2022 අගෝස්තු 21 වන ඉරිදා

තනි රෝදේ අලුත් ගමන

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 235

ලංකාවෙ ආර්ථිකය ඍණ වී ආණ්ඩුවකට හතරගාතෙන් වැටීමට සිදු වූ පළමු අවස්ථාව වුණේ චන්ද්‍රිකාගේ දෙවැනි පාලන කාලයේදීය. ඒ වෙලාවේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ළඟින් සිටි බල කණුද චන්ද්‍රිකා අතහැර ගියෝය. විධායක බලතල අතේ තියාගෙන 2001 පැවැත්වූ මහ මැතිවරණයෙන් ආර්ථිකය ඍණ වී සිටි චන්ද්‍රිකාගේ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව පැරදුණේය. රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව බිහි විය.

හැබැයි චන්ද්‍රිකා එක්ක ඉතුරු වූ පිරිස අතරේ මංගල සිටියේය. විධායක බලතල උපයෝගී කරගෙන ආණ්ඩුවක් වට්ටන කලාව මංගල හොඳින් දැන සිටියේය. චන්ද්‍රිකා ආපහු ආණ්ඩුව ගත්තේ රනිල්ගේ ආණ්ඩුව වට්ටා පැවැත්වූ මහ මැතිවරණයෙනි. ජවිපෙ ද ඒ වෙලාවේ චන්ද්‍රිකාට එකතු විය.

රනිල් ආණ්ඩුව කළේ යන්තම් අවුරුදු දෙකකි. ඒ කාලය ඇතුළදී චන්ද්‍රිකාගේ කාලේ ඍණ වූ ආර්ථිකය ධන විය. රටට විදෙස් ආයෝජන ද එමින් තිබුණි. සහල් ඇතුළු ආහාර මිල ගණන් අඩු විය. එතෙක් රට පෙළමින් තිබූ යුද්ධය ද සාම සාකච්ඡා හේතුවෙන් ඇනහිට තිබුණි. ජනතාව නිදහසේ එහා මෙහා ගියේ දශක දෙකකට පසුව බෝම්බ තර්ජන තාවකාලිකව ඉවර වී තිබීම හේතුවෙනි.

මේ මොන දේ තිබුණත් අවුරුදු දෙකකදී රටේ ජාතික ආරක්ෂාව බින්දුවට වැටී ඇති බවට දිගටම ගෙන යමින් තිබූ ප්‍රචාරයට රනිල් ආණ්ඩුවේ හොඳ ඔක්කොම යට ගිහින් නරක ඉස්මතු විය. එයට කොටින්ගේ තැන තැන සිදු කළ ප්‍රකෝපකාරී ක්‍රියා ද හේතු විය. ජාත්‍යන්තරයේ ඉල්ලීම වී තිබුණේ චන්ද්‍රිකා සමඟ එකතු වී සහවාස ආණ්ඩුවක් හැටියට කටයුතු කරන ලෙසටය. නමුත් රනිල්ගේ කැබිනට්ටුව ඇතුළේම කිහිප දෙනකුගේ වැඩ නිසා සහවාස ආණ්ඩුවට ඉඩක් නොතිබුණි. ආණ්ඩුව ඉක්මනින් වැටීමට එය ද හේතු විය. රනිල් ඒ වනවිට දමාගෙන සිටි ජාත්‍යන්තර ආරක්ෂක දැලෙන් ද වැඩක් නොවීය. ජනතාව අන් සියල්ලටමත් වඩා ජාතික ආරක්ෂාව වෙනුවෙන් චන්ද්‍රිකාගේ කට්ටිය ගෙන ගිය ප්‍රචාරයට වශී වී සිටියහ. රනිල් සහ චන්ද්‍රිකාගේ සහවාස ආණ්ඩුව වෙනුවට ජවිපෙ සහ චන්ද්‍රිකාගේ පරිවාස ආණ්ඩුවක් ඇති විය.

