2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

බඩගින්නේ සංඥාව

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 108

අපේ රටට මොකද වෙන්නේ?

මේ හුඟ දෙනෙක් දැන් තමන්ට හමුවන ඥාතියාගෙන් මිත්‍රයාගෙන් මුලින්ම අහන ප්‍රශ්නයයි. රටට බොහොමයක් කරදර හිරිහැර වූ බව ඔවුන් නොදන්නවා නොවේ. හැබැයි ඊළඟට වෙන්නේ කුමක්ද කියා මේ සියලු දෙනාටම තිබෙන්නේ දැඩි අවිනිශ්චිත බවකි. මේ අවිනිශ්චිත බව ජනතාවගේ ඇට මිදුළු තුළටම කිඳා බසිමින් තිබේ. එහි ප්‍රතිඵල පිළිබඳ ඔවුන්ට බියක් දැනෙන්නට පටන්ගෙන තිබේ. රටට මොකද වෙන්නේ කියා අහන එක ඇතුළේ තිබෙන්නේ අපට මොකද වෙන්නේ කියන එකය.
මේ අවිනිශ්චිත බවට ලොකුම හේතුව රට මුහුණ දී සිටින දැඩි ආර්ථික කඩා වැටීමය. ඊළඟට තිබෙන ප්‍රශ්නය මේ කඩා වැටීමත් සමඟ ඇතිවෙන ආහාර සුරක්ෂිතතාවේ අවදානමයි. ආහාර හිඟවන විට එහි මුල්ම වින්දිතයා වෙන්නේ දූ දරුවන්ය. වැඩිහිටියන්ට නම් වේලක් දෙකක් මගහැර සිටිය හැක. එහෙම වුණත් දරුවන්ට එසේ සිටිය නොහැක. ඔවුන්ට දැනෙන බඩගින්නට සීමා මායිම් නැත. මෙය වඩාත්ම හඳුනාගත හැක්කේ පාසල් දරු දැරියන්ගේ හැසිරීම් රටාවෙනි.

පාසල් දරුවන් කුසගින්නේ පාසලට යාමට සිදුවූ එකම කාලය වර්තමානය නොවේ. මීට පෙර ද යම් යම් කාලවලදීත් දිළිඳුම මට්ටමේ පවුල් සදාකාලිකවත් මේ ගැටලුවට මුහුණ දී තිබිණි. එහෙත් මේ තරම් බරපතළ අන්දමින් ඔවුන් ආහාර අහේනියකට මුහුණ දුන්නේ නැත. කන්න බොන්න අඩු පවුල්වල දරුවන්ට අහළ පහළ නිවෙසකින් හෝ කෑමට යමක් ලබාගත හැකි විය. පාසලේදී වෙනත් දරුවන් සමඟ හවුලේ බඩ පුරවා ගැනීමටද හැකියාව තිබිණි. පාසල්වලින් සැපයෙන ආහාරවේල හේතුවෙන් මේ ගැටලුව බරපතළ තත්ත්වයකට ගියේ නැත. නමුත් දැන් පාසල්වලට ආහාරවේල ලබාදීම ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත්වීම හේතුවෙන් බොහොමයක් පාසල්වලට කෑම නැත. මේ නිසා ළමයින්ට බඩගින්න වැඩියෙන් දැනෙයි. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ආණ්ඩුවේ මැති ඇමැතින්ට මේ තත්ත්වය නොදැනීමය. නැතහොත් දැනගෙනත් එහෙම දෙයක් නොදන්නවා වගේ සිටීමය. මේ තත්ත්වය වටහා ගැනීමට පසුගිය බ්‍රහස්පතින්දා (23) පාර්ලිමේන්තුවේදී පාසල් දරුවන්ගේ කුසගින්න පත්තු වූ අවස්ථාවේ පළකෙරුණු අදහස් විමසා බැලිය යුතුය.

අනුරාධපුර විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 03ක ආහාර නොගෙන පැමිණි දරුවන් 20 දෙනකු එම පාසල්වලදී ඊට පෙර දින (21) සිහිසුන්ව ඇද වැටී ඇතැයි පොහොට්ටුවේ මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. දරුවන්ගේ ආහාර අර්බුදය අද බරපතළ තැනක පවතින බවද කියා තිබූ මන්ත්‍රීවරයා පාසලේදී ආහාරයට ගැනීමට කුරුම්බා මද ගෙන ආ මිනුවන්ගොඩ සිසුවියක සම්බන්ධයෙන් මාධ්‍යවලින් තොරතුරු වාර්තා වූ බවද ප්‍රකාශ කර තිබිණි. හැබැයි මේ ප්‍රශ්නයට ආණ්ඩුවේ ඇමැතිවරුන් දෙදෙනකුගේම ප්‍රකාශවලින් කියවුණේ එහෙම දෙයක් නැති බවට වගේ කතාවකි. එහෙම වුණත් ඒක ගණන් ගත යුතු දෙයක් නොවන බවට හැඟීමක් ඔවුන්ගේ පිළිතුරුවල ගැබ් වී තිබුණි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා:

