2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

ක්‍රිකට් සභාපතිගේ කේන්ති ගැනිල්ල

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 133

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාවේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී වරක් ආවේගශීලීව අදහස් දක්වනු දැකිය හැකි විය. ඔහුගේ කෝපයට හේතු වූයේ එහිදී මාධ්‍යවේදියකු විසින් නැගූ ප්‍රශ්නයකි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලීන් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාව තුළ ආසියානු කුසලාන පැවැත්වීමට අසමත්වීම හේතුවෙන් රටට ඩොලර් මිලියන 50ක පමණ ආදායමක් අහිමි වූ බවට චෝදනා කර තිබිණි. ශ්‍රී ලංකාව 2022 සත්කාරක රට වශයෙන් ක්‍රියාකිරීම වැළැක්විම සඳහා අත යට ගනුදෙනු සිදුවූ බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.

ශම්මි සිල්වාට කේන්ති ගියේ මාධ්‍යවේදියා එම ප්‍රකාශය ගැන කළ විමසීමේදීය.

''කවුද නලීන් බණ්ඩාර? කවද්ද ඔහු මෙහෙම දෙයක් කිව්වේ?'' ශම්මි සිල්වා මාධ්‍යයෙන් ප්‍රශ්න කළේය. ''ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේදී තරග පැවැත්වූවා නම් ලැබෙන්න තිබූ මුදලට වඩා ඩොලර් මිලියන 4.5ක් අපට ලැබුණා. මම දන්නේ නෑ ඔය කතාව කිව්වෙ කවුද කියලා. මොකද මම ඔය මන්ත්‍රීවරැන් වැඩි දෙනෙක් දන්නෙ නෑ. නමුත් ඔහු පැහැදිලිවම ගණන් හදන හැටි හරියට නොදන්න කෙනෙක්.'' ශම්මි සිල්වා කීය.

කෙසේ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයකු විසින් එල්ල කළ එතරම් බරපතළ චෝදනාවක් ගැන නොදැන සිටීම නම් පුදුම සහගතය. එම චෝදනාවට පුළුල් මාධ්‍ය ප්‍රචාරයක්ද ලැබී තිබිණි. ඇත්තෙන්ම එම චෝදනාව පිළිබඳ වැඩිදුර කරැණු සොයාබලා නිසි පිළිතුරක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිටින ඉහළම නිලධාරියා ඔහු නොවේද?

කෙසේ වුවද මේ චෝදනාවෙන් හානිවූයේ ඔහුගේ ආයතනයේ කීර්තිනාමයටය. ශ්‍රී ලංකාව තුළ ආසියානු කුසලාන තරගාවලිය නොපැවැත්වීම සඳහා ගත් තීන්දුවට හේතු වූ ප්‍රමාණවත්, වලංගු කාරණා තිබිය හැකිය. රටේ තිබූ දේශපාලන අස්ථාවරභාවය, ඉන්ධන හිඟය නිසා ක්‍රීඩාංගණ ආලෝකවත් කිරීමේ පහසුකම් නොමැතිවිම වැනි හේතූන් ඊට අදාළ විය හැක. එහෙත් ගණන් හැදීම ගැන කතා කරනවා නම් එම තරගාවලිය මෙරට පැවැත්වූවා නම් රටට ලැබිය හැකිව තිබූ හෝටල් පහසුකම් ඇතුළු සත්කාරක සේවා සැපයීම හරහා විශාල ආදායමක් අහිමි වූ බව පෙන්වා දිය හැකිය. මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිට අමතක වී තිබේ.

- සන්ඩේ ටයිම්ස්

 

මෙවර ජිනීවා යෝජනාව ඉතාම තද එකක්!

ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව මෙවර ඉදිරිපත් වීමට නියමිත යෝජනාව 2009න් පසු තදම යෝජනාව බව සඳහන් වෙයි. පිටු 06කින් සමන්විත කෙටුම්පත පසුගිය 12 වැනිදා එංගලන්තය විසින් බාරදෙනු ලැබීය. ඒ සම්බන්ධ ඡන්ද විමසුම ඔක්තෝබර් 07 වැනිදා සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් වැරදිකරැවන් වන නිලධාරීන්ට සහ නායකයන්ට සංචාරක තහංචි පැනවීමට එමගින් යෝජනා කර තිබේ. එසේම ඔවුන් සතු දේපළ තහනම් කිරීමටද වෙනත් අදාළ නීතිමය පියවර ගැනීමටද යෝජනා කෙරේ.
මෙවර ජිනීවා සැසියේදී ඉන්දියාවද තද ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව පියවර ගත යුතු බවට ප්‍රකාශයක් කළේය. එසේම 13 වැනි ව්‍යවස්ථා සංශේධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගතයුතු බවද ශ්‍රී ලංකා රජය ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රගතියක් පෙන්වා නැතැයිද සඳහන් කළේය. කෙසේ වුවද චීනය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් වෙනත් රටවල් වාසි ලබාගැනීමෙන් වැළකිය යුතු බවය.

ශ්‍රී ලංකාවේ දූත පිරිසේ නායකත්වය දැරෑ විදේශ ඇමැති අලි සබ්‍රි මහතා ජිනීවා සැසියේදී ප්‍රකාශ කළේ මේ යෝජනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවය. යෝජනාවට අදාළ මතු පියවර ගැනීම් සියල්ලම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරයා කියා තිබිණි. ඔහු සහ දූත පිරිස මූලික සැසිවාරයෙන් පසුව ශ්‍රී ලංකාවට ආපසු පැමිණියහ.

ශ්‍රී ලංකා දූත පිරිස නවාතැන් ගෙන තිබුණේ ජිනීවාහි ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලයේය. එය එම සැසි පැවැත්වූ ස්ථානයට ආසන්නව පිහිටා තිබිණි. එම හෝටලයේ සාමාන්‍ය පෙළේ කාමරයක දිනක ගාස්තුව ස්විස් ෆ්‍රෑන්ක් 563කි. එයට උදෑසන ආහාරයද ඇතුළත් නැත. එම මුදල අමෙරිකානු ඩොරල්වලින් 586කි. රැපියල්වලින් දෙලක්ෂ දහදාස් තුන්සිය එකක් (210,301) වෙයි.

ජිනීවා යනු ලෝකයේ ඉතාම වියදම් අධික නගරයක් වශයෙන් සැලකේ. විදේශ විනිමය සිඳීගිය බංකොලොත් බව ප්‍රකාශ කර ඇති රටකට මේ තරම් අධික මුදලක් වැය කරමින් වරින්වර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලට සහභාගි වීමට සිදුවීම කැපී පෙනෙන කාරණාවක් වී තිබේ.

- සන්ඩේ ටයිම්ස්