ලංකාවේ දේශපාලන ඉතිහාසය එක්ක බලන විට දැන් ලංකාවේ තිබෙන්නේ අමුතුම ආණ්ඩුවකි. මහජන ඡන්දයෙන් බලයට පත්වූ ජනාධිපතිවරයාට ධුරය හැරදා රටින්ද පිටවී යාමට සිදු විය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ඊළඟ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා බිහි කළේය. ඒ වනවිට හිටපු අග්‍රාමාත්‍යවරයාද ධුරයෙන් ඉල්ලා අස්වී සිටීම හේතුවෙන් මේ කාර්යය තරමක් සරල විය. ව්‍යවස්ථානුකූලව පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොදුරාජ්‍ය මණ්ඩලීය නායිකා මහරුජින ඇතුළු ලෝක නායකයන්ගේ පිළිගැනිමද සුබපැතුම්ද හිමි විය. හිටපු ජනාධිපතිවරයා රටින් රට යමින් සිටියදී නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට පාලනය කරමින් සිටී. ගතවූ සති 05ක පමණ කාලය තුළදී වික්‍රමසිංහ මහතා තම බලය තහවුරු කර ගනිමින් රට කිසියම් ඒකාග්‍රතාවකට පත්කර ගැනීමටද සමත් විය.
ආණ්ඩුව අමුතු නම් එම ආණ්ඩුව මගින් ඉදිරිපත් කරන අයවැයද අමුතු විය යුතුය. මුදල් අමාත්‍යවරයාද වන ජනාධිපතිවරයා තම පළමු අයවැය ලබන 30 වැනිදා ඉදිරිපත් කිරීමට සූදානම්ය. මේ අයවැය ආණ්ඩුවේ ඉදිරි කාලය තුළ තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන්නට පිළිතුරක් සපයනු ඇතැයි රටේ ආර්ථික විශේෂඥයන්ගේ බලාපොරොත්තුවයි. ජනතාව නම් බලාපොරොත්තු වන්නේ කර මුලටම හිර වී සිටින තමන්ගේ එදිනෙදා ජීවිතයට කිසියම් හෝ සහනයක් ලැබෙන අයවැයක් ඉදිරිපත් වනු ඇතැයි යන්නය. රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය ලබා ගැනීමට සහාය දැක්වූ පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ගේත් ඒ මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වූ සෙසු මැති ඇමැතින්ගේත් බලාපොරොත්තුව ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී තමන්ට ජනතාව අතරට ගොස් ඡන්දය ඉල්ලා සිටීමට හැකි තත්ත්වයක් අයවැය මගින් නිර්මාණය කරනු ඇති බවය. මේ හැම බලාපොරොත්තුවක්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු අයවැයෙන් ඉටුකරගන්න පුළුවන් වෙයිද?
ඒ ගැන අදහසක් ගන්නට නම් දැන් රට මුහුණ දී සිටින සැබෑ තත්ත්වය පිළිබඳ අවබෝධයකින් කරුණු විමසා බැලිය යුතුය. දේශපාලන සහ ආර්ථික කරුණුවලදී තමන් පිළිගන්නා ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන නායකයකු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියක් උසුලයි. සැබෑ තත්ත්වය ගැන ඇත්ත කියා දේශපාලනය කරන්න ගිය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙරදී සාර්ථක වුණේ නැත. ඔහුගේ 2001 ආණ්ඩුවත් 2015 ආණ්ඩුවත් මේ සඳහා හොඳම උදාහරණ දෙකය.
හැබැයි එදා වික්‍රමසිංහ මහතා පෙන්වාදුන් ආර්ථික ප්‍රතිසංස්කරණවලට ඒ ඒ ආණ්ඩු බය නැතුව අත ගැසුවා නම් වර්තමානයේ ලංකාව මුහුණ දී සිටින ආර්ථික කඩා වැටීම මේ තරම් බරපතළ වීමට ඉඩක් නැත. අඩුම තරමින් ශ්‍රී ලංකාවට විදෙස් ආයෝජන ලැබීම පැහැදිලි ලෙසම වර්ධනය වීමට ඉඩ තිබිණි. විවිධ රාජ්‍යයන් සමඟ ඒකාබද්ධව රටේ ආර්ථිකයට බරක් නොවී විශාල සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට හැකියාව තිබිණි. රට ආර්ථික වශයෙන් දුර්වල වන අවස්ථාවලදී ලංකාව ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ප්‍රමාද නොවීම නිසා රටේ විදේශ සංචිත කළමනාකරණය කර ගැනීමටද හැකි විය. නමුත් අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත්‍ර හේතුවෙන් මේ බොහොමයක් ඉලක්ක සපුරාගත නොහැකි විය. එහි පාඩුව සිදුවුණේ රටටමය.
