ආණ්ඩුව කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වුවත් ඔහු රාජපක්ෂවරුන්ගේ ප්‍රාණ ඇපකරුවකු බවට පත්ව සිටින්නේ යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පසුගියදා අම්පාරේදී දැඩි චෝදනාවක් එල්ල කළේය. සජබ කිහිපදෙනකු අද නැත්නම් හෙට ආණ්ඩුවට එකතු වනු ඇති බවට ආරංචි පැතිර යද්දී විපක්ෂනායකවරයා මෙහෙම කියන්නේ එහෙම එකතුවෙන එක වළක්වා ගන්නදැයි එකවරම කීම අපහසුය. හැබැයි මීට සති කිහිපයකට කලින් සජබෙන් කොටස් ගැලවී ආණ්ඩුවට එකතු වනු ඇති බවට පැතිර ගිය කතාවලට දැන් මඳ විරාමයක් ලැබී තිබෙන බව නම් පැහැදිලිය.
මෙහෙම කතාවලින් පෙනෙන්නේ සර්ව පාක්ෂික කතාව දැන් දේශපාලන තිරයෙන් කෙමෙන් මැකී යන බවය. සජබෙන් දෙතුන් දෙනකු හෝ කඩාගෙන ගියත් ඔවුන් රඳවා තබා ගැනීමට කැබිනට් සහ රාජ්‍ය ඇමැති තනතුරු ලබාදීමද සිදුකළ යුතුය. මේ වනවිට කැබිනට් ඇමැතිලා පත් කිරීමට පොහොට්ටුවෙන් ජනාධිපතිවරයාට සිදුකෙරෙන බලපෑම් ඉතා ප්‍රබල බවත් පෙනෙන්නට තිබේ. පැහැදිලිවම ආණ්ඩුවේ පාලනය තමන් සතු විය යුතු බවට පොහොට්ටුවේ නායකයන් දරණ ස්ථාවරය කෙසේවත් වෙනස් වී නැති බව එයින් පෙනී යයි. ආණ්ඩුවේ ඇතුළත පවතින මේ දේශපාලන අලකලංචිවලින් පෙනෙන්නේ ඔවුන්ට අවශ්‍යව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ තබාගෙන කෙසේ හෝ ඉදිරි වසර දෙකහමාරක කාලය තුළම ආණ්ඩුවේ පාලනය පවත්වාගෙන යාමට බවය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නේ නැතුව එහෙම ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමේ ප්‍රතිඵලයක් රටේ පවතින ගැටලු තවදුරටත් වර්ධනය වීමට හේතුවක් වනු ඇත. එයින් සිදුවනු ඇත්තේ රාජපක්ෂවරුන්ගේ අණසක යටතේ රට දිගින් දිගටම පාලනය වන බවට දැනටද රටපුරා පැතිර යන මතය ජාත්‍යන්තරය දක්වා පැතිරී යාමය. දැනටම එහි ප්‍රතිවිපාක පෙනෙන්නට තිබේ. මූල්‍ය අරමුදල සහ ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවත් පැවති දූෂිත පාලනය ක්‍රම දැඩි විවේචනයට ලක්කරමින් ආර්ථික දූෂණ නැති කිරීම සඳහා විනිවිද පෙනෙන ශක්තිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවට පැමිණි අමෙරිකා ජාත්‍යන්තර සංවර්ධන ප්‍රධානී සමන්තා පවර්ද වඩාත් ඉස්මතු කළේ මේ කාරණයමය. අමෙරිකාවේ සෙනෙට් මණ්ඩල නියෝජිතයන් කිහිපදෙනෙක් ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ නිවේදනයකින්ද මේ කාරණයම මතුකර තිබේ.
මේ අනුව වංචාව දූෂණය තුරන් කර කාටත් පිළිගත හැකි යාන්ත්‍රණයකින් තොරව ලංකාවේ ආර්ථික අර්බුදය විසඳාගත නොහැකි මට්ටමකට වර්ධනය වීමේ පෙරනිමිති පහළ වෙමින් තිබෙන බව පැහැදිලිය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් තිබුණා නම් තත්ත්වය මේ තරම් බැරූරුම් නොවීමට ඉඩ තිබිණි. එහෙත් රාජපක්ෂවරුන්ගේ නායකත්වය විසින් මෙහෙයවෙන පොහොට්ටුවේ දරදඬු දේශපාලන ක්‍රියාවලිය හේතුවෙන් සර්වපාක්ෂික කතා ඇනහිට තිබීම හේතුවෙන් රටේ ප්‍රශ්න තවත් අවුල් වන බවක් පෙනී යයි. පසුගියදා සිදුකළ රාජ්‍ය ඇමැති පත්වීම් ලබාදීමද රටපුරා ඇතිකර තිබෙන්නේ දැඩි විරෝධයකි. ඒ මතට කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනකුද පත් කිරීමට නියමිතය. ඒ සමඟ මේ විරෝධය තවත් උග්‍ර අතට හැරීමට ඉඩ තිබේ. පවතින ආණ්ඩුව තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට මුල්තැනක් දී ඇති බවට කෙරෙන චෝදනා තහවුරු කිරීමක්ද වනු ඇත.
මේ වනවිට ආණ්ඩුව සිටින්නේ අසීරු අඩියකය. ආණ්ඩුවේ පිරිස් කැඩී යමින් ස්වාධීන වෙමින් බහුතරය පවත්වා ගැනීමටද අභියෝග එල්ල කරමින් සිටී. එහි වඩාත්ම බලපෑම වන්නේ විපක්ෂය පමණක් සිදුකළ ආණ්ඩු විවේචනයට එම කණ්ඩායම්ද හවුල් වීමය. එම විවේචන ආණ්ඩුවේ පැවැත්මට තීරණාත්මක අවස්ථාවකදී ලොකු බලපෑමක් කරනු ඇත.
