2022 ජුලි 24 වන ඉරිදා

අලුත් ගමනකට දොර අරිමු!

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 114

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයේදී තෝරාපත් කරගනු ලැබීය. ඡන්දය ලබාදුන් 223ක් වූ මන්ත්‍රී සංඛ්‍යාවෙන් වැඩි ඡන්ද 52ක් ලබා ඔහු ජනපතිවරයා වශයෙන් තෝරාගනු ලැබීම රටේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවකි. දැඩි ලෙස භේදභින්න වී ගිය පාර්ලිමේන්තුවක් සහ ඉතාම ව්‍යාකූල අරගලවලින් පිරි සමාජ වටපිටාවක එවැනි බහුතරයකින් රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වීමෙන් පෙනී යන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් නොව සෙසු පක්ෂවල සැලකිය යුතු මන්ත්‍රී පිරිසක්ද වික්‍රමසිංහ මහතා කෙරේ විශ්වාසය තබා ඇති බවය. එය තම ප්‍රථම ජනාධිපති ධුරයේ ගමන ආරම්භයට විශාල ශක්තියක් වශයෙන් ජනාධිපතිවරයා පිළිගනු ඇත.

ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කරගනු ලැබීමෙන් පසුව සිදුකළ විශේෂ ප්‍රකාශයේදී වික්‍රමසිංහ මහතා සඳහන් කළ කරුණු අතර ජනතාව ඉල්ලන අලුත් ක්‍රමවේදයක් බිහිකිරීම සඳහා අද සිටම එකතු වී සාකච්ඡා කරමු යැයි ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා බෙදුණු අවස්ථාව ඉවර යැයිද ප්‍රකාශ කළ වික්‍රමසිංහ මහතා සියලු දෙනා එක්ව රට ගොඩනගමු යැයිද කීය.

අභිනවයෙන් පත්වූ ජනාධිපතිවරයාට මේ රටේ රුලි ගසමින් තිබෙන ඉතාම ව්‍යාකූල වූ අර්බුද ගණනාවකට මුහුණ දීමට සිදුවන බව යථාර්ථයයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තම ධුරය පමණක් නොව රටද අතහැර දමා යන්නට සිදුවීමෙන් පෙන්වා දෙන්නේ එම අර්බුද කොතරම් දරුණුද ප්‍රතිවිපාක සහිතද යන්නය. මීට වසර දෙකහමාරකට පෙර ඉතිහාසයේ ඉහළම වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජනතාව විසින්ම තෝරා පත්කර ගන්නා ලද ගෝඨාභය රාජපක්ෂ මහතා වසර දෙකක් ඉක්මවා යාමට පෙර එම ජනතාවගේම සතුරෙක් බවට පත්විය. ඔහු බලයට පත්වූ දවසේ රටපුරා රතිඤ්ඤා පත්තු විය. කිරිබත් මේස දින ගණන් සකස් විය. අන්තිමේදී ඒ රතිඤ්ඤා හඬ වෙනුවට ජනතාවගේ දුක් අඳෝනාවල හඬින් රටම ගිගුම් දීම ඇරඹුණි. කිරිබත් මේස සකස් වීම කෙසේ වෙතත් බොහොමයක් ගෙවල්වල එදා වේලට සාමාන්‍ය බතක් හෝ උයා ගැනීම මහා දුෂ්කර කාර්යයක් බවට පත්විය. ආණ්ඩුවේ මැති ඇමැතින්ට එල්ල වන දූෂණ චෝදනා ජනතාවගේ කෝපය තවත් අවුස්සා තිබිණි. අපි දුප්පත් වුණේ ආණ්ඩුවේ සමහරුන් හොරාකන නිසා බවට වන ප්‍රබල ජනමතයක් රටපුරා පැතිරුණේය. නිමක් නැති තෙල් පෝලිම්වල රුස්වෙන ජනතාව අතුරින් එම කෝපය ගොජ දමන්නට විය. ජූලි 09 වැනිදා ගෝඨාභය මහතාට රට හැරයාමට සිදුවූයේ එම ජන මතයේ කූඨ ප්‍රාප්තිය සලකුණු කරමිනි.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ගෝඨාභය මහතාගේ පාලනය පිළිබඳ සියලු දේ අධ්‍යයනය කරන්නට ඇත. එහි වැරදුණු තැන් පාර්ලිමේන්තුව නියෝජනය කරන වෙනත් බොහෝ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන්ට වඩා බොහෝ ඉක්මණින් ගැඹුරු ලෙස ඒ තේරුම් ගැනීම රනිල් වික්‍රමසිංහ මහතාට අසීරු වන්නේ නැත. තමන් සතුව පවතින හසල දැනුම, අවබෝධය සහ දේශපාලන අත්දැකීම් අනුව ඒ සියල්ල යහමින් ග්‍රහණය කර ගැනීමට ඔහු සමතෙකි. තමන් වසර 45ක් පාර්ලිමේන්තුව තුළ සිටිමින් දේශපාලනය කර ඇති බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්න ඇත්තේ එම අවබෝධයේ දිග පළල පිළිබඳ හොඳ වැටහීමක් ඇතිවය. ඔහුගේ ධුර කාලයේ ඉදිරියේදී එම අවබෝධය, පළපුරුද්ද සහ දැනුම රටේ අර්බුද ජයගැනීමට නිවැරදිව යොදවා ගනු ඇති බවට පාර්ලිමේන්තුව විශ්වාසය තබා තිබේ. රට තුළද එම විශ්වාසය ගොඩනංවා ගැනීම ඔහු මුහුණ දෙන බරපතළම අභියෝගය වනු ඇත.

