2022 ජුලි 10 වන ඉරිදා

උද්ධමනය සහ දේශපාලනය

2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:0088

ඉදිරි කාලසීමාව තුළ රටේ උද්ධමනය 70%ක් දක්වා වැඩිවිය හැකි බව පසුගිය බ්‍රහස්පතින්දා (07) පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු අඟවා තිබිණි. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මහ බැංකුව පොලී අනුපාතය වැඩිකර උද්ධමනය පාලනය කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතාගේ ප්‍රකාශයේ සඳහන් විය.

දැනටද පවතින 54.6%ක අධි උද්ධමන තත්ත්වය යටතේ ආර්ථික පීඩනයේ කර මුලටම හිර වී සිටින රටේ පොදු මහජනතාව 70%ක උද්ධමන පීඩනයකට කෙසේ මුහුණ දෙනු ඇතිදැයි සිතාගන්නත් අමාරුය. එය අමාරුවකටත් වඩා භයානක නපුරු සිහිනයකි. එවැනි තත්ත්වයක් යටතේ රටේ සෑම සියලුදෙනාම හිඟමනට වැටෙන තරමට සාගින්නේ සිටීමට සිදුවන අවස්ථාවකට මුහුණ දීමට පවා සිදුවීම වළක්වා ගත නොහැකි වනු ඇත. මහ බැංකු අධිපතිගේ වගකීම වන්නේ රටේ ජනතාව එවැනි අමාරුවකට ඇද වැටීමෙන් වළක්වා ගැනීමය. දැනට පවතින අධි උද්ධමන තත්ත්වයද හැකි තරම් දුරකට පහත දැමීමට කඩිනම් විසඳුම් සෙවීමය.

මුදල් අච්චු ගැසීමද මේ තරම් අධික උද්ධමනයක් ඇතිවීමට ප්‍රධාන කාරණාවක් වී තිබේ. එම තත්ත්වය තවමත් නොවෙනස්ව පවතින බවද මහ බැංකු අධිපතිවරයාගේ සාකච්ඡාවේදී සඳහන් විය. එයට උදාහරණයක් වූයේ තෙල් සංස්ථාවට තෙල් මිලදී ගැනීම සඳහා මුදල් අච්චු ගසා ලබාදීමට සිදුවීමය. මේ වනවිටද තෙල් මිලදී ගැනීම සඳහා සංස්ථාව භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 217ක් ඉල්ලා තිබේ. එය ලබා දීමට මහ බැංකුව පියවර නොගත්තොත් රටට තෙල් නොලැබෙන බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී තිබිණි. මීට පෙර වසර තුළදී විදේශ විනිමය ණය ගෙවීම සඳහා මහ බැංකුව විශාල වශයෙන් මුදල් අච්චු ගැසූ බවද පසුගිය අප්‍රේල් වනතුරු තත්ත්වය එය වූ බවද ප්‍රකාශ කර තිබූ මහ බැංකු අධිපතිවරයා මේ වනවිට අවශ්‍යතාව අනුව පමණක් මුදල් අච්චු ගැසීමට පියවර ගෙන ඇති බවද පොලී අනුපාතය වැඩිකර උද්ධමනය පාලනය කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබිණි.

ඒ බලාපොරොත්තුව මේ රටේ සියලු ජනතාවගේද බලාපොරොත්තුවය. නහයටත් උඩින් වතුර ගිය විට පරඬැලක එල්ලී හෝ ගොඩ ඒමට උත්සාහ ගනු හැර ජීවිතය ගලවා ගැනිමට වෙනත් මඟක් නැත. ආර්ථික මඩ ගොහොරුවක කරවටක් එරී සිටින පොදු මහජනතාව දැන් බඩු මිලක් ගැන වද වෙන්නේ නැත. එම මිල ගණන් ඒ තරමට ඉහළය. පාන් ගෙඩිය රුපියල් 200ට ආසන්නය. සහල්, මාළු, බිත්තර, එළවළු, පරිප්පු, අල, ලූනු, පාන් පිටි වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දැරිය නොහැකි තරමට ඉහළ ගොසිනි. උද්ධමනය යන වචනයේ තේරුම කුමක්දැයි සොයාබලන්නට හෝ උවමනාවක් නොතිබුණු අපට දැන් එය ඇඟටම දැනෙමින් තිබේ. එය තවත් ඉහළ යාමට ඉඩ තිබෙන බවට මහ බැංකු අධිපතිවරයා කරන ප්‍රකාශ අපගේ හදගැස්ම තවදුරටත් වැඩි කිරීමට නිසැකවම හේතුවෙයි. ඒ වැඩිවන හද ගැස්ම යථා තත්ත්වයට පත් කිරීමේ බෙහෙත ඇත්තේ මහබැංකු අධිපතිවරයා අතේ බවද පෙන්වා දීමට කැමැත්තෙමු.