එහෙම වුණත් ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යාමේදී රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන් ආණ්ඩුවල ඇතැම් මැති ඇමැතින්ගේත් ඔහු විශ්වාසය තැබූ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකුගේත් අත්තනෝමතික සහ දූෂිත තීන්දු හේතුවෙන් ඒ අරමුණු කරා යාමට වික්‍රමසිංහ මහතාට නොහැකි වූ බවද පෙන්වා දිය යුතුය. රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රබල සාධකයක් වන බලශක්ති ගැටලුව විසඳා ගැනීමට නොහැකි වීම එයට හොඳම උදාහරණයයි. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් විසින් ලබාදුන් ඉදිරි වසර 10ට 20ට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඒ ආණ්ඩුවල ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීනුත් ලොකු උනන්දුවක් ගත්තේ නැත. දේශපාලනඥයන් තමන්ගේ ඉදිරි ඡන්ද කුට්ටිය බලාගෙන සහ හම්බකර ගැනීමේ පරමාර්ථයෙන් තීරණ ගැනීමට යොමුවීමත් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ද හැකිතරම් හම්බ කර ගැනීමට එම අවස්ථා ප්‍රයෝජනයට ගැනීමත් හේතුවෙන් බොහොමයක් බලශක්ති සැලසුම් එකතැන පල් විය.
එහෙම තත්ත්වයක් ඇතිවීමට වරින්වර බලයට පත් චන්ද්‍රිකාගේ සහ රාජපක්ෂලාගේ ආණ්ඩුවල දූෂිත ක්‍රියාද හේතු වූ බවත් පැහැදිලිය. සාම්පූර් බලශක්ති ව්‍යාපෘතිය කවදාවත් ක්‍රියාත්මක වූයේ නැත. 2015 ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ලංකාවේ සංචාරයකට පැමිණි ඉන්දීය අගමැති මෝදි සමඟ මේ රටේ නායකයන් කළ සාකච්ඡාවක දෙබසක් ඒ කාලයේ තිරය පිටුපස දේශපාලන කටකතාවල මාතෘකාවක් බවට පත් වී තිබුණි. එහිදී මේ රටේ නායකයෝ ඉන්දීය අගමැති මෝදිගෙන් විමසා තිබුණේ සාම්පූර්හි යෝජිත ගල්අඟුරු බලාගාර ව්‍යාපෘතිය ස්වභාවික වායු බලාගාර ව්‍යාපෘතියක් වශයෙන් වෙනස් කළ හැකිද යන්නය. මේ බලාගාර ව්‍යාපෘතිය ඉන්දීය ආධාර යටතේ පවත්වා යාමට සැලසුම් කර තිබූ එකකි. චීනයට හම්බන්තොට වරාය ඉදිකිරීමට ලබාදුන් අවස්ථාව බැලන්ස් කිරීමට සාම්පූර්හි බලාගාරය සඳහා ඉන්දියාවට අවස්ථාවක් ලබාදීම රාජපක්ෂ ආණ්ඩුවේ උපක්‍රමයක් වූ බවද ඒ දවස්වල ඉන්දීය මාධ්‍ය හරහා ප්‍රචාරය වී තිබිණි.
කෙසේ වුවද සාම්පූර් බලාගාරය ගල්අඟුරු වෙනුවට ස්වභාවික වායු බලාගාරයක් කළ හැකිද යන්නට මෝදි ලබාදී තිබුණේ සරල පිළිතුරකි. ''අපි දැන් අවුරුදු 10ක් තිස්සේ සාම්පූර් ගල්අඟුරු බලාගාරයක් ගැන සාකච්ඡා කරනවනේ. ඉතින් ඒක වෙනස් කරල එල්.එන්.ජී. බලාගාරයක් හදන එක ගැන ඊළඟ අවුරුදු දහයේදී සාකච්ඡා කරමු.'' යන්න ඒ පිළිතුර වී තිබිණි.
