2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

සහනාධාර සහ ණය ආධාර

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 906

ලංකාවයි ලෝක බැංකු සහ ජාත්‍යන්තර අරමුදල් ආධාරයි ගහට පොත්ත වගේ තිබුණු අතීතයක් මෙරටට තිබුණි. ඒ කාලේ ලංකාවේ අයවැය හිඟය පියවා ගත්තේ එහෙම ලැබුණු ආධාර යොදාගෙනය. එය බොහෝ දුරට සංඛ්‍යාලේඛනවලින් සිදු කළ ඇස්බැන්දුමක් බවට මතයක් ද ඒ කාලේ තිබුණි. 

එහෙම ලෝකෙට ණය වෙලා රට ගෙනියන යුගයක් තිබුණේ ජේ.ආර්. ගේ යුගයේ රොනී ද මෙල් මුදල් ඇමැති හැටියට හිටපු කාලයේය. රොනී ලෝකෙ පුරාම සංචාරය කර ලංකාවට ආධාර කරන කණ්ඩායමක්ද හදාගෙන වාර්ෂිකව රටට සෑහෙන විදේශ ආධාර ප්‍රමාණයක් ලබාගැනීමට සමත් විය. එහෙම කරන්න රොනීට හැකිවුණේ ඔහු උසස් අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවියට ගිය කාලයේ සමකාලීනව අධ්‍යාපනය ලැබූ මිතුරන්ගේ උදව්වෙන් බවද ඒ කාලයේ කතාවක් තිබුණේය.

රොනී ලංකාවේ මුදල් ඇමැති වනවිට එම මිතුරන්ද ඒ ඒ රටවල උසස් නිලතල දැරීමත් ලෝක බැංකුවේ උපදේශකයන් බවට පත් වී සිටීමත් හේතුවෙන් ලංකාවට වසර ගණනාවක් තිස්සේ ආධාර කිරීමට පැරිස් ආධාර සමුළුව නමින් සංවිධානයක්ද පිහිටුවාගෙන තිබුණි. එම ආධාර කණ්ඩායමෙන් ලංකාවට ඇතැම් ණය ලැබුණේ ආධාර හැටියටය. ලෝක බැංකුවෙන් ලැබුණු ණය සඳහා අය කෙරුණේ ඉතාම සුළු පොලියකි.

හැබැයි මේ ආධාර ගැන කොන්දේසි ද පනවා තිබූ බව බොහෝ දෙනකු දැන සිටියේ නැත. මේ කොන්දේසි ගැන පාර්ලිමේන්තුවේදී විපක්ෂය ප්‍රශ්න කරන විට රොනී සහ ජේ.ආර්. ගේ කැබිනට් සගයන් දුන්නේ සරල පිළිතුරකි. ලංකාවේ බැංකුවකින් ණයක් ගන්න ගියත් කොන්දේසි දමන්නේ නැතිව එම ණය ලබා නොදෙන බවය.

ඒක දේශපාලන පිළිතුරක් වුණත් ඇත්ත තත්ත්වයත් එයමය. පැරිස් ආධාර සමුළුවෙන් ලංකාවට ආධාර ලැබෙන විට එම ආධාර යොදවාගෙන කළ යුතු කාර්යභාරයන්ද ඒ සඳහා ආධාර ලබා දෙන රටවලින් විශේෂඥ උපදෙස් සහ එම රටවල සමාගම්වලට කොන්ත්‍රාත් ලබාදිය යුතු බවට කොන්දේසි පනවා තිබුණි. ඒ වගේම සෑම ව්‍යාපෘතියක්ම අධීක්ෂණයට ලක්කෙරුණු අතර දූෂණය මැඩපැවැත්වීමට එම ගිවිසුම් විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් ද තිබිණි. එහෙම වුණත් ඒවාට යටින් රිංගාගෙන රට ඇතුළේ එම ව්‍යාපෘතිවලින් ලබා දෙන ටෙන්ඩර් හරහා මහා පරිමාණයෙන් කොමිස් ලබාගැනීම් සිදු වූ බවත් ඇතැම් දේශපාලනඥයන් මහා ධනවතුන් බවට පත් වූ බවත් ඒ කාලයේම ප්‍රසිද්ධ විය. ඒ වගේම එම ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කර නියමිත කාලය තුළදී නිමකිරීමත් ඒවායේ තත්ත්වය ඉතා ඉහළ ප්‍රමිතියකින් යුක්ත වූ බවත් සහතික කෙරුණි.    

