මේ වෙද්දී ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙලා. මම හිතන්නේ ඔබත් මමත් මේ වගේ දෙයක් අත් විඳින පළවෙනි අවස්ථාව. ඔබට මොකද හිතෙන්නේ?
හිටපු ජනාධිපතිතුමාට හැකියාවක් තිබ්බේ නෑ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් පුරෝකථන කරගන්න. ඒ වගේම ළඟ හිටිය කට්ටිය එතුමාට මේ දේවල් දැනුම් දුන්නෙත් නෑ. ඒ නිසා ගොවියාගේ, මැද පන්තියේ ආර්ථිකය කඩා වැටෙන එකත් එක්ක සමාජය තුළ වෛරයක්, තරහක් ඇතිවුණා. ඒක තමයි අරගලයක් හැටියට එළියට ආවේ. විශේෂයෙන් ජනාධිපතිවරයාට බැරිවුණා කළමනාකරණය කරන්න. ඔහුගේ මන්ත්‍රීවරු වංචා දූෂණ සිදුකරනකොට ඒ පාලනය කරගන්න බැරි වුණා.
ඔබලා ගෙන ආ ජනාධිපතිවරයාට වැරදුණු පළවෙනිම තැන මොකක්ද?
එකක් තමයි ඔහු හුදකලා වීම. දෙක කුඩා කණ්ඩායම්වලට ඔහු නතුවීම. ඒ නිසා එතුමාට හරි තොරතුරු ළඟා වුණේ නෑ. ඒ කණ්ඩායම එතුමාව වටකරන් හිටියේ. ඔහු හුදකලා පුද්ගලයෙක්. දෙවැනි කාරණය තමයි ඔහුගේ ඔත්තු සේවාවන් ශක්තිමත් නෑ. ඒ ඔත්තු සේවාවන් කරලා තියෙන්නේ මට හිතෙන හැටියට නරක දේ හංගලා හොඳ දේ විතරයි දීලා තියෙන්නේ. රුවටිලිකාරයෝ ඒ අය.
මේක රැවටීමක්ද? ඔහුගේ දේශපාලන කියවීමේ අවුලක්ද?
ඇත්තටම ඔහුට දේශපාලන පරිචය සම්බන්ධයෙන් අවුලක් තිබුණා. ලංකාවේ නායකත්වයට අවශ්‍ය දීර්ඝකාලීන දේශපාලන දැනීමක් තියෙන, නිකැලැල් කෙනෙක් ඕන. නමුත් ජනමාධ්‍ය විසින් හැදුවා ජනාධිපතිවරයා නිර්පාක්ෂික වියයුතුයි කියලා. ජනාධිපති කෙනෙක් නිර්පාක්ෂික වෙන්න බෑ. මොකද ඔහුට දේශපාලන කණ්ඩායමක් ඕන. ඔහු කිසි විදිහකින් තමන්ගේ කාර්ය අවබෝධ කරගත්ත කෙනෙක් නෙමේ. රාජ්‍යයේ කටයුතු සම්බන්ධයෙන් ඔහුට අවබෝධයක් නෑ. මේ නිසා ඔහු වරද්ද ගත්තා. ඒක අපරාධයක්.
ඔහු ඡන්දයට ආවේ දේශපාලනඥයෙක් නොවන විදියටයි. ඒ නිසයි ඡන්දය විශාල ප්‍රමාණයකින් දින්නේ. කොහොමද එහෙනම් වරදින්නේ?
ඒක එක එක්කෙනාට වෙනස්. උදාහරණයක් ගමුකෝ චන්ද්‍රිකා මැතිණිය. ඇය දේශපාලනය කළ කෙනෙක් නෙමෙයි. හැබැයි ඇයට දේශපාලන පරිචයක් තිබ්බා. මම ඒ නිසා එහෙමම තර්ක කරන්න නෑ. නමුත් ගෝඨාභය මහත්තයට ඒ අවබෝධය නෑ. කතාවක් කළත් ඒක හෘදයාංගම නෑ.
ඔබලා දේශපාලන ජ්‍යෙෂ්ඨයෝනේ. ඇයි එතුමාට නිවැරදි පාර පෙන්නන්න බැරි වුණේ?
