ලංකාවේ විධායක ජනාධිපති ධූරය සැලකෙන්නේ ලෝකයේ පවතින එවැනි පාලන ක්‍රම අතරේ වඩාත් බලවත් ධූරයක් හැටියටය. මේක හැදූ ජේ.ආර්. ජයවර්ධන ඒ කාලේ මේ ව්‍යවස්ථාව කොතරම් බලවත්දැයි කියන්න අපූරු සරල උපමාවක් ගෙනාවේය. ජේ.ආර්. ගැන අද බොහෝ දෙනාට මතක නැති වුණත් මේ ව්‍යවස්ථාවෙන් කොරන්න බැරි ගෑනියෙක් මිනිහෙක් කොරන එකත් මිනිහෙක් ගෑනියෙක් කොරන එකත් විතරයි වශයෙන් වූ ඒ උපමාව අදටත් මතකය. විධායක ජනාධිපති ව්‍යවස්ථාවේ හොඳ නරක වෙනම කතා කළ යුතුය. හැබැයි අද ඒ ගෑනු පිරිමි කළ නොහැකි පිරිමි ගෑනු කළ නොහැකි තරම් බලවත් ව්‍යවස්ථාවටත් කරන්න බැරි දේ තිබෙන බව ඔප්පු වෙමින් තිබේ.
ගෝඨාභය රටේ විධායක ජනාධිපති වෙනකොට ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව තිබුණේ තටු කැපිලාය. ඒ තටු කැපිල්ල සාර්ථකවම කෙරුණේ 2001 වසරේ බලයට පත්වුණු රනිල්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ කරු ජයසූරිය ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් ගෙන ආ 17 වැනි සංශෝධනය හරහාය. රටේ පාලනය යකඩ හස්තයකට යටකර තිබූ ජේ.ආර්. ගේ ව්‍යවස්ථාවේ ඒකාධිපති ස්වරෑපය ඉවත් කර තරමක් දුරකට ජනතාවාදී හැටියට හැඩගැසුණේ එම සංශෝධනයෙනි. ජනාධිපතිවරයාගේ අසීමිත බලතල ස්වාධීන කොමිෂන් හරහා තරමක් දුරකට පාලනය කර ගැනීමට 17 වැනි ව්‍යවස්ථාව හරහා ඉඩකඩ සලසා තිබිණි.
යූ.එන්.පී. ආණ්ඩුව මේ 17 සංශෝධනය ගෙනාවේ රටට තිබුණු ආදරේට වඩා ඒ කාලේ විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකාට තිබූ විරෝධය නිසාය. චන්ද්‍රිකා වැඩි කාලයක් යන්න කලින් මේ ආණ්ඩුව පෙරළනු ඇති බවට වන සැකය මුල ඉඳන්ම යූ.එන්.පියට තිබුණි. ඒ කාලේ චන්ද්‍රිකාගේ දේශපාලනය තුළ ළඟින්ම අගසව් වගේ හිටියේ මංගලය. අනෙක් තැනැත්තා එස්.බී. දිසානායකය. මේ දෙන්නාම දේශපාලන කරළිය තුළ අති දක්ෂ ගේම්කාරයන් බව රනිල් දැන සිටියේය. 17 ව්‍යවස්ථාව උපන්නේ මේ පසුබිමේය. ඒ එක්කම රට පවතින තත්ත්වය වඩා ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරු කළ යුතු බවට අදහසක් ද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තුළ තිබිණි. එතෙක් රටේ ක්‍රියාත්මකව තිබූ සාපරාධී අපහාස නීතිය අක්‍රීය කිරීමට රනිල් ගත් පියවරින් ඒ බව තහවුරු විය.
කොහොම වුණත් රනිල්ලාට වඩා චන්ද්‍රිකාලා ඉස්සර විය. අවුරුදු දෙකකදී රනිල්ගේ ආණ්ඩුව වට්ටනු ලැබීය. ඊළඟට තැබූ මහ මැතිවරණයෙන් ජවිපෙ සහායත් අරගෙන චන්ද්‍රිකා ආණ්ඩුව පිහිටුවීය. හැබැයි 17 ව්‍යවස්ථාව වෙනස් කර ගන්න තරම් බලයක් පාර්ලිමේන්තුවේ නොතිබූ නිසා ඒක ඉතිරි වුණේය.
