ලංකාවේ දේශපාලන අර්බුදය සංක්‍රාන්ති සමයකට එළැඹී තිබේ. පාලන බලයේ හුවමාරුවක් හෝ වෙනසක් හෝ සම්බන්ධයෙන් රට තුළ ඇතිවූ බලාපොරොත්තුව කෙසේ විසඳෙනු ඇතිදැයි යන්න තවමත් අවිනිශ්චිතය. ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එවා ඇති බව කථානායකවරයා විසින් ප්‍රකාශ කිරීමත් සමඟ වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (15) දිව්රැම් දුන්නේය. එම වැඩබලන ජනාධිපති ධුරය අනුප්‍රාප්තික ජනාධිපති ධුරය බවට පත්වනු ඇතිදැයි තීරණය වන්නේ පාර්ලිමේන්තුවෙනි. ඒ සඳහා ඉදිරි දින කිහිපය තුළදී අවශ්‍ය පියවර ගැනෙනු ඇත.
නව ජනාධිපතිවරයකු දිව්රුම් දුන්නත් එය සිදුවන්නේ සාමාන්‍ය තත්ත්වයකින් නොව ඉතාම අසාමාන්‍ය වූ තත්ත්වයක් යටතේය. මීට පෙර ජනාධිපතිවරයකුගේ ධූර කාලය නිමවීමට පෙර අකාලයේ ධුරය පුරප්පාඩු වූයේ එක් අවස්ථාවකදී පමණි. ඒ 1993 වසරේ මැයි මස 01 වැනිදා සිදුවූ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනය හේතුවෙනි. ඒ අවස්ථාවේදී රටේ අග්‍රාමාත්‍යරවයා වූ ඩී.බී. විජේතුංග මහතා වැඩබලන ජනාධිපති වශයෙන් දිවුරැම් දුන් අතර පසුව පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ එකඟත්වයෙන් ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් නිතරගයෙන් තෝරා පත්කර ගනු ලැබීය. ඔහු නියමිත කාලය අවසන් වනතුරැ එම ධුරය දැරුවේය.
මෙවර තත්ත්වය ඊට වඩා වෙනස්ය. ජනාධිපති ධුරය පුරප්පාඩු වූයේ මහජන විරෝධය හේතුවෙන් තවදුරටත් ජනපති අසුනේ රැඳී සිටීම තබා රට තුළ සිටීමත් සිදුකළ නොහැකි තත්ත්වයකට පත්වීම හේතුවෙනි. එය ඔහුගේ කැමැත්ත නොවුණද බරපතළ ආර්ථික කඩා වැටීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි ජනතාවගේ ආවේගශීලී බව කෝපයට හැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බිහිවූ මහජන නැගිටීමේ ප්‍රතිඵලය විය.
මාස 03කට අධික කාලයක් තිස්සේ පැවැති එම අරගලකාරී තත්ත්වයේ කූඨප්‍රාප්තිය වූ ජූලි 09 වැනිදා පැවැති දැවැන්ත විරෝධය දක්වාම රටේ පැවතුණේ මහා අරගලකාරී තත්ත්වයකි. බැලූ බැලූ අත දිස්වූයේ පෝලිම්ය. කඩසාප්පු අරිනවාට වඩා වසා තිබිණි. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟවීමය. දැරිය නොහැකි තරමට බඩුමිල ඉහළ ගියේය. රැකියා අහිමි විය. දැන්නම් ඉවසුවා ඇතියන්න රටේ බහුතරයකගේ අදහස වූ විට එම ඉවසීමේ රතු කට්ට පැන්නේ මහපාරේදීය. මේ කෙටි ඉතිහාසය ඉදිරියේදී රටේ පාලන බලය කෙටි කාලයකට හෝ ලබාගන්න සියලු දෙනාට වැදගත් බව සිහිපත් කළ යුතුය.
රටේ ජනතාවට දැන් අවශ්‍ය වන්නේ තමන් පෙළන දහසක් ගැටලු අතුරින් කිහිපයකට හෝ පිළිගත හැකි විසඳුම් ලබාදෙන පාලනයකි. තමන්ට විශ්වාසය තබාගත හැකි නායකයන් පිරිසකි. ඒ විශ්වාසය රුකදිය හැක්කේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරැන්ටම පමණි. මීළඟට පවත්වන මැතිවරණයකින් මිස අලුත් ආණ්ඩුවක් පත්වීමට වෙනත් මගත් නැත.
දේශපාලන අර්බුදයට සැබෑ විසඳුමක් ලැබීමකින් තොරව රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට මාර්ගයක් නොපෑදෙන බව ඉර හඳ සේ විශ්වාසය. දේශපාලන ස්ථාවරභාවය ආර්ථිකයේ ඉදිරි ගමන් මගේ අවශ්‍යම සාධකය බව මහ බැංකු අධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව සමඟ ණය පහසුකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රටේ ස්ථාවරභාවය තිබිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ප්‍රකාශ කර තිබිණි. මේ නිසා තාවකාලිකව බලයට පත්වෙන ජනාධිපතිවරයාටත් ඊළඟට බිහිවීමට නියමිත සර්ව පාක්ෂික හෝ අන්තර්වාර හෝ පාලනයටත් පැවරෙන්නේ බරපතළ වගකීමකි. බොරැ සීනිබෝල කතා කියමින් අනෙකාට බෝලය පාස් කරමින් කාලය කා දැමීමට ඔවුන්ට කිසිදු ඉඩක් නැත. එහෙම ඉඩක් මහජනතාවගෙන් ලැබෙන්නේද නැත.
අපේ රටට තවදුරටත් මේ ආකාරයට ඉදිරියට යා නොහැක. පවතින පෝලිම් එකවර නැති කිරීම කළ නොහැකි වුවද ඒවා අඩු කිරීමට ක්‍රියාකාරී සැලැස්මක් හැකි ඉක්මණින් සකස් කර ගැනීමට ප්‍රමුඛත්වය ලැබිය යුතුය. තමන්ට ලැබෙන වරප්‍රසාද සහ වෙනත් අනුග්‍රහ පිළිබඳ නොව රටේ පොදු මහජනතාව මත පැට වී තිබෙන බර සැහැල්ලු කිරීමේ වැඩපිළිවෙළකට වහාම අනුගත වීම අලුත් පාලනයෙන් ජනතාව නිසැකවම බලාපොරොත්තු වනු ඇත. එම වගකීමෙන් කර ඇරීමට කිසිවකුටත් හැකියාවක් නැත.
නව ජනාධිපතිවරයා සිය රාජකාරි අරඹන්නේ මේ පසුබිමේ සිටිමිනි. සර්ව පාක්ෂික රජයේ තනතුරැලාභීන්ට වැඩ කිරීමට සිදුවන්නේත් මේ පසුබිමේය. දැනට පවතින දේශපාලන ගැටලු හැකි ඉක්මණින් විසඳාගෙන වැඩට බැසීම මේ අවස්ථාවේ රටේ බහුතරයකගේ බලාපොරොත්තුවය. එම බලාපොරොත්තුව කඩවෙන තැනට වැඩ සිද්ධ වුණොත් රට මහා ව්‍යසනයකට මුහුණ දෙනු ඇත. එසේ නොවීමට සියලුදෙනා වගබලා ගතයුතුය.