අපි පොහොට්ටුවේ හිටියේ පසුපෙළ මන්ත්‍රීවරු හැටියට. අපේ අදහසක් මතයක් කන්දෙන්න උවමනාවක් තිබුණේ නෑ. පොහොට්ටු පක්ෂයට තිබ්බේ අලුත් පක්ෂයක් හදන්න. ඒ නිසා අපිව ඒ තැන දකින්නවත් කැමැත්තක් තිබුණේ නෑ. අපි කිව්ව දේවල් ඒ නිසා ඇහුවේ නෑ. කතා කරන්නවත් ඉඩක් නෑ.
ඒ කියන්නේ ඔබලා ඇමැති වුණා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැද්ද?
නෑ...නෑ... කොයි වෙලාකවත් අපි එහෙම හිතන්නේ නෑ. ඒ තරම් පහත් අදහසක මම නෑ. මම කියන්නේ රටේ නායකයාට රටේ සංවේදී කරුණු සහ අවස්ථා සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන්න ඕන. ඔහුට ඒක තිබුණේ නෑ. එතුමාගේ වටේ අය දුන්න උපදෙස් අවුල් සහගතයි. හොඳම උදාහරණය පොහොර ප්‍රශ්නය .ඒක වැරදි උපදෙස් නිසා වෙච්ච දෙයක්.
ආර්ථික අර්බුදයට හේතුව මේ කොවිඩ් වසංගතය කියලයි එතුමා කිව්වේ?
නෑ... නෑ... අර්බුද ඒ කාලේ ඉඳලා තිබුණානේ. විශේෂයෙන් 70 ගණන්වල ඔපෙක් එක තෙල් මිල නංවනකොට අපිට ප්‍රශ්නයක් වුණා. ඒ නිසා අභියෝග නැති කාලයක් නෑ. ඒ අභියෝග මැද ඔරුව ඉහළට ගෙනියන්න හැකියාව තිබ්බා. ඒත් ඔහු ඒවා හිතුවේ නෑ. විශේෂයෙන් අපි දන්නවා ඔහුට සැලසුමක් තිබ්බේ නෑ. එතුමා ඒත් ජෝ බයිඩ්න්ට පවා උපදෙස් දෙන්න ගියා.
ඔහු කොවිඩ් අර්බුදයට හොඳින් මුණ දුන්නනේ?
නෑ. කොවිඩ් අර්බුදයත් එක්ක අපේ සංචිතවල ප්‍රශ්නයක් ආවා. ඒක ඔහු තේරුම් ගත්තේ නෑ. අයි.එම්.එෆ්. යන්න කියලා හැමෝම කිව්වා. නමුත් ඔහුගේ සහෝදරයා මුදල් ඇමති නිසා ඒ දේවල්වලට යන්න එපා කිව්වා. අද පේනවනේ වෙලා තියෙන හානිය.
ඔබලත් රාජපක්ෂවරුන්ට බයේ සද්ද වහගෙන හිටිය නේද?
එහෙම නෑ. මම කියන්න ඕන දේ හැමවෙලාවෙම කිව්වා. මට එහෙම කතා කරන්න එපා කියලා කවුරුත් කියලත් නෑ. අපිට වඩා විශේෂඥවරු හිටියනේ. ඒ අය දන්නවනේ. වැඩිය ඕන නෑ විපක්ෂය පවා කිව්වා. ඒක ඇහුවේ නෑ. මෙහෙමයි යම් වගකීමක් අපිට තියෙනවා නම් අපි ඒක බාරගන්නම්. හැබැයි අපි මන්ත්‍රීවරු විතරයි.
මේ ජන අරගලය ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඇත්තටම මේක මිලේනියර්ස්ලගේ වැඩක්. මේක මේ ආර්ථිකය අර්බුදයත් එක්ක ඇති වුණු නැගිටීමක් වුණත් සමාජීය කාරණා රුසක් බලාපොරොත්තුවෙන් ආවේ. විශේෂයෙන් මේ තරුණ අයට ඕන වුණේ මේ දේශපාලන ක්‍රමයේ වෙනසක්. ඒ වගේම රට කරවන අයගේ වෙනසක්. ඒක පරිවර්තනීය වෙනසක්. ඒ වෙනුවෙන් තරුණ නැගිටීමක් හැටියටයි මම දකින්නේ. අපිට අරගලයට බණින්න බෑ.
හැබැයි දේශපාලඥයන් මේක විවේචනය කළා?
