2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා

“බොරු ෂෝ... එම්ටි පොකට්”

 2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 125

''අපි හිතන්න හොඳ නැහැ මේ රටේ අර්බුද ඉවරයි කියලා. ඒවා තව ඉවර නෑ. හෙට අනිද්දා තවත් අලුත් දේවල් වෙන්න පුළුවන්. වෙනස්වීම් වෙන්න පුළුවන්. තවත් අපි බලාපොරොත්තු නොවූ අර්බුද ඇතිවෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවක අපි කලබල වෙන්න නරකයි. සියලු දෙනාම බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න ඕනෑ.''

මේ කතාව කිව්වේ මේ රටේ විපක්ෂයේ දේශපාලනඥයෙක් නොවේ. වත්මන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතායි. මාතර දෙයියන්දර පැවැති උත්සව අවස්ථාවකදී කතානායකවරයා මෙහෙම කිව්වේ දකුණේ සංඝනායකවරුන් රැසක් ඉදිරියේය.

මාතරදී එහෙම කිව් කතානායකවරයා පාර්ලිමේන්තුවේ ස්ථාපිත කෙරුණු ජාතික සභාවේ පළමු රැස්වීම අමතමින් කිව්වේ දේශපාලන පක්ෂ පාට භේද ඉක්මවා රටේ දිගුකාලීන ප්‍රතිපත්තිමය දිශානතිය වෙනුවෙන් පොදු එකඟතාවකට පැමිණීම කාලීන අවශ්‍යතාවක් බවයි. මේ කතාවෙන් කතානායකවරයා පෙන්වා දී තිබුණේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න නම් සියලු දේශපාලන පක්ෂ එකතු විය යුතු බවයි.

කතානායකවරයා කියන මේ කතා දෙකෙන් පේන්නේ මොකක්ද? රට ඉදිරියේ බරපතළ අර්බුදයක් තිබෙන බවත් එය ඉදිරියේදී මොන අතට පෙරළෙයිදැයි කිව නොහැකි බවත්ය. ඒ එක්කම දේශපාලන පක්ෂ ඔක්කොම එක්වීමකින් තොරව මේ අර්බුදයට විසඳුමක් නැති බවත්ය.

කතානායකවරයා මෙහෙම කිව්වාට ආණ්ඩුව මෙහෙම තත්ත්වයකට මුහුණ දෙන්න සූදානම්ද?

ආණ්ඩුවේ නායකයා වත්මන් කතානායකවරයාගේ පක්ෂයේ නායකයා නොවේ. කතානායක කියන මේ අර්බුදය හේතුවෙන්ම ව්‍යවස්ථාමය ක්‍රියාදාමයකින් ජනාධිපති ධුරයට පත්වුණු රනිල් වික්‍රමසිංහ දැන් ආණ්ඩුවේ නායකයායි. බලාපොරොත්තු නොවන අර්බුද ඉදිරියේදී ඇතිවිය හැකි බවට කතානායකවරයා මේ කරන්නේ අනතුරු ඇඟවීමක්ද? එහෙම නම් ජාතික සභාව කියන්නේ මේ අර්බුද යළි ඒම වළක්වා ගන්න ගහන තුරුම්පුවක්ද?

මේ රට දැන් තිබෙන්නේ ගැටලු රාශියකට මැතිව බවත් ඒකෙන් ගැලවෙන්න නම් ඔක්කොම දේශපාලන පක්ෂ එකතු විය යුතු බවත් බැලූ බැල්මට පෙනෙන්න තිබෙන තත්ත්වයයි. එහෙම නම් විපක්ෂයේ සහාය ලබාගන්න ආණ්ඩුව තමන්ගේ උවමනාව උනන්දුව විපක්ෂයට පෙන්වා දිය යුතු වෙයි. එහෙම වුණත් දැන් පේන්න තිබෙන්නේ එවැනි එකඟත්වයකින් ආණ්ඩුව ගෙන යමින් රට ගොඩගැනීමේ වැඩපිළිවෙළකට යනවාට වඩා තමන්ගේ බලය රැකගෙන නියමිත කාලය ඉවර වනතුරු රැඳී සිටීමට පොහොට්ටුවේ මැති ඇමැතින්ගේ අභිලාෂය වී තිබෙන බවය. කතානායකවරයා මේ අනතුරු ඇඟවීම කළේ මෙහෙම දිගටම යන්න ගියොත් ඊළඟට යළිත් වරක් මහජන නැගිටීමක් සිදුවීමට ඉඩ තිබෙන බව දැනිලාදැයි කියන්නත් බැරිය.

