''දැන් දවස් ගණන් තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල ඉන්න ඕන නෑ. පැය දහය දොළහ ලයිට් කැපෙන්නෙ නෑ. පාසල්, විශ්වවිද්‍යාල විවෘතයි. රට යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව හැම ක්ෂේත්‍රයකම අපට දැනෙන්න තිබෙනවා. තමන්ගේ ජීවිත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට රටේ ජනතාවට දැඩි අවශ්‍යතාවක් තිබෙනවා.''
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙම කිව්වේ පහුගිය බ්‍රහස්පතින්දා (06) පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයේදීය. මෙහෙම තත්ත්වයක් තිබුණත් රටේ තත්ත්වය තාමත් යහපත් නැති බවත් පරණ කෝන්තර අමතක කර රට ගොඩගැනීමට සියලුදෙනාටම ආරාධනය කරන බවත් ජනාධිපතිවරයා කිව්වේය. පාර්ලිමේන්තුවේ ජාතික සභාව, ළඟදීම ස්ථාපිත කරන ''ජන සභාව'' පාර්ලිමේන්තු ආංශික කමිටු ආදිය ඔස්සේ රට ගොඩනගන පොදු වැඩපිළිවෙළකට එක්වන්නැයි යන්න ජනාධිපතිවරයාගේ ඉල්ලීම විය.
ජනාධිපතිවරයා රටේ වගකීම් බාර ගැනීමෙන් පසුව අවස්ථා කිහිපයකදීම විශේෂ ප්‍රකාශ සිදුකළේය. මුලදී මාධ්‍ය ඔස්සේ එම ප්‍රකාශ නිකුත් කළත් පසුව පාර්ලිමේන්තුවේ එම ප්‍රකාශ සිදු කිරීමට ඔහු අවස්ථාව පාදා ගත්තේය. අගමැති හැටියටත් විශේෂ ප්‍රකාශ සිදුකළ වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කරගනු ලැබීමෙන් පසුව සිදුකළ තම ප්‍රතිපත්ති ඇතුළත් රාජාසන කතාවෙන් පසු පාර්ලිමේන්තුවේදී කළ ලොකුම ප්‍රකාශය මෙය විය.
මේ හැම ප්‍රකාශයේම මූලික හරය වුණේ රටේ ආර්ථික අර්බුදයයි. එම අර්බුදය ඉතා භයානක බවත් එහි තරම පිළිබඳ බොහෝ දෙනකුට අවබෝධයක් නැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. හැබැයි මෙවර කතාවේ වෙනසක් තිබුණේය. රටේ ජනාධිපතිවරයා හැටියට රටවල් ගණනාවක සංචාරය කර ලෝක නායකයන් කිහිප දෙනකුද හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ලැබූ අත්දැකීම්ද සමඟ මේ ප්‍රකාශය සිදුකිරීම ඒ වෙනස විය.
ජනාධිපතිවරයාගේ මෙවර ප්‍රකාශයේ මීට පෙර තමන් පෙන්වා දුන් රට ගොඩගත යුතු මූලික ක්‍රියාමාර්ග හතරෙන් එකක් සාර්ථක කර ගැනීමට හැකි වූ බවට වූ සඳහන වැදගත් වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාණ්ඩලික මට්ටමින් එකඟතාවකට පැමිණීම එසේ සාර්ථක කරගත් පියවර බව ඔහු පෙන්වා දුන්නේය. ඒ හැර තවත් පියවර තුනක්ද වෙයි. ජපානය, ඉන්දියාව සහ චීනය ආදී ලංකාවට ණය ලබාදුන් රටවල් සහ පෞද්ගලික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ පොදු එකඟතාවකට එළඹීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලබාගෙන මූල්‍ය අරමුදලෙන් සහ වෙනත් රටවලින් ණය ආධාර ලබාගෙන ආර්ථිකය ස්ථාවර කරලීම සහ එසේ කිරීමෙන් පසුව සංවර්ධිත ආර්ථිකයක් දක්වා පොදු සැලැස්මක් ඔස්සේ රට ඔසවා තැබීමට කටයුතු කිරිම ඉතිරි පියවර වෙයි.
