2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

යළිත් විවෘත වූ නෙළුම් කුලුන

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 101

මහින්ද රාජපක්ෂ පාලනයේ එක් ප්‍රමුඛත්වය ලබාදුන් ව්‍යාපෘතියක් වන නෙළුම් කුලුන දෙවැනි වරටත් පසුගිය බ්‍රහස්පතින්දා (15) විවෘත කෙරිණි. එය පළමුවරට විවෘත කළේ 2019 වසරේ සැප්තැම්බරයේදී මෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ රජය මගිනි. ජනාධිපතිවරණයට මාසයක් තබා එය කඩිමුඩියේ විවෘත කළද එය ටික දිනකට පසු පාළුවට ගියේය.

මෙවර විවෘත කිරීමෙන් පසුව එය මහජනතාවට මුදල් ගෙවා නැරඹිය හැකි ප්‍රද්ශන ස්ථානයක් බවට පත්ව තිබේ. එය යළිත් මෙසේ විවෘත වනු ඇතැයි කිසිවකුත් සිතන්නට නැත. 2015දී යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ ප්‍රධානම සටන් පාඨය වූයේ රටේ මුදල් අති විශාල ප්‍රමාණයක් කාබාසිනියා කර දැමූ වැඩකට නැති මහා පරිමාණ ගසා කෑම් සහ දූෂණවලට මගපෑදූ ව්‍යාපෘති නතර කරන බවත් ඒවාට වගකිවයුතු රාජපක්ෂ ආණ්ඩුවේ බලවතුන් නීතිය හමුවට පමුණුවා ඔවුන්ට දඬුවම් ලබාදෙන බවත්ය. නෙළුම් කුලුන ඔවුන් උළුප්පා පෙන්වූ එක් නාස්තිකාර එක් ව්‍යාපෘතියක් විය. අද නෙළුම් කුලුන විවෘත වන්නේ එයට එරෙහිව චෝදනා නැගූ පිරිසක් එහි චූදිතයන් වූ පිරිසක් එක්ව ගෙනයන ආණ්ඩුවක් යටතේ වීම දෛවයේ සරදමකි.

රාජපක්ෂ පාලනය මගින් නෙළුම් කුලුන, මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වැනි රටට දැරිය නොහැකි මුදලක් වැය කරමින් ඉදිකළ මහා පරිමාණ ව්‍යාපෘතිවලට ලබාගත් ණය රටේ වත්මන් ආර්ථික කඩා වැටීමට ප්‍රධානම හේතුවකි. ඒ සඳහා ලබාගත් විදේශීය ණය පොලියත් සමඟ දෙගුණ තෙගුණ වනවිට ඒ ණය ගෙවා දැමීමට තව තවත් ජාත්‍යන්තර බැඳුම්කර හරහා ණය ලබා ගැනීමෙන් රටේ මුළු ආර්ථිකයම අර්බුදයකට ගියේය. අතිවිශාල නාස්තිකාර වියදම් සහ වංචා සහ දූෂණවලට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවා දඬුවම් දීම වෙනුවට ඔවුන් ලබාගත් ණය පියවීම සඳහා ජාත්‍යන්තරයෙන් තව තවත් ණය ලබාගැනීමට යහපාලන ආණ්ඩුව ගත් තීරණයද මේ මහා ආර්ථික විනාශයට හේතු විය.

රටේ ජනතාව ලක්ෂ 63ක් අඩක් කුසගින්නේ සිටියදී ආහාර උද්ධමනය 80% ඉක්මවා ඉහළ ගොස් තිබියදී විවෘත වූ නෙළුම් කුලුන සම්බන්ධයෙන් තවත් බරපතළ කාරණාවක් මතුව තිබේ. එම කුලුන ඉදිකිරීමේ මූලික අරමුණු වී තිබුණේ රේඩියෝ සහ රූපවාහිනී පහසුකම් ලබාදීමේ සන්නිවේදන මධ්‍යස්ථානයක් ඇති කිරීමය. එෆ්.එම්. රේඩියෝ චැනල් 35කටත් රූපවාහිනී ආයතන 50කටත් අවශ්‍ය පහසුකම් වලින් එය සමන්විත වන බවත් ආරම්භයේදී ප්‍රකාශ විය. ඒකාබද්ධ බහුකාර්ය සන්නිවේදන මධ්‍යස්ථානයක් වෙනුවට දැන් විවෘත වී තිබෙන්නේ කාර්යාල, කැරකෙන රෙස්ටුරන්ට්, සම්මන්ත්‍රණ ශාලා සහ උත්සව ශාලා පරිශ්‍රවලින් සමන්විත ප්‍රදර්ශනාගාරයකි. එය ඉදිකිරිම සඳහා පිටරටින් ලබාගත් ණයත් මේ රටේ බැංකු හරහා ලබාගත් ණයත් වෙනුවෙන් තම බදු මුදලින් ''වන්දි ගෙවන'' රටේ මහජනතාවට දැන් සිදුව තිබෙන්නේ තම අතින් මුදල් ගෙවා නෙළුම් කුලුන නැරඹීමට යාමය.

කැසිනෝ ව්‍යාපාරයට දොර අරී

රටේ වරක් මහත් ආන්දෝලනයකට ලක්වූ කැසිනෝ ව්‍යාපාර නීත්‍යානුකූල කරමින් ඒවා නියාමනය කිරීමට අදාළ ගැසට් පත්‍රයක් රජය මගින් නිකුත් කර තිබේ. මේ නව නීති රෙගුලාසි සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මකය.

ඒ අනුව කැසිනෝ සඳහා බලපත්‍ර ලබාගැනීමටත්, තිබෙන බලපත්‍ර යාවත්කාලීන කර ගැනීම සඳහාත් අවශ්‍ය ක්‍රමවේදය එම ගැසට් පත මගින් පැහැදිලිව දක්වා තිබේ. බලපත්‍ර ලබාදීම හෝ අහෝසි කිරීම සඳහා බලපාන කාරණාද එහි විස්තර කර ඇත.
ජාත්‍යන්තරයේ ඉහළම කැසිනෝ ව්‍යාපාරිකයන්ටද මෙරට දොරටු විවෘතය. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයටත් දකුණු ආසියාවේ විවේකය සහ සත්කාර විඳිය හැකි කේන්ද්‍රස්ථානයක් වශයෙන් නමක් ඇතිකර ගැනීමටත් මේ හරහා විශාල තල්ලුවක් ලැබෙනු ඇතැයි අපේක්ෂිතය.

පළමු වසර 05 සඳහා බලපත්‍ර ගාස්තුව සහ බලපත්‍රය අලුත්වැඩියා කිරීමේ ගාස්තුව වශයෙන් රුපියල් මිලියන 500ක් නියමකර තිබේ. බලපත්‍රයක් ලබා ගැනීමේදී වසර 20ක කාලයක් සඳහා ගාස්තුව එකවර ගෙවිය යුතුය.

ශ්‍රී ලංකාවේ විශාලම බදු අයකරන ව්‍යාපාරය වන කැසිනෝ ව්‍යාපාරයේ මේ වනවිට නිරතව සිටින්නේ සමාගම් 02ක් පමණි.

- ඩේලි එෆ්.ටී.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00