2022 අගෝස්තු 21 වන ඉරිදා

රාජපක්ෂවරුන් දේශපාලනයෙන් අතුගා දානවට ජනතාව කැමති නෑ

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 123

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක

  • මහින්ද රාජපක්ෂට පස්සේ ඉන්න ඊළඟ සීනියර් මිනිහා මමයි
  • ගෝඨාභයගේ කැබිනට් එකේ විසි ගාණකට සාමාන්‍ය පෙළවත් නෑ
  • ගෝඨාභය මහත්තයා හොඳ වැඩි වුණා: ඔක්කොම වැටුණා
  • රනිල් මහත්තයාගේ ලිබරල් ආර්ථිකයයි අපට ගැලපෙන්නේ
  • අයිඑම්එෆ් එකත් එක්ක කතා කරන්න සුදුසුම කෙනා ඩලස් නොවේ රනිල්
  • මේ රටේ ජනමතය තිබෙන්නේ අපි එක්ක
  • හැමෝම එකතු කරලා ආණ්ඩු හදන්න බෑ
  • අරගලකරුවො ගෝල්ෆේස් එක වැසිකිළි වළක් කළා

පොහොට්ටුවේ හිටපු ජනාධිපතිතුමා ගියාම ඒ පක්ෂයේම බහුතර කැමැත්ත මත තමයි අලුත් ජනාධිපති පත්වුණේ. ඔහු එජාප නායකයා. කොහොමද, මොනවගේ හැඟීමක්ද මේ වෙච්ච දේ ගැන හිතෙන්නේ?

ඔව්. රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමේ බර කරට ගත්තේ පොහොට්ටුව. අපි දැනගත්තා රනිල් වික්‍රමසිංහ මහත්තයගේ තියෙන ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය මේ රටට ගැලපෙයි කියලා. ලී ක්වාන් යූලා, මහතිර් මොහොමඩ්ලා ඒ රටවල් ජයගත්තේ ලිබරල් ආර්ථික සැලැස්මත් එක්ක. රනිල් වික්‍රමසිංහ කියන්නේ දැක්මක් තියෙන නායකයෙක්. ශ්‍රී ලංකන් ප්‍රඩක්ට් එකක්. එතුමා සාමාන්‍ය පෙළට වඩා ඉගෙනගෙන ඇති කෙනෙක් නෙමේ. ඔහු බලයට ආපු හැම අවස්ථාවකම වැඩ කරන්න ලැබුණේ නෑ. එක අවස්ථාවක චන්ද්‍රිකා මැතිනිය උස්සලා පොළොවේ ගැහුවා. ඊට පස්සේ යහපාලන කාලේ 19 වැනි සංශෝධන ව්‍යවස්ථාවේ විකෘතියත්, මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ 18 වැනි සියවසේ කාල් මාක්ස් තියරියත් නිසා ඔහුට ඔහුගේ වැඩේ කර ගන්න බැරිවුණා. අන්න ඒ නිසාමයි අපි මේ බර කරට අරන් එතුමව පත්කර ගත්තේ.

ඇත්තටම ඔබලා සහාය දුන්නේ පොහොට්ටුවට එරෙහිව ආපු ජනතා විරෝධය සහ අරගලය මර්දනය කරන්න නේද?

ඔව් ඒකත් එකක්. මොකද ඔය අරගලය තමයි මෙරට සංචාරක ව්‍යාපාරය බිමට ඇදලා දැම්මේ. ඔය කොවිඩ් අර්බුදය නිමවීමත් එක්ක පසුගිය අප්‍රේල් මාසය වෙනකොට සංචාරකයෝ 129000ක් වැඩිවුණා. ගෝල්ෆේස් එකට ආපු අරගලකරුවෝ තමයි සංචාරක ව්‍යාපාරය දඩස් ගාලා බිමට දැම්මේ. එතන අලුත් හෝටල් හැදෙමින් තිබුණා. ඒ වගේම වරාය නගරය කියන්නේ ආයෝජන රුසක් එන්න තිබුණු තැනක්. ඒ හරිය සංචාරක පාරාදීසයක් වෙන්න තිබුණු තැනක්. ඒ නිසා ගෝල්ෆේස් භූමිය කියන්නේ සංචාරක කර්මාන්තයේ කොටසක්. ඒ භූමිය වැසිකිළි වළක් කරපුවම, ගංජා හිටෙව්වම, කූඩාරම් ගහන්න ගත්තම සංචාරක කර්මාන්තය බිඳවැටෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒවා ගැන හිතුවේ නැද්ද?

අපි කිව්වා එතුමට මේ අයව හුරතල් කරන්න එපා කියලා. එතුමා ඒ හැමදෙනාටම ඉතාම අනවශ්‍ය ලෙස කාරුණික වුණා. ඒකෙන් වුණේ එතුමත් වැටුණා. රාජපක්ෂවරුත් වැටුණා. පක්ෂයත් වැටුණා.

