විදුලි බිලට යළිත් ''කරන්ට්'' වැදීමට නියමිත බව අපගේ ''දේශය'' ප්‍රධාන පුවතින් හෙළිදරව් කර තිබේ. දැනගන්නට ඇති පරිදි විදුලි බිල මෙසේ වැඩි කෙරෙනු ඇත්තේ 30% කිනි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති ණය මුදල ලබාගැනීමේ කොන්දේසියක් වශයෙන් මෙසේ විදුලි බිල ඉහළ යෑමට ඉඩ ඇතැයි ප්‍රකාශ වී තිබේ.
විදුලි බිල වැඩිවී යන්තම් මාස දෙකක් ඉක්මවීමටත් පෙර මෙසේ යළිත් එය වැඩි කෙරෙන බව දැනගන්නට ලැබීම සාමාන්‍ය ජනතාවගේ බඩ පපුව පත්තුවෙන වැඩකි. සුළු ව්‍යාපාරිකයන්ගේ හිසටම වදින පහරකි. ලොකු ව්‍යාපාරිකයන්ද හද්දා අමාරුවේ වැටෙන ඒ නිසාම එම ආයතනවල සේවක සේවිකාවන්ද බරපතළ අවදානමකට ඇද දැමිල්ලකි.
පසුගිය වතාවේ 70% කින් විදුලි බිල ඉහළ ගිය අවස්ථාවේදීද එය රටේ සාමාන්‍ය ජනතාව දරාගත්තේ දැඩි පීඩනයක් යටතේය. එවරද රටේ සුළු ව්‍යාපාර විශාල ප්‍රමාණයක් පවත්වාගෙන යාම දැඩි අසීරුවකට වැටිණි. ඇතැම් ඒවා වැසී ගියේ ඒවායේ සේවය කළ බොහෝ පිරිසකගේ ජීවනෝපාය අහිමි කරවමිනි. තවදුරටත් එම බර දරාගැනීමට පොදු මහජනතාවට හැකියාවක් නැත.
විදුලි බිල වැඩිවන විට බොහොමයක් භාණ්ඩවල නිෂ්පාදන වියදම ඉහළ නගී. එසේ ඉහළ යන වියදම අවසානයේ කඩාපාත් වන්නේ එම නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයාගේ සාක්කුවටය. එය මේ වතාවේ නම් නිසැකවම හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා කඩා වැටීමකි. ජනතාව දැඩි පීඩනයකට ඇද දැමීමකි.
ඉදිරියේදී විදුලි බිල වැඩිවීමට අමතරව තවත් බදු පැනවීම් ගණනාවක්ද හඳුන්වා දීමට නියමිත බවත් සඳහන්ය. ඒ හරහා ද ජනතාවගේ ජීවන වියදම ඉහළ යනු ඇති බව ඉතාම පැහැදිලිය. විදුලි බිල ඉහළ යාම ඍජු බදු අය කිරීමට සමානය. එම ඍජු බදු ඉහළ යන්නේ තවත් වක්‍ර බදු වශයෙන් ජනතාව අල ගෙඩියේ සිට සෑම භාණ්ඩයක් මිලදී ගැනීම දක්වා ගෙවන බදුත් සමඟය. එහෙම බදු ගෙවන ජනතාවගෙන් තවදුරටත් බදු ගැසීම වතුර සිඳුණු ළිඳකට බාල්දියක් දමා වතුර ගැනීමට තැත් කිරීමකට දෙවැනි නැත.
රටේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කළ විශේෂ ප්‍රකාශයේදී රටේ ආදායම වැඩි නොකර ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නොමැති බවද රට ගොඩනැගීමට නම් අකැමැත්තෙන් වුවද අසීරු තීන්දු ගැනීමට සිදුවන බව සඳහන් කර තිබිණි. ජාත්‍යන්තර අරමුදල පෙන්වා දී ඇත්තේ ඍජු බදු වැඩි කිරීමකින් තොරව රාජ්‍ය ආදායමේ අපේක්ෂිත ඉලක්කයට යා නොහැකි බැවින් සාමාන්‍ය ජනතාවටද මේ බදු ගෙවීමට සිදුවන බවය.