ලංකාවේ මහවැලි ව්‍යාපාරය සම්බන්ධ වික්ටෝරියා ජලාශය ඇතුළු පංච මහා ජලාශ ඉදිවුණේ එම ආධාරවලිනි. වික්ටෝරියා වේල්ල විවෘත කිරීමට ලංකාවට ආවේ ඒ සඳහා ආධාර ලබාදුන් මහා බ්‍රිතාන්‍යයේ අගමැතිනි මාග්‍රට් තැචර් ය. එය ණය සහ ආධාරවලින් ලංකාව ළඟා කරගත් සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තරය තැබූ විශ්වාසයේ ප්‍රතිඵලයක් විය. ඒ වගේම ලංකාවේ මාර්ග සංවර්ධනය සඳහා ලෝක බැංකුව ලබාදුන් ආධාර අන්තිම සතයට පවා නිවැරදිව ගණන් හදා තිබූ බවට ඒ කාලයේ ලෝක බැංකුවෙන් සහතිකයක් ද ලැබුණි. එම ව්‍යාපෘති නිශ්චිත කාලසීමාවේදී ඉවර කිරීමත් ඒ ඒ කොටස් සඳහා වන ව්‍යාපෘති වාර්තා වෙන වෙනම ඉදිරිපත් කිරීමත් කැපී පෙනුණේය. ජේ.ආර්. යුගයෙන් පසුව බලයට පැමිණි ආර්. ප්‍රේමදාස ද එම මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට පවත්වාගෙන ගියේය. ජේ.ආර්. ගේ කාලයේත් මාර්ග සංවර්ධන විෂය භාරව තිබුණේ ප්‍රේමදාස මහතාට බවද සඳහන් විය යුතුය.

ඊට පස්සේ ලංකාවේ තත්ත්වය වෙනස් විය. ලෝකයේ තත්ත්වයත් වෙනස් විය. මහා පරිමාණ ව්‍යාපෘති කොපමණ කළත් නාගරික සහ ග්‍රාමීය මට්ටමේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා පිළිබඳ දැක්වූ නොසැලකිල්ලත් රටේ පාලනයට ඔවුන් නිසි අයුරින් යොදා නොගැනීමත් හේතුවෙන් තරුණ අසහනය පුපුරා ගියේය. උතුරේ ඇවිලෙමින් තිබූ ත්‍රස්තවාදී යුද්ධයත් සමඟ තත්ත්වය තවත් බරපතළ විය. තරුණයන්ගේ සහාය ලබාගන්නවා වෙනුවට ඔවුන් දැඩි ලෙස මර්දනය කිරීමට යාම දකුණේ සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය. රටට ආධාර ලබාදුන් රටවල් ලංකාවෙන් ඈත්වී ලංකාවට එරෙහි ප්‍රතිපත්තියකට මාරු විය. ඒ ඇතිවුණු තත්ත්වය කළමනාකරණය කර ගැනීමට බලයේ සිටි ආණ්ඩුවලට හැකිවුණේ නැත.             

හැබැයි උතුරේ යුද්ධය තිබූ කාලයේත් ලංකාවට ලෝක බැංකුවත් මුල්‍ය අරමුදලත් වරින් වර ආධාර ලබාදීමට ඉදිරිපත් වුණේ ඊට කලින් ලබාදුන් ආධාරවලින් ලංකාව හොඳින් ප්‍රයෝජනය ගැනීමේ ප්‍රතිඵලයක් හැටියටය. ඒ වගේම පසු කාලයකදී මුල්‍ය අරමුදලෙන් ලබාගත් ආධාරවල ඇතැම් කොන්දේසි සපුරා දීමට ලංකාව කටයුතු නොකිරීම හේතුවෙන් එම ආධාර ලබා දීමේදී දැඩි කොන්දේසි පනවන තත්ත්වයක් උදා විය. ලංකාව ක්‍රම ක්‍රමයෙන් මැදි ආදායම් රටක් හැටියට පත්වෙන විට ලෝක බැංකුව ලංකාවට ආධාර ලබා දීමේ වැඩපිළිවෙළ ද අහෝසි විය.    

