2022 අගෝස්තු 14 වන ඉරිදා

හරි මග තෝරා ගැනීම

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 138

බලයේ ඉන්න ආණ්ඩුව රුපියල් 20කින් 30කින් තෙල් මිල නැග්ගුවාම විපක්ෂයේ මන්ත්‍රීවරුන් බයිසිකල්වල නැත්නම් ගොන් කරත්තවල නැගී පාර්ලිමේන්තුවට පැමිණි අතීතයක් ලංකාවට තිබිණි. වැඩි ඈතක නොවේ. යහපාලන ආණ්ඩුව කාලේත් වරක් එහෙම තෙල් මිල නැග්ග විට මහින්දලා පාර්ලිමේන්තු වටරවුම දක්වා බෙන්ස් කාර්වලින් පැමිණ එතැන් සිට බයිසිකල්වල නැගී පාර්ලිමේන්තු ආවේ එය මාධ්‍යයට රසවත් කටගැස්මක් වන බව හොඳින්ම දැන සිටි නිසාය. මාධ්‍යවල මේ කතාව පින්තූර සහ දර්ශන පළවනවිට විකාශය වනවිට ඒවා නැගලා ගියේය. ආණ්ඩුවක් වැට්ටවීමට එහෙම මාධය සංදර්ශන පමණක් ප්‍රමාණවත් නොවුණත් මහ මැතිවරණයකදී ජනාධිපතිවරණයකදී ආණ්ඩුවේ කෙරුවාව පට්ට ගැසීමට ඒවා හේතු විය. ඒ ආණ්ඩුවක් මිල අඩුකරන දේට වඩා මිල වැඩි කිරීම ජනතාවගේ හිතේ හොඳටම තැන්පත් වන බැවිනි.

පසුගිය දවස්වල තෙල් මිල වැඩිවුණේ රුපියල් 20න් 30න් නොවේ. රුපියල් 80න් 100න් තරමටය. කොටින්ම මාස කිහිපයකදී තෙල් මිල ගෝඨාභය මහතාගේ ආණ්ඩුව එද්දී තිබුණාට වඩා දෙගුණයකටත් වඩා ඉහළ ගියේය. මිල වැඩිවූවා පමණක් නොව තෙල් ලබාගැනීමට දවස් ගණන් පෝලිම්වල ගත කිරීමට ජනතාවට සිදුවිය. තෙල් හිඟය නිසා විදුලිය කපා දැමීමටත් සිදුවිය. අරගලයට පන්නරය ලැබී ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වීමට සිදුවන තැනට තත්ත්වය උග්‍ර වුණේ ඒ පසුබිමේය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන්නේ එහි ප්‍රතිඵලයක් හැටියටය.

රනිල් අගමැති වී ඉන්පසුව ජනාධිපති ධුරයට පත්වෙන අතර වාරයේත් පෙට්රල් - ඩීසල් මිල ඉහළ ගියේය. ගෑස් මිලටත් වුණේ ඒකමය. හැබැයි පාර්ලිමේන්තුවේ තනි ආසනයකට ජාතික ලැයිස්තුවෙන් පත්වී අගමැති ධුරයට පත්කරනු ලැබ පසුව ජනාධිපති ධුරයට පත්වීමට මේ කිසිම මිල වැඩිවීමක් බලපෑවේ නැත. එහෙම මිල නැග්ගා කියා බයිසිකල්වලින් යාමට තබා පාරට බහින්නවත් මන්ත්‍රීවරුන්ට හැකියාවක් තිබුණේ නැත. රටේ ආර්ථිකය පණ අදින තත්ත්වයට ඇදවැටීම නිසා එහි කම්පනයෙන් නිර්වින්දනය වී සිටි ජනතාව මේ මිල වැඩිවීමේ, භාණ්ඩ හිඟවීමේ ඉන්ජෙක්ෂන් ඇඟටම වැදුණත් හිටියේ කිසිවක් කර කියාගත හැකි මට්ටමක නොවේ.

