2022 ජුලි 17 වන ඉරිදා

ගෝඨාභයට යන්න වුණේ ඇයි?

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 200

වසර 2 යි මාස 07 යි දින 25 ක් රටේ ජනාධිපති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය බ්‍රහස්පතින්දා (14) සිංගප්පූරුවට ගොඩබැසීමෙන් පසුව ඉල්ලා අස්වීමේ ලියුම එව්වේය. සිංගප්පූරුවේ මහ කොමසාරිස් කාර්යාලය හරහා ඊමේල් මගින් එම ලියුම කථානායකට ලැබීමට සලස්වා තිබිණි. එම ඉල්ලා අස්වීම නිල වශයෙන් සිකුරාදා (15) නිකුත් කිරීමට කථානායකවරයා පියවර ගත්තේය. 

ගෝඨාභය තමන් අසාර්ථක වීම සම්බන්ධයෙන් කුමන කරුණක් හෝ අස්වීමේ ලිපියේ සඳහන් කර නැතුවා විය හැකිය. ව්‍යවස්ථානුකූලව ධූරයෙන් ඉල්ලා අස්වන බව පමණක් සඳහන් කර තිබෙනු විය හැකිය. එහෙත් ඔහු තමන්ගේ ඉල්ලා අස්වීමට තුඩු දුන් හේතු පැහැදිලි කර ලියුමක් ලිව්වා නම් එහි සඳහන් වන කරුණුවලට වඩා සඳහන් නොවන කරුණු බොහෝ තිබෙනු ඇතැයි කිව යුතුය. එම සඳහන් නොවන කරුණු මෙසේ වනු ඇත.

ගෝඨාභය අසාර්ථක වූ ජනාධිපතිවරයකු බව පුන පුනා කීම අවශ්‍ය නොවේ. ඔහුගේ අසාර්ථකත්වය කොතරම් ප්‍රබලදැයි කිව්වොත් එය රටේ ඉතිහාසගත ජන අරගලයක් කරා සමස්ත සමාජයම මෙහෙයවනු ලැබීය. ඔහු දේශීය වශයෙන් නොව ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේදී පවා පෙන්නුවේ ඉතාම අදූරදර්ශී තීරණ ගන්නා නායකයකුගේ ලක්ෂණ මිස බුද්ධියෙන් තීරණ ගන්නා නායකයකු වශයෙන් නොවේ. තීරණ ගැනීමේදී තමන්ගේ දේශපාලන න්‍යායාචාර්යවරුන්ගෙන් (එවැනි අය සිටියා නම්) පමණක් නොව තමන් සමඟ සිටි විද්වතුන්ගෙන් හෝ විමසා බලා කටයුතු කිරීමේ පුරුද්දක් නොතිබීම ඔහුගේ කඩා වැටීමේ ආරම්භය විය.

ඔහු මේ රට පාලනය කළේ තනි මතයට තීන්දු ගැනීමෙනි. වසර 70ක දේශපාලනයට කෙනකුට ඇඟිල්ල දිගු කළ හැකි වුවද එය සිදු කිරීමට අඩුම සුදුසුකම් ඇත්තේ තමාට බව ගෝඨාභය තේරුම් ගෙන නැත. මුල සිටම සිදු කළ වරද්දා ගැනීම් හේතුවෙන් තමන් බලයට පත් කළ බලවේග අමනාප කර ගැනීම රට ආර්ථික වශයෙන් ශීඝ්‍ර කඩා වැටීමක් දක්වා තල්ලු වෙද්දී ඔහුට තිබූ ආරක්ෂක දැල අහිමි කර ගැනීමක් විය. ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ගෝඨා ගෝ හෝම් කියද්දී &වී වෝන්ට් ගෝඨා* කියන්න බය නැතුව එළියට බැස්සේ කිහිප දෙනකු පමණි. අඩුම තරමින් තමන් සොහොයුරන් හෝ ඔවුන්ගේ පුතුන්වත් ගෝඨා අපට ඕනෑ කියන්න එළියට බැස්සේ නැත. 