රනිල් ආපසු බලයට ආවේ 2015 දීය. ඒ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ඉදිරියට දාගෙන ආණ්ඩුව පිහිටුවීමට අර අදින විට රටේ ජනතාවට රාජපක්ෂ පාලනය තිත්ත වී තිබුණේය. බඩු මිල ද ඉහළ යමින් තිබුණි. දූෂණ සහ වංචා චෝදනා දෝරේ ගලා යමින් තිබුණේය. හැමදාම ගහන ජාතික ආරක්ෂා පදය ද ජනතාවගෙන් ඈත්වෙමින් තිබිණි. ඒ වෙනුවට ලෝකෙටම අභියෝග කිරීමට ගිය මහින්ද රාජපක්ෂ පාලනය හේතුවෙන් රටට සම්බාධක වැටෙන බවක් ද පෙනී ගියේය. මහින්ද ඒ තැනට තල්ලු කළ විමල් වීරවංසලාගේ කතා ද ජනතාවට තිත්ත විය. ජී.එස්.පී. ප්ලස් සහනය ද අහෝසි වී තිබීම හේතුවෙන් රටේ විදේශ විනිමය ද තෙරපීමට ලක් විය. යුරෝපය සහ අමෙරිකාව ලංකාවේ මත්ස්‍ය නිපැයුම් ඇතුළු වෙළෙඳ භාණ්ඩ මිලදී ගැනීම නවත්වා තිබුණි.

මේ තත්ත්වය යටතේ රාජපක්ෂ පාලනය අවසන් කළ හැකි බවට රටපුරා මතයක් ගෙන යාමට එවකට විපක්ෂයේ සිටි රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයන්ට හැකි විය. එහිදී වික්‍රමසිංහ මහතාට ලොකුම ප්ලස් පොයින්ට් එක වී තිබුණේ මංගල ද එක් වී සිටීමය. වැටුණු ආණ්ඩු ගොඩගැනීමට මෙන්ම තිබෙන ආණ්ඩු වැට්ටවීමේදී ශූරයකු වූ මංගලගේ ප්‍රධානත්වයෙන් ගෙන ගිය මැතිවරණ පූර්ව ප්‍රචාරක වැඩපිළිවෙළ ජනතාවට අල්ලලා ගියේය. ඒ අතරවාරයේ අමෙරිකාවේ සහායත් ඉන්දියාවේ සහායත් දිනාගැනීමට ද රනිල් වික්‍රමසිංහ මහතාගේ විපක්ෂයට හැකි වී තිබුණි. එහි ලොකුම කාර්යභාරයක් ඉටු කළේ මංගලය. 2005 දී මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට පැවති ජනාධිපතිවරණ ගල උඩ සටනේ මහින්දට ලොකුම ශක්තිය සහ පෙරගමන්කරුවා වූ මංගල 2015 දී මහින්ද පරාජය කිරීමේ සටනේ ද පෙරමුණ ගෙන සිටියේය. මහින්දලා පැරදී සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව බිහි විය.

මේ ආණ්ඩුව බිහිවීමෙන් පසුව ද රටේ ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරුණේය. එයට ප්‍රධාන වශයෙන් බලපෑවේ ජාත්‍යන්තර සහාය ආණ්ඩුවට ලැබීමය. ඉන්දියාවේ සහාය ද එහිදී කැපීපෙනුණේය. යුද්ධය ඉවර කිරීමෙන් පසුව ඉන්දියාව ලංකාවේ ආණ්ඩුවක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඇරඹුණේ 2015 යහපාලන ආණ්ඩුව සමඟය. ජිනීවා මානව හිමිකම් කොමිසමේ කරදරය ද තාවකාලිකව යටපත් වී ගියේය. ජනතාවගේ වැටුප වැඩි විය. තෙල් මිල අඩු විය. වී අස්වැන්න ද ඉහළ ගියේය. රටේ බඩු මිල ද ස්ථාවර වෙමින් තිබුණි.

