තුෂාර ඉඳුනිල් - පාර්ලිමේන්තු මන්ත්‍රී (සමගි ජන බලවේගය)
මේ වෙද්දී රටේ පාලනය වෙනස් වෙලා, අරගලය වෙනස් වෙලා, බඩු මිල අහස උසට, ප්‍රශ්න ගොඩක් මැද ඉන්නේ. ඒ වගේ මොහොතක විපක්ෂයේ කාර්ය අති විශාලයි. ඔබ හිතනවද ඔබලා විපක්ෂයේ කාර්ය ඉෂ්ට කරනවා කියලා?
රාජපක්ෂ පාලනය එපා කියලා කිව්ව මිනිස්සුන්ට ආයේ අලුත් ඇන්ජිමක් හයිකරලා රාජපක්ෂ පාලනය දුවන මොහොතක් තියෙන්නේ. එවැනි ව්‍යාජ රාජපක්ෂ ආණ්ඩුවේ කොටසක්, අතකොලුවක් නොවීම ගැන අපි සතුටු වෙනවා. මේ සියලු ප්‍රශ්න මැද්දේ විපක්ෂයට අද වෙද්දී හැසිරෙන්න වෙලා තියෙන්නේ දත් තිස්දෙක මැද්දේ තියෙන දිව වගේ. මොකද දූෂණ වංචා, බොරුව වගේ දේවල් මැද්දේ අපි පරිස්සම් වෙලා ඉන්නේ. විශේෂයෙන් අපි මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් ඉන්න ඕන වගේම දේශීය සහ ජාත්‍යන්තර වශයෙනුත් අපේ ක්‍රියාකාරීත්වය ගැන අවධානයෙන් ඉන්නේ. ඒ නිසා අපි වගකිව යුතු විපක්ෂයක් හැටියටයි මේ මොහොතේ හැසිරෙන්නේ.
දැන් අපි දන්නවා ඔබලගෙන් දෙන්නෙක් ආණ්ඩුවට ගියා. ඒ ගිය අය කියනව තව යන්නත් ඉන්නවා කියලා. එහෙනම් අපිට ප්‍රශ්නයක් තියෙනවා විපක්ෂයේ කාර්යයට වඩා ආණ්ඩුවට ගිහින් කරන කාර්යය ඔය ඔක්කොටම වඩා වැඩියි වගේ කියලා. තව අය යයිද ඒ කාර්යය ඉෂ්ට කරන්න ආණ්ඩුවට?
ඒ දෙන්නෙක් ගියා. ඒක නිකන් මහ ගහකින් පොත්තක් ගියා වගේ. එහෙම නැතුව නාය ගිය එකක් නෑ. ඒ අය ගත්ත බංකොලොත් තීන්දුව ගැන දැන් රටම විවේචනය කරනවා. දැන් ඒ නිසා ඒ අය දාගත්ත මඩ අනෙක් අයගේ ඇඟෙත් ගානවා, එනවා එනවා කියලා. ඒ දෙන්නා ගියාට කවුරුත් අපේ ආයේ ගියේ නෑ... යන්නෙත් නෑ.
හරීන් ප්‍රනාන්දු නම් කියන්නේ විපක්ෂය ආසයි බයයි කියලා?
එතුමා එහෙම කිව්වට අපි ආසයි බයයි තැනක නෑ. අපි මේ රටේ ජනතාවට ව්‍යවස්ථාවට විරුද්ධ වැඩ කරන්නේ නෑ. ඒ වගේම දෙයක් කියන්න ඕන ආසයි බයයි කෑල්ල හරීන් ප්‍රනාන්දු මහත්තයා කිව්වට දෙවෙනි කෑල්ල කියන්නේ නෑ. මොකක්ද? ''යලි නොම එන්නට ගිය ගමනයි'' කියලා. හරීන් සහ මනුෂ මහත්වරු යළි නොම එන්න ගමනක් ගියාට අපේ පක්ෂයේ අය එවැනි ගමන් යන්නේ නෑ. මේ ආණ්ඩුව කෝට් එකකින් සාටකය වහන් යන්නේ.