අප එසේ කියන්නේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකව පවතින මන්ත්‍රීවරුන්ගේ ජනවරම සහ එළියේ මහජනතාවගේ ජනමතය අතර විශාල පරතරයක් පවතින බැවිනි. එම පරතරයේ තරම පසුගිය 09 වැනිදා පැහැදිලිව පෙනී ගියේය. මේ දෙකොණ එකතු කිරීම පහසු කටයුත්තක් නොවේ. වික්‍රමසිංහ මහතා තමන්ගේ කතාවේදී මේ තත්ත්වය ගැන සඳහනක් කරමින් ප්‍රකාශ කළේ ජනතාව තමන්ගෙන් ඉල්ලන්නේ පරණ දේශපාලන ක්‍රමය නොවන බවත් මේ පාර්ලිමේන්තුව එකට එකතු වී කටයුතු කළ යුතුය කියන තැන ජනතාව සිටින බවත්ය. මේ නිසා අලුත් ක්‍රමවේදයක් හැදීමට අප සියලුදෙනාම එකතු වී කටයුතු කරමු යැයි තමන් සමඟ තරග කළ මන්ත්‍රීවරුන්ගෙන් ඔහු ඉල්ලීමක්ද කළේය.

අලුත් ජනාධිපතිගේ පාලනය යටතේ අලුත් ක්‍රමයට ආණ්ඩුවක් බිහිවනු ඇති බවට පෙර නිමිති පහළ වී තිබෙන බව ඒ කතාව අනුව පැහැදිලි වෙයි. පාර්ලිමේන්තුව වරු ගණන් තිස්සේ කතා සාප්පු බවට පත්කර ගැනීමෙන් කිසිදු පලක් වී නැති බව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ මේ වනවිට අවබෝධ කරගෙන ඇතැයි අපි විශ්වාස කරමු. එහෙම කාලය නිකම් කා දමා අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දු නොගැනීම රටේ මහා බලසම්පන්න ජනාධිපතිවරයකුට සියලු දේ අහිමි කර තිබෙන බවත් පාර්ලිමේන්තු බලය පවා යන්තමින් රැකුණේ මහ මැතිවරණයක් නොපැවැත්වූ නිසා බවත් ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් කවදාවත් අමතක කළ යුතු නැත. යළිත් එසේ නොවන්නට නම් කළයුත්තේ නව ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන අලුත් ක්‍රමවේදයට සියලු සහාය දැක්වීමය.

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00