මෙහෙම වුණත් වික්‍රමසිංහ අගමැති සහ සිරිසේන ජනාධිපති අතර ඇවිලී ගිය සීතල යුද්ධය එළිපිට යුද්ධයක් දක්වා වැඩිවෙන විට රාජපක්ෂලා බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාව එළඹුණේය. බැඳුම්කර මගඩිය දිනපතාම පාහේ පැවති මාධ්‍ය සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් විය. ඊළඟට රටේ ජාතික ආරක්ෂාව ගැන චෝදනා එල්ල කෙරුණි. බුද්ධි අංශය විනාශ කර ඇති බවටත් ඒ පිළිබඳ වගකීමෙන් ආණ්ඩුවට ගැලවිය නොහැකි බවටත් හැමදාම පාහේ ප්‍රකාශ විය. රටේ කිසිම සංවර්ධන වැඩක් නොකෙරෙන බවට ද නිවේදන පිට නිවේදන නිකුත් විය. ජනතාව ටිකෙන් ටික ඒවාට කන් දෙන බව පෙනී ගියේය. විරෝධතා, උද්ඝෝෂණ නැති දිනයක් නොතිබුණි. හාමුදුරුවරු පිරිසක් හැමදාම පාහේ මාධ්‍ය සාකච්ඡා තබා ආණ්ඩුව පට්ට ගැසීම සුලභ දසුනක් විය. ඊළඟට දින 52 ආණ්ඩු අර්බුදයත් පාස්කු ප්‍රහාරයත් ආණ්ඩුවේ අවසානය ඉක්මන් කළේය. ජාතික ආරක්ෂාව, රට ජාතිය බේරාගැනීම, රටේ සම්පත් විකිණීම, රට කෑලිවලට කැඩීම වැනි මාතෘකා තලු මර මරා දේශපාලන වේදිකාවල රුව් දුන්නේය.

ජනතාවට තමන් එතෙක් කාලයක් නිදහසේ, ජීවන වියදම අඩුවෙන් සතුටෙන් ගත කළ කාලය ඉක්මනින් අමතක විය. රජයේ සේවකයන්ට ලැබුණු ඉහළ වැටුප් වැඩිවීමද ඔවුන්ට ගාණක් නොවීය. රටට ලැබෙමින් තිබූ ආයෝජන ද විවිධ ආකාරයේ විරෝධතා සංවිධානය කර අධෛර්යට පත් කෙරුණි.

හැබැයි යහපාලන ආණ්ඩුව එහෙම ලේසියෙන් ජනතාවට අමතක වූයේ ඒ හේතු නිසා පමණක් නොවේ. ඔවුන්ගෙන් මූලික වශයෙන් බලාපොරොත්තු වූ දේශපාලන තීන්දු ගැනීමට යහපාලන ආණ්ඩුව දැක්වූ උදාසීනභාවය ද එයට ලොකු බලපෑමක් විය. දූෂණ, වංචා චෝදනා එල්ලවූවන්ට එරෙහිව නිසි පරිදි නඩු පැවරුණේ නැත. ඒ වෙනුවට පෙනී ගියේ ඔවුන් ආරක්ෂා කරන බවකි. එසේම ඒ කාලයේ සුප්‍රසිද්ධ වංචා කිහිපයක් වූ ශ්‍රීලංකන් එයාර් ලයින් සමාගම් ගුවන් යානා මිලදී ගැනීම්, මිග් යානා මිලදී ගැනීමේදී සිදු වූ බවට එල්ල වූ චෝදනා වැනි අවස්ථා ආණ්ඩුව පහසුවෙන් මගහැරියේය. ලසන්ත වික්‍රමතුංග සහ වසීම් තාජුඩීන් ඝාතන පිළිබඳ එම වසර 05 තුළදීම කෙරුණේ ඇල්මැරුණු විමර්ශන පමණි. යහපාලන ආණ්ඩුවේ කඩා වැටීමට ඒවා ද විශාල බලපෑමක් ඇති කළේය.

මේ සියලු කාරණා සටන් පාඨ බවට හැරී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යළිත් රාජපක්ෂලා දිනාගන්නා විට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය ලබා දුන් යූ.එන්.පිය ද කැඩී ගොස් තිබුණි. විපක්ෂ නායක ධුරයත් සජිත්ට ගියේය. ඉන් පසුව සිදු වූ දේ ඉතිහාසයට එක් වී හමාරය.