වර්තමාන ජනාධිපති පත්වුණ දවසේ ඉඳලා සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා ආරාධනා කරනවා.. ඒත් සජබය යන්නේ නෑ. මේ වෙලාවේ රට වැටිලා තියෙන මොහොතක හැමෝගෙම එකමුතුව ඕන. ඒත් ඒක වෙන්නේ නැත්තන් ජනතාව ප්‍රශ්න කරයි ඇයි මේ මග අරින්නේ කියලා?
කාරණා 10කින් යුක්ත යෝජනාවලියක් අපි ආණ්ඩුවට ඉදිරිපත් කළා. විශේෂයෙන් හොරාකාපු සල්ලි හොයන්න, දූෂණ වංචා නවත්තන්න, මානව හිමිකම් සුරකින්න, අරගලකරුවන්ගේ ඉල්ලීම් ගැන කන්දෙන්න වගේ යෝජනා ටිකක් ඉදිරිපත් කළා. ඇත්තටම අපිට පේන්න නෑ මේ ආණ්ඩුවේ එවැනි ගමනක්. විශේෂයෙන් ජනාධිපති ඇතුළු ඒ පොහොට්ටුවේ අයගේ බංකොලොත් භාවයේ අනාථ භවය සනාථ කරන්න තමයි මේ ආණ්ඩුව හදලා තියෙන්නේ. එහෙම නැතුව අපේ සාධනීය කාරණාවලට ඔවුන් එකඟ නෑ. දැන් හොඳම උදාහරණය දූෂිත චෝදනා තියෙන අයට මේ මෑතක රාජ්‍ය ඇමතිකම් දුන්නා. ඒ වගේ කුණු ලොරියක අපි එල්ලෙන්න ලෑස්ති නෑ. අරගලයට ද්‍රෝහි වෙච්ච ආණ්ඩුවට අපි එකඟ නෑ.
දැන් ආණ්ඩුවේ අය අහනවා කෝ තෙල් ගෑස් පෝලිම් කියලා? කෝ විදුලි කප්පාදු කියලා? එහෙම අහනකොට ජනතාවට හිතෙන්න පුළුවන් නේද ඇත්ත නේද කියලා?
පෝලිම් නෙමෙයි අමුඩෙත් ගලවලා තියෙන්නේ මිනිස්සුන්ගේ. පෝලිම් නැත්තේ රටට සෞභාග්‍ය උදාවෙලා නෙමෙයි, මිනිස්සුන්ට සල්ලි නෑ. ගෝඨාභය එද්දී පාන් ගෙඩිය 60 යි, යද්දී 160 යි, එද්දී 320 යි. දැන් මේකද හරි ගිහින් තියෙන්නේ. මිනිස්සු පෝලිම්වල නැත්තෙ සල්ලි නැති නිසා මිසක් ඇතිතරම් දේවල් තියෙන නිසා නෙමෙයි. ඒක ආණ්ඩුවේ මරු තියරියක්. මිනිස්සුන්ගේ ධනය නන්නත්තාර කරලා ඔහොම කියනකොට හිනා යනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පෝලිම් විතරක් නෙමෙයි මිනිස්සුන්ට තිබ්බ අමුඩෙත් ගැලෙව්වා.
ආණ්ඩුවට එකතුවෙන්නේ නැති ඔබලා පාර්ලිමේන්තු කමිටුවල සභාපතිත්වය ඉල්ලනවා. මට තියෙන ප්රශ්නය ඒ තනතුරු අරගෙන මොකක්ද කරන්න පුළුවන්?
මේ ආර්ථික තත්ත්වයත් එක්ක මිනිස්සු වැටිලා බඩගාගෙන යන්නේ. එහෙම මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ මේක. මොකද ජනතාව ගැන නොහිතන හොර දූෂිත ඇමතිවරු විසින් සිදුකරන මුදල් නාස්තිය අවම කරලා නිසි මාර්ගෝපදේශනයක් දෙන්න පුළුවන්. ඒ නිසා කබලෙන් ලිපට වැටුණු මිනිහව බේරගන්න පුළුවන් මේක හරහා. ඇත්තටම ජනතාව බේරගන්න පුළුවන්.