ඊටපස්සේ 2005 දී ජනාධිපති වූ මහින්දටත් 17 වෙනස් කරගත නොහැකි වුණේ ඒකට අවශ්‍ය බලයක් නොලැබුණු නිසාය. මේ බලය ලැබුණේ යුද්ධය දිනූ මහින්ද ඒ එක්කම තැබූ මැතිවරණයෙන් පසුවය. ඒකෙන් තුනෙන් දෙකකට ආසන්න ජයක් ලැබූ මහින්ද අවශ්‍ය ඉතුරු මන්ත්‍රී ධූර සංඛ්‍යාවත් සම්පූර්ණ කරගෙන 18 ව්‍යවස්ථාව ගෙනාවේය.
ඒ වෙලාවේ රටේම ඉතිහාසය වෙනස් කර අලුත් ගමනක් යන්න තිබූ ස්වර්ණමය අවස්ථාව වෙනුවට මහින්ද තෝරාගත්තේ පවුල සහ තම සමීප දේශපාලන හිතවතුන්ට අවශ්‍ය වූ ගමන් මගය. මේ නිසා 17 වැනි ජනතාවාදී සංශෝධනය කටුගා ගෙන එනු ලැබූ 18 ව්‍යවස්ථාව රටේ ගමන්මග යහපත් අතට හැරවීමට වඩා රාජපක්ෂවරුන්ට සදාකල් බලයේ ඉන්න පුළුවන් විදියට නිර්මාණය කරගත් දරුණු ඒකාධිපති ස්වරෑපයේ එකක් විය. රටේ ඉතිහාසය අඳුරු කාලයක් කරා ගමන් ඇරඹීමේ ව්‍යවස්ථාමය වෙනස ඇරඹුණේ එතැනිණ. නමුත් ඒ බව රාජපක්ෂ පාලනයේ ඉහළින් සිටි කිසිවකුටත් දැනුණේ නැත. එය හරියටම දැනගත්තේ 2014 වනවිට පක්ෂය දෙදරා යන අවස්ථාවේය. එවිට ප්‍රමාද වී වැඩිය. 2015 දී සදාකල් බලයේ ඉන්න හැදූ ව්‍යවස්ථාවක් අතේ තබාගෙනම මහින්ද පැරදුණේය.
ඊළඟට බලය ගත් මෛත්‍රීපාල 19 ව්‍යවස්ථාව ගෙනැවිත් තමන්ගේ බලතල කප්පාදු කර ගත්තේය. 18ට වඩා 19 වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී විය. ඒ බලතල තටු කැපීමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාද දායකත්වය ලබා දුන්නේය. රටේ ව්‍යවස්ථාව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කිරීමේ අරමුණත් එක්කම ජනාධිපතිගේ බලතල පාර්ලිමේන්තුවට පවරාගෙන අග්‍රාමාත්‍යවරයාගේ බලතල වැඩිකර ගැනීමේ අරමුණද 19 ව්‍යවස්ථාව ඇතුළේ තිබිණි. කොහොම වුණත් 18ට වඩා 19 හැම අතින්ම හොඳ විය.
2019දී බලයට ගත් ගෝඨාභයට 19 ව්‍යවස්ථාවේ බලතල මදි විය. ඔහුටත් වඩා 19 ව්‍යවස්ථාව වෙනස් කිරීමේ අවශ්‍යතාව තදින්ම දැනී තිබුණේ රාජපක්ෂ පවුලටය. 2010 දී ව්‍යවස්ථාව වෙනස් කර 2014 වනවිට එහි ආදීනව හොඳින්ම විඳගත්තත් ගෝඨාභය බලයට ගෙන ඒමට සියලු පහසුකම් සැලසූ බැසිල්, මහින්ද ඇතුළු සියලු රාජපක්ෂවරුන්ට අවශ්‍ය වී තිබුණේ යළිත් වරක් ඒකාධිපති ස්වරෑපයේ පාලනයක් බවත් අසීමිත බලයක් ලබාගැනීමේ අරමුණක් ඒ තුළ තිබූ බවත් පැහැදිලිව පෙනුණි. අන්තිමට ගෝඨාභය බලයට ගෙන ආ බලවේග සියල්ලේම බලවත් විරෝධය මැද ගෝඨාභය 20 ව්‍යවස්ථාව සම්මත කර ගත්තේය. එතුළ තිබූ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තිය කෙළින්ම බැසිල් වෙනුවෙන් සකස් කර තිබූ බැවින් එම සංශෝධනය එක් පුද්ගලයකු වෙනුවෙන් රටක ව්‍යවස්ථාව වෙනස් කළ ලෝකයේ පළමු රට බවට ලංකාව පත් කිරීමක් යැයි විපක්ෂය ඇතුළු සිවිල් සංවිධාන චෝදනා කළේය. ඒ චෝදනා පහසුවෙන්ම බැහැර කිරීමට ගෝඨාභය පාලනයට හැකිවුණේ ලක්ෂ 69ක ඡන්දයක් තමන්ට ලැබුණු බව පෙන්වා දෙමිනි.