තෙල්, ගෑස්, විදුලිය, ජලය සහ අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන් ආණ්ඩුව ඉහළ දමන විට විපක්ෂයේ ඉන්නේ මහින්දලා නම් ඔවුන් ඒකෙන් ඉහළම දේශපාලන වාසිය ලබාගැනීමේ ක්‍රම සහ විධි දැන සිටියේය. එහෙම වුණත් ආණ්ඩුව කරද්දී බලාපොරොත්තු නොවූ ආකාරයට ආහාර හිඟ වී තෙල් නැති වී රට අර්බුදයකට වැටුණු විට ඒ වෙලාවේදී කළ යුත්තේ කුමක්ද යන්න ගැන ආණ්ඩුවේ සිටි මහින්දලාට අවබෝධයක් තිබුණේ නැත. මේ වගේ වෙලාවකදී හැමදාමත් ගහපු ජාතිවාදයේ සහ ආගම්වාදයේ තැටියද කල් ඉකුත් වී තිබුණි. මහින්දලාගේ අතේ ඉතිරිව තිබූ අන්තිම තුරුම්පුව වුණේ චණ්ඩිකම පමණි. ගේමට ගේම දීමේ න්‍යාය පමණි. ඒ න්‍යායද ක්‍රියාත්මක කළේ මෝල්ගහත් පත්තු වෙන නරක වෙලාවකටය. අන්තිමට රාජපක්ෂලා පාලනයෙන් ඉවතට විසි වී පැත්තක සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ අතට විධායක ජනාධිපති ධුරයේ සියලු බලතල ලැබුණේය.

රනිල් වික්‍රමසිංහ මහතා බලය ලබාගෙන රටේම අවධානය දිනාගත් ප්‍රතිපත්ති ප්‍රකාශයක්ද ඉදිරිපත් කළේය. වෙනදා නම් එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ ඇතැම් කාරණා මහින්දලාට විමල් වීරවංශලාට නියම සටන් පාඨ වන බව බැලූ බැල්මටම පෙනී ගියත් ඔවුන් හිටියේ කට හොල්ලන්නවත් බැරි තැනකය.

හැබැයි දැන් විදුලි බිල වැඩිවෙන්නේ 75%කිනි. මීට පෙර අවසන් වරට විදුලි බිල වැඩිවුණේ අවුරුදු 09කට කලිනි. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කියා තිබුණේ විදුලිබල මණ්ඩලය ගාස්තුව ඉහළ දැමීමට මාර්තු මාසයේ සිට ඉල්ලීම් 04ක් ඉදිරිපත් කළ බවය. ජූනි 20 වැනිදා කළ අවසන් ඉල්ලීමේදී ගාස්තුව 229%කින් ඉහළ දැමීමට යෝජනා කර තිබූ බවය. කොහොම කළත් මේ මාසයේ සිට ජනතාවට විදුලි බිල ගෙවන්න වෙන්නේ &කරන්ට් වදින* තත්ත්වයක සිටිමිනි.

බැලූ බැල්මට පෙනෙන්නේ රටේ දේශපාලනයත් ජනතාවගේ හැසිරීමත් යන දෙකම උඩු යටිකුරු වී තිබෙන බවය. මහජන ඡන්දයෙන් පත්වූ ජනාධිපති රටේත් නැත. තුනෙන් දෙකක බලයක් තිබූ රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියකු වන රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යාමට සිදුවී තිබේ. ඉදිරි කාල සීමාව තුළ දැනට පවතින පොහොට්ටු ආණ්ඩුව සර්වපාක්ෂික ආණ්ඩුවක් හෝ පාලනයක් හෝ බවට පත්වීමට නියමිතය. ඒක කරගන්න ජනාධිපති රනිල් හැකි හැම උත්සාහයක්ම දරමින් සිටියි. ඒ වුණත් හිටපු කැබිනට් ඇමැතින් ඔක්කොටම වගේ කැබිනට් ඇමැතිකම් ඉල්ලමින් පොහොට්ටුව කරන බලපෑම් හේතුවෙන් සර්වපාක්ෂික ආණ්ඩුව සැබෑවක් බවට පත්කර ගැනීම දිනෙන් දිනම දුෂ්කර තත්ත්වයකට පත්වෙමින් තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැටියට හඳුන්වන්න බැරි නම් සර්ව පාක්ෂික පාලනයක් හැටියට එය හඳුන්වන්න යැයි ජනාධිපතිවරයා පසුගියදා කිව්වේ සජබ කණ්ඩායම මුණගැසී කළ සාකච්ඡාවෙන් පසුවය. තමන් අමාත්‍යධුර ලබාගැනීමට බලාපොරොත්තුවක් නැති බවත් රට ගොඩනගන වැඩ පිළිවෙළකට අවශ්‍ය සහාය පිටින් ඉඳන් ලබාදෙන බවත් සජබ කිව්වේ තමන්ගේ ඉදිරි දේශපාලනය ගැන සිතා බව තේරුම් ගැනීම අපහසු නැත. විවිධ බරපතළ දූෂණ චෝදනා තිබෙන පොහොට්ටුවේ තවත් පිරිසක් ඇමැතිකම් දරණ ආණ්ඩුවක කොටස්කරුවන් වී ඊට පස්සේ එන මහ මැතිවරණයකදී මුහුණදීමට සිදුවන අවාසිය ඔවුන් දැන් සිටම ගණන් හදා බලා ඇති බවට සැකයක් නැත.

උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂද මේ ගැටලුවටම මුහුණ දී සිටින බවද පෙනෙන්නට තිබේ. සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහාය දැක්වීමට මුලදී කැමැත්ත ප්‍රකාශ කළත් එවැනි ආණ්ඩුවක රාජපක්ෂලා පාලනය කරන ඇමැති පිරිසක් සමඟ එකට වැඩ කර උතුරේ ඡන්ද ලබාගන්නේ කොහොමද කියන ප්‍රශ්නයට දැන් ඔවුහු මුහුණදී සිටිති. මේ තත්ත්වය නිසි පරිදි හසුරුවා ගැනීමට ජනාධිපති රනිල්ට හැකිවුණොත් ඔවුන් ඊට එකතු කර ගැනීම අපහසු නැත. එහෙම කළොත් එය වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයකි.

උතුරේ දේශපාලන පක්ෂයක නායකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සී. විග්නේෂ්වරන් මහතා නම් කියා තිබෙන්නේ තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහාය දක්වන බවය. දැඩි මතධාරී දේශපාලනඥයකු වන විග්නේෂ්වරන් කියන්නේ තමන් උතුරේ ගැටලු පිළිබඳ ඉදිරිපත් කළ කරුණුවලට ජනාධිපති රනිල් ධනාත්මකව ප්‍රතිචාර දැක්වූ බවය. තමන්ට අමාත්‍ය ධුර වැඩක් නැති බවද උතුරේ ජනතාවගේ ගැටලු විසඳා දෙන බවට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දු ඉටුකරනු ඇති බවට තමා විශ්වාස කරන බවද විග්නේෂ්වරන් කියා තිබුණි.

මුලින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී සිටි විමල්ලාද දැන් කියන්නේ තමන් එම ආණ්ඩුවට එකතු වන්නේද කියා තීරණයක් ගෙන නැති බවය. විමල් තමන් බලාපොරොත්තු වන අමාත්‍ය ධුරය නොලැබෙන්නේ නම් ගන්නා තීරණය වෙනස් වීමටද ඉඩ තිබෙන බවද පෙනී යයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහාය දක්වන බව කෙළින්ම කියන්නේ ශ්‍රීලනිපය පමණි. මුලදී තමන් බලාපොරොත්තු වන තනතුරු පිළිබඳ ශ්‍රීලනිප නායකයන් තුළ විවිධ අදහස් තිබුණි. දැන් කියන්නේ තමන් තනතුරු ඉල්ලා නොසිටින බවත් රට වෙනුවෙන් සර්ව පාක්ෂික පාලනයකට සහාය දෙන බවත්ය. ඒ අතරවාරයේ විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා තම අදහස් ප්‍රකාශ කර තිබුණි. චීන යුදනැවේ ගැටලුව සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශය එහිදී කාගේත් අවධානයට ලක්විය. මේ ගැටලුව ඉක්මනින් විසඳාගත නොහැකි වුණොත් ලංකාවට චීනයත් අහිමි වනු ඇති බවටත් ජාත්‍යන්තරයේ මිතුරන් අහිමි කර ගැනීමේ විපාක බරපතළ විය හැකි බවටත් ඔහු අනතුරු අඟවා තිබුණි. ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ වැරදි හේතුවෙන් මේ වැනි ගැටලු ඇතිවන බවටත් සිරිසේන මහතා කියා තිබිණි.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජවිපෙ එකතුකර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උත්සාහයක් ගත්තත් එය අසාර්ථක වන බව අනුර කුමාර දිසානායකගේ ලිපියෙන් පැහැදිලි වෙයි. රට වෙනුවෙන් සර්ව පාක්ෂික පාලනයකට සහාය දක්වන්නැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යැවූ ලිපියට පිළිතුරු එවමින් අනුර කුමාර දිසානායක මහතා කියා තිබුණේ සර්ව පාක්ෂික පාලනයක් ඇතිකර ගැනීමට තිබූ අවස්ථාව දැන් ගිලිහී ඇති බවය.