ඊටපස්සේ ලංකාවේ දේශපාලන වාතාවරණය එක්කම ප්‍රතිපත්ති ද ප්‍රබල වෙනසකට පත්වුණි. ජේ.ආර්. ගේ, ප්‍රේමදාසගේ සහ චන්ද්‍රිකාගේ යුගවලදී ක්‍රියාත්මක වූ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති සහ ජනවාර්ගික ගැටලුවලදී දැක්වූ ආකල්පය ද මහින්දගේ යුගයේදී දැඩි මතධාරී ආකල්පවලට මාරු විය. යුද්ධය ජය ගන්නා තුරු ඒ ගැන ගැටලුවක් නොතිබුණි. ගැටලු මතු වුණේ ඉන් පසුවය.    

ඒ වෙලාවේ රටම එක්සේසත් කරගෙන සැබෑ සංවර්ධනයකට යාම සඳහා ලෝකයේ බලවත් රටවල් එකතු කර ගනිමින් එම රටවල් බැලන්ස් කර ගන්නවා වෙනුවට ඔවුන්ට අභියෝග කරන ප්‍රතිපත්තියක් හදා ගත්තේය. ආධාර ලබා දෙනවා වෙනුවට ජිනීවා මානව කවුන්සිලය හරහා ලංකාව දන්ගෙඩියට ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. රට ඇතුළේ ද ජාතීන් එකමුතු කර ගන්නවාට වඩා දැඩි ජාතිවාදී ප්‍රතිපත්තියක් ඇති විය. ආගම ද එවැනිම තත්ත්වයට ඇද දමනු ලැබීය. රට ඇතුළේ මැතිවරණ දිනාගෙන සදාකල් බලයේ සිටීම සඳහා යොදාගත් මේ ප්‍රතිපත්ති හේතුවෙන් ලංකාව ලෝකය ඇතුළේ හුදෙකලා විය. ඒ වනවිට මහා පරිමාණයෙන් ලංකාව චීනයට ණය වී තිබුණේ ඔවුන් ලෝස් නැතුව රටට ණය දීමට ඉදිරිපත් වූ නිසාය. මේ ණය ගනුදෙනු සහ ව්‍යාපෘති පිටුපස විශාල වශයෙන් දූෂණ සහ අක්‍රමිකතා සිදු වූ බවත් ආණ්ඩුවේ ඇතැම් නායකයන් සහ නිලධාරීන් මහා පරිමාණ ධනවතුන් වූ බවත් ප්‍රසිද්ධ රහසක් විය.

අන්තිමට ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටෙන ලකුණු පහළවෙන විට ලබාගත් ණය ගෙවීමට ජාත්‍යන්තර බැඳුම්කර හරහා ඩොලර් ණය ලබාගැනීමට සිදු විය. ආධාර හැටියට ලබාදුන් සමහර ණය සඳහා චීනය විශාල පොලියක්ද අය කරන බව රටට අනාවරණය වුණේ පසුවය.

යහපාලන කාලය තුළ ද මේ ගැටලු මෙසේම වර්ධනය වනවිට ඔවුන්ට ද සිදු වුණේ තව තවත් ණය වෙමින් ලබාගත් ණය ගෙවීමටය. එහෙත් ජී.එස්.පී. ප්ලස් යළි ලබාගැනීමට සමත් වීමත් ජාත්‍යන්තරය බැලන්ස් කර ගැනීමට හැකිවීමත් නිසා ලංකාව ආර්ථික වශයෙන් කිසියම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට ඒ ආණ්ඩුවට හැකි විය.