එය හඳුනා ගැනීමට පසුගියදා මහාචාර්ය ජී.එල්. පීරිස් සිදුකළ ප්‍රකාශය පමණක් ප්‍රමාණවත්ය.
මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සභාපතිවරයා විය. ඔහු පාර්ලිමේන්තුව තුළ පැවති ජනාධිපතිවරණයේදී ඩලස් අලහප්පෙරුම වෙනුවෙන් පෙනී සිටීමත් ඩලස් පරාජය වීමත් සමඟ එම ධුරයෙන් පහකෙරුණු බව පොදුජන පෙරමුණ ප්‍රකාශ කර තිබිණි. දැන් ඔහු ඩලස් අලහප්පෙරුම සමඟ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකි.
එම කණ්ඩායම විසින් බිහිකළ නිදහස් ජනතා කොංග්‍රසයේ නව ප්‍රධාන කාර්යාලය පසුගිය බදාදා (14) නාවලදී විවෘත විය. එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් රජයට අභියෝගයක් එල්ල කරමින් කිව්වේ පාර්ලිමේන්තුවේ මූලික වගකීමක් වන මහජන මුදල් පිළිබඳ වගකීම්වලින් බැහැර වීම රටේ වත්මන් අර්බුදය නිර්මාණය කර ඇති බවය.
එහිදී ඔහු රජය මගින් රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනකු පත් කිරීම දැඩි ලෙස විවේචනය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සහ අතිරේක කාර්ය මණ්ඩල මේ තරම් විශාල ප්‍රමාණයක් නඩත්තු කිරීමට ආධාර ලබා නොදෙනු ඇති බවද ඔහු කීය. රජයට අයි.එම්.එෆ්. ආධාර ලබාගනු හැර මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට වෙනත් මගක් නොමැති හෙයින් රටේ අති බහුතරයක් ජනතාව දැඩි ලෙස අසරණව සිටියදී රාජ්‍ය අමාත්‍යවරුන් 38ක් පත්කළේ මන්දැයි ඔහු දැඩිව ප්‍රශ්න කළේය.
ව්‍යවස්ථාවේ 148 වගන්තිය කෙරෙහි අවධානය යොමුකරන මහාචාර්යවරයා මහජන මුදල් පාලනය කිරීමේ බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට බව පෙන්වා දුන්නේය. දිගින් දිගටම පැවති අනවශ්‍ය නාස්තිකාර වියදම්, දූෂණ සහ වංචා හේතුවෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එම කාරණය තම අතට ගැනීමට පවා හේතු වූ බවත් ඔහු කීය.
හිටපු මුදල් අමාත්‍යවරයකුද වන මහාචාර්යවරයා වත්මන් මුදල් ඇමැති අලි සබ්‍රි මහතා ජිනීවාහිදී ලබාදුන් පිළිතුරද දැඩිව විවේචනයට ලක් කළේය. අලි සබ්‍රි මහතා එහිදී ප්‍රකාශ කළේ මෙවර ජිනීවා වාර්තාව &ආර්ථික අපරාධ* පිළිබඳ දැඩිව අවධාරණය කර තිබීම මානව හිමිකම් කවුන්සිලය සතු බලය ඉක්මවා යාමක් බවය. පසුගිය සැසිවාරයේදී මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකාවේ දූත පිරිස නියෝජනය කළේය. පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට ආ මහාචාර්යවරයා දැරෑ විදේශ අමාත්‍ය ධුරය ඔහුට අහිමි කෙරුණේ ඩලස් අලහප්පෙරුමට සහයෝගය දැක්වීම හේතුවෙනි.
රජයේ අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන්ද ඔහු චෝදනා කළේ අලුත් රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනාට සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලවලට වාහන 230ක් පමණ වෙන්කරනු ඇති බව පෙන්වා දෙමිනි. රාජ්‍ය ඇමැතින්ට ව්‍යාපෘති කිසිවක් පවරා නැති බවද ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩුව රටේ ආර්ථිකය යහපත් අතට හරවා ගැනීමට දරණ උත්සාහයට දූෂණ සහ වංචා පිළිබඳ චෝදනා ජාත්‍යන්තරකරණයට ලක්වීම බාධකයක් බවට පත්වෙමින් තිබෙන බව ඒ අනුව පැහැදිලිය. තවදුරටත් ලංකාවට ආධාර ලබාදීමට හැකියාවක් නැති බවට ඉන්දියාව කළ ප්‍රකාශය එම තත්ත්වය ව්‍යාකූල කර තිබේ. ඒ අතර වත්මන් ආණ්ඩුව දැඩි ලෙස රාජපක්ෂවරුන්ගේ පාලනයට යටත් වී ඇති බවට දේශීය වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් එල්ල වන චෝදනාවලට ආණ්ඩුව පිළිතුරු සොයාගත යුතුය. ඒ සඳහා හොඳම විසඳුම වූ සර්ව පාක්ෂික ආණ්ඩුව තවදුරටත් යථාර්ථයක් නොවන බැවින් විකල්පයක් සොයාගැනීම ආණ්ඩුවේ ලොකුම අභියෝගය වී තිබේ.
ශශීන්ද්‍ර