විශාල ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් කල් මැරීම ලංකාවේ දේශපාලනය තුළ මහා කරුමයක් වී තිබෙන බව අපටත් වඩා හොඳින් ඉන්දියාව දැන සිටින බව එම පුංචි දෙබස පැහැදිලි කර දෙයි. එහෙම නොවී නිසි කළමනාකරණයකින් යුක්තව විදේශ ආධාර සහ ආයෝජන ලබා ගනිමින් ලංකාවේ විවිධ ආර්ථික සංවර්ධන කටයුතුද සිදුවී තිබෙන බවත් ඉතිහාසය පෙන්වා දෙයි. ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ පංච මහා ජලාශ ඉදිකිරීමත් නිදහස් වෙළෙඳ කලාප බිහිවීමත් එයට උදාහරණය. මහවැලි ව්‍යාපෘතියෙන් රටට අදටත් ලබාදෙන කෘෂිකර්ම දායකත්වයත් ජල විදුලියත් නිදහස් වෙළෙඳ කලාපයෙන් ලැබී ඇති ආර්ථික වාසිත් දිගටම පවතින ඒවාය. ඒවා නිර්මාණයේදී කඩිනමින් අවශ්‍ය දේශපාලන තීන්දු ගත්තා පමණක් නොව එම ව්‍යාපෘති භාරව කටයුතු කිරීමට සුදුසු දේශපාලනඥයන් සහ නිලධාරීන් පත් කිරීමටත් ජේ.ආර්.ගේ ආණ්ඩුව වග බලාගෙන තිබිණි. ඒ කාලයේ තරුණ අමාත්‍යවරයකු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාත් ජේ.ආර්.ගේ මේ ක්‍රම සහ විධි පිළිබඳ හොඳින් හදාරන්නට ඇත. එම ව්‍යාපෘතිවල ධනාත්මක මෙන්ම ඍණාත්මක ප්‍රතිඵලද ඔහු හොඳින්ම දැන සිටින බවටත් සැකයක් නැත.
ජේ.ආර්.ගේ පාලනයේ සංවර්ධන පැත්තෙන් තිබූ සාර්ථකත්වයේ අඩිතාලම වී තිබුණේ තීන්දු තීරණ ගැනීමේදී දැක්වූ ඉක්මන් බවත් ඒවා ක්‍රියාත්මක කිරීමට සුදුසුම දේශපාලන සහ නිලධාරී නායකත්වයක් ලබාදීමත්ය. ඒ යුගයත් මේ යුගයත් අතර දශක හතරක වෙනසක් තිබුණත් ඉක්මණින් තීන්දු ගැනීමත් ගන්නා තීන්දු ක්‍රියාත්මක කිරීමට සුදුසුම පුද්ගලයන් යොදා ගැනීමත් සම්බන්ධයෙන් කිසිම වෙනසක් නැත. එහෙම නොවුණොත් මොනම ව්‍යාපෘතියක්වත් ක්‍රියාත්මක කිරීම අමාරුය. ක්‍රියාත්මක නොවන සැලසුම් අතේ තබාගෙන කතා කර කර සිටීමෙන් පළක් නැති බව ඉන්දීය අගමැති මෝදි 2015දී කිව්ව දේ අදටත් වලංගුය.
ලංකාව ආර්ථික වශයෙන් ගොඩගන්න එක නම් ලේසි පහසු වැඩක් නොවේ. ආර්ථික අර්බුදයත් එක්කම රටේ දේශපාලන අර්බුදයක්ද ඇති විය. එක පැත්තකින් බැලුවොත් ආර්ථික අර්බුදයට ලොකුම හේතුව වුණෙත් කාලයක් තිස්සේ රටේ පැහෙමින් තිබූ දේශපාලන අර්බුදයයි. 2019දී ඡන්ද දෙකකින්ම රාජපක්ෂලා බලයට ආවේ රටේ ජනතාව තුළ විශාල බලාපොරොත්තු ඇති කරවමිනි. එහෙම බලාපොරොත්තු ඇති වුණේ නිකම්ම නොවේ. යහපාලන ආණ්ඩුව ආපු දවසේ ඉඳන්ම එම ආණ්ඩුව වැට්ටවීමට රාජපක්ෂ පාලනය ඉතාම සූක්ෂම අයුරින් දියත් කළ වැඩසටහන එයට හේතු විය. එහිදී ජනතාව ඉදිරියේ මවා පෑ සමෘද්ධිමත් දේශයක සිහිනයේ ප්‍රතිඵල ඒ ආණ්ඩුව මතට අවුරුදු දෙකක් යාමටත් පෙර කඩා වැටුණේය.
