2022 අගෝස්තු 21 වන ඉරිදා

ලොව ඉහළම විදුලි බිල අපට !

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 101

සාමාන්‍යයෙන් විදුලි බිලක් සම්බන්ධයෙන් පාරිභෝගිකයාට වැඩිම කම්පනයක් දැනෙන්නේ රතු බිලක් පැමිණි අවස්ථාවකදීය. ගෙවන්න තිබෙන ඇරියස් එක මදිවාට නොගෙව්වොත් විදුලිය සිඳලන බවට අනතුරු ඇඟවීමක්ද රතු අකුරින් එහි සඳහන් වන බැවිනි. මේ සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් ලබන මාසයේ සිට එම කම්පනය විදුලි බිල අතට ලැබෙන වාරයක් පාසා පාරිභෝගිකයාගේ ලේ, ඇට මිදුලු, නහර සියල්ල කාගෙන සිරුර තුළට කිදා බසිනු ඇත. ඒ විදුලි බිල වැඩිවීමේ ප්‍රමාණයේ තරම හේතුවෙනි. එය දරාගත හැකි මට්ටමින් එහාට ගොස් හමාරය.

විදුලි බිල වැඩි කිරීම පිළිබඳ ගැටලුවක් නැත. සියලු නිෂ්පාදන වියදම් ඉහළ යන විට ඊට අනුකූල වන සේ විදුලි බිලද ඉහළ යා යුතුය. පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කරගෙන රටේ විදුලි බල අවශ්‍යතාවය සපුරා ගැනීමට කටයුතු නොකිරීමට හේතු වෙනම කතා කළ යුතුය. එහෙත් ඒ සියලු බර රටේ පාරිභෝගිකයන්ගේ කර මත සම්පූර්ණයෙන් පැටවීම මහත් අසාධාරණයක් සේ අපි දකිමු. අවශ්‍ය ලෙස කාලානුරූපව බලයේ සිටි ආණ්ඩු කටයුතු නොකිරීමේ පාපය පාරිභෝගිකයන්ගේ ඇඟේ ගැසීම මහත් අවාසනාවකි.

විදුලි බිල මේ අවස්ථාවේ වැඩි කෙරුණේ වසර 09කට පසුව බවද විදුලි බල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිසමත් ප්‍රකාශ කර තිබිණි. නමුත් එය එහි සියලු බර පාරිභෝගිකයා මත පැටවීමට හේතුවක් නොවේ. අඩුම තරමින් වසර 09කට පෙර විදුලි ගාස්තු වැඩි වූ අවස්ථාවේදී හෝ ඉදිරි වසර දහය තුළදී විදුලිය නිපැයුමට නව තාක්ෂණය සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් හඳුනාගෙන ඒවායින් පල ගැනීමට අසමත් වීමේ වගකීමෙන් මිදීමට විදුලි බල මණ්ඩලයට හැකියාවක් නැත. අති විශාල වැටුප් ලබන විදුලි ඉංජිනේරුවරුන් දහස් ගණනක් සේවය සපයන මණ්ඩලය එවැනි කටයුත්තක් සිදු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඔවුන් පාරිභෝගිකයන්ට කරුණු දැක්විය යුතු යැයි අපි සිතමු. එහෙත් එවැන්නක් සිදුවන වගක්වත් නැත. ඔවුහු විදුලි බිල වැඩි කර අත සෝදාගෙන පැත්තකට වී සිටිති. පාරිභෝගිකයෝ දත්මිටි කාගෙන වැඩි වූ බිල ගෙවා දමති.

විදුලි බිලෙන් බැට කන ජනතාවට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් පසුගිය දශක දෙකක පමණ කාලය තුළදී බලයේ සිටි සෑම ආණ්ඩුවක්ම වගකිව යුතු බවද සඳහන් කරනු කැමැත්තෙමු. විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් සහ නිලධාරීන් විසින් ඉදිරි වසර 20 සඳහා ඒ කාලවලදී ඉදිරිපත් කරන ලද සැලසුම්වලට ආණ්ඩු කළ ඇත්තන්ගේ සහාය නොලැබීමද මේ අවාසනාවන්ත තත්ත්වයට මග පෑදුවේය. මේ ආණ්ඩු විසින් රටේ සෑම නිවෙසකටම විදුලිය ලබාදීමට ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කළ බව සත්‍යයකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් රටේ ග්‍රාමීය ප්‍රදේශවලට පවා විදුලිය ලැබී තිබේ. එය යහපත් ක්‍රියාවකි. නමුත් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේදී රටේ ආර්ථිකයට එහි බර දරා සිටිය හැකි මට්ටමින් එය සිදු කළ යුතුය. එසේම බලශක්තිය ජනනය කිරීමේදී වැඩිම පිරිවැයක් දැරීමට සිදුවන තාප විදුලි බලාගාර වෙනුවට විකල්ප පුනර්ජනනීය බලශක්ති ක්‍රමවලට ඉඩක් නොදීම ඉදිරි සැලසුම්වල දුර්වලතාව පෙන්වා දෙන ප්‍රධානම සාධකයකි.