ඒ කියන්නේ මේ සියල්ලේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගන්න ඕන?

නෑ. මම කියන්නේ එතුමගේ කාරුණිකභාවය, විරෝධතා ඉවසීම නිසා තමයි මේක වුණේ. දැන් බලන්න කොවිඩ් ප්‍රශ්නය විසඳලා චීනයට වඩා එක ලකුණකින් තමා අපි ලෝකෙන් දෙවැනියා වුණේ. ඒත් දෙවැනි රුල්ල එද්දී අන්තිමේ විරුද්ධ පක්ෂයේ අය එළියට බැහැලා උද්ඝෝෂණ කරන්න ගත්තා. මිනිස්සු පාරට ඇද්දා. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉවසුවා. අන්තිමේ හැමතැනම පැතිරුණා. ඒ නිසා තිස් අවුරුදු යුද්ධයක් විතරක් නෙමෙයි, මේ ලෝකයේ භයානකම ත්‍රස්තවාදියා පරාජය කරපු මිනිහා තරුණයො තමන්ගේ කාර්යාලයේ ගේට්ටුව වහගෙන ඉන්නකොට එළෙව්වේ නෑනේ.

හැබැයි තරුණ අය මුලදී උද්ඝෝෂණය කළේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහටනේ. එහෙම අයට ගහන්න බෑනේ?

රටේ නායකයගේ කාර්යාලයේ ගේට්ටුව අල්ලාගැනීම ප්‍රජාතන්ත්‍රවාදීද? ඒවා නීත්‍යානුකූලද? විජයදාස රාජපක්ෂලා, ඩලස් අලහප්පෙරුමලා ඕවා කිව්වේ කටින්ද? මේවා ප්‍රජාතන්ත්‍රවාදී දේවල් නෙමෙයි.

ඔබ කැම්පස් ඉන්න කාලෙත්, විපක්ෂයේ ඉන්න කාලෙත් ඔය වගේම උද්ඝෝෂණ, වර්ජන කළා. ඇයි දැන් මේ අරගලය විතරක් වැරදි. කවුරුවත් ආයුධ සන්නද්ධ අය නෙමෙයිනේ? 

මෙහෙමනේ. අරගලයකට රටේ පරිපාලනය නවත්තන්න බෑ. අරගලයකට රටේ ආර්ථික ගමන නවත්තන්න බෑ. ඒ නිසා අරගලය ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕන. අරගලය අහිංසාවාදී වෙන්න ඕන. මේක ප්‍රජාතන්ත්‍රවාදීවත් අහිංසාවාදීවත් නෑ. පේනවනේ කරපු විනාශය.

ඔබ ඔහොම කිව්වට ජනතාව පාරට ආවේ ඇතිව තිබුණු ආර්ථික අපහසුතාවය නිසා. ඒක සාධාරණයි නේද?

කිසිම සාධාරණකමක් නෑ. බලන්න එංගලන්තයේ කොවිඩ් කාලේ වැඩට එන්න එපා කිව්වම පඩි බාගයයි දුන්නේ. ලෝකයේ හැම රටක්ම පඩි බාගයක් වගේ දුන්නේ. ඉන්දියාවේ වැටුප් වැඩි කිරීම් නැවැත්තුවා. 2016 ජපානයේ 16෴ක වැටුප් වැඩි කිරීම කපා හැරියා. ඒත් අපේ සම්පූර්ණ වැටුපත් දීලා බෝනසුත් දුන්නා රජයේ සේවකයන්ට.

මොන දේ කිව්වත් අරගලය නිසා අවසානයේ ආණ්ඩුවනේ ගෙදර ගියේ?

ඒක වුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ හිත හොඳකම, අහිංසාවාදය නිසා. මම හිතුවේ ගෝඨාභය ලී ක්වාන් යූ කෙනෙක් වෙයි කියලා. ඒ කියන්නේ ආඥාදායකයෙක් වෙයි කියලා. මම ඒකටයි ආදරේ කළේ. මිනිස්සු බයවෙලා හිටියේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ වැඩ කළේ ඊට ප්‍රතිවිරුද්ධව.

හිතෙන්නේ නැද්ද ඔය ආපු සෙනග අතර පොහොට්ටුවේ අයත් හිටියා කියලා?

එන්න ඇති. මෙහෙමයි. පාරට ආවා කියලා අපිට ප්‍රශ්නයක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා දැක්වුවා කියලා අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. එක් වරදක් වුණා අර කෘෂිකර්ම පොහොර ප්‍රශ්නය. එතුමට අපි කිව්වා මේක ප්‍රාදේශීය ලේකම් මට්ටමින් කරගෙන යමු කියලා. ඒත් එතුමා එකවර ඒක සිදු කළා. ඒත් ඒක එතුමා පස්සේ පිළිගත්තා.