කෙසේ වුවද දැන් රටේ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු ජනාධිපති ධුරයට පත්වන්නේ ජනතාව විසින් බලයට පත්කර වසර දෙකක් තුළදී ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. මේ හේතුවෙන් වික්‍රමසිංහ මහතාට දේශපාලන තීන්දු ගැනීමට සිදුවන්නේ පොහොට්ටුවේ උවමනා එපාකම් අනුවය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කොතරම් කතා කළත් එය යථාර්ථයක් නොවන්නේ ජනාධිපතිවරයාගේ දේශපාලන තීන්දු පොහොට්ටුවේ නායකයන් විසින් හසුරුවනු ලැබීම හේතුවෙනි. මේ නිසා ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධුර ලබා ගන්නා මන්ත්‍රී පිරිසක් හැර පක්ෂ මට්ටමින් එහෙම එකතු වන බවක් පෙනෙන්නට නැත. එවැනි ආණ්ඩුවක් බිහිවීමට එරෙහිව පොහොට්ටුවේ නායකයන්ම කටයුතු කරන බවද පැහැදිලිය.

රනිල් වික්‍රමසිංහ මහතා රටේ නායකයා බවට පත්වූයේ පළමු වතාවටය. එහෙම පත්වන විට රට දේශපාලන සහ ආර්ථික වශයෙන් අර්බුද දෙකක ගිලී තිබුණේය. එය 2001 දී සහ 2015 දී බලයට පත්වූ අවස්ථා දෙකටම වඩා වෙනස්ය. ඒ අවස්ථා දෙකේදී මේ තරම් අර්බුදයක් තිබුණේ නැත. ඒ එක්කම එම අවස්ථා දෙකේදීම වික්‍රමසිංහ මහතා බලයට ගෙන ඒමට විශාල කාර්යභාරයක් සිදු කළ මංගල ද නැත. බැලූ බැල්මටම රනිල් වික්‍රමසිංහ මහතාට යාමට සිදු වී තිබෙන්නේ දේශපාලන වශයෙන් අතුරේ ගමනකය.

ඒ අවස්ථා දෙකේදී මෙන්ම මෙවර ද වික්‍රමසිංහ මහතා බලයට පැමිණීමෙන් පසුව රටේ මෙතෙක් පැවති අතිශය පීඩාකාරී ආර්ථික අර්බුදය මඳක් තුනී වී යමින් තිබේ. තෙල් පෝලිම් අවසන් වී එදිනෙදා කටයුතු දුෂ්කරතා මැද වුවත් ඉදිරියට යමින් තිබේ. ගෑස් ප්‍රශ්නය තරමකට විසඳී තිබේ. මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන්නේ රටේ ආර්ථික තත්ත්වය තරමක පාලනයකට ගැනීමට හැකියාව ලැබී තිබෙන බවය.

හැබැයි වික්‍රමසිංහ මහතා ඉදිරියේ වෙනත් අභියෝග දෙකක් ඉදිරියට පැමිණෙමින් තිබේ. චීන යුද නැව හේතුවෙන් ඉන්දියාව සමඟ ඇතිවූ විරසකය එයට ප්‍රධානය. එම සිද්ධියෙන් ඉන්දියාව මහත් කම්පනයකට පත් වී සිටින බවත් එහි දේශපාලන ප්‍රතිවිපාක මොන අතට හැරේදැයි කිව නොහැකි බවත් දැනගන්නට තිබේ. 2015 දී බලයට පැමිණීමට උදව් කළ ඉන්දියාව මේ වෙලාවේ කරන්න යන්නේ කුමක්දැයි විමසිල්ලෙන් සිටීම ඉතාම වැදගත් වෙයි. ඊළඟ අභියෝගය සැප්තැම්බර් ජිනීවා මානව හිමිකම් සැසියයි. එය ශ්‍රී ලංකාවට මහත් අවාසි සහගත විය හැකි බවට පුරෝකථනය වී තිබේ. මේ අභියෝග දෙක දැනට පසුබැස සිටින රාජපක්ෂලා තමන් බලාපොරොත්තු වන අවස්ථාවක් දක්වා වර්ධනය වනතුරු බලා සිටිනවාද විය හැකිය. එහෙම අවස්ථාවක් එන එක වළක්වාගන්න නම් රනිල් වික්‍රමසිංහ මහතාට ඇති හොඳම විසඳුම පොහොට්ටුව සමඟ එක් වී දේශපාලන ගමනක් ඇරඹීමය.

රනිල් වික්‍රමසිංහ මහතාට යන්නට තිබෙන්නේ අතුරේ ගමනක් බවට කතා දෙකක් නැත.

 ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00