මේ හැම පියවරකම මුල්ගල වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාරය ලබා ගැනීම බව පැහැදිලිය. එම ණය මුදල ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සපුරාලිය යුතු කොන්දේසි මොනවාදැයි තවම පැහැදිලි නැත. ඒ පිළිබඳ රජය සමඟ ඇති එකඟතා පාර්ලිමේන්තුවේ විපක්ෂය ඇතුළු සෙසු ස්වාධීන කණ්ඩායම්ද විමසූ අවස්ථාවේ රජයේ පිළිතුර වූයේ ඒ පිළිබඳ තොරතුරු දැන්ම ලබාදිය නොහැකි බවය. මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතා පිළිබඳ අවසන් තීරණයකට එළඹීමෙන් පසුව එය ලබාදිය හැකි බවද ප්‍රකාශ විය. දැනගන්නට ඇති පරිදි මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිබඳව කැබිනට් මණ්ඩලය පවා දැනුවත් කිරීමක් සිදුවී නැත.
එසේ වුවත් දිගට හරහට බදු ගැසීම්වලින් පෙනෙන්නේ ආණ්ඩුව මූල්‍ය අරමුදලේ ණය ආධාරය ලබා ගැනීමට ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම්ව සිටින බවය. රටේ පවතින බරපතළ ආර්ථික කඩා වැටීම ඇඟටම දැනෙන බැවින් පොදු මහජනතාවද මූල්‍ය අරමුදලේ ණය පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් තබා ඇති බවක්ද පෙනෙන්නට තිබේ. එහෙත් දිගින් දිගටම බදු වැඩිවීම සිදුවුවහොත් ආණ්ඩුව රටේ ජනතාවගෙන් බලාපොරොත්තු වන සහාය වෙනුවට ජනතාව ඒ පියවරවලට එරෙහිව යන්නත් ඉඩ තිබේ. විශේෂයෙන් රටේ ආර්ථිකයේ ලොකු මෙහෙයුම්කරුවන් පමණක් නොව මැති ඇමැතිවරුන්ද බලවත් පුද්ගලයන්ද නියමිත පරිදි බදු නොගෙවන බව ජනතාව තුළ හැඟීමක් තිබේ. මේ මෑතකදීත් බිලියන ගණනින් බදු හිඟ හිටවා තිබූ ප්‍රබල ව්‍යාපාරිකයකුට එරෙහිව යම් පියවර ගන්නා බව ප්‍රකාශ වුණත් ඔහු තවමත් හිඟ බදු මුදල් ගෙවා නැත.
වෙනත් බොහොමයක් රටවල නම් බදු නොගෙවන කිසිවකුටත් සමාවක් ලැබෙන්නේ නැත. නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙයි. නමුත් ලංකාවේ එහෙම වෙන්නේ නැත. මෙය එක් උදාහරණයක් පමණි. මෙවැනි උදාහරණ බොහොමයක් අපේ රටේ හැංගී තිබේ. තමන්ට බදු වැඩිවී බලවත් පුද්ගලයන් බදු නොගෙවා සිටින විට ජනතාව තුළ අසහනය උතුරා යාම වැළැක්විය නොහැක. බදු නොගෙවන තෝරුන් මෝරුන් ගැන විගණකාධිපති වාර්තාවලින් හෙළිදරව් කෙරුණත් ඒ ගැන කිසිම පියවරක් ගැනීමට බොහොමයක් ආණ්ඩු පැකිළෙන බව ප්‍රසිද්ධ රහසකි. මේ ආණ්ඩුවත් මෙතෙක් ගියේ ඒ පාරේමය. වෙනකක් තබා ගෝඨාභය ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අඩු කළ වැට් බදු හේතුවෙන් රටට අහිමි වී ගිය රුපියල් බිලියන 560ක පමණ ආදායම ආපසු ලබාගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන රටේ ජනතාව මතට බදු බර පටවන විට ඇතිවන්නේ බරපතළ පරස්පරයක් බව කිවයුතු නැත. එම පාඩුව ආපසු අයකර නොගැනීම නිසා මේ වනවිට එයින් සිදුව ඇති මුළු අලාභය ගණන් බැලිය නොහැකි තරමට ඉහළ ගොස් ඇතැයි පසුගියදා ආර්ථික විද්‍යා විශ්ලේෂකයන් කිහිපදෙනකුම පෙන්වා දී තිබිණි.
