2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

අධික ණය බර සහ අයි.එම්.එෆ්...

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 105

අධික ණය බර සහ අයි.එම්.එෆ්.

ලංකාවට ලැබෙන බවට ප්‍රකාශ වී තිබෙන අයි.එම්.එෆ්. විස්තීරණ ණය මුදල සමඟ ලංකාව මුහුණ දී සිටින ඉදිරියේදී ගෙවිය යුතුව තිබෙන විදෙස් ණය සම්බන්ධයෙන් හටගෙන ඇත්තේ සංකීර්ණ තත්ත්වයකි. ණය ප්‍රතිව්‍යුහකරණය සම්බන්ධයෙන් ණය ලබා දී ඇති රටවල්වලින් ලැබෙන සහතිකය අයි.එම්.එෆ්. අරමුදලෙන් යෝජිත ණය ලබාගැනීමේ තීරණාත්මක සාධකයක් වශයෙන් ප්‍රකාශයට පත් වී තිබීම ඊට හේතුවය.

ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.9 කි. එයින් මේ වසර අගභාගය වනවිට ඩොලර් මිලියන 500 ක් මුදාහැරීමට නියමිතය. එය බැර වන්නේ රටේ විදෙස් මුදල් සංචිතයටය. එහෙත් ජාත්‍යන්තර අරමුදලේ ආධාර ලැබෙන විට ලොවේ වෙනත් රටවල් සහ සංවිධාන හරහා රටට ණය ආධාර ලබාගැනීමට අවස්ථාව සැලසීම එහි තිබෙන දීර්ඝකාලීන වාසියයි.

කෙසේ වුවද මේ වසර අවසන් වනවිට රටට ඩොලර් මිලියන 500 ක් ලැබෙන විට ශ්‍රී ලංකාව 2021 වසර අවසන් වනවිට ඩොලර් බිලියන 12 ක් ණය වශයෙන් ගෙවීමට තිබිණි. ඒ නිල තත්ත්වයේ ද්වි පාර්ශ්වික ණයකරුවන්ගෙන් ලබාගත් ණය වෙනුවෙනි. එහෙත් එම ණය සාමාන්‍යයෙන් මීළඟ වසර 10ක් 12ක් අතර ආපසු ගෙවීම කළ හැකිය. ජපානය මෙහිදී මැදිහත්කරුවකු වශයෙන් ක්‍රියා කරමින් එම පාර්ශ්ව රටවල් සමඟ සාකච්ඡා කිරීමට කැමැත්ත පළ කර තිබීම රටට සහනයකි. ඒ සඳහා චීනය ද සහභාගි වනු ඇති බවට පවතින අපේක්ෂාව ද යහපත් ප්‍රවේශයක් වනු ඇත.

ශ්‍රීලංකන් පාඩුවේ ආරම්භය

මේ අතර අයි.එම්.එෆ්. සමඟ එකඟතා ඇතිකර ගැනීමේදී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම ද අපේක්ෂිතය. එහිදී අධික පාඩු ලබන ප්‍රධාන රාජ්‍ය ආයතන තුනක් වන ශ්‍රීලංකන් එයාර් ලයින්ස්, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වෙනස්කම් සිදුවනු ඇතැයි යන්න නියතයකි. ඒ ගැන ඇතැම් කොටස් තුළ අවුල් සහගත බවක් ඇතිවීම ද වැළැක්විය නොහැක.