විලච්චිය සිද්ධිය ගැන මම දන්නෙ නෑ. නමුත් මම මිනුවන්ගොඩ සිද්ධිය ගැන සොයා බැලුවා. ඒ විදුහල්පතිතුමියටත් කතා කළා. එහෙම සිද්ධියක් වෙලා නෑ. එහෙම දෙයක් වුණා නම් ඒක ගුරුවරුන්, දරුවන් දැනගන්න ඕන. ඒ කවුරුවත් ඒ වගේ සිද්ධියක් දන්නෙ නෑ. කිසිම දරුවෙක් ඒ ගැන තොරතුරු කියන්න ඉදිරිපත් වෙලත් නැහැ. විලච්චිය සිද්ධිය ගැන මම සොයා බලනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා:

මිනුවන්ගොඩ කියන්නේ මගේ ප්‍රදේශය. මම ඒ සිද්ධිය ගැන සොයා බැලුවා. එහෙම සිද්ධියක් වෙලා නැහැ. විදුහල්පතිතුමිය ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. රටේ දරුවන්ට ප්‍රශ්නයක් තියෙන බව අපි දන්නවා. එහෙම තියෙනවා කියලා මේ වගේ බොරු ගහලා මිනිස්සු කුලප්පු කරන එක හොඳ නැහැ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා:

ජනතාවට ආහාර සොයා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. දරුවන් මන්දපෝෂණයට ගොදුරු වෙනවා. මුලින්ම අපි මේ ප්‍රශ්නය පිළිගන්න ඕන. ප්‍රශ්නය පිළිගෙන එය විසඳීමට වැඩපිළිවෙළක් හදන්න ඕන. උද්ධච්ච විදිහට වැඩ කරන්න එපා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා:

ඔව්. ප්‍රශ්නයක් තියෙනවා. අපි පිළිගන්නවා. බැහැර කරන්නේ නෑ. නමුත් බොරු කියලා ඇත්ත විකෘති කරන්න දෙන්න බැහැ. මිනුවන්ගොඩ සිද්ධිය බොරුවක්.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා:

දරුවන්ගෙන් හතරෙන් එකකට දිවා ආහාරය දෙන්න අපි අසමත් වෙලා. අද ළමයි කලන්තේ දාලා වැටෙනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න ඕන. අද බත් බැංකු හදන තත්ත්වයක් රටේ ඇතිවෙලා.

මේ තරම් බරපතළ ගැටලුවක් උද්ගතව තිබියදී ඒක ගණන් නොගෙන සිටීමට උත්සාහ දැරීමත් එක් සිද්ධියක් පමණක් බොරුවක් බව ප්‍රකාශ කර එය මහා විශාල හානියක් බවට හැඟීමක් ජනතාව තුළ ඇතිකිරීමට උත්සාහ දැරීමත් හොඳ වැඩක් නොවේ. කොහොමත් මෙහෙම ප්‍රවෘත්තියක් පළ වූ විට ඒ ගැන මාධ්‍ය කරුණු විමසන්නේ විදුහලේ විදුහල්පතිවරුන් ඇතුළු ගුරුවරුන්ගෙනි. ඔවුන් මාධ්‍යයට කොහොම කිව්වත් පළාතේ දේශපාලන බලධාරියා කරන විමසීම්වලදී කතා කරන්නේ තමන්ගේ රස්සාව බේරගන්න බලාගෙනය. අඩුම තරමින් ඈත ප්‍රදේශයට ලැබිය හැකි මාරුව හෝ වළක්වා ගැනීමය. මේ නිසා දේශපාලන බලවතුන් ලබා දෙන පිළිතුරුවලින් දැන් රටේ ජනතාව සෑහීමකට පත්වන්නේ නැත. ඒ පළාතේ සිටින ජනතාව මේ ප්‍රශ්නයේ ඇත්ත තත්ත්වය කුමක්දැයි දැන සිටින බවට සැකයක් නැත. ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් දෙපළක් වන අනුර ප්‍රියදර්ශන සහ ඩලස් දෙදෙනා ද කියා ඇත්තේ දරුවන්ට කන්න නොමැතිවීම සැබෑ ප්‍රශ්නයක් බවය. නමුත් සෙසු මැති ඇමැතින් නම් මේ ගැන කතා කරන්නවත් කැමැත්තක් තිබෙන බවක් පෙනෙන්නට නැත.

