2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

රටද ? පක්ෂයද ?

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 91

රාජ්‍ය ඇමැතිවරුන් පත්කිරීම පසුගිය සති කිහිපය තිස්සෙම තිබුණේ කෙරෙන නොකෙරෙන තත්ත්වයකිනි. අවසානයේ ඒ ධුර බලාගෙන සිටි පිරිසකට වසන්තය උදාවිය. සංඛ්‍යාව 37කි. ඒ අතර කැබිනට් ධුර දරමින් සිටි රාජ්‍ය අමාත්‍ය ධුරය දක්වා පහළ වැටුණු කිහිප දෙනෙක්ද වෙති. දැන් ඔවුන්ගේ සිත් සතුටින් පිරී තිබෙන බවට සැකයක් නැත. පොඩි පරහකට ඇත්තේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකගේ ප්‍රකාශයයි. ඔහුට අනුව රාජ්‍ය අමාත්‍යවරුන්ට හිමිවන්නේ මන්ත්‍රී වැටුප පමණි. වරප්‍රසාද කිසිවක් නැත.

මෙහෙම කතා අපි අතීතයේත් අසා ඇත්තෙමු. ඒවා බොහෝමයක් සීමාවුණේ මුල සති කිහිපයට පමණි. රටට බරක් නොවන බව කියා ආවත් ඊළඟට ඔවුන් කියන්නේ එම වරප්‍රසාද නැතුව තමන්ට තමන්ගේ ඡන්ද දායකයන්ට කිසිම වැඩක් කළ නොහැකි බවය. විශේෂයෙන් ගමට යන්න නම් වරප්‍රසාදත් අවශ්‍ය බව ඔවුන් වැඩි දවස් නොගොස් කියනු ඇත.

කොහොම වුණත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදමු කියා කියන කතා දැන් ඇසෙන්නේ නැත. මේ වනවිට පත්කර ඇති කැබිනට් අමාත්‍යවරුන් 20 අතර විපක්ෂයේ දේශපාලන නියෝජනය කරන පක්ෂවල කිසිවකුත් නැත. රාජ්‍ය ඇමැතින් පත් කිරීමේදීත් වැඩිම නියෝජනයක් හිමිවුණේ පොදුජන පෙරමුණටය. ඒ අතර ශ්‍රීලනිපය තවදුරටත් දියාරු වී යන බවක්ද පෙනී ගියේය. ඔවුන් යා නොදී රඳවා ගැනිමට සිදුකෙරුණු උත්සාහයන් අසාර්ථක වූ බවත් දැනගන්නට ලැබිණි. නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර කැබිනට් ඇමැතිකම් ලබා කලින්ම ශ්‍රීලනිපයෙන් ඈත් වූහ.

සමගි ජන බලවේගයටද මෙහිදී ඩයනා ගමගේ සහ අරවින්ද් කුමාර් රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගන්නවා බලා සිටීමට සිදුවිය. හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර කලින්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ එක්වී සිටියහ. මේ නිසා මන්ත්‍රීන් 54කගෙන් යුතු වූ සජබ මේ වනවිට පැහැදිලිවම 04 දෙනකු අඩුකරගෙන සිටී. තව කී දෙනෙක් කැබිනට් අමාත්‍ය ධුර ලබාගෙන යනු ඇතිදැයි කියන්න බැරිය.

මේ කොහොම වුණත් මේ අය රාජ්‍ය අමාත්‍යධුර ගත්තේ පොහොට්ටුවේ ඉහළම නායකයන්ගේ අනුහසින් බව කිවයුතු නැත. විශේෂයෙන් බැසිල් රාජපක්ෂ තම කණ්ඩායම පොහොට්ටුව ඇතුළේ ශක්තිමත් කිරීමේ බලාපොරොත්තුවට මේ පත් කිරීම් විශාල හයියකි. ඔහු කලින් අඟවා තිබුණේ මේ සියලු අමාත්‍ය ධුර ලබාදිය යුත්තේ ඒවාට අදාළ සියලු වරප්‍රසාද සහිතව බවය. මේ වැඩේ ටිකක් කල් ඇදෙන්නත් එම ඉල්ලීම හේතු වූ බවද පෙනෙන්නට තිබේ. දැනට රටේ පවතින තත්ත්වය අනුව සියලු වරප්‍රසාද සහ වැටුප් සමඟ මේ තනතුරු ප්‍රදානය කිරීම දේශපාලන වශයෙන් විශාල හානියක් විය හැකි බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මතය වූ බව පෙනෙන්නට තිබේ. බැසිල්ට සමීප අමාත්‍යවරයකු වන ප්‍රසන්න රණතුංග රාජ්‍ය අමාත්‍යවරුන්ට කිසිදු වරප්‍රසාදයක් හිමි නොවන බව ප්‍රකාශ කිරීමෙන් එය තවදුරටත් තහවුරු වෙයි.