ජනතාව කොතරම් බලාපොරොත්තු තැබුවත් ඔවුන් අපේක්ෂා කළ වෙනස වෙනුවට ගෝඨාභයගේ පාලනයෙන් මතුවුණේ අලුත් ගෝඨාභය පාලනයක් නොව පරණ රාජපක්ෂ පවුලේ ආධිපත්‍යයට යට වූ පාලනයක් බව පෙනී යනවිට ජනතාව නොසන්සුන් විය. පෙර පරිදිම ආණ්ඩුවේ සියලු තීරණ ගනු ලැබුවේ පවුලේ වටමේස සාකච්ඡාවලදීය. කැබිනට්ටුව තිබුණේ නමට පමණි. සියලු වැදගත් තනතුරුවලට පත් කෙරුණේ රට ඉදිරියට ගෙන යා හැකි සුදුසු පුද්ගලයන් නොව පවුලේ අවශ්‍යතා ඉටුකළ හැකි ගජ මිතුරන් හෝ ඥාතීන්ය. එසේ නොවන ගෝඨාභයගේ තේරීම් අනුව පත්කරන ලද සුදුසුකම් තිබූ නිලධාරීන්ටද අවසානයේ ''පෞද්ගලික හේතූන්'' ඉදිරිපත් කරමින් ඉල්ලා අස්වන තැනට කරුණු යෙදුණේය. ජනතාවගේ ඇස් ඉදිරිපිට ඔවුන් බලාපොරොත්තු වූ ලෝකය කඩා වැටෙන විට පාරට බැසීම ඔවුන්ගේ එකම විකල්පය වී තිබුණි. රටේ ආර්ථිකය ඒ වනවිට කුණාටුවකට අසුවී තිබීම ඇවිළෙමින් තිබූ ගින්නට පිදුරු දැමීමක් විය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී ජනාධිපති පදිවියටද පත්වුණේ මේ පසුබිමේය. ඔහුගේ පත්වීම ජනතාව කෙසේ පිළිගත්තාදැයි කියන්න බැරිය. හැබැයි රනිල් ජනාධිපතිවරයා රටේ කුමන හෝ වෙනසක් ඇති කරනු ඇති බවට බහුතරයක් ජනතාවගේ විශ්වාසය වී තිබේ. එම විශ්වාසය තහවුරුවීමට ඔහු බලයට පත්වීමෙන් පසුව සිදුකළ ප්‍රකාශ කිහිපයද හේතු විය.
ලබන 30 වැනිදා ඉදිරිපත් වන අයවැය රනිල් වික්‍රමසිංහ මහතාගේ රටේ ආර්ථිකය පිළිබඳ ඔහුගේ පළමු ප්‍රතිපත්ති ප්‍රකාශනයයි. තම රාජාසන කතාවේදී රටේම පිළිගැනීමට ලක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකි විය. අයවැයේ යෝජනා ඇතුළත් ප්‍රකාශයද එවැනිම පිළිගත හැකි ප්‍රකාශයක් වීම ගැන සැකයක් නැත. හැබැයි වැදගත්ම කරුණ එය නොවේ.
වැදගත් වන්නේ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති හැකි ඉක්මණින් ක්‍රියාවට නංවා පෙන්වීමය. ඔහුට පාලනය කරගෙන යාමට සිදුවන්නේ රාජපක්ෂවරුන්ගේ බලපෑම් යටතේ තිබෙන ආණ්ඩුවක මැති ඇමැතින් සමඟ යන්න සැඟවිය නොහැක. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන තබා ඇති බලාපොරොත්තු දැන් බිඳ වැටෙමින් තිබේ. මේ නිසා හැකිතරම් බැලන්ස් කරගත හැකි ආණ්ඩුවක් ඉක්මණින් පිහිටුවාගෙන තවදුරටත් ප්‍රමාද නොවී තමන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පියවර ගතයුතුව තිබේ. එසේ නොවුණහොත් ජනතාවගේ බලාපොරොත්තු කඩවීම කොහෙන් කෙළවර වනු ඇතිදැයි කියන්න බැරිය.
ශශීන්ද්‍ර