විදුලිය සැපයීමේදී බලයේ සිටි සෑම ආණ්ඩුවක්ම කල්පනා කරන්නේ තමන්ගේ ඊළඟ ඡන්දය දිනාගැනීම සඳහා විදුලිය සැපයීම පුළුල් කිරීමට මිස සමස්ත රටේ විදුලි ජනනය ක්‍රමානුකූල සැලැස්මක් මත පුළුල් කිරීමට නොවේ. මේවා යට මහා පරිමාණ ටෙන්ඩර් ගනුදෙනු සිදුවන බවට බරපතළ චෝදනා ද එල්ල වී තිබේ. ලොකුම කොමිස් කුට්ටිය ලැබීමේ චේතනාවෙන් කටයුතු කරන ඇමැතිවරුන් සහ ඒවාට උල්පන්දම් දෙන දූෂිත ඉහළ නිලධාරීන්ද අද රටේ ඇතිවී තිබෙන විදුලි බිලේ වැඩිවීමට පැහැදිලිවම වගකිව යුතුය. අප කියන්නේ විදුලි බිල වැඩි නොකළ යුතු බව නොවේ. මේ තරම් දරාගත නොහැකි මට්ටමින් ගාස්තු ඉහළ නැංවීම අසාධාරණයක් බවය. ගෙවී ගිය වසර 09 ඇතුළත වරින් වර සුළු ප්‍රතිශතවලින් ගාස්තු වැඩිකර විදුලි බල මණ්ඩලයේ පාඩුව අඩුකර ගත්තා නම් මේ ව්‍යසනයට රට මුහුණ දෙන්නේ නැත. එහෙත් තමන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩුවන බවට තිබූ බිය නිසා එය සිදු වූයේ නැත. අවසානයේ සියලු බර පාරිභෝගිකයා මත පැවරී තිබේ.

විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ද, ඉංජිනේරුවන් ඇතුළුව මේ රටට විකල්ප බලශක්ති ක්‍රම අධෛර්යමත් කරමින් සිදු කර ඇති හානියද මෙහිදී අමතක කළ නොහැක. ඔවුන් හැමවිටම මේ රටේ සූර්ය බල, සුළං බල ව්‍යාපෘතිවලට අවහිර වෙන සේ කටයුතු කරන බව ප්‍රකට කරුණකි. වසර ගණනාවකට පෙර මේ රටේ නිවෙස් ලක්ෂයකට අධික ප්‍රමාණයක වහළ මත සවිකර ඇති සූර්ය පැනලවලට තවමත් විදුලිය සබඳතා ලබාදීමට මණ්ඩලය කටයුතු කර නැත. සුළං බල ව්‍යාපෘති සඳහා ආණ්ඩුව ගන්නා පියවරවලට ඔවුහු ප්‍රසිද්ධියේ විරෝධය පළ කරති. නමුත් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ මීට වසර 10කට පෙර සිට පර්යේෂණ සිදු කළ ලොවේ බොහොමයක් රටවල් එම ව්‍යාපෘතිවලින් මේ වනවිට හොඳින් ප්‍රයෝජනය ගනිමින් සිටී. ඊටත් පෙර සිටම ඒ ගැන කතා කළ අපි ලොවේ ඉහළම විදුලි බිල ගෙවන පාරිභෝගිකයන් පිරිසක් බිහිකිරීම අතින් කප් ගසා සිටිමු.

වසර 09කට පසුව මෙසේ විදුලි ගාස්තු දැරිය නොහැකි මට්ටමින් වැඩි කිරීමට සිදුවූයේ රටේ කඩා වැටුණු ආර්ථික තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමේ පූර්ව කොන්දේසියක් සපුරා ගැනීමට බවද පෙනෙන්නට තිබේ. අප කනගාටු වන්නේ එහි සියලු බර ජනතාවගේ කර මතට කඩා වැටෙද්දී ඒ තත්ත්වයට විදුලි බිල වැඩි කිරීමට වගකිව යුතු සියලු දෙනා නිරුපද්‍රිතව සිටීම ගැනය.

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00