මේ කොහොම වුණත් රාජ්‍ය ඇමැති ධුර වලින් නොනැවතී කැබිනට් ඇමති ධුරයක් ලබා ගැනීමට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ප්‍රමුඛත්වය ලබාදී තිබෙන බව පැහැදිලිය. මෙය මෑත දේශපාලන ඉතිහාසය සහමුලින් අමතක කර යන්න හදන ගමනකි. ජනවරම තිබෙන්නේ පවතින පාර්ලිමේන්තුවට බව සැබෑවක් වුණත් එම ජනවරමේ පතුරු ගැලවී ඇති බව ආණ්ඩුවේ පිරිසකට අමතක වී තිබේ. නැත්නම් ඒ බව රටට අමතක කරවීමට ඔවුන් දරන්නේ දැඩි උත්සාහයකි. එහෙත් දිනෙන් දිනම උග්‍රවන ආහාර අහේනිය ඇතුළු දැඩි පීඩනය හමුවේ ජනතාවට ඒ බව අමතක වන්නේ නැත. රාජ්‍ය අමාත්‍ය ධුර සහ කැබිනට් අමාත්‍ය ධුර තව තවත් ලබාදී ඔවුන්ට සියලු වරප්‍රසාද හිමිකර දුන්නත් තමන්ගේ ගැටලු විසඳෙන්නේ නැති බව ජනතාව දනිති. තෙල් සහ ගෑස් පෝලිම් නැතිවීමෙන් සියලු ප්‍රශ්න ජනතාවට අමතක වී ඇති බව හෝ එහෙමත් නැත්නම් ජනතාවගේ ලොකුම ගැටලු දැන් විසඳී ඇති බව හෝ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් සිතනවා නම් එය විශාල වැරදීමක් බව කතානායකවරයා තමන්ගේ කතාවෙන් පෙන්වා දී තිබෙන බව පැහැදිලිය.

මේ වගේම පසුගිය සතියේ කියැවුණු තවත් කතා දෙකක් රටේ පවතින තත්ත්වය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මවා පා තිබේ. එයින් එකක් පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පසුගියදා කළ ප්‍රකාශයකි. තඹුත්තේගම කෝටි දෙකක මුදල් මංකොල්ලයේ එක් ප්‍රධාන සැකකරුවකු ඒ පළාතේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වීම එම ප්‍රකාශයට හේතුව වී තිබුණි. සාගර කාරියවසම් කියා තිබුණේ සැකකාර ප්‍රාදේශීය මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බවය. ඉදිරි විමර්ශනවලදී සැකකාර මන්ත්‍රීවරයා සිද්ධියට සම්බන්ධ බව ඔප්පු වුණොත් ඔහු පක්ෂයෙන් නෙරපා දමා මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කටයුතු කරන බවද සාගර කාරියවසම් කියා තිබිණි.

එය හොඳ ප්‍රකාශයකි. රටේ ජනතාව බලාපොරොත්තු වන්නේත් ආණ්ඩුවේ දේශපාලනඥයන් ඉහළින්ම විනය රැකිය යුතු බවයි. එසේම ඔවුන් වැරදි කිරීමෙන් වැළකිය යුතු බවයි. හැබැයි මෙහිදී සාගර කාරියවසම්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න ගණනාවක්ද තිබේ. එයින් දෙකක් පමණක් ඉදිරියට ගනිමු.

පළමුවැන්න තඹුත්තේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට එරෙහිව ගන්නා මෙවැනි තද විනයානුකූල පියවර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංගටත් එරෙහිව ගන්නවාද කියන එකය. බරපතළ කප්පම් චෝදනාවකට කොළඹ මහාධිකරණය මගින් වරදකරු කරනු ලැබූ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට දඩයක්ද ගසා අත්හිටවූ සිරදඬුවමක්ද නියම කර තිබේ. ඔහු ඒ සම්බන්ධයෙන් ඉහළ උසාවියට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. එසේ වුවද මෙවැනි වැඩ කරන්නන්ට පක්ෂයෙන් කිසියම් පියවරක් ගතයුතුය යන්න පොදුජන මතයයි.