මෙහෙමයි අරගලයට බණින්න බෑ. ඒක හොඳ දෙයක්. ඒක වෙන්න ඕන දෙයක්. අපිට අරගලයෙන් ගන්න දේවල් තියෙන්නේ. මේ අරගලය හරහා එන යෝජනා ඉතාම හොඳයි. ජනාධිපතිවරයා අරගලයෙන් එලෙව්වා විතරක් නෙමෙයි මේ අය ගෙනාපු දේශපාලනය පරිවර්තනය අපිට වැදගත්. අපේ අඩුපාඩු පවා පෙන්වා දුන්නා.
ඔබට හිතෙන්නේ නැද්ද ඔබලටත් වැරදුණා කියලා?
මෙහෙමයි මම නියෝජනය කළ කඳවුරුවල මම මේ වෙනස්කම් ගැන නිතර කතා කළා. හැබැයි මම ඒවා එළියේ කතා කළේ නෑනේ. මොකද මම පක්ෂයේ විනය රුක්කා. විශේෂයෙන් කැබිනට් මණ්ඩලවල පවා කතා කළා.
එහෙම කතා කරලද ඇමතිකම පවා නැති වුණේ?
ඔව් මාව දකින්නේ අමු දක්ෂිණාංශිකයෙක් හැටියට. මොකද මම සටන් කළේ ඒ වෙනුවෙන්. ඉතිං තනි මම මොකද කරන්නේ.
අනුර යාපා කැපුණා නේද?
කැපිල්ලකට වඩා වෙන දෙයක් වුණා කියලයි මට හිතෙන්නේ. විශේෂයෙන් අපි ජ්‍යෙෂ්ඨයන් හැටියට අවශ්‍ය නෑ කියලා හිතෙන්නත් ඇති. මම හිතනවා ඒක හොඳයි කියලා. මොකද මට ඒ නිසා දේශපාලනය පුනරාවර්ථනය කරන්න පුළුවන් වුණා.
අපිට කොතනද වැරදුණේ?
ඇත්තටම ආර්ථික කළමනාකරණයේ ප්‍රශ්නයක් තියෙන්නේ. බිලී පිත්තක් දෙන එකට අපි කළේ මාළුවෙක් දෙන එක.
ජනවරම ජනාධිපතිට ලක්ෂ 69ක්. ගෝල්ෆේස් ආවේ ලක්ෂ 2ක් හෝ 3ක් වගේ වෙන්න පුළුවන්. කොතැනද ජනවරම සහ ජනමතය තියෙන්නේ?
ලෝකයේ ජන අරගල ලොකු පණිවිඩයක් දෙනවා. අපි පාලකයෝ හැටියට දැන ගන්න ඕන ඒවා හරි විදිහට වටහාගන්න. එහෙම නොවුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මෙතන තියෙන්නේ ජනමතය ගැන ප්‍රශ්නයක්. ජනමතයට, ජනවරමට බලපෑම් කරලා තියෙන්නේ.
අරගලයේ යෝජනාව තියෙන්නේ වැඩබලන ජනාධිපතුමත් ඉවත් වෙන්න ඕන කියලා. එහෙත් ඔහු ජනාධිපති ධුරය සඳහා තරග කරනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
එතුමා බලය අරගෙන මාස දෙකක කාලයක් වැඩ කටයුතු කළා. ඒ මාස දෙකක කාලය තුළ ජනතාවට යම් සැකයක් තිබෙනවා ඔහු ඒ සඳහා සුදුස්සෙක් නොවෙයි කියලා ජනතාවට ඒ මාස දෙකක කාලය තුළදී දැනිලා ඉවරයි. ඒ නිසා මම හිතන්නේ ඔහු අරගලයේ මතයට හිස නමලා ඉවත් වෙන්න ඕන. ජනතාවට සැකයක් තිබෙනවා ඔහු මේ දූෂිත ක්‍රමවේදයට සහාය දක්වයි කියලා. ඒ නිසයි ඔහුටත් ඉවත් වෙන්න කියන්නේ. ඒ නිසා ඔහු කළ යුත්තේ වහාම පාර්ලිමේන්තුවට බලතල පවරලා ඉවත්ව යන එක. මොකද ඊළඟට එන නායකයන්ට ඉඩ දෙන්නම ඕන. මේ තත්ත්වය නිසා ඉතිහාසයේ ඉඳන්ම රටේ දේශපාලනය අස්ථාවර වෙලා තිබෙනවා. මොකද ඊළඟ නායකයෙක් පේන්න නැති නිසා. දියුණු රටවල් අලුත් පරම්පරාවට බාරදෙනවා ඉස්සරහින් එන නායකයෝ.