එම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම ගනු ලැබූ පියවර අසාර්ථක වීමට කරුණු දෙකක් බලපෑවේය. සිරිසේන ජනාධිපතිවරයාත් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් අතර ඇතිවූ ප්‍රබල මතගැටුම් නිසා දේශපාලන වශයෙන් රට අස්ථාවර වීමත් ආයෝජන සහ වෙනත් සංවර්ධන කටයුතු සඳහා ගනු ලැබූ පියවරවලට එරෙහිව රාජපක්ෂවරු ප්‍රමුඛ විපක්ෂය විසින් මහජනතාව උසිගන්වා දේශපාලන වශයෙන් වාසි ලබාගැනීමට ක්‍රියා කිරීම නිසා ජනතාව රටේ ආර්ථික වර්ධනයට වඩා දේශානුරාගය වැදගත් යැයි සිතන මට්ටමකට පත් වීමත්ය. යහපාලන ආණ්ඩුව අවසන් වුණේ දේශානුරාගයෙන් මත් වූ ජනතාව විශාල ජනවරමකින් රාජපක්ෂලා යළි බලයට පත් කිරීමෙනි. 

එහෙම වුණත් ඒ මවාපෑමට වැඩි ආයුෂ තිබුණේ නැත. රටේ ආර්ථිකය බලා සිටියදී කඩා වැටුණේ ඉතා අදූරදර්ශී ලෙස රට මෙහෙයවීමේ ප්‍රතිඵලයක් හැටියටය. දේශානුරාගය තිබිය යුතුය. එහෙත් එයින් පමණක් රටකට දිනාගත හැකි සංවර්ධනයක් නැති වග ජනතාවට අවබෝධ වනවිට පෙරහර ගොස් අවසානය.

රටේ ඩොලර් සංචිත දිය කරමින් ජාත්‍යන්තර බැඳුම්කර ණය ගෙවන විට රටේ සියලුම ආර්ථික විශ්ලේෂකයන් කිව්වේ එය නොකර ජාත්‍යන්තර අරමුදලට යන ලෙසටය. එය බීරි අලින්ට වෙණ වැයීමක් විය. ඩොලර් හිඳී ගොස් රට වළපල්ලට වැටෙන විටද ඒ ආණ්ඩුවේ ලොකු ලොක්කන් සිටියේ සිහින ලෝකයකය. ඒ සිහින ලෝකය කඩා වැටුණේ අරගලය ආණ්ඩුවේ නායකයන්ද ආණ්ඩුවද සමතලා කරගෙන ගිය දවසේය.

වත්මන් ජනාධිපති බලයට එන විට රාජපක්ෂ ආණ්ඩුවද මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අරඹා තිබුණි. වික්‍රමසිංහ මහතා බලය ලබාගත් විගසම එම සාකච්ඡා කඩිනම් කළා පමණක් නොව වඩාත් විශ්වාසදායී ලෙස එම සාකච්ඡා ගෙන යාමට පියවර ගත්තේය. එහෙම ගත් පියවර නිසා රටේ ජීවන වියදම ඉතා ඉහළ ගොස් ලංකාව ලෝකයේ අධි උද්ධමන රටක් බවට පත් විය. එහෙත් කළ හැකි දෙයක් නැති නිසා ජනතාව කබලෙන් ලිපට වැටී කරකියා ගත නොහැකි තැනක රුඳී සිටිති. විදුලි බිල සහ ජල බිල ද වැඩිවන විට මේ තත්ත්වය තවත් දරුණු වනු ඇත.

ජාත්‍යන්තර අරමුදල ලංකාවට ඩොලර් කෝටි 290ක් ඉදිරි වසර 04 සඳහා ලබා දෙන්නේ ඉහත සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියටය. එම ණය ලබාදීමේ පළමු කොන්දේසිය වන්නේ රටේ ක්‍රියාත්මකව පවතින දූෂණ සහ වංචනික ක්‍රියා මැඩපැවැත්වීමට ශක්තිමත් ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි. එසේම මහ බැංකුව දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර ස්වාධීන ආයතනයක් කළ යුතු බවට ද ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බවට ද කොන්දේසි පනවා තිබේ. මේවාට එකඟ වනවා හැර ලංකාවට කළ හැකි වෙනත් දෙයක් නැත.

එහෙම බලනකොට එදා ලංකාව ලෝකයෙන් ආධාර ගැනීමත් අද ආධාර ගැනීමත් අතර වෙනස අහසට පොළොව වගේය. එහෙම වෙනසක් ඇතිකිරීමට දායක වූ සියලු දේශපාලනඥයන් අද රට මුහුණපා සිටින අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුතුය.

 ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00