අසීමිත බලයට කෑදර වීම පෞද්ගලිකව තමන්ටත් පොදුවේ රටටත් හොඳ නැති බව කියන පාඩම සමහර නායකයන් කවදාවත් තේරුම් ගන්නේ නැත. ජේ.ආර්. ට තිබූ අසීමිත විධායක බලය අන්තිමට ඔහු පදිංචිව සිටි කොළඹ බොරුල්ලේ වෝඩ් පෙදෙසට පමණක් සීමා විය. උතුරේ යුද්ධයකුත් දකුණේ දරුණු කැරුල්ලකුත් ඇතිවිය. කිසිම මන්ත්‍රීවරයකුට හෝ ඇමැතිවරයකුට මරණ බයෙන් තොරව එළියට බැසීමටවත් හැකිවුණේ නැත
මහින්ද 18 හරහා යළිත් අසීමිත බලයක් ආරෝපණය කර ගත්තත් ඒ බලය තිබුණේ යන්තම් අවුරුදු 04ක් පමණි. ඒ අසීමිත බලතල නැතුව 2005 සිට 2010 දක්වා රට පාලනය කළ මහින්දට රටේ වඩාත්ම ජනප්‍රිය සහ ශක්තිමත්ම නායකයා ලෙස වැජඹීමට හැකියාව තිබිණි. ඒ නායකයාම අසීමිත බලතල යටතේ පැවැත්වූ පළමු මැතිවරණයෙන්ම පරාජයට පත් විය.
මේ රටේ විධායක බලතල අතේ තබාගෙන ඒවා දැඩිව ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටි චන්ද්‍රිකා තම ධූර කාල දෙකම අවසන් වනතුරු බලයේ රුඳී සිටියාය. ඇයට එරෙහිව රට තුළින් ප්‍රබල මහජන විරෝධයක් ඇතිවූයේ නැත.
ඊළඟට මෛත්‍රීපාල සිරිසේන ද බලතල අඩුකරගත් ජනාධිපතිවරයකු හැටියට තම ධූර කාලය සම්පූර්ණ කළේය. ඔහු මුහුණ දුන්නේ රට ඇතුළෙන් ආ විරෝධයකට වඩා රජය ඇතුළෙන් පැන නැගුණු විරෝධයකටය. ඒ එක්කම පාස්කු ප්‍රහාරයත් ඔහුගේ දේශපාලන ගමනට හරස් විය. ඊටත් වඩා තමන් අත්හැර දැමූ විධායක බලය සැමවිටම ආපසු ලබාගැනීමට කැසකවමින් සිටි රාජපක්ෂලාට යළිත් ආණ්ඩුව බාරදීමට ගත් පියවරද ඔහුගේ දේශපාලනය රටේ මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට හේතු විය.