මේ අතර කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සජීවී ලියනගේ මහත්මිය කියා තිබුණේ කැලණිය පාසල් සිසුන්ගෙන් හතරෙන් පංගුවක් පමණ ආහාර නොමැතිකම හේතුවෙන් දිනපතා පාසල් නොඑන බව තහවුරු වී තිබෙන බවය. පාසල් දරුවන්ට උදේ ආහාරය ලබාදීමේ වැඩසටහනක් කැලණියේදී ආරම්භ කළ අවස්ථාවේ මේ නිලධාරිනිය එසේ කියා තිබිණි.

බඩගින්න පත්තු වුණාම ආණ්ඩුවකට මුහුණ දෙන්න වෙන්නේ මහත් පීඩනයකටය. හඳෙන් හෝ ගෙනැත් හාල් සේරු දෙකක් දෙනවා කියා පිහිටුවාගත් ආණ්ඩුව සේම හාල් සේරුවක් කපා දැමීමෙන් නැති වූ ආණ්ඩු ද මේ රටේ තිබුණි. ඒ වගේම ආහාර අහේනිය මූලිකව ඒකට විසඳුමක් හැටියට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියට ගෙන ඡන්ද කල් දැමීමෙන් අන්ත පරාජයට පත් වූ ආණ්ඩුත් තිබුණි. ආහාර ගැටලුවත් එක්ක රටේ සෙසු ප්‍රශ්න ද එකට ගොඩගැසී විනාශ වූ ආණ්ඩුවක් හැටියට සිරිමාවෝ ^70 සමගි පෙරමුණු ආණ්ඩුව හොඳම උදාහරණයක් සපයයි.

සිරිමාවෝගේ නායකත්වයෙන් 1970 දී බිහිවූ රජයට තුනෙන් දෙකක බලයක් ලැබුණි. එය උපයෝගී කරගෙන ජනරජ ව්‍යවස්ථා සංශෝධනයෙන් බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදුණු පාලනයක් ගෙන යාමට සිරිමාවෝ රජයට හැකි විය. එහෙත් රටේ ප්‍රශ්න විසඳුණේ නැත. ආණ්ඩුවේ නායකයන්ගේ ප්‍රශ්නවලට නම් කොහොම හරි විසඳුම් ලැබුණි. මේ නිසා රට පුරා අසහනය පුළුල්ව පැතිර ගියේය. හරි හමං විපක්ෂයක් නොතිබුණත් ජේ.ආර්. නොයෙක් උප්පරවැට්ටි දමා ආණ්ඩුවට රිදෙව්වේය. ^75 දී ඡන්දය කල් දැමූ විට ජනතාවගේ පීඩනය තවත් වැඩි විය. කන්න නැතිවා මදිවට ඡන්දයක් ලබාගැනීමට තිබූ අවස්ථාවක් අහිමිවීමෙන් තත්ත්වය දරුණු බවට හැරෙමින් තිබුණත් ආණ්ඩුවට වගේ වගක් නොතිබිණි. පාර්ලිමේන්තුවේ අහන ප්‍රශ්නවලට ලැබුණෙත් මහා උද්ධච්ඡ උත්තරය. ^70 දී ලැබුණු තුනෙන් දෙකේ බලය තවමත් තමන් සතු බවට අදහසක් ද ඒ ආණ්ඩුවේ නායකයන්ගේ ඔලුවේ තිබිණි.

ඊට පස්සේ බඩගින්නත් එක්කම තුවක්කුත් පත්තු විය. පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යයෙක් ඒ තුවක්කුවෙන් බිලිගනු ලැබීය. ඒ සිද්ධියට ද ආණ්ඩුවෙන් ලැබුණේ උද්ධච්ච උත්තරයකි.

රට තුළ දැඩි විරෝධයක් නැග ආවේය. විශ්වවිද්‍යාල සිසු සටන් ඇවිලිණි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පටන්ගත් වර්ජනයට පසුව දුම්රිය සේවක වර්ජනය ද එක් වුණේය. රටේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් ඇන හිටියේය. එය රට පුරා පැතිරී ගිය මහා වැඩවර්ජනයක් බවට පත් විය. නියමිත දිනට ආණ්ඩුව විසුරුවා හැර මැතිවරණයකට යාම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් තිබුණේ නැත. ඡන්දයෙන් ආණ්ඩුවට ලැබුණේ අන්ත පරාජයකි.