ගෝඨාභය බලයට පැමිණීමේදී භාවිත කළ ලොකුම සටන් පාඨයක් වූයේ රටේ බුද්ධි ජාලය යහපාලනය මගින් අඩපණ කර ඇති බවත් පාස්කු ප්‍රහාරය එල්ල වූයේ ඒ නිසා බවත්ය. එයින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වූ බවත් තමන් බලයට පැමිණි වහාම පාස්කු ප්‍රහාරයේ මොළකරුවන් සියලු දෙනා නීතිය හමුවට පමුණුවන බවත් ජනතාව හමුවේ ගෝඨා පොරොන්දු විය. පාස්කු ප්‍රහාරයෙන් හරියටම දවස් 07ක් ගතවෙද්දී තමන් ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බව ගෝඨා ප්‍රකාශ කරන විට රටේ සියලු ජාතික බලවේගය සහ භික්ෂූන් වහන්සේලා ද පමණක් නොව කතෝලික පල්ලියේ සහාය ද ගෝඨාභයට ලැබුණි. ඊට පසු ජනාධිපතිවරණය ජය ගැනීම දක්වා ගෝඨා පැමිණි ගමන බොහෝ සුව පහසු එකක් විය.
හැබැයි ඡන්දයකදී ලබාදෙන පොරොන්දු ඉටුකිරීම සෑහෙන දුෂ්කර බව ගෝඨා දැනගන්න ඇත්තේ බලය ලබාගැනීමෙන් පසුවය. ඔහු බලයට පැමිණි වහාම ජනතාවට ලබා දුන් පොරොන්දුවලට වඩා රාජපක්ෂ පවුලේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට මුල්තැනක් දුන්නේය. සියල්ලටම කලින් 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කර ජනාධිපති ධූරයේ බලතල තවත් වැඩිකර ගනිමින් 20 සංශෝධනය ගෙනාවේය. එය රාජපක්ෂ පවුලේ වුවමනාව ද විය. ගෝඨාභය ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න හදාගැනීම ආරම්භ කළේ 20 සංශෝධනය සම්මත කර ගැනීමේදීය.

ඊළඟට තමන් වටා සිටි ව්‍යාපාරික ජාලයට විශාල බදු සහනයක් ලබා දුන්නේය. රටේ සියලුම ආර්ථික විශේෂඥයන් එයින් අනාගතයේදී ඇතිවිය හැකි දුර්විපාක පෙන්වා දුන්නත් ඔහු එය ගණන් ගත්තේ නැත. හිටපු මුදල් ඇමැති මංගල සමරවීර ඒ දවස්වල ගණන් හදා කිව්වේ තව වසර දෙකකදී ලංකාවේ ආර්ථිකය සෝමාලියා - සිම්බාබ්බේ තත්ත්වයට පත්වනු ඇති බවය. එහෙම කියන කොට කොවිඩ් වසංගතය තිබුණේත් නැත. පාස්කු ප්‍රහාරය හේතුවෙන් බින්දුවට වැටුණු සංචාරක ව්‍යාපාරය ද ගෝඨා බලයට පත්වන විට ශීඝ්‍ර ලෙස හිස ඔසවමින් තිබුණි. දෙසැම්බර් ජනවාරි කාලයේ සංචාරක සංචාරක හෝටල්වලට සුපුරුදු කාමර වෙන්කර ගැනීම් පවා සිදුවෙමින් තිබුණි. කොවිඩ් වසංගතය ආවේ ඊට පසුවය.

කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටීම ආරම්භ වුණේ බදු සහනයෙන් රටට අහිමි වූ රුපියල් බිලියන 560කට අධික ආදායම අහිමිවීම හේතුවෙනි. කොවිඩ් වසංගතය අපේ රටේ පමණක් නොව ලොවේ ධනවත් රටවල් ඇතුළු සියලු රටවල ආර්ථිකය අඩපණ කළේය. එහෙත් ඒ හැම රටකටම එවැනි අවස්ථාවකදී අවශ්‍යම දේ කර ගැනීමටත් ආර්ථිකය කඩා නොවැටී පවත්වාගෙන යාමටත් අවශ්‍ය ශක්තිය තිබුණේය. අපේ අසල්වැසි රටවල් වන ඉන්දියාව සහ බංග්ලාදේශයේ අපටත් වඩා කොවිඩ් හේතුවෙන් ආර්ථිකයට බලපෑම් ඇතිවුණත් ඔවුන්ට ඒවා කළමනාකරණය කර ගත හැකි විය. ඒ සඳහා එම දෙරටම තම රටේ ආර්ථික මහමොළවලින් ප්‍රයෝජන ගත්තේය. ඔවුන් ලබා දුන් සැලසුම් ක්‍රියාවට නැංවීමේ ප්‍රතිඵල කොවිඩ් වංසගතය තුරන් වෙද්දී පැහැදිලි විය. ගෝඨාභය නායකත්වය දුන් ලංකාවට ඉතිරි වුණේ බරපතළ කඩා වැටීමකට ලක් වූ ආර්ථිකයක් සමඟ &අපි තමයි හොඳටම කොවිඩ් පාලනය කළේ* යන සටන් පාඨය පමණි.

