ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය. රටවල් 20 ක් යෝජනාව සඳහා සහාය දැක්වූ අතර ශ්‍රී ලංකාවට සහයෝගය පළ කරමින් එම යෝජනාවට එරෙහිව රටවල් 07 ක් ඡන්දය දී තිබිණි. රටවල් 20 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
මෙහිදී ශ්‍රී ලංකාවට ආසන්නම දීර්ඝකාලීන මිතුරා වන ඉන්දියාවත් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයේ සමීප සහකරුවකු වන චීනයත් අනුගමනය කරන ක්‍රියා කලාපය දෙස සියලු දෙනාගේ අවධානය යොමු වී තිබිණි. චීනය යෝජනාවට එරෙහි වෙමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට තමන් සහයෝගය පළ කරන බවය. ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටිමින් ප්‍රකාශ කළේ තමන් දෙමළ ජාතිකයන්ගේ සමානාත්මතාව වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පෙනී සිටින බවය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉන්දීය නියෝජිතයා ප්‍රකාශ කර තිබුණේ දෙමළ ප්‍රජාවගේ නීත්‍යානුකූල අභිලාෂයන් ශ්‍රී ලංකාව පිළිගත යුතු බවය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සහාය පළ කරමින් යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබූ රටවල් 07 වූයේ චීනය, බොලීවියාව, කියුබාව, එරිත්‍රියා, පාකිස්තානය, උස්බෙකිස්තානය සහ වෙනිසියුලාව පමණි.
පසුගිය බ්‍රහස්පතින්දා (06) මෙම යෝජනාව පිළිබඳ ඡන්දය විමසීම සිදුකෙරුණු අතර එම ඡන්දය විමසීමට පෙර එහි සමාප්ති දේශනය සිදු කිරීමට එරටට පිටත්ව ගිය විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුණේ මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකාව පරාජය වනු ඇති බවය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ මෙම යෝජනාවට එම කවුන්සිලයේ රටවල් 30ක සහයෝගය පළ වී තිබීම හේතුවෙන් අලි සබ්‍රි මහතා එසේ ප්‍රකාශ කර තිබිණි.
- ඩේලි එෆ්.ටී.
පාර්ලිමේන්තුවටත් දැනෙන උද්ධමනය
අහස උසට යන උද්ධමනය අවසානයේ පාර්ලිමේන්තුව ද ආක්‍රමණය කර තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආහාර පරිපාලන කමිටුව මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරවේලක මිල රුපියල් 300 දක්වා ඉහළ නැංවීය. එය බත් පතේ මිල රුපියල් 100 කින් ඉහළ යාමකි. පාර්ලිමේන්තු රුස්වීම් ආවරණය කරන මාධ්‍යවේදීන් සඳහා බත් පතක මිල රුපියල් 150 ක් වනු ඇත.
පාර්ලිමේන්තු නිලධාරියකු ප්‍රකාශ කළේ මෙනූ පතේ තිබූ වර්ග 08 කින් යුත් ආහාරවේල වර්ග 5 ක් දක්වා අඩුකර ඇති බවය. එහෙත් ඔහු පෙන්වා දී තිබුණේ බොහොමයක් මන්ත්‍රීවරුන් තමන්ගේ ආහාරවේල පිටින් රුගෙන එන බවය. තවත් සමහරුන් උසස් තත්ත්වයේ හෝටල්වලින් තම ආහාරවේල ඇණවුම් කර ගෙන්වා ගන්නා බවද ඔහු සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා ප්‍රකාශ කර තිබුණේ පසුගිය වසරට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ ආහාර උද්ධමනය 94.9% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. අගෝස්තුවේ එය 93.7 ක් වී තිබිණි. ආහාර නොවන උද්ධමනය 57.6% ක් විය. අගෝස්තු මාසයේදී එය සටහන් වූයේ 50.2% ක් වශයෙනි.
- සන්ඩේ ටයිම්ස්
ලංකාව වැටිච්ච තැන!
රට මුහුණ දෙමින් සිටින නරකම ආර්ථික අර්බුදයේ බරපතළකම බොහොමයක් ශ්‍රී ලාංකිකයන්ට තවම අවබෝධයක් නැත. ආසියානු කලාපය තුළ සහ ගෝලීය ආර්ථිකය තුළ පවා ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබූ ඉහළ සාක්ෂරතාව සහ ජීවන තත්ත්වය දෙස අසල්වැසි රටවල් පවා බලා සිටියේ විමසිල්ලෙනි. එසේ වසර කිහිපයක් තිස්සේ මැදි ආදායම් රටක තත්ත්වයක සිටි ශ්‍රී ලංකාව හදිසියේම බංකොලොත් රාජ්‍යයක් බවට ඇදවැටීම එම රටවලටද අදහාගත නොහැකි සිද්ධියක් වී තිබේ.
ශ්‍රී ලාංකිකයකු පසුගියදා නේපාලයේ කත්මණ්ඩු නගරයේ කාර්යබහුල පදික වේදිකාවේ සපත්තු කඩයක් වෙත ගිය අවස්ථාවකදී එය පැහැදිලි විය. තමෙල් හි පිහිටි මේ සාප්පු හිමියා තම ගනුදෙනුකරු ශ්‍රී ලංකාවෙන් බව දැනගත් වහාම සපත්තු විකිණීම පසෙක තබා ආර්ථික අර්බුදය ගැන කතා කිරීම ඇරඹුවේය. එපමණක් නොව ගෝඨාභය ජනාධිපතිවරයා ඉවත් කිරීම සහ ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් කුසලානය හිමිකර ගැනීමද ඔහුගේ මාතෘකා අතර විය.
දීර්ඝ කතාබහකින් පසුව රටේ බිම් මට්ටමේ තොරතුරු පිළිබඳ අවබෝධයක් ලැබූ එසේම දැඩි ක්‍රිකට් රසිකයකු වූ නේපාල සපත්තු වෙළෙන්දා සපත්තු අලෙවිය සිදු කළේ ශ්‍රී ලාංකිකයාට විශාල වට්ටමක් ලබාදෙමිනි.
ශ්‍රී ලංකාවෙන් ගිය අමුත්තා තරමක් පැකිලීමකින් යුතුව එම වට්ටම බාරගත් නමුත් සපත්තු කඩ හිමියාගේ අවසන් ප්‍රශ්නයෙන් ඔහු නිරුත්තර විය. ''වෙන කිසිම රටක් තම රටෙන් එළවා දැමූ ජනාධිපතිවරයකුට ආපසු එන්න දෙන්නෙ නෑ. ඒ වුණත් ඇයි ලංකාවේ මිනිස්සු ඔහුට එන්න ඉඩ දුන්නේ?'' ඔහු ඇසීය.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති දුෂ්කරතා පිළිබඳ විස්තර කර දෙනවාට වඩා ලැබුණු වට්ටම ද රුගෙන එතැනින් පිටවීම යහපත් බව තේරුම් ගත් ශ්‍රී ලාංකිකයා කතාව නවත්වා ආපසු හැරුණේය.
- සන්ඩේ ටයිම්ස්