කාලයක් තිස්සේ තිබූ තෙල් පෝලිම් පසුව නැති වී ගියේය. ඊට පසුව යළිත් තෙල් පෝලිම් ඇති වී තිබේ. මුලින් තෙල් පෝලිම් ඇතිවීමට තිබුණේ එකම හේතුවකි. ඉන්ධන පිරවුම්හල්වලට තෙල් නොලැබීමය. එසේ තෙල් නොලැබුණේ බෙදාහැරීමට ප්‍රමාණවත් තෙල් තොග සංස්ථාව සතු නොවීමය. ඒ කාලයේ තෙල් ගෙන ආ නැව් වරායේ තිබිණි. එහෙත් ඒවායේ තිබූ තෙල් ගොඩබෑම සඳහා අවශ්‍ය බිල ගෙවීමට ඩොලර් නොතිබිණි. මේ නිසා රට තුළ දැඩි තෙල් හිඟයක් නිර්මාණය විය. එහි බලපෑම කොතරම් වීද යත් පෞද්ගලික වාහන පමණක් නොව පොදු ප්‍රවාහන සේවා ද අඩාල විය. සියලුම වාහන තිබුණේ ඉන්ධන පිරවුම්හල් පෝලිම්වලය. ඒවායේ දිග කිලෝමීටර්වලින් මැනිය හැකි වූ අතර ගත කිරීමට සිදු වූ කාලය පැය ගණනින් වරු ගණනින් නොව දිනවලින් ගණන් කිරීමට සිදුව තිබිණි.
එහෙත් දැන් පෙට්‍රල් තිබේ. ඩීසල් ද තිබේ. නැව්වලට ගෙවීමට ඩොලර් ද තිබෙන බව ප්‍රකාශ කර තිබුණේ මහ බැංකු අධිපතිවරයාය. මේ නිසා ඒවා ගොඩබෑමත් ගොඩබෑ තෙල් තොග සංස්ථාවට ලබාදීමත් ගැටලුවක් නොවීය. බෙදාහැරීමද ක්‍රමානුකූලව සිදුවෙමින් තිබිණි. එහෙත් දැන් යළිත් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් නිර්මාණය වී තිබේ. මුලින් ටිකෙන් ටික පටන්ගත් පෝලිම් දැන් ඇතැම් ප්‍රධාන මාර්ගවල කිලෝමීටර් ගාණට දීර්ඝ වෙමින් තිබෙන අතර ඇතැම් පිරවුම්හල් වසා දමා තිබෙනු ද දැකිය හැකිය.
මෙය මහා අපභ්‍රංසයකි. බෙදන්න තෙල් තොග නොතිබියදී තෙල් පෝලිම් හටගැනීම ගැටලුවක් නොවේ. එහෙත් ප්‍රමාණවත් තරම් තෙල් තොග තිබියදීත් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් තිබිය නොහැක. එසේ සිදුවෙනවා නම් ඒ යට කුමක් හෝ මගඩියක් තිබිය යුතුය. නැතහොත් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් විය යුතුය. තෙල් නැතිව තිබියදී රටේ ජනතාවට තෙල් පෝලිම් තමන්ගේ අවසන් ගමන් යාමේ ස්ථානයක් තරමට පත්වෙමින් ගත කළ එම අසීරු, අභාග්‍යසම්පන්න, කරදරකාරී තත්ත්වය යළි ඇතිවනු දැකීමට කිසිවකුත් කැමැති නැත. එහෙත් එවැනි තත්ත්වයක් යළි ඇතිවනු දැකීමට කැමැති පිරිසක් සිටින බව තෙල් තොග තිබියදීත් යළි තෙල් පෝලිම් ඇතිවීමෙන් පෙන්වා දී තිබේ.
තෙල් තොග තිබියදී ඒවා පිරවුම්හල්වලට නොලැබෙන්නේ නම් එයින් තේරුම් යන්නේ තෙල් බෙදීම කිසියම් හෝ උප්පරවැට්ටියක් යොදවා කඩාකප්පල් කර දැමීමට කිසියම් පිරිසක් ක්‍රියා කරමින් සිටින බවය. ඛණිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ට්විටර් පණිවුඩවලින් කියැවෙන්නේ පවතින ඉන්ධන බෙදීමේ ප්‍රමාදය වහාම නැවැත්වීමට ක්‍රියා කරන බවය. එහෙත් මේ සටහන තබන විටත් පෙනී ගොස් තිබෙන්නේ ඒ කතාවේ හැටියට ක්‍රියාව සිදු නොවන බවය. එයට හේතුව අපගේ දේශය පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් පෙන්වා දී තිබේ.
