භූමිතෙල් මිල ලීටරයකට රුපියල් 253කින් ඉහළ යාම මේ රටේ මිල වැඩිවීම් ඉතිහාසය අලුතින් ලියා තිබේ. පසුගිය කාලය පුරාම රටේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිල ගණන් ඉහළ ගියේ විදුලි වේගයෙනි. තෙල් මිල ගණන් ද එයට එකතු විය. ඊළඟට එකතු වීමට නියමිතව ඇත්තේ විදුලි බිල සහ වතුර බිලය. මේ ඔක්කොගෙම එකතුව ඉවසා දරාගත නොහැකි උද්ධමනයක් රට තුළ ඇතිකර තිබේ.
මේ තත්ත්වය දැන් කොතරම් දරුණු අතට හැරීදැයි කිවහොත් ලෝකයේ වැඩිම ආහාර උද්ධමනයක් ඇති රටවල් අතුරින් ශ්‍රී ලංකාව 05 වැනි තැනට පත්වී ඇතැයි ලෝක බැංකුව පසුගියදා ප්‍රකාශ කර තිබිණි. අපට ඉහළින් තිබෙන රටවල් අතර මුලින්ම ලෙබනනය ද ඊළඟට පිළිවෙළින් සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ තුර්කිය වෙයි. අපට විශාල කනගාටුවක් ඇතිවන්නේ සිම්බාබ්වේ, වෙනිසියුලාව වැනි රටවල් අයිති කාණ්ඩයකට අපේ රටට ද වැටී තිබෙන බව අසන දකින විටය. එහෙත් කළ හැකි එකම දේ හැකි තරම් වෙහෙස වී එම තත්ත්වයෙන් ගොඩ ඒමට කටයුතු කිරීම පමණි. ඒ සඳහා නායකත්වය දිය යුත්තේ ආණ්ඩුවය.
ශ්‍රී ලංකාවේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ගණන් සැදූ විට එය සීයට 82.5 ක් දක්වා ජූලි මාසය තුළදී ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දී තිබේ. ආදායමේ කිසිදු වැඩිවීමක් නොමැතිව තිබෙන ආදායම් පවා අහිමිව යමින් සිටින පොදු මහජනතාවට මේ පීඩනය ඉවසා දරාගැනීමේ සීමාව ඉක්මවා ගොස් තිබේ. තුන්වේල දෙවේලට සහ දෙවේල එකම වේලකට සීමාවෙමින් සිටි පවුල් සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ආහාර සම්බන්ධයෙන් තත්ත්වය එසේ සිදුවන විට ඊට බාහිර වියදම් ද එක ලෙස වැඩිවෙමින් තිබේ. විශේෂයෙන් පාසල් යන දූ දරුවන් සිටින මාපියෝ මේ අති දුෂ්කර තත්ත්වයට මුහුණ දෙති. පොත්, පැන්සල්, පෑන්, සපත්තු, මේස්, නිලඇඳුම් මිල ගණන් ඉතාම ඉහළ ගොස් තිබේ. පාසල් වෑන් ගාස්තු ද එසේමය. ඊට අමතරව දූ දරුවන්ගේ අමතර පෝෂණය සඳහා ලබා දිය යුතු අතිරේක ආහාර ගැන මවුපියන් දැන් සිතන්නේ නැත.
මේ අතර පොහොර හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂි නිපැයුම් සීයට 40ත් 50ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇතැයිද ලෝක බැංකු වාර්තාවක් පෙන්වා දී තිබේ. ඔවුන්ගේ අදාළ තක්සේරු වාර්තාව තවදුරටත් පෙන්වා දී ඇත්තේ පොහොර සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන හිඟවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර සැපයුම සීමාවනු ඇතැයි උපකල්පනය කරන බවය. මේ සියල්ලම අවසානයේ එකතු වන්නේ රටේ අධි උද්ධමන තත්ත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහාය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ රජය සිදුකෙරෙන මූලික වටයේ සාකච්ඡා ආරම්භ වී තිබෙන්නේ මේ උද්ධමනකාරී තත්ත්වයෙන් මුළු රටම දැඩි ලෙස පීඩාවට පත්ව තිබියදීය. හැකි තරම් ඉක්මනින් මේ සාකච්ඡා අවසන් වී රටට පිළිගත හැකි කොන්දේසි යටතේ ණය ආධාර ලබාගැනීමට හැකිවන තත්ත්වයක් ඇතිකර ගැනීම රජයේ ප්‍රධාන වගකීමය. එහිදී ජනතාවට ද දැඩි දුෂ්කරතා විඳින්නට සිදුවීම වැළැක්විය නොහැක. ඔවුහු දැනටද එම දුෂ්කරතා අත්විඳිමින් සිටිති.