එහෙම උපදෙස් දෙන්න හරි උපදෙස් ගන්න හරි පුළුවන් තැනක ආණ්ඩුව ඉන්නවද?
දැන්නම් මේ යන විදිහට අපිට ආණ්ඩුව හරි ගමනක් යනවා කියලා පේන්නේ නෑ. එයාලට සියලු ප්‍රශ්න අමතක වෙලා. රාජපක්ෂලට තිබ්බ විරෝධය, රනිල් වික්‍රමසිංහ මහත්තයට, පොහොට්ටුවට තිබ්බ විරෝධය ඒ සියල්ල අමතක වෙලා. ආයේ සුපුරුදු ක්‍රියාව කරගෙන යනවා. ඒ නිසා මම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ ඉරණමට වඩා රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ඉරණම වෙනස් වෙයි.
ඒ කොහොමද?
මිනිස්සු මේ වෙලාවේ නිර්වින්දනය වෙලා ඉන්නේ. පාන් කියාගන්න තියා හාල් ටිකක්වත් ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ. ඒ නිසා මේ නිහඬතාවය, ඒ නිර්වින්දනය කොයි වෙලාවක හරි පුපුරලා යනවා. ඒක නොවෙන්න නම් ඉක්මන් මැතිවරණයකට ගිහින් ජනතාව පිළිගන්න ආණ්ඩුවකට බලය දෙන්න ඕන.
ඔබලා ජනමතයට මේ ආණ්ඩුව විරුද්ධයි කියනවා. ඊටපස්සේ ව්‍යවස්ථා සංශෝධනවලට සහාය දෙනවා කියලා කියනවා. දැන් ජනමතයක් නැති ආණ්ඩුවක් විසින් ගේන ව්‍යවස්ථා සංශෝධනයකට එකඟ වෙන්න පුළුවන්ද?
අඳුරේ ඉන්නවට වඩා පොඩි හෝ එළියක් හොයාගන්න එක වටිනවා. මම හිතන්නෙම වැරදුණේ 20 වැනි සංශෝධනය නිසා. ඒ නිසා මේක වෙනස් කරන්නම ඕන. මොකද ඉතාම ස්වාධීන තැනක රට තිබ්බ තැන ඉඳලා වෙනස් කළා. අපි මේ යෝජනා ඉදිරිපත් කරන්නේ සත්භාවයෙන්. අපි දන්නවා ඊළඟට බලය ගන්නේ අපි. ඒ දැන දැනත් අපි මේ සිද්ධකරන්නේ අපේ තටු කපා ගැනීමක්. අපි අවංකයි. අපි අවංක නැත්තන් මේ සංශෝධන අවශ්‍ය නෑ. ඒත් අපිට ඕන ජනතාවාදී, රටට හිතවාදී ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා.
ඔබලා අනිවාර් යෙන් බලයට එනවා කියන්නේ කොහොමද? දැන් කණ්ඩායම් ගොඩක් ඉන්නවනේ?
ගැඹුරු ජලය හැමවෙලාවෙම නිශ්චලයි. අපි තමයි කෙටිම කාලයකින් පක්ෂයක් හදලා 54 ක් පාර්ලිමේන්තු ගෙනල්ලා විපක්ෂයේ බලය ඇල්ලුවේ. ජනතාවගේ දැන් එකම පැතුම සජිත් ප්‍රේමදාස මහත්තයා. 69 ලක්ෂයක් ගත්ත ආණ්ඩුව අද වෙද්දී සී සී කඩ වෙලා. මතක තියාගන්න ග්‍රහලෝක පිපිරිලා උල්කාපාත දිලිසෙනවා තමයි, ඒත් රෑට එළිය දෙන්නේ හඳ. ඒ නිසා අපේ පක්ෂයත් එවැනි තැනක තියෙන්නේ. අපිත් එක්ක අපේ ප්‍රතිපත්ති එක්ක එකට යන්න පුළුවන් කණ්ඩායම් එකතු වෙයි. ඒ මොනදේ වුණත් ඊළඟට බලය අල්ලන්නේ අපි.