දෙවැනි කාරණය ප්‍රේමලාල් ජයසේකර මහාතට පසුගිය මහ මැතිවරණයේදී නාමයෝජනා ලබාදීමය. ඔහුට නාමයෝජනා ලබාදෙන අවස්ථාවේ මිනීමැරුම් චෝදනාවක විත්තිකරුවෙක් වී සිටියේය. ඒ බව දැන දැනම ඔහුට නාමයෝජනා ලබාදුන් අතර පසුව ඔහු මහාධිකරණය මගින් වරදකරු කරනු ලැබීය. අභියාචනාධිකරණය මගින් ඔහු නිදහස් කරනු ලැබුවේ ඉන්පසුවය. එහෙත් මේ කිසිම අවස්ථාවකදී පොහොට්ටුවේ ලේකම්වරයා ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන බවක් කියා නැත. ඔහුට නාමයෝජනා නොදෙන්නැයි ඉල්ලීමක්ද කර නැත.

රටේ ජනතාව පසුගිය කාලයේ පාරට බැසීමට මේවාද හේතු වී තිබිණි. එසේම මේ රටේ මහජනතාව සතු මුදල් බිලියන ගණනින් සොරකම් කළ බවට බලවත් දේශපාලකයන්ට එරෙහි චෝදනා ගැන මේ වනතුරු විමර්ශනයක් කරන්නැයි පොහොට්ටුව කිසිම ඉල්ලීමක් කර නැත. පොහොට්ටුවේ ඇතැම් නායකයන් අද ගතකරන සුපිරි ජීවිත සහ ඔවුන් හිමිකම් කියන අති විශාල ධන සම්පත් තමන්ට ලැබෙන වැටුපෙන් හෝ තමන් සතුව තිබූ දේපළ සහ ව්‍යාපාරවලින් හෝ උපයාගත නොහැක. මේවා ගැන රටේම ජනතාව කතා කරති. එහෙත් පොහොට්ටුව නිහඬය. ආණ්ඩුවේ සෙසු නායකයන්ද නිහඬය.

මීළඟ කතාව ඇසෙන්නේ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ගෙනි. පසුගිය කාලය පුරාම සක්‍රීය ලෙස දේශපාලනයට සම්බන්ධ අදහස් ප්‍රකාශ කිරීමත් ඒ සමහර අදහස් ආන්දෝලනාත්මක වීමත් හේතුවෙන් කාදිනල්තුමන්ගේ ප්‍රකාශද දේශපාලන කරළියේ රුව් දෙමින් තිබේ. මත්තුමගලදී පැවති දේව මෙහෙයකට එක්වෙමින් කාදිනල්තුමන් කළ ප්‍රකාශයේ මෙසේද කියා තිබිණි.

''ශ්‍රී ලංකාවේ සිටි මධ්‍යම පන්තියත් දැන් දිළිඳු පන්තියට වැටිලා. ලොකු පාරවල්, කුලුනු හදමින් ලෝකයටම මහන්තත්තකම පෙන්වීමෙන් රට දියුණු යැයි පෙන්වන්න බෑ. පම්පෝරි ගසන්නට ලොකු ගුවන් තොටුපොළ හැදුවාට එක ගුවන් යානයක්වත් නතර වෙන්නෙ නෑ. බොරු ෂෝ කර එම්ටි පොකට් තත්ත්වයට රට වැටිලා. ලංකාවේ බොහෝ දෙනෙක් කන්න වේලක් නැතුව ජීවත්වන තත්ත්වයක් තිබෙන්නේ. නායකයන් සතුටින් සිටිනවා. ලෝකයේ හැම රටකටම ගොස් හිඟාකනවා.'' කාදිනල්තුමන් අන්තිමට මෙහෙමත් කියා තිබිණි.

''අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින්නේ එළඹෙන මාර්තු මාසයේදී පළාත් පාලන ඡන්දය පවත්වන ලෙසයි. එවිට ආණ්ඩුවට උත්තර දෙන්න පුළුවන්.''

කතානායකගේත්, කාදිනල්තුමන්ගේත්, පොහොට්ටුවේ ප්‍රධාන ලේකම්ගේත් මේ කතා තුන රටේ වර්තමාන තත්ත්වය පැහැදිලිව පෙන්වා දෙන කැඩපතකි. මේ කැඩපත ඉදිරියට ආණ්ඩුව එනවාද නැත්නම් කැඩපත දිහා නොබලා ඉන්නවාද කියන තීන්දුව ඇත්තේත් ආණ්ඩුව අතේමය.

 I ශශීන්ද්‍ර

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00