රට ගොඩගන්නා වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරනවිට ඔවුන්ට ඒ සඳහා ආරාධනා කරන විට එම සහාය ලබා ගැනීම සඳහා ආණ්ඩුව පැත්තෙන්ද කොළ එළි පත්තු විය යුතුය. ඒ අවශ්‍යතාව ජනාධිපතිවරයා තුළ තිබීම පමණක් ප්‍රමාණවත් නැත. ආණ්ඩුවේ සෙසු වැඩපිළිවෙළවලින්ද එකමුතුව වැඩ කිරීම සඳහා රුකුලක් ලැබීම අවශ්‍යය. නමුත් ඒ වෙනුවට පෙනෙන්න තිබෙන්නේ විපක්ෂය අවශ්‍ය නැති ගාණට දමා තිබෙන බවය. පාර්ලිමේන්තුව ඇතුළේ කෝප් කමිටුව පිහිටුවීමේදී එය පැහැදිලි විය.
කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්ෂය දිගටම ඉල්ලා සිටියේය. කතානායකවරයා ප්‍රකාශ කළේ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් නම් ලැබුණු පසු සාමාජිකයන් පත්කරන බවත් සභාපති ධුරයට කෙනකු පත්වන්නේ ඔවුන්ගේ ඡන්දයෙන් බවත්ය. නීතියට අනුව එය එසේ විය යුතුය. එහෙත් කමිටු සාමාජිකයන් බහුතරයක් පත්වෙන්නේ ආණ්ඩු පක්ෂයෙන් වීම නිසා සභාපති ධුරය විපක්ෂයට ලබා දුන්නොත් මිස ඡන්දයෙන් පත්වීමට හැකියාවක් නැත. කෝප් කමිටුව තුළදී සොයා බැලෙන්නේ ආණ්ඩුවේ ආයතනවල වැඩ ගැන නිසා ආණ්ඩු පක්ෂයේ සභාපතිවරයකු අතින් ඒ කාර්යය ඉටුවීම සැකසහිතය. මේ නිසා කෝප් කමිටු සභාපති ධුරය විපක්ෂයට ලබාදීම ඇතැම් අවස්ථාවලදී සිදුවිය. 2015 යහපාලන ආණ්ඩුව කාලයේදී එය එසේ විය.
කොහොම නමුත් කෝප් සභාපති ධුරයට පත්වූයේ මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මන්ත්‍රීවරයාය. ඔහුගේ සුදුසුකම් පිළිබඳ ගැටලුවක් නැත. එසේම ඔහු පත් කෙරුණේ අමෙරිකාවට ගොස් සිටින බැසිල්ගේ උවමනාවට බවට විපක්ෂයෙන් සහ ස්වාධීන වූ කණ්ඩායම්වලින් නැගෙන චෝදනාවලට උත්තරදීමට ආණ්ඩුවට පහසු නැත. ඒ හැර එම කමිටුවට පත්කරනු ලැබූ ඇතැම් සාමාජිකයන්ට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුළේම චෝදනා එල්ල වී තිබේ. මේ නිසා කෝප් කමිටුවෙන් අපේක්ෂා කරන මෙහෙය ඉටුවනු ඇති බවට සහතික කර කිව හැක්කේ ආණ්ඩුවටම පමණි. සෙසු සියලුදෙනා ඒ ගැන සැකපහළ කරනු ඇත. අඩුම තරමින් පසුගිය කාලයේ කෝප් කමිටු සභාපති ධුරය ඉසිලූ මහාචාර්ය චරිත හේරත් කමිටු සාමාජිකයකු වශයෙන්වත් නම්කර නැත. එය පැහැදිලිවම බරපතළ චෝදනා එල්ල වී ඇති පොහොට්ටුවේ බලවත් පුද්ගලයන් කිහිප දෙනකුගේ උවමනාවට සිදුවූ බවට කෙරෙන ප්‍රකාශවලට උත්තේජනයකි. මෙවැනි තීන්දු ගනිද්දී විපක්ෂයෙන් සහාය ලැබීමට තිබෙන අවස්ථාද අහිමි වීමට ඉඩ තිබේ.