මේ රාජ්‍ය අමාත්‍ය ධුර ලැබූවන් අතර සිටින පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අධිකරණ කටයුතු කිහිපයක්ද සිදුවෙමින් තිබීමද මෙහිදී කැපී පෙනෙයි. මැයි 09 වැනිදා ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ එක් සැකකරුවකු වූයේ සනත් නිශාන්තය. එසේම පසුගිය දිනක පොහොට්ටු පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුවූ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව නඩුවක්ද ගොනු වී තිබේ. නීතිවේදින් දෙදෙනකු විසින් ඉදිරිපත් කර ඇති අදාළ පෙත්සමට අනුව සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට අභියාචනාධිකරණයේ සැප්තැම්බර් 13 වැනිදා පෙනී සිටින්නැයි නියෝග කර තිබේ. රාජ්‍ය අමාත්‍ය ධුර සඳහා නම් ලැයිස්තුව සකස් කිරීමේදී පොහොට්ටුවේ බලධාරීන් මේ සියලු කාරණා අමතක කර තිබෙන බව පැහැදිලිය. එසේම මතභේදකාරී දේශපාලනඥයකුද වන පිල්ලෙයාන්ද රාජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් නම්කර තිබීමෙන්ද පැහැදිලි වන්නේ පොහොට්ටුවේ නායකයන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වන බවය.

මේ අතර පොහොට්ටුවෙන් කැඩී ස්වාධීන වූ පිරිස් වෙනම දේශපාලන ගමන් ආරම්භ කිරීම පොහොට්ටුවේ අනාගතයට බෙහෙවින් තීරණාත්මක වී තිබේ. විමල්ලා එකතුව පසුගියදා උත්තර ලංකා සභාගය පිහිටුවා ගත්තේය. ඩලස් අලහප්පෙරුම තමන්ගේ ස්වාධීන වූ කණ්ඩායම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කාලය වෙන්කර දෙන්නැයි බලපෑම් කරමින් සිටී. අනුර ප්‍රියදර්ශනලාද තවමත් තීරණයක් නොගෙන සිටින තත්ත්වයක් තුළ ආණ්ඩුවේ ඉදිරි ගමන අභියෝගයට ලක්වෙමින් තිබෙන බව පෙනේ. පනත් සම්මත කර ගත්තත් පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරය ආණ්ඩුවට හිමිව තිබේද යන්න එකවරම පැවසීම අපහසුය. පසුගියදා සම්මත කරගත් සමාජ ආරක්ෂණ බදු පනත වැඩි ඡන්ද 81කින් සම්මත වුවත් 100කට අධික මන්ත්‍රීන් පිරිසක් එදින ඡන්දය ප්‍රකාශ කිරීම මගහැර තිබීමද කැපී පෙනෙයි.

මේ අතර පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී ගියොත් ආණ්ඩුවේ පැවැත්ම අවදානමට ලක්වීම වළක්වනු බැරි වෙයි. බැසිල්ලා ඉක්මන් වී රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට කටයුතු කළේ එසේ තනතුරු නොලැබුණොත් තවදුරටත් ආණ්ඩුවේ මන්ත්‍රීන් ස්වාධීන වීමෙන් වළක්වා ගැනීමටය.මීළඟට ඔවුන් මුහුණ දෙන්නේ ඉතිරි කැබිනට් අමාත්‍යවරුන් පත් කර ගැනීමේ අර්බුදයටයි. එහිදීද පොහොට්ටුවෙන් එල්ල වන බලපෑම් නිසා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සිහිනයක් පමණක් වනු ඇත.

කෙසේ වුවද වසර අවසානයට පෙර අලුත් අගමැතිවරයකු පත්කර ගැනීමේ උත්සාහයක්ද තිබෙන බවට ආරංචි පැතිරෙමින් තිබේ. එසේ වනු ඇත්තේ ආණ්ඩුවට බහුතරය අහිමි වූවොත්ය. මේ නිසා පොහොට්ටුවට සිද්ධ වන්නේ රටේ ප්‍රශ්න විසඳීම වෙනුවට පක්ෂයේ ප්‍රශ්න විසඳා ගැනීමට ප්‍රමුඛත්වය දීමටය. ජනතාවගේ ප්‍රශ්න විසඳීමට වඩා පක්ෂයේ ප්‍රශ්න විසඳීමේ ප්‍රතිඵල මේ තරම් ඉක්මනට පොහොට්ටුවේ නායකයන්ට අමතක වීම නම් පුදුමය.

ශශීන්ද්‍ර