පොහොට්ටු පක්ෂයේ බහුතරයකගේ කැමැත්ත රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙලා තියෙන්නේ. ඉතින් එතුමාටත් බහුතර කැමැත්තක් තිබෙනවා නම් එම ධුරයේ ඉඳීමේ අයිතියක් තිබෙනවා නේද?
ඒක ඒ අයගේ දේශපාලන පරිචය පිළිබඳ ප්‍රශ්නයක්. මට කාටවත් පුද්ගලයෝ හැටියට උපදෙස් දෙන්න බැහැ. ඒ නිසා මමත් මගේ අදහසත් තමයි අලුත් නායකත්වයකට රට බාර දෙන්න ඕන. ඒක තමා අරගලකරුවන්ගේ ඉල්ලීම. ඒක තමයි ඊළඟ දේශපාලන පරිවර්තනය.
රාජපක්ෂවරු බහුතරයක් දේශපාලන භූමියෙන් ඈත්වෙලා වගෙයි ඉන්නේ. පොහොට්ටුවේ බහුතරයක් ඉන්න තැනක ඔවුන්ටත් දේශපාලන ආරක්ෂාවක් අවශ්‍යයි. එහෙම බැලුවාම පොහොට්ටුවේ අයත් සාධාරණයි නේද?
මෙහෙමයි. රාජපක්ෂවරු සම්බන්ධව මහජන මතයක් තිබෙනවා. ඒක සුඛනම්‍ය මතයක් නෙමෙයි. ඒ නිසා ඔවුන් කළ යුත්තේ රටේ ජනමතය පිළි අරගෙන අඩියක් පස්සට අරගෙන අවශ්‍ය ඉඩ හදලා දෙන එක. ඒ අය කරන්න ඕන ඒ ඉඩ ලබා දීලා ඔවුන්ගේ යුතුකම ඉෂ්ඨ කරන එක.
රටේ ඊළඟ නායකයා සම්බන්ධව ඔබ දරන නිර්නායක මොනවාද?
මෙහෙමයි. ඔහු සංහිදියාවට ඉඩදෙන නායකයෙක් වෙන්න ඕන. විශේෂයෙන්ම සාකච්ඡාව සහ සම්මුතිය තියෙන්න ඕන. ඒ කාරණා නැතිවීම හරහා තමයි පාර්ලිමේන්තුව ජනතාව විසින් පිළිකුල් කරන්න පටන් ගත්තේ.
ඒ සඳහා ඔබතුමාට නමක් තිබෙනවාද යෝජනා කරන්න?
මට එහෙම නමක් යෝජනා කරන්න බැහැ. නම් කිහිපයක්ම තිබෙනවා. එහෙම කිව්වොත් ඒ අයට අසාධාරණයක්. මම පෙනී ඉන්නේ දෙපාර්ශ්වයටම පිළිගත හැකි අය මේ සඳහා පත් කිරීමට. දෙපාර්ශ්වය අතර සංහිදියාවක් හදන්න මම මේ දවස්වල වෙහෙසෙනවා. ඒක මගේ වගකීමක්. වැඩිහිටියෙක් හැටියට මා කළ යුතු දේ. මට මෙහෙම හිතෙනවා. විපක්ෂනායකවරයා මේ තනතුරු දෙකෙන් එකකට සුදුසුයි.
ඒ කියන්නේ විපක්ෂනායකතුමාව තනතුරකට ගේන්න සාකච්ඡා කරමින් ඉන්නේ?
ඔව්. හැබැයි ඉතින් අනෙත් අයගෙත් සහයෝගය ඕන. බොරු කියන්න ඕන නැහැනේ අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ. පක්ෂ අතර එකඟතාවක් හදන්න තමයි අපි උත්සාහ කරන්නේ.
ඔබේ නමත් අග්‍රාමාත්‍ය ධුරය සඳහා යෝජනා වුණා නේද? ඔබට එවැනි තනතුරක් දරන්න පුළුවන්ද?
ඒක පාර්ලිමේන්තුවේ බහුතරයකගේ තීන්දුවක් වෙන්න ඕන. ඒක භාරදූර්ය කාර්යයක්. හැබැයි ඒක හරියට ඉෂ්ඨ කරන්න හයිය හත්තිය අපිට තිබෙනවා. මම මතවාදීවත් වෙනස්. ඒක නිසා මට ඒ හයිය තිබෙනවා. ඒ වගේම ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධව මට ලොකු විශ්වාසයක් තිබෙනවා.
ගයාන් ගාල්ලගේ