ඒ අනුව පෙනී යන්නේ තෙල් බෙදීම පහසුවෙන් සිදුවීම වැළැක්වීමට සංස්ථාව ඇතුළේම බලධාරීන් කිහිප දෙනකු විසින් ගන්නා ලද තීරණ හේතු වී තිබෙන බවකි. පිරවුම්හල් හිමියන්ගේ ගෙල සිරකර මුදල් ගෙවීමට බල කෙරෙන තත්ත්වයක් උදා වී තිබෙන බව පැහැදිලිය. මෙතෙක් පැවති ක්‍රමවේදයට අනුව ඇණවුම් කරන තෙල් බවුසරයට නියමිත මුදල චෙක්පතකින් ගෙවිය හැක. අලෙවිය සිදුවීමෙන් පසුව එම චෙක්පතට මුදල් ලබාදීම මෙතෙක් පැවති ක්‍රමය වී තිබේ. නමුත් අලුත් නීතියක් අනුව ඇණවුම් කරන තෙල් බවුසරයට නියමිත මුදල එදිනම උදෑසන 9.30ට පෙර ගෙවිය යුතුය. ඉන්ධන පිරවුම්හල් හිමියන් පෙන්වා දෙන්නේ එය ව්‍යාපාරික වශයෙන් දුෂ්කර කටයුත්තක් බවය. අඩුම තරමින් මුදල් ගෙවීමට තිබෙන කාලය තව පැයකින් හෝ දෙකකින්වත් දීර්ඝ කර දෙන ලෙසට ඉන්ධන පිරවුම්හල් හිමියෝ ඉල්ලා සිටිති. නමුත් තවමත් එම තීන්දුව වෙනස් කරන ආකාරයක් පෙනෙන්නට නැත. මේ හේතුවෙන් තෙල් තොග ඇති තරම් තිබියදීත් රටේ ජනතාවට ඉන්ධන පිරවුම්හල් අසල තෙල් පෝලිම්වල කාලය කා දැමීමට සිදු වී ඇත. එය කවදා ඉවර වේදැයි කියන්නත් අපහසු තරම් ව්‍යාකූල තත්ත්වයක් හටගෙන තිබේ.
සංස්ථාව ඇතුළේ මුල්‍ය කළමනාකරණයේ ගැටලුවක් තිබේ නම් එය නිරාකරණය කර දීමට එහි පාලනාධිකාරියට හැකි විය යුතුය. ඔවුන්ට විසඳාගත නොහැකි තරමට ගැටලුව සංකීර්ණ නම් ඒ සඳහා විෂය භාර අමාත්‍යවරයාගෙන් විසඳුමක් ඉල්ලා සිටිය හැක. නැතහොත් කැබිනට් මණ්ඩලයට මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව ද තිබේ. මේ කිසිවක් සිදු නොවීම නැති ප්‍රශ්නයක් මහා අර්බුදයක් බවට පත් කිරීමේ දුෂ්ට චේතනාවකට උඩගෙඩි දීමක් දැයි විමසා බැලිය යුතුය.
තෙල් සංස්ථාවද අධික පාඩු ලබන රාජ්‍ය ආයතනයක් බැවින් එහි පාලනය ප්‍රතිව්‍යුහකරණයට ලක් කිරීමට සිදුවනු ඇතැයි පළ කෙරෙන අනාවැකි ද තෙල් බෙදාහැරීම සඳහා තවත් සමාගම්වලට අනුමැතිය ලබා දීමට ගනු ලබන පියවර ද හේතුවෙන් සංස්ථාවේ ඇතැම් නිලධාරීන් තමන්ගේ විරෝධය දැක්වීමක් හැටියට මෙවැනි ප්‍රායෝගික නොවන තීන්දු අරගෙන තිබේදැයි වහාම සොයා බැලිය යුතු යැයි අපි සිතමු. රටේ ආර්ථිකය යළි පණගන්වා ගැනීමට බරපතළ ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බවට රජය තීන්දු අරගනිමින් සිටී. එයට විරුද්ධ අදහස් තිබේ නම් ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ඉල්ලා සිටීමට ඔවුන්ට අයිතියක් ඇත. එහෙත් අත්තනෝමතික තීරණ ගනිමින් රටේ තෙල් බෙදාහැරීම කඩාකප්පල් කිරීමට කිසිදු නිලධාරියකුට අයිතියක් නැත. එවැනි පුද්ගලයන් සිටී නම් ඔවුන්ට එරෙහිව දැඩිව පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමය.