට ප්‍රමුඛත්වය ලැබිය යුතුය. දේශපාලන ලෙඩේට බෙහෙත් නොදී ආර්ථික ලෙඩේ සුවපත් කළ හැකි යැයි යමකු සිතනවා නම් එය මිත්‍යාවක් පමණි.