මේ රටේ ආර්ථිකය හැසිර වූ දේශපාලනඥයන් සහ ඉහළ පෙළේ ඇතැම් නිලධාරීන් විසින් දුරදිග නොබලා ගන්නා ලද තකතීරු තීන්දු හේතුවෙන් රටේ ජනතාව මතට මේ මරාලය කඩා වැටී තිබෙන බව යථාර්ථයයි. ජනතාව පාලකයන් පිරිසක් තෝරාගෙන ඔවුන්ට ඡන්දය දී පාර්ලිමේන්තුවට යවන්නේ මහත් බලාපොරොත්තු තබාගෙනය. පාලකයන් විසින් සුදුසුම පුද්ගලයන් ඉහළ තනතුරුවලට පත්කර රටේ ගැටලු විසඳා දීමට පියවර ගනු ඇති බවට ජනතාව තුළ ඇත්තේ ලොකු විශ්වාසයකි. එහෙත් අවාසනාව නම් බොහොමයක් ආණ්ඩු පිහිටු වූ දේශපාලනඥයන් සහ ඔවුන් පත් කළ නිලධාරීන් ජනතාවගේ එම විශ්වාසය රුක දීමට අපොහොසත් වීමය. ආර්ථික ගැටලු විසඳීමේදී ඔවුන් වැඩිපුරම අවධානය යොමුකළේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට නොව ඊළඟ ඡන්දයේදී තමන්ගේ බලය යළි ජනතාවගෙන් උදුරා ගැනීමට මුල් තැනක් දීමටය. කාලයක් තිස්සේ සිදුවෙමින් පැවැති මේ ක්‍රියාවලියේ අවසානය මෙවැනි ව්‍යසනයක් හැර වෙනත් යමක් විය හැකිද? නැත.

අපේ රටේ ජනතාවද මේ අමිහිරි යථාර්ථය දැන් යම් පමණකට තේරුම් ගනිමින් සිටියද ඕනෑම දෙයක් නිකම් ලබාදෙන බවට පොරොන්දු දෙන දේශපාලනඥයන් වෙනුවෙන් කතිරය ගසද්දී මෙවැනි තත්ත්වයක් උදාවනු ඇති බවක් කවදාවත් තේරුම් ගත්තේ නැත. ජනතාව ගොනාට අන්දවා තමන්ගේ බලය ලබාගත් දේශපාලනඥයන්ටද මේ තත්ත්වය දැන්වත් අවබෝධ වී තිබෙනවා නම් එය රටේ යහපතට හේතුවනු ඇත. එහෙත් &සිස්ටම් චේන්ජ්* එකක් වෙනුවෙන් සිදුකෙරෙන අරගලය තවදුරටත් තීව්‍ර වීමෙන් පෙනෙන්නේ දැනටමත් දේශපාලනඥයන් ප්‍රමාද වැඩි බවය. වත්මන් මහ බැංකු අධිපතිවරයාට ඒ අනුව පැවරී ඇත්තේ ඓතිහාසික වගකීමක් බවත් එම වගකීම ඉටුකළ හැක්කේ උද්ධමනය තරමක් දුරකට හෝ පාලනය කිරීමෙන් පමණක් බවත් සඳහන් කළ යුතුය.