චීනයේ 73 වැනි ජාතික දිනය සැමරීමේ උත්සවයක් පසුගිය බදාදා (28) පැවැත්විණි. එය සංවිධානය කර තිබුණේ චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගම් විසිනි.
මේ උත්සවයේ රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගි විය. ඔහු එහිදී පැවැත්වූ තම කතාවේදී චීනය ''කල්‍යාණ මිත්‍රයෙක්'' වශයෙන් හඳුන්වා දුන්නේය. එසේම චීනය යනු සැබෑ තීරණාත්මක ගෝලීය නායකයකු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සෑම ජාතියකගේම සමෘද්ධිමත්භාවය සඳහා චීන නායකත්වය ඔවුන්ගේ සහාය ලබා දෙන බවද ඔහු කීය.
''චීනය ජාත්‍යන්තර බල තුලනයේ වෙනස්කම් ඇතිකළ ගෝලීය දැවැන්තයෙක්. ඒ සඳහා ඔවුන් පදනම දමා තිබෙනවා. දේශපාලනික, සමාජ ආර්ථිකමය, දිළිඳුභාවය තුරන් කිරීම, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්ෂණික, පරිසර, පර්යේෂණ සහ අභ්‍යවකාශ ක්ෂේත්‍රයන්හි ඔවුන් දක්වන වේගවත් සහ තුලනාත්මක වර්ධනය අපගේ ඉහළම ගෞරවය දිනාගැනීමට සමත්ව තිබෙනවා. චීනය ශ්‍රී ලංකාවේ සුවිශේෂ මිත්‍රයෙක්. කල්‍යාණ මිත්‍රයෙක්. කල්‍යාණ මිත්‍රයෙක් කියන්නේ දුකේදීත් සැපේදීත් එක වගේ ඉන්න මිත්‍රයකුටයි. අපගේ මිත්‍රත්වය ශක්තිමත්ව දිගටම පවතීවා.'' අග්‍රාමාත්‍යවරයා කීය.
- ඩේලි එෆ්.ටී.
ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක්
මාස ගණනාවක අති දුෂ්කර පීඩාකාරී කාලසීමාවකට පසුව රටේ ආර්ථිකය සුබවාදී පැත්තට හැරෙමින් පවතින බව එල්.එම්.ඩී. ව්‍යාපාරික සඟරාව තම සැප්තැම්බර් කලාපයෙන් කියයි. එය ව්‍යාපාරික සහ පාරිභෝගික දෙඅංශයේම විශ්වාසය ඇතිකිරීමට ධනාත්මකව ක්‍රියා කරනු ඇතැයි ද සඳහන්ය. ඉහළ උද්ධමනකාරී තත්ත්වයක් යටතේ ද එම දෙඅංශයේම විශ්වාසයේ වර්ධනයක් පෙන්වා තිබෙන බවද සඳහන්ය.
කෙසේ වුවද වැඩි දියුණුවක් අපේක්ෂා කරන ව්‍යාපාරික ප්‍රජාව අතර තවමත් මේ සම්බන්ධයෙන් මත පළවන්නේ ඉතා සුළු වශයෙන් බවද එහි සඳහන්ය. මේ පිළිබඳ පැවැත්වූ සමීක්ෂණයකින් පෙන්වා දී ඇත්තේ ද ආර්ථිකය ධනාත්මක දෙසට නැඹුරැවක් ඇතිවෙමින් තිබෙන බවය.
අපනයන ආදායමේ ඉදිරි පිම්මක්
මේ අතර මේ වසරේ මුල් මාස 08 තුළදී අපනයනයෙන් ඉපැයූ ආදායම ඩොලර් බිලියන 08 සීමාව ඉක්මවා ගොස් තිබේ. එය පසුගිය 2021 වර්ෂයේ අදාළ කාලය සමඟ සසඳන විට 12% ක වර්ධනයකි.
වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් අගෝස්තු මාසය තුළදී ඩොලර් බිලියන 1.21 ක් උපයා ඇති අතර එය පසුගිය අගෝස්තුව හා සසඳන විට 10% ක ඉහළ යාමකි.
සේවා අපනයනයෙන් මුල් මාස 08 තුළදී ඉපැයූ ආදායම ඩොලර් බිලියන 1.3 ක් වශයෙන් ඇස්තමේන්තු කර තිබේ.
මේ අපනයන වාර්තා නිකුත් කර ඇත්තේ අපනයන සංවර්ධන මණ්ඩලයයි.
- ඩේලි එෆ්.ටී.