මෙහිදී රටේ පාලනය අතැතිව සිටින ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ කැපවීමද ජනතාවට පෙනී යා යුතුය. මාළු බාන්න යන බෝට්ටුවට භූමිතෙල් සපයාගත නොහැකිව ධීවරයෝ දුක් විඳිද්දී වී-8, බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්. වාහනවලින් මැති ඇමැතිවරුන් ගමන් බිමන් යන්නේ නම් එයින් පෙනෙන්නේ ඔවුන්ට ජනතාවගේ උද්ධමනය නොදැනෙන බවය. ඔවුන් විඳින දුක නොපෙනෙන බවය.
අධික වියදම් සහිත එවැනි සුඛෝපභෝගී වාහන භාවිතය අතහැර අඩු වියදම් හොඳ වාහනවලින් තමන්ගේ රාජකාරි ගමන් යාමට තරම් විනයක් ඇතිකර ගැනීම මැති ඇමැතින්ගේ වගකීමකි. අධික සුඛෝපභෝගී වාහන භාවිතය මාස කිහිපයකට නවත්වාගත හැකි නම් එයින් ඉතුරුවන ඉන්ධන වියදම අවශ්‍යම කාණ්ඩවලට භූමිතෙල් සහනාධාර සැපයීමට පවා යොදාගත හැකිවනු ඇත. ලොවේ බොහොමයක් රටවල මහජන ඡන්දයෙන් බලයට පත්වෙන මැති ඇමැතින්ට අධික වියදම් සහිත සුපිරි වාහන භාවිතයට අවසරයක් නැත. ඔවුන් රජයේ මුදල් වැය කළ යුත්තේ සියලු නීතිරීතිවලට යටත්ව එම සීමා ඇතුළේය. එහෙත් අපේ රටේ එවැනි මුල්‍යමය ශික්ෂණයක් නැත. ආණ්ඩුවේ නාස්තිකාර වියදම්වලට සීමා පැනවීම් නැත. රට මේ තරමට ආර්ථික වශයෙන් කඩා වැටී අධි උද්ධමනයක් ඇතිවීමට එයද එක් ප්‍රධාන හේතුවකි.
මේ උද්ධමන තත්ත්වය ඉබේ පහළ වැටෙන්නේ නැත. මුල්‍ය අරමුදලින් ණය ලැබුණු පමණින් එසේ වන්නේත් නැත. ඒ සඳහා බලපාන සැබෑ හේතු හඳුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකර්ම යෙදිය යුතුය. මුල්‍ය අරමුදලින් ණය ප්‍රදානය කිරීමේදී පනවනු ලබන කොන්දේසි බොහොමයක ඇත්තේ එවැනි ප්‍රතිකර්මය. රටේ ආහාර නිෂ්පාදනය වැඩි කරගත යුතුය. අපනයනය ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන නිෂ්පාදනවල ධාරිතාව හැකි පමණ වර්ධනය කර ගැනීමද අවශ්‍යය. සංචාරක කර්මාන්තය ගොඩගැනීමට මුළු වැර යොදා කටයුතු කළ යුතුය. එසේම එතෙරින් ලැබෙන ආයෝජන වර්ධනය කර ගැනීම වෙනුවට ඒවා අධෛර්යවත් කෙරෙන &රට කෑලිවලට කඩන* වැනි දේශපාලන සටන් පාඨවල එල්ලී සිටීමෙන්ද කවදාවත් රටේ උද්ධමනය අඩුවන්නේ නැත. පාඩු ලබන රාජ්‍ය ආයතන රටේ භාණ්ඩාගාරයට එල්ල කරන පීඩනය ද අවම කරගත යුතුය. ඒ අතර විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඩොලර් ප්‍රේෂණ ගෙන්වා ගැනීමද හැකි තරම් දිරිමත් කිරීමද අත්‍යාවශ්‍ය සාධකයකි.
අධික උද්ධමනය මහජනතාවට උසුලාගත නොහැකි බරකි. එහෙත් එය විපක්ෂයට ශක්තිමත් සටන් පාඨයකි. නමුත් සටන් පාඨ කියා කෑගැසුවාට උද්ධමනය අඩුවන්නේ නැත. ඒ සඳහා නිසි ප්‍රතිකර්ම යෙදීම හැර වෙනත් මගක් නැත.