හැකි ඉක්මණින් මහ මැතිවරණයකට යාම ජවිපෙ නායකයාගේ අරමුණ බව පෙනී යයි. අඩුම තරමින් ඉදිරි මාස 06 තුළදී මහ මැතිවරණයකට යා ගත හැකිනම් තමන්ට එයින් උපරිම වාසියක් අත්කර ගැනිමට හැකි බවට ඔවුන් තුළ පවතින විශ්වාසය එයට හේතුවය. හැබැයි ලංකාවේ ජනතාව මහ මැතිවරණයකදී ඡන්දය භාවිත කිරීම ගැන නම් කල් තබා අනාවැකි පැවසීම නුවණට හුරු නැත. ලංකාවේ පමණක් නොව ලෝකයේ දියුණුම ධනවත් රටවල පවා වාර ගණනාවක් මැතිවරණ ප්‍රතිඵල ලැබීමෙන් පසුව කලින් අනාවැකි වෙනස් වී තිබේ. ඒවා ගැන අධ්‍යයනයක් නොකර මැතිවරණයදී ලැබිය හැකි ජයග්‍රහණයක් ගැනම විශ්වාසයෙන් කටයුතු කිරීම ලොකු දේශපාලන අවදානමක් ගැනීමකි.

ඡන්ද කෙරුවාවේදීත් පක්ෂය පාලනය කිරීමේදීත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අතීත වාර්තා සාර්ථක නැත. ඔහුට තනිවම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට හැකියාවක් ලැබුණේ නැත. හැබැයි දේශපාලන පොරපිටියේ කටයුතු කිරීමේදී ඔහු හැබෑ දක්ෂයෙක් විය. 2001 මැතිවරණයේදී ජනාධිපති ධුරය තමන් අත නොතිබියදීත් එජාපය පෙරමුණක් බවට හරහා ගෙන යූ.එන්.පී. ප්‍රමුඛව ආණ්ඩුවක් පිහිටුවීමට ඔහු සමත් විය. 2005 ජනාධිපතිවරණය පැරදුණේ නූලෙනි. 2015දී කවදාවත් පරාජය කළ නොහැකි නායකයකු වශයෙන් දරා සිටි මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ කෘතහස්ත දේශපාලන ඥානය සහ උපක්‍රම යොදා ගත්තේය.

2022දී රනිල් වික්‍රමසිංහ මහතා රටේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයට ජනාධිපති ධුරයට පත් වන්නේත් පාර්ලිමේන්තු දේශපාලනය තුළ තමන් සතු අත්දැකීම් සූක්ෂම ලෙස කළමනාකරණය කර ගනිමිනි. මේ වසර ආරම්භය වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණක් වී සිටි රනිල් වික්‍රමසිංහ මහතා ජූලි මාසයේදී රටේ විධායක ජනාධිපතිවරයා වනු ඇතැයි මේ රටේ කිසිවකුත් සිතුවේ නැත. එහෙම සිතුවා නම් ඒ රනිල් වික්‍රමසිංහ මහතාම පමණි.

හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු බලය ගත් හැම අවස්ථාවකදීම එය දිගටම පවත්වාගෙන යාමට සමත් වූයේ නැත. 2001 ආණ්ඩුව අවුරුදු 2කදි වැටුණේය. 2015 ආණ්ඩුව මාස ගණනාවක් ඇතුළත එවකට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඇතිකරගත් මත ගැටුම් හේතුවෙන් අර්බුදයකට ගියේය. ඊටපසුව 2019 ජනාධිපතිවරණයත් සමඟ යූ.එන්.පී.ය කැඩී ගොස් මහ මැතිවරණයේදී පක්ෂයේ බලය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පමණක් සීමා විය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදාගෙන රට ගොඩදා ගැනීමට වික්‍රමසිංහ මහතා සියලු උත්සාහයන් දරන්නේ මේ අතීතයේ ආදර්ශ මත පිහිටමිනි. තමන් එදා වරද්දාගත් තැන් පිළිබඳ ඔහු තුළ මනා අවබෝධයක් තිබේ. රට ආර්ථික වශයෙන් දියුණු කිරීමට තමන් තුළ දශක ගණනාවක් තිස්සේ තිබූ ලිබරල් චින්තනය ක්‍රියාත්මක කිරීමට දැන් වික්‍රමසිංහ මහතාට සියලු බලතල තිබේ. එදා වරද්දා ගත් රනිල් මෙදාත් වරද්දා නොගන්නට නම් ඔහු තම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබාදුන් පොරොන්දු ඉටු කිරීම හැර වෙනත් මගක් නැත.

I ශෂීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00