ගෝඨාභය හරි සැලසුමක් ඇතිව වැඩ කළා නම් කෙදිනක හෝ කොවිඩ් අවසන් වී සංචාරක ව්‍යාපාරය හිස ඔසවද්දී එය ඩොලර් උල්පතක් බවට හරවා ගැනීමට සැලසුම් කළ යුතුව තිබිණි. එහෙත් එහෙම වුණේ නැත. කොවිඩ් හේතුවෙන් රටේ ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්වන බව කල් තබා හඳුනාගත් මෙරට ස්වාධීන ආර්ථික විශේෂඥයන් ඒ ගැන අනතුරු අඟවා වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්නැයි ලබා දුන් උපදෙස්වලට ගෝඨාභය කන් දුන්නේ නැත. ඒ වෙනුවට ඔහු තෝරාගත්තේ තමන්ගේ ගජ මිතුරු ආර්ථික ඔස්තාර්ලා කියූ උද්ධච්ඡ උපදෙස් පිළිපැදීමය. රටට විදේශ සංචිත අවශ්‍ය නැති බවටත් රන් සංචිත තිබෙන්නේ විකුණාගෙන කෑම සඳහා බවටත් ප්‍රකාශ කළ එම ඔස්තාර්ලා කිව්වේ මූල්‍ය අරමුදල සමඟ කිසිසේත් ගනුදෙනුවකට නොයන බවය. මේ තකතීරු අදහස්වලට උඩගෙඩි දෙමින් ඇමැතිකම් ගහලා ගියත් මූල්‍ය අරමුදලට යාමට ආණ්ඩුවට ඉඩ නොදෙන බවට දිව්රා ප්‍රකාශ කළ මැති ඇමැතිලා ද සිටියහ. ගෝඨා මේ සියල්ල වෙද්දී කළේ කිසිදු තීරණයක් නොගෙන සිනාසෙමින් බලා සිටීමය.

ගෝඨාභය දැඩිව ගත් එකම එක ප්‍රතිපත්තිමය තීන්දුව වුණේ රසායනික පොහොර ආනයනය කිරීම පැය 24 න් නැවැත්වීමය. ඒක කළේ කිසිදු සොයා බැලීමකින් තොරව රටේ කෘෂිකර්මය පිළිබඳ හාංකවිසියක් නොදන්නා කිහිප දෙනකුගේ උපදෙස් මත රැඳෙමිනි. මේ රටේ පමණක් නොව ලෝකයේ කෘෂිකර්මය පිළිබඳ හසල දැනුමක් ඇති විශේෂඥයන් මේ තීන්දුවේ බරපතළම ප්‍රතිවිපාක පෙන්වා දෙද්දී ගෝඨාභය කළේ තමන් ගත් තීන්දුව වෙනස් නොකරන බව සිනාසෙමින් කියා සිටීම පමණි. මේ මෝඩ තීන්දුව වෙනුවෙන් පෙනී සිටි කිහිප දෙනකු දිගටම කිව්වේ මේ රටට රසායනික පොහොර ගෙන්වන සමාගම්වලින් මුදල් ලබාගන්නා පිරිස් විසින් මේ විරෝධය මෙහෙයවන බවය. එම සමාගම් කාබනික පොහොර වගාවට එරෙහි කුමන්ත්‍රණයක් දියත් කරන බවය. අන්තිමට අස්වනු අඩු වී ගොවීන් මහ පාරට බසිද්දී ගෝඨාභයට උත්තර නැති විය. ගෝඨාභයට ජනාධිපති ධූරයෙන් යන්න සිදු වූ පොදුජන අරගලයේ මුල්ගල තැබුවේ මේ ගොවි ජනතාවය. එය කවදා හෝ මහා සුනාමියක් වී තමන්ගේ ආණ්ඩුව පෙරළනු ඇතැයි යන්න ගෝඨාභය තේරුම් ගත්තේ නැත. රටේ දේශපාලනයෙන් තෙම්පරාදු වූ පවුලක් බවට ප්‍රසිද්ධ රාජපක්ෂ පවුලෙන් ගෝඨාභයට මේ බව පෙන්වා දී තිබුණත් එය ඔහු ගණන් ගත්තේ නැත.