දැන් ඔබ හිතනවද තවම පොහොට්ටුවේ ජනවරම රුකිලා තියෙනවා කියලා?

අපේ ජනවරම හොඳටම රුකිලා තියෙනවා. හෙට මම නුවරඑළියෙන් තරග කළත් මම හෙට නුවරඑළියත් දිනනවා. අපේ ජනවරමට මුකුත් වෙලා නෑ. අනෙක් පක්ෂවලට ලේසි නෑ. තව ඡන්දයක් තිබුණොත් ඒ දිනන්නෙත් අපි. බණ්ඩාරනායක මහත්තයගේ මධ්‍යස්ත දේශපාලන ගුණය අද රැකිලා තියෙන්නේ පොහොට්ටුවේ විතරයි. පොඩි පොඩි හැලහැප්පීම් තිබුණට අපේ ජනවරම එහෙමමයි.

දැන් පොහොට්ටුව තමයි තවම ජනවරම නියෝජනය කරන්නේ. ඒත් එළියේ ජනමතය වෙනස්. ඒ වගේම ජනවරමේ නියෝජිතයෙක් තමයි ඩලස් අලහප්පෙරුම කියන්නේ. ඔහු ජනාධිපති අපේක්ෂක ලෙස තරග කළා. ජනමතය රනිල් වික්‍රමසිංහ මහත්තයටත් නෑ. ඇයි ඔබලා ජනවරමේ නියෝජිතයා අතහැරියේ?

ඩලස් කියන්නේ අපේ මිත්‍රයා. හැබැයි එයත් අර රටේ ජනාධිපතිගේ කාර්යාලය අල්ලගත්තම ඒ අල්ලගත්ත එක අහිංසාවාදී ප්‍රජාතන්ත්‍රවාදී කියලා කිව්වනේ.

ඒ තරහටද ඩලස්ව අතහැරියේ?

ඒ තරහට නෙමෙයි. ඒකෙන් එයාට දැක්මක් නෑ කියලා ඔප්පු වුණා. ලෝකය දිහා හැරිලා බලන්න ඕන. දැක්මක් ඕන. මේ හැමදේම ගැන බලන්න ඕන. අපේ රට ආර්ථික වශයෙන් නැගිටින්න උත්සාහ ගන්නවා මිසක් අනම් මනම් බහුභූත වැඩක් නෑ.

අරගලය ගොඩනැගුණෙම රාජපක්ෂ විරෝධය එක්ක. ඒත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු කියනවා නැවත නැගිටීමක් රාජපක්ෂවරු එක්ක තියෙනවා කියලා. ඔබ හිතනවද එහෙම නැගිටීමක් රාජපක්ෂවරු එක්ක තියෙනවා කියලා?

මෙහෙමයි. මිනිස්සු කැමැති නෑ මහින්ද රාජපක්ෂ මහත්තය අගමැතිකමෙන් අයින් වුණාට. ඒ වගේම රාජපක්ෂවරු මේ දේශපාලනයෙන් අතුගාලා දාන්න වමේ මිනිස්සු, ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු කැමැති වෙයි කියලා මම හිතන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයගේ යුගය තමයි යුද්ධය ඉවර කළේ. එතුමගේ කාලය තමයි මේ රටේ  ආර්ථිකයේ ස්වර්ණමය කාලය. ලෝකෙ වේගවත්ම දෙවැනි තැනට සංවර්ධනය වෙමින් පවතින රට වුණා. එතුමා ආර්ථිකය යහපාලනයට දුන්නේ 7.1෴ක ආර්ථික නැග්මක් එක්ක. ඒත් ‍යහපාලනය ඒක 4.3%ට බැස්සුවා. අන්තිමේ 2.4%ට වැටිලයි ගෝඨාභයට ගන්න වුණේ. මේ රටේ ආර්ථික නැග්මේ හිමිකාරයා ඔහුයි.

විපක්ෂය කියන්නේ ජනවරමට දැන් බලයක් නෑ, දැන් ජනමතය වෙනස්. ඒ නිසා වහාම ඡන්දයකට යන්න කියලා?

එහෙම කිව්ව එක්කෙනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගණන 3යිනේ. ඒ තුන්දෙනාව නියෝජනය කරන අයනේ ඔය ජනමතය කියලා කියන්නෙ. තව මන්ත්‍රීවරු ගොඩක් ඉන්නවනේ.

නෑ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කට්ටියත් ඉල්ලනවා?

ඒක නිසා තමා එයාලා ඩලස් එක්ක ඉල්ලලත් ගන්න පුළුවන් වුණේ ඡන්ද 82යිනේ. මේ රටේ ජනමතය සජිත් එක්කවත් අනුර කුමාර එක්කවත් නෙමෙයි, අපි එක්ක කියලා අපි නැවත වතාවක් පාර්ලිමේන්තුවේ ඔප්පු කරලා පෙන්නුවා. කිසිම මන්ත්‍රීවරයකු නැති, එක ලැයිස්තුවක ඉන්න කෙනෙක් අපි රටේ ජනාධිපති කළා.

ඒ කළේ ජනමතයට පිටුපෑමේ වැඩක්නේ?

රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අයිඑම්එෆ් එකත් එක්ක කතා කරන්න පුළුවන්, ඊට සුදුසුම පුද්ගලයා හැටියට අපි දැක්කේ ඩලස් නෙමෙයි, රනිල් වික්‍රමසිංහ මහත්තයා. රාජපක්ෂවරු ඉවත් වුණාම එකම විකල්පය වුණේ රනිල් වික්‍රමසිංහ.

මෙතැනින් පස්සේ පොහොට්ටුවයි, එජාපයි එකටද ඡන්දය ඉල්ලන්නේ?

නෑ ඒක කියන්න බෑ. අපි පක්ෂ දෙකක්නෙ. අපේ මතය, දර්ශනය, වැඩපිළිවෙළ වෙනයි. එක මොහොතකදි අපේ පක්ෂයත් කඩා වැටුණා. නායකයොත් කඩා වැටුණා. අපි අසරණ වුණා. යන එන මං නැතිවුණා. ඒත් අපේ දිස්ත්‍රික්කවල ජනතාව අපිත් එක්ක ඉන්නවා. අපි කළේ පුද්ගලයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනධිපති කරපු එක.

මේ රටට එකම විසඳුම දැන් සර්ව පාක්ෂික ආණ්ඩුවද?  

ඒක හොඳ විසඳුමක්.

ඔබ දන්නවනේ, යහපාලනය කාලේ හවුලේ ආණ්ඩු කරන්න ගිහින් නැත්තට නැති වුණා?

ඔව්. දැන් එක එක්කෙනා එනවනේ පක්ෂවලින්. ඒ අය එක්ක කරනවා. මම කියන්නේ හැමෝම එකතු කරලා ආණ්ඩු හදන්න බෑ. එන කට්ටිය එක්ක හදනවා. මොන දේ කළත් මේ අර්බුදය හඳුනාගෙන උත්තර හොයන්න ඕන.

දැන් අයි.එම්.එෆ් එකට වඩා සමීප වෙන්න යන්නේ චීනයට නේද ආණ්ඩුව?

අයි.එම්.එෆ් එක, ලෝක බැංකුව වගේ ආයතන ගැන අපි ඇත්ත දැනගන්න ඕන. අවසානයේ ඔය ආයතන ගිහින් හිටගන්නේ ඇමෙරිකාවේ දොරකඩ. ඒකයි ඇත්ත. ඒ වගේම පසුගිය අවුරුදු පහ ගත්තම ඔය ජාත්‍යන්තර ආයතනවලට වඩා තුන්වැනි ලෝකෙ රටවල්වලට ආධාර කරලා තියෙන්නේ චීනය. ඔවුන් හදලා තියෙන වෙළෙඳ සංගමයට රුසියාව, ජපානය, ඔස්ට්‍රේලියාව වගේ රටවලුත් හේත්තුවෙලා තියෙනවා. චීනය එක්ක තරහින් හිටිය මහතීර් මොහොමඩ්ලා පවා චීනය එක්ක එකතු වුණා. පාකිස්ථානය පවා. ඒ නිසා අපිට ඔය හැමදේටම වඩා චීනය සමීපයි.

අවසන් වශයෙන් අහන්නේ අලුත් ඇමැති ධුරයක් ලැබෙයිද?

හම්බවෙයිද දන්නේ නෑ. මොකද මහින්ද රාජපක්ෂට පස්සේ ඉන්න ඊළඟ සීනියර් මිනිහා මම. ඒ නිසා හම්බවුණත් එකයි නැතත් එකයි.

ගෝඨාභය රාජපක්ෂත් හරි කැබිනට් එකක් පත් කළේ නෑ කියලා පසුගිය කාලේ කතාවකුත් තිබුණනෙ පක්ෂය ඇතුළේ නේද?

ඔව්. ඒක ඇත්ත. ගෝඨාභයගේ කැබිනට් එකේ හිටියා විසි ගාණක් සාමාන්‍ය පෙළවත් නැති. මමත් දන්නවා ඒ අතරින් පහළොවක්.

 ගයාන් ගාල්ලගේ