2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

උහුලන්න බැරි බදු බර

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 193

ආණ්ඩුව පසුගිය 01 වැනිදා සිට සමාජ ආරක්ෂණ බද්ද ක්‍රියාවට නැංවීය. ඒ අනුව දුරකථන හා අන්තර්ජාල ගාස්තු පසුගිය 05 වැනිදා සිට 2.5% කින් ඉහළ ගියේය. එපමණක් නොව සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් එය අදාළ වන සියලු පාරිභෝගික ද්‍රව්‍ය මිල ගණන් ද 2.5% කින් ඉහළ යනු ඇත. බද්ද පනවනු ලබන්නේ සමාගම්වල ආදායමට බලපාන පරිදි වුවද එය පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීමට කිසිදු සමාගමක් පැකිලෙන්නේ නැත. ඒ අනුව වක්‍ර බද්දක් වශයෙන් 2.5% ක සමාජ ආරක්ෂණ බද්දේ බර වැටෙන්නේ රටේ පොදු මහජනතාවගේ කර මතටය.

මීට පෙර වැට් බදු ප්‍රතිශතය ද පසුගිය අන්තර්කාලීන අයවැයෙන් ඉහළ දමනු ලැබීය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් යටතේ අන්තර්කාලීන පාලනයක් අපේක්ෂාවෙන් සිටි රටේ මහජනතාවට දැන් සිදුව තිබෙන්නේ අන්තර්කාලීනව සිදුකෙරෙන බදු වැඩි කිරීම්වලට මුහුණ දීමටය. නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් ද තවදුරටත් බදු වැඩි කෙරෙනු ඇතැයි පුරෝකථනය වී තිබේ. තවත් කොහාට බදු වැඩි කරන්නදැයි ජනතාව විමසුවත් එයට පිළිතුරක් ලැබෙන පාටක් නැත.

නව සමාජ ආරක්ෂණ බද්ද සමඟ රටේ ජීවන වියදම තවදුරටත් ඉහළ යාම නියතයකි. ඒ පසුගිය මාසයේ සිට වැඩි වූ විදුලි සහ ජල විදුලි බිල්වලට අමතර වශයෙනි. ජනතාවට මේ බර උසුලාගෙන යාමට සිදුවුවද ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ගේ නිල නිවෙස්වල ලක්ෂ ගණනින් විදුලිය බිල්පත්වලට හිඟහිටුවා ඇත. ජල බිල්පත්වලට ද එසේමය. ඒ වාගේම ඇතැම් අමාත්‍යවරුන්ගේ නිවෙස්වල සබන් කැටය පවා රජයේ වියදමින් මිලදී ගෙන දෙන බව පසුගියදා හෙළි විය. මේ හැම වියදමක්ම අවසානයේ බැරවන්නේ ජනතාවගේ බදු මුදලටය. ජනතාවට ගහන බදු ඇමැතිලාට වදින්නේ නැත. මේ නිසා බදු හේතුවෙන් ජනතාව විඳින දුක ඔවුන්ට දැනෙන්නේ නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බ්‍රහස්පතින්දා (06) පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයේදී ප්‍රකාශ කර තිබුණේ රටේ දුප්පත්ම පිරිස් පවා වක්‍ර බදුවලින් 80% කට දායක වන බවය. මේ තත්ත්වය වෙනස් කිරීම යුගයේ අවශ්‍යතාව බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. දැනට 8.5% දක්වා පහත වැටී තිබෙන බදු ආදායම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර 14% දක්වා වැඩි කිරීමට රජය එකඟ වී ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අනුව තවදුරටත් බදු වැඩිවන බව ඉතා පැහැදිලිය. දැනට පවතින දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.5% වන බද්ද 14% දක්වා වැඩිවන විට බඩ පොත්තටම ඇලී සිටින ජනතාව තවදුරටත් දැඩි පීඩනයකට ලක්වීම වළක්වාගත නොහැක. මුල්‍ය අරමුදලේ ණය ආධාරය ශ්‍රී ලංකාවට මේ මොහොතේදී නැතිවම බැරි ආධාරයකි. එය ලබාගැනීමට ඕනෑම කොන්දේසියකට යටත් වන තත්ත්වයකට එකඟ වීම හැර වෙනත් මගක් නැති බව පෙනී යයි. නමුත් මෙසේ බදු වැඩි කිරීම ජනතාවට ඔරොත්තු දිය හැකි සීමාවක් තිබේ. එම සීමාව ඉක්මවා ගොස් රතු ඉර පැන්නොත් බදු ගහන්නටවත් රටක් ඉතිරි වේදැයි කිව නොහැකි තත්ත්වයක් මතුවීමට ද ඉඩ තිබෙන බව පෙන්වා දිය යුතුය.

බදු වැඩිවීමෙන් පීඩා විඳින ජනතාවට සහන ලබාදිය යුත්තේ එබැවිනි. රටේ පවතින ආර්ථික අර්බුදයේ දිග පළල ජනතාව නොදන්නවා නොවේ. එහෙත් උසුලාගත නොහැකි ලෙස බදු වදින විට ආර්ථික අර්බුදය ගැන බණ දෙසීමෙන් පලක් නැත. අවශ්‍ය වන්නේ බදු බර නිසා ඇතිවන පීඩනය අඩු කිරීමට ජනතාවට සහන ලබා දීමය. එය ඉදිරියේදී සිදුකෙරෙන බව ජනාධිපතිවරයාගේ කතාවේදී සඳහන් කර තිබිණි. අවශ්‍ය වන්නේ සහන ලබාදීම වචනයට සීමා නොකර ක්‍රියාවෙන් සිදු කර පෙන්වීමය. ජනතාව රජයෙන් බලාපොරොත්තු වන්නේ එයයි.

ඉදිරියේදී පැනවීමට නියමිත අලුත් බදු වර්ග ගණනාවක් සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමි වී තිබිණි. මේ බදුවලින් ඇති හැකි අයට පමණක් නොව ලෙල්ලටම හිඳී ගොස් සිටින අයට ද බලපෑම් ඇතිවීම් වැළැක්විය නොහැක. එයට උදාහරණයක් වන්නේ ආනයනකරුවන්ට බලනොපාන සමාජ ආරක්ෂණ බද්ද තොග වෙළෙඳුන්ට සහ සිල්ලර වෙළෙඳුන්ට වැදීමය. එය පාරිභෝගික ජනතාව මත අතිරේක බරක් පැටවීමකි. ඔක්කොම කුණු බේරුවල් බොක්කට කිව්වාක් මෙන් මේ ඔක්කොම බදු දුප්පතාගේම බොක්කට වදින ඒවා බව පැහැදිලිව පෙනී යයි. ඔවුන්ට වහාම සහන සලසා දීම අවශ්‍යය.

ඒ සමඟ කිව යුත්තේ ලංකාවේ වැඩියෙන්ම ලාභ ලබන ඇතැම් සමාගම් මේ බදු දැල්වලින් රිංගා යාම වැළැක්විය යුතු බවය. ඇතැම් සුපිරි ධනවතුන් ද බදු දැල්වලින් රිංගා යාමේ ශූරයෝ වෙති. දුප්පතාට සහන ලබා දී පොහොසතා බදු දැලට හසුකර ගැනීමට ප්‍රමුඛත්වය ලබා දිය යුතුය.