පොහොට්ටුව කියන්නේ තවමත් ජනතාවගේ හිතේ තියෙන පක්ෂය කියලා පක්ෂයේ අය කියනවා. එහෙනම් ලේසි වෙයිද බලය අල්ලන්න ඔබලාට?
කිසිසේත් අපිට තරගයක් නෑ. මේ වෙද්දී පොදුජන පක්ෂය විනාශ වෙලා අලු දූවිලි වෙලා තියෙන්නේ. ඒක ආයේ ගොඩගන්න බෑ. දැන් මිනිස්සුන්ගේ එකම නායකයා සජිත් ප්‍රේමදාස. බලය තියෙද්දී වගේම බලය නැති කාලෙත් වැඩකළ නායකයා. එතුමාට හොරකම් කරලා රජ කරවන්න කුමාර කුමාරියෝ පරපුරවල් නෑ. ජනතාවගේ විශ්වාසවන්තම නායකයා සජිත් ප්‍රේමදාස. ඒ නිසා එතුමාගේ බලයට පත්වීම නවත්තන්න කිසිම ජගතෙකුට බෑ.
ඇයි මේ ඔබලා එජාපය සමඟ එක් නොවෙන්නේ. කොතැනද නොගැලපීම තියෙන්නේ?
රනිල් වික්‍රමසිංහ මහත්තයා සුක්කානම ගන්න කලින් එලෙස එකතුවීමේ හැකියාවක් තිබ්බා. හැබැයි දැන්නම් එහෙම එකතුවීමේ කිසිම ඉඩක් නෑ. මම වගකීමෙන් කියන්නේ. ඔවුන් මේ කරලා තියෙන දේට උත්තර දෙයි. කැප්ටන් කෙනෙක් කියන්නේ නැව ගිලෙනකල් කට්ටිය එක්කම ඉන්න කෙනෙක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ නැව ගිලෙන්න කලින් පැනලා ගිහින් දූපතට ගොඩවෙලා හුරේ දාන කෙනෙක්. ඒ නිසා ඔය නැව ගිලෙනවාමයි. එතුමාගේ ඉතිහාසයම ගත්තම පාක්ෂිකයෝ අමතක කළා. දැනුත් එහෙමයි. ඒ නිසා එවැනි කුණු ගාගත්ත කණ්ඩායමක් එක්ක නොකිලිටි සමගි ජන බලවේගයට ගමනක් අනාගතේ නෑ.
පොහොට්ටුව එක්ක එකතු වුණොත් මොකද කරන්නේ?
බංකලොත් වෙච්ච පොහොට්ටුවට රනිල් වික්රමසිංහව පේන්නේ මහා පොරක් වගේ. එජාපය එක්ක එදා ඉඳලා හිටිය අය දන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද කියලා. අපි දන්න රනිල් වික්‍රමසිංහ මහත්තය පොහොට්ටුවේ අයට ගැලවීමේ කුමාරයා වුණාට, අපිට නම් හිනා. අනාතයෝ අනාත වෙලා ඉන්න වෙලාවේ සනාත වෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා අල්ල ගත්තට වැඩිකල් සනාත වෙලා ඉන්න බෑ .අනාත වෙනවම තමයි.
රන්ජන්ව එළියට දැම්මේ ජනාධිපති සමාව දීලා. ආපු ගමන් ආණ්ඩුවෙන් රස්සාවකුත් දුන්නා. එයා යයිද ආණ්ඩුවට?
නෑ එතුමා යන්නේ නෑ. එතුමා කවදාවත් එතුමා කිව්ව වචනය බොරු කරන කෙනෙක් නෙමෙයි. උන් සේරම යාලුවෝ මල්ලි කිව්වේ එතුමා නිකන් නෙමෙයි. ඒ නිසා එහෙම දෙයක් වෙන්නේ නෑ.
I ගයාන් ගාල්ලගේ