ශ්‍රීලංකන් ආයතනය 2008 වන විටදී එමිරේට්ස් සමඟ තිබූ එක්වී සිදු කළ ව්‍යාපාරයෙන් හොඳ ලාභයක් ලබමින් එම වසරේ ඩොලර් බිලියන 4.4ක ලාභයක් පෙන්වා තිබිණි. එහෙත් එවකට සිටි ජනපති මහින්ද රාජපක්ෂගේ සමීපතමයන් කිහිප දෙනකුගේ අත්තනෝමතික තීරණයක් හේතුවෙන් එමිරේට්ස් සබඳතාව නවත්වා දැමිණි. එතැන් සිට පාඩු ලබන ශ්‍රීලංකන් ආයතනය ප්‍රතිව්‍යුහකරණය සඳහා දැන් පියවර ගන්නා විට මුළු ලොවේම ගුවන් සමාගම් ආර්ථික අර්බුදවලට මුහුණපාමින් සිටී. මේ නිසා එම සමාගම දැනට ද ලාභ ලබන කේටරින් සේවා සහ ගුවන් අංගණ මෙහෙයුම් වැනි අංශ කිහිපයක් මුලින් විකුණා දමා එම මුදලින් අලාභ පියවා ගැනීමට අදහස් කෙරේ.

ලංවිමට වෙච්ච දේ

මේ අතර ජවිපෙ ප්‍රකාශකයෙක් පසුගියදා තමන්ගේ පක්ෂයට නම්බුව ගනිමින් කියා තිබුණේ 2005 දී ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමෙන් වළක්වා ගැනීමට තමන්ට හැකි වූ බවය. පසුගිය වසර 05 තුළ පමණක් ලංවිම මේ රටේ ජනතාවට පටවා තිබෙන බර රුපියල් බිලියන 250 ඉක්මවා තිබේ. ඒ මදිවාට ජනතාවට රතු බිල් ද එවමින් සිටී. 2021 අවසන් වනවිට ලංවිම බැංකුවලට තෙල් සංස්ථාවට සහ පෞද්ගලික බලාගාරවලට හිඟ හිටවා තිබූ මුදල රුපියල් බිලියන 500 කි.

ලංවිම පාඩු ලැබීම වළක්වා ගැනීම සඳහා ආයතනය ප්‍රතිසංවිධානය කිරීමට 1977 සිට 2004 දක්වා ලංවිම පාලනය කළ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබීය. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව ප්‍රධානත්වය ගත් අතර ලෝක බැංකුවේත් ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා බැංකුවේත් සහාය ද ලැබුණේය. සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සියලු එකඟතා ඇති කරගෙන තිබිණි. ලංවිම සහ ලෙකෝ ආයතන වෙනම ආයතන සේ ක්‍රියා කිරීමටත් විදුලි උත්පාදනයට සහ සම්ප්‍රේෂණයට ආයතන 02ක් ද විදුලිය බෙදාහැරීමට ආයතන 05ක් ද පිහිටුවීමටත් ඒ සඳහා 1969 ලංවිම පනත අත්හිටුවීමටත් තීරණ ගෙන තිබිණි.

එම සමාගම්වල කළමනාකාරිත්වය සහ මෙහෙයුම් කටයුතු පෞද්ගලික ආයතන හරහා සිදුකිරීමට නියමිත වූයේ උපරිම ඵලදායී ලෙස ක්‍රියා කිරීමටය. පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවත් කර්මාන්තයේ නියාමනයත් සහතික කිරීමට බලය ලත් අධිකාරියක් පිහිටුවීමටද එහි යෝජනාවක් විය.

2004 වසරේ සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සියලු පාර්ශ්වවල එකඟත්වය ඇතිව සකස් කෙරුණු ලංවිම ප්‍රතිසංවිධානයට අදාළ කැබිනට් පත්‍රය අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට ඉදිරිපත් කෙරිණි. නමුත් එවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් එම වසරේ මුල් කාලයේම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. වසර ගණනක උත්සාහය එතැනින් වතුරේ ගියේය.

අද වසර 18කට පසුව යළිත් ලංවිම ප්‍රතිසංවිධාන කතාව ආරම්භ වී තිබේ. මේ කාලය තුළදී ලංවිම ලබා ඇති පාඩුව අති විශාලය. ජවිපෙ දැන් තමන් ලංවිම පෞද්ගලීකරණය නවත්වා ගත් බව කිව්වත් ඔවුන් ඇත්තටම නවත්වා ඇත්තේ ලංවිම ප්‍රතිසංවිධාන යෝජනාවය. එය නැවැත්වීමේ පාඩුව දැන් විඳින්නේ ජවිපෙ නොවේ. රටේ ජනතාවය.