සියලුදෙනාගේ සහයෝගය ඇතුව ගෙන යා හැකි පාලනයක් පිළිබඳ ජනතාව තුළ තිබූ පළමු බලාපොරොත්තුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකි වීමත් සමඟ බිඳ වැටුණේය. ඉන්පසුව ජාතික සභාව පිහිටුවා ගනු ලැබුවත් ඒ තුළද තවමත් ඒකමතික බවක් පෙනෙන්නට නැත. ''ජන සභා'' කුමන ආකාරයක් ගනීදැයි තවම කිව නොහැක.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොකෙරෙන දීගයක් බවට පත්වුණේද මේ පසුබිමේය. ආණ්ඩු පක්ෂයේ සහාය පවා ඊට නොලැබෙන බව තිරය පිටුපස කතා කෙරෙද්දී ජනාධිපතිවරයා විපක්ෂය ඒ ගැන දරණ අදහස කුමක්දැයි විමසා තිබිණි. දැනට තිබෙන තත්ත්වය අනුව අඩුම තරමින් ආණ්ඩු පක්ෂයේ සහායවත් නැත්නම් 22 සංශෝධනයක් ගැන සිතන්නවත් අවශ්‍ය නැත.
මේ පසුබිමේ පෙනෙන්න තිබෙන්නේ ජනාධිපතිවරයා විපක්ෂය ඇතුළු සෙසු කණ්ඩායම්වලට කොතරම් එක්ව වැඩකරමු කියා ආරාධනා කළත් ආණ්ඩුවේ සිටින පොහොට්ටුවේ බහුතරයක් දෙනා එයට හාත්පසින්ම වෙනස් ආකාරයකට කටයුතු කරන බවය. සර්ව පාක්ෂික ආණ්ඩුව බිඳ දැමුවේද මේ පිරිසේ බලපෑමෙනි. කෝප් කමිටුවටද අත්වුණේ එම ඉරණමය. ජාතික සභාව තුළත් මේ සෙල්ලමේ සෙවණැලි මතුවෙමින් තිබේ. කැබිනට් මණ්ඩලය පත්කර ගැනීමද දිනෙන් දිනම කල් යන්නේත් පොහොට්ටුව මස් රාත්තලම ඉල්ලා සිටීම හේතුවෙන් බව පෙනී යයි. පොහොට්ටුවේ නායකයන් වඩාත්ම ප්‍රමුඛත්වය ලබාදී තිබෙන්නේ අරගලයට සම්බන්ධ ක්‍රියාකාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බවත් පෙනෙන්නට තිබේ. රටේ පොදු මහජනතාව මුහුණ දී සිටින දැඩි ආර්ථික පීඩනයෙන් ඔවුන් ගලවා ගැනීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට ඔවුන්ගෙන් ලැබෙන්නේ අල්ප මාත්‍ර සහායක් බවද පැහැදිලිය.
රට ගොඩගන්න නම් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශ පමණක් ප්‍රමාණවත් නැත. පොහොට්ටුවද තමන්ගේ පරණ කෝන්තර අමතක කළ යුතුය.
I ශශීන්ද්‍ර