මේ රටේ දේශපාලන නායකයන් පාඩම් ඉගෙන ගන්නවා නම් 1965 ඉඳන් 1977 වෙනකම් ලංකාවේ වෙච්ච දේ හැදෑරුවත් ප්‍රමාණවත්ය. සිරිමාවෝගේ ආණ්ඩුවේ හිටපු ලාබාලම මන්ත්‍රීවරයා වුණේ මහින්ද රාජපක්ෂය. ඔහු පසුව රටේ ඉහළම ජනප්‍රියත්වය දිනූ නායකයා වී රටේ ජනාධිපති ධුරය ද දෙවරක් දැරුවේය. පසුව අවුරුදු පහකට ආසන්න කාලයක් බලය නැතුව හිඳ යළිත් තම සොහොයුරු ගෝඨාභය හරහා විශාල ජනවරමක් ලබා රටේ පාලනය අතට ගත්තේය.

කොයි තරම් දේශපාලනයෙන් තෙම්පරාදු වුණත් රටේ මහජනතාවට බලපාන සැබෑ ගැටලු අවබෝධ කර ගැනීමේදී මහින්ද දුර්වල නායකයෙක් විය. තමන්ගේ සමීප ඥාතීන් සහ මිත්‍රයන් ද ඔවුන්ගේ සහපිරිවරද ගොඩ දමමින් රටේ ජනතාවට ඇස්බැන්දුම් සහිත පුංචි වර්ධනයක් පෙන්වීමේ න්‍යාය ඔරොත්තු දුන්නේ යන්තම් අවුරුදු දෙකහමාරකට පමණි. රටේ පාලනයත් ආර්ථිකයත් සමඟ ඔවුන්ගේ දේශපාලන වංස කතාවද ඇදගෙන වැටුණේය. මේ සියල්ල ඇද වැටුණේ රටේ මහජනතාවගේ කරපිටටය.
එයට තාවකාලික විරාමයක් ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟිනි. ඒ වනවිට රට තුළ පුපුරු ගසමින් තිබූ පෝලිම් අර්බුදයට විසඳුමක් ලැබුණේය. අයි.එම්.එෆ්. සමඟ සාකච්ඡා සාර්ථක කර ගැනීමෙන් කිසියම් සහනශීලී බවක් රටට දැනුණේය. ජනතාවට ද තරමක් පහසුවෙන් හුස්ම වැටෙන බවක් තේරුම් ගියේය.

එහෙත් රටේ උග්‍රම ආර්ථික ගැටලුවේ ප්‍රතිඵල රටේ ජනතාව දැන් ගිලගනිමින් සිටී. ලංකාවේ රුපියල ලොවේ බාල්දුම මුදල් ඒකක අතර තුන්වැනි තැනට පත්වෙලාය. අපට වඩා බාල්දු රටවල් ඇත්තේ තව දෙකක් පමණි. එකක් සිම්බාබ්වේය. අනෙක කියුබාවය.

රටේ ජනතාවගේ බඩගින්දර වැඩි වී එය දරුවන්ටද බලපාන තත්ත්වයට වැටී ඇත්තේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියටය. ආණ්ඩුවට එයට ඇති විසඳුම ගැන දැන් ජනතාව සැක පහළ කරමින් සිටින බව පැහැදිලිය. &අපට මොකද වෙන්නේ* කියා ඔවුන් අහන්නේ මේ සැකය නිසාය.

ළමයි කුසගින්නේ පාසල් තුළ ඇදවැටෙන විට එහෙම දෙයක් නැහැ කියලා උද්ධච්ඡ පිළිතුරු දීමෙන් &රටට මොකද වෙන්නේ* ප්‍රශ්නයට උත්තර ලැබෙන්නේ නැත. හැබැයි බඩගින්න දිගටම පත්තු වෙමින් ගියොත් මේ ප්‍රශ්නයට උත්තර හොයාගෙන ජනතාව පාරට බහින්නත් ඉඩ තිබේ. එහෙම වුණොත් විය හැකි දේ ගැන මහ බැංකු අධිපතිවරයා කර තිබූ ප්‍රකාශයේ බරපතළකම ගැන ආණ්ඩුවේ මැති ඇමැතින්ලාට මතක තිබෙනවා නම් හොඳය.

- ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00