ගෝඨාභය දැන් රටේ විශාල විධායක බලයක් අරෝපණය කරගත් ජනාධිපතිවරයාය. හැබැයි එළියට බහින්නටත් විදියක් නැත. ඔහු එළියට බහිනවා නම් එහෙම යා යුත්තේ විශාල ආරක්ෂාවක් යොදා ගනිමිනි. ඔහුගේ ජනාධිපති ධූරයේ කාර්යභාරය තමන් හමුවීමට එන රාජ්‍ය අමුත්තන් පිළිගැනීමටත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීමටත් සීමා වී තිබේ. අද රටේ ආණ්ඩුවක් ක්‍රියාත්මකව පවතින්නේද යන්නත් නොපෙනෙන තරමට රටේ ප්‍රශ්න උග්‍රය. රජයේ දෙපාර්තමේන්තුවල වැඩ නොකෙරෙන තරමට අඩාල වී තිබේ. පාසල් වසා දමා ඇත. ජනතාව වැඩි වශයෙන් ඉන්නේ තෙල් - ගෑස් පෝලිම්වලය. ආහාර සහ භාණ්ඩ හිඟය උග්‍රවෙමින් තිබේ. රටේ උද්ධමනය මුළු ලෝකයේම කතා කරන මාතෘකාවක් බවට පත් විය. එක මාසයක් තුළ 54෴ක උද්ධමනයක් පෙන්වූ වෙනත් රටක් ලෝකයේම නැත. එළියේ කතා නොකළත් හොඳට කාපු බීපු බොහොමයක් දරුපවුල් අද ඉන්නේ බාගෙට හාමතෙනි. කියාගන්න බැරි දුක් පීඩාවලින් රටේ ජනතාව පෙළෙමින් සිටිති.
මේ සියල්ල රටට වුණේ ලෝකෙන්ම අසීමිත විධායක බලයක් තිබෙන ජනාධිපතිවරයකුට රටේ පාලනය භාරව තිබියදීය. මේ අසීමිත බලයෙන් පමණක් රටේ ගැටලුවලට විසඳුම් ලබා දිය නොහැකි බව ඔහු දැන්වත් තේරුම් ගෙන ඇතිදැයි කියන්න බැරිය. බලයේ සිටින විධායක ජනාධිපතිවරයකුට &ගෝ හෝම්* කියන අරගලයක් පාලනය කර ගැනීමටත් හැකියාවක් නැත. එහෙම වෙලා තියෙන්නේ තමන්ට බලය දුන් ලක්ෂ 69ක ජනතාව තවදුරටත් රජයට සහාය නොදක්වන බැවිනි. මේ වනවිට යළිත් රටපුරා විපක්ෂයෙන් විරෝධතා රුලි සංවිධානය කරමින් තිබේ. මේ සියලු දෙනා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වී සර්ව පාක්ෂික ආණ්ඩුවකට තාවකාලිකව රට බාරදිය යුතු බවය. හැබැයි ජනාධිපතිවරයා කියන්නේ තමන් 69 ලක්ෂයකගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයකු නිසා එහෙම ධූරයෙන් යා නොහැකි බවය.
විධායක ජනාධිපති බලතල රටේ ප්‍රශ්න විසඳීමට පුදුම පහනක් නොවන බව තේරුම් නොගත් නායකයන් සියලු දෙනා අද මේ රට වැටී තිබෙන තත්ත්වයට වගකිව යුතුය. හැබැයි මේ බව දැන දැනත් තමන්ට දැන් නැති ලක්ෂ 69ක ඡන්දයක් ගැන කියමින් විකල්පයකට ඉඩ නොදෙන ගෝඨාභය රාජපක්ෂ මහතා මේ කරන්නේ රටේ සමස්ත ජනතාවගේම ජීවිත පරදුවට තැබීමකි. ලක්ෂ 69 තිබේදැයි දැනගත හැකි හොඳම ක්‍රමය ඡන්දයකට යාම පමණි. අඩුම තරමින් දැනට කල් තබා තිබෙන පළාත් පාලන ඡන්දය හෝ ඒ සඳහා යොදාගත හැකිය. එහෙමත් නොකර රටේ ප්‍රශ්නවලටද විසඳුමක් නැතිව අගමැතිවරු සහ ඇමැතිවරු අලුතින් පත් කර සිදු කරන අත්හදා බැලීම්වලින් පමණක් රට ගොඩගත හැකි යැයි සිතනවා නම් එය තමන්ම මුලාවේ දමා ගැනීමකි. ඒ බව තේරුම් නොගන්න තාක් කල් ගෝඨාභය මහතාට කළ හැකි වන්නේ ජනාධිපති මන්දිරයට වී විධායක බලතලත් අතේ තබාගෙන රාජ්‍ය අමුත්තන් හමුවීම පමණි.
- ශශීන්ද්‍ර