ගෝඨාභය විදෙස් රුකියාලාභීන්ගෙන් ලැබුණු ඩොලර් සීමිත වීමද ආර්ථිකය කඩා වැටීමට හේතු වූ බව පසු කාලයකදී කියා තිබිණි. එහි සත්‍යයක් තිබේ. හැබැයි එහෙම වුණේ ඇයිද යන්නට එකම හේතුව කොවිඩ් හේතුවෙන් රුකියා අහිමිවීම පමණක් නොවේ. ඒ ප්‍රශ්නය විසදා ගැනීමට ආණ්ඩුවට පැහැදිලි සැලැස්මක් නොතිබීමය. එසේම ගෝඨා බලයට ගෙන ඒමට විශාල සහායක් ලබා දුන් රට රුකියාලාභීන් ගෝඨාභයගේ පාලනය ගැන සැක උපදවා ගැනීමය. තමන් ලංකාවට එවන ඩොලර් ආණ්ඩුවේ ප්‍රබලයන් විසින් සොරකම් කරන බවට ඔවුන් අතර දැඩි මතයක් පැතිර යද්දී ඒක එහෙම නොවේ කියන්න ගෝඨාභයට හැකියාවක් තිබුණේ නැත. කොවිඩ් වසංගතය තුනී වී යද්දී යළිත් රට රැකියා ලැබූ පිරිස ලංකාවට ඩොලර් එවද්දී බැංකු හරහා එවීමෙන් වැළකීම එහි ප්‍රතිඵලය විය. ගෝඨාභය තමන්ගේ ආර්ථික උපදේශකයන්ගේ කීම පරිදි රුපියලට බොරු වටිනාකමක් ලබා දීම හේතුවෙන් කළුකඩේ ඩොලර් මිල ඉතා ඉහළ ගියේය. එවිට රටට ඩොලර් ආවේ හොර පාරෙනි. එයට ද ආණ්ඩුවට සැලැස්මක් නොතිබිණි. යාන්තමින් හෝ එම තත්ත්වයට සුළු විසඳුමක් හෝ ලැබුණේ අලුතෙන් පත්වූ මහ බැංකු අධිපතිවරයා රුපියලේ වටිනාකම කිසියම් දුරකට පාවෙන්නට ඉඩ හැරීමෙනි.

රටට ඩොලර් ලැබීම සිඳී යාමේ ලොකුම ප්‍රතිඵලය වුණේ තෙල් පෝලිම් ඇතිවීමය. වරායේ කන්ටේනර් ගොඩගැසීමය. විදුලිය පැය ගණන් කප්පාදු වී ජන ජීවිතය ඉවසාගත නොහැකි තරමට ඉහළ යාමය. ගෝඨාභය යා යුතු බවට ජනතාව තීරණය කරන්නේ මේ පසුබිමේය.

ගෝඨා ගෝ හෝම් යන්න නිකම් රස්තියාදුකාර සටන් පාඨයක් නොවන බවත් එය ඇතිවුණේ රටේ ජනතාව මුහුණ දුන් ප්‍රශ්න හේතුවෙන් බවත් ගෝඨාභය තේරුම් ගත්තා දැයි කියන්න බැරිය. හැබැයි මේ ප්‍රශ්න බරපතළ වෙන්නත් කලින්ම පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීමට අපොහොසත් වීම නිසා කාදිනල්තුමා ඇතුළු කතෝලික පල්ලිය ද ගෝඨාභය අමනාප කර ගත්තේය. ඒ සමඟම රටම දුප්පත් වෙද්දී රාජපක්ෂ පවුලත් ඔවුන්ගේ සමීපතමයනුත් මහා ධනවතුන් වෙද්දී තමන්ගේ රටේ ධනය රාජපක්ෂලා සොරකම් කරන බවට ජනතාව තුළ බරපතළ සැකයක් ඇතිවීම වැළැක්විය නොහැක. රට මේ තරම් දුප්පත් වුණේ ඒ නිසා බවට රටේ අති බහුතරයගේ විශ්වාසයයි.

ඒ පමණක් නොව ගෝඨාභයගේ දැඩි ජාතිකවාදී ප්‍රතිපත්ති හේතුවෙන් ජාත්‍යන්තරය ද අමනාප විය. යන්තමින් හෝ ආණ්ඩුවට හිතවත් ප්‍රතිපත්තියක රුඳී ඉන්නේ අසල්වැසි ඉන්දියාව පමණි. ඉන්දියාව නොවන්න මේ දවස්වල ලංකාවේ මිනිස්සුන්ට ඉන්න වෙන්නේ කුසගින්නේ පමණක් නොව අඳුරේය.

ගෝඨාභය රකින අය කියන්නේ දශක 07ක වැරදි ඔහුගේ පිටින් ගිය බවය. දශක 07 ක් තිස්සේ බලයට පත් ආණ්ඩු මේ තත්ත්වයට දායක වූ බව සැබෑය. හැබැයි මේ තරම් අදක්ෂ, අඥාන සහ අදූරදර්ශී පාලනයක් නම් මීට පෙර තිබුණේ නැත. ගෝඨාභය නොකියන කරුණු ඒවාය. රට රුකදීමට බලය ගත් ගෝඨාභයට අන්තිමට යන්න රටක් නැති තරමට වැඩ සිද්ධ වුණේ ඒ නිසාය.

 - ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00