තෙල් සංස්ථාවේ ඉදිරි ගමන

තෙල් සංස්ථාව ද මේ හා සමානය. එය ප්‍රතිසංවිධානය කර තරගකාරී ලෙස ඛණිජ තෙල් බෙදාහැරීමට සකස් කළ ක්‍රමවේදය 2004 දී අහෝසි විය. පසුගිය වසර 05 තුළ පමණක් රුපියල් බිලියන 200ක පාඩුවක් ලැබූ තෙල් සංස්ථාව 2021 වසර අවසානය වනවිට බැංකුවලට හිඟ තිබූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 700 ක් වී තිබිණි. අඩුම තරමින් වර්තමාන අමාත්‍යවරයා විසින් හෝ තෙල් බෙදාහැරීම සඳහා ආයතන ගණනාවක් යොදාගැනීමට කරගෙන යන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවොත් එය පාරිභෝගිකයාට වාසියක් වනු ඇත. එය භාණ්ඩාගාරයට ද තවදුරටත් බරක් නොවනු ඇත.

මේ සඳහා ඇති හොඳම උදාහරණය ශ්‍රී ලංකාවේ දුරකථන සඳහා මංගල සමරවීර අමාත්‍යවරයා විසින් හඳුන්වා දුන් රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාර ක්‍රමයයි. එතෙක් කාලයක් රටටත් භාණ්ඩාගාරයටත් මහත් බරක්ව තිබූ දුරකථන සන්නිවේදන ක්‍රමය ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා තරගකාරී ව්‍යාපාරයක් බවට පත් වී භාණ්ඩාගාරය මත යැපීමෙන් නිදහස් විය. එහි සැබෑ ජයග්‍රාහකයන් වූයේ රටේ ජනතාවය. ඒ සමඟ එම ආයතනයේ සේවක පිරිසය.

- සන්ඩේ ටයිම්ස්

කෝටි 100ක් වන්දි ඉල්ලන දේශපාලනඥයා!

පසුගිය මැයි 09 වැනිදා රටේ සිදුවූ කලහකාරී සිදුවීම්වලදී තමන්ගේ දේපළවලට සිදු වූ හානිය සඳහා රුපියල් කෝටි 100 ක් වන්දි ඉල්ලා ඇති අමාත්‍යවරයා කවුදැයි නම් කරන්නැයි පාර්ලිමේන්තුවේදී පසුගියදා ඉල්ලීමක් කෙරිණි. කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් මේ ඉල්ලීම කරන ලද්දේ ටී.එන්.ඒ. මඩකලපු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම්ය.

මාතෘ හා ළමා මන්දපෝෂණය පිළිබඳව විවාද පැවැති අවස්ථාවේදී මේ ප්‍රශ්නය ඇසූ මන්ත්‍රීවරයා පැවසුවේ රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලූ දේශපාලනඥයකු ගැන මාධ්‍ය වාර්තා පළ වී ඇති බවය.

''ඔහු කියා තිබෙනවා තමන්ට සිදුවූ අලාභ හානිය මිලියන 1000 ක් කියලා. කොහොමද ඔහු ඒ තරම් ධනයක් උපයා ගත්තේ? කවුද මේ දේශපාලනඥයා? ඔහු තමන්ගේ මේ වත්කම් ප්‍රකාශයට පත්කර තිබෙනවද? අපි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ දේශපාලනඥයාගේ නම් සොයාගන්න කියල. ඔහු කවුදැයි දැනගැනීමට මේ සභාවට අයිතියක් තිබෙනවා.'' රාසමානික්කම් මන්ත්‍රීවරයා කියා තිබිණි.