මෙය සත්‍යයකි. එහෙත් ගැටලුව තිබෙන්නේ බදු ගෙවීමෙන් දැනට හෙම්බත් වී සිටින සාමාන්‍ය ජනතාවට මේ බදු ගෙවීම සිදු කළ හැකිද යන්නය. සුළු ව්‍යාපාර හිමියාට තවදුරටත් ලයිට් බිල වැඩිවීම කෙසේවත් දරාගත නොහැක. මේ නිසා ඔහුට සිදුවන්නේ ව්‍යාපාර හකුළා දැමීමටය. විශාල ආයතනවලට ලයිට් බිල වැඩිවන විට ඒවායේ නිෂ්පාදන මිලදී ගැනීම ජනතාවට තවදුරටත් අසීරු වනු ඇත. ළමා මන්දපෝෂණය උග්‍රම රටවල් 10 අතරට වැටී සිටින අපේ රටේ දරුවන්ට තවදුරටත් මේ විදුලි බිල වැඩි කිරීම් වැනි බදු ගැසීම් හේතුවෙන් ඉහළ යන වියදම දරාගැනීමට හැකියාවක් නැත. එසේම ලක්ෂ 57ක ජනතාවක් හරිහැටි කෑමක් බීමක් නොලබන බවද යුනිසෙෆ් ආයතන වාර්තාවකින් පෙන්වා දී තිබිණි. එහෙම ජනතාව ළඟ විදුලි බිලට තවත් වැඩිපුර ගෙවීමට මුදලක් ඉතිරි වෙනවද? අවසානයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මේ සියලු කොන්දේසි සපුරා ණය ලැබෙන විට ව්‍යාපාර වැසී ගිය, ජනතාව කුසගින්නේ සිටින රටක් බවට ලංකාව පත්වී තිබීමටද ඉඩ තිබේ. මේ තත්ත්වය දෙස ආණ්ඩුව සානුකම්පිතව සලකා බැලිය යුතු බව සඳහන් කළ යුතුය.
මෙහිදී පැන නගින අනෙක් ගැටලුව මේ රටේ බදු ගෙවිය යුතු ඉහළ පෙළේ පුද්ගලයන් සහ ව්‍යාපාරිකයන් බොහෝ දෙනා බදු දැලෙන් රිංගා යාම පිළිබඳව කිසිදු සෙවීමක් බැලීමක් නැතිවීමය. එමෙන්ම 2019 නොවැම්බර් මාසයේදී මේ රටේ විශාල ලෙස අඩු කළ බදු මුදල හේතුවෙන් රටට අහිමි වී ගිය රුපියල් බිලියන 600කට අධික ආදායම යළි ලබාගැනීමට කිසිදු ක්‍රමවේදයක් හඳුන්වා දීමකින් තොරව මේ ආකාරයට ඍජු බදු වැඩිකර පොදු මහජනතාවගේ ගෙල සිර කිරීම බහුතර ජනතාවකගේ බලවත් විරෝධයට හේතු වී තිබේ. රජයේ ආදායම 8.5% දක්වා අඩු වූයේ මේ බදු අඩුකිරීම හේතුවෙන් බව ජනාධිපතිවරයා ද සිය කතාවේදී සඳහන් කර තිබිණි.
එසේම මේ රටේ බොහොමයක් දේශපාලනඥයන්ට එරෙහිව දූෂණ, බලය අයුතු ලෙස භාවිත කිරීම, විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම සහ කිසිදු වගවීමකින් තොරව කටයුතු කිරීම වැනි චෝදනා විශාල ප්‍රමාණයක් එල්ල වී තිබේ. එසේම මෑතකදී හෙළිදරව් වූ තිළිණි ප්‍රියමාලිගේ සමාගමේ කෝටි ගණනින් ඇතැම් මැති ඇමැතින් මුදල් තැන්පත් කර ඇති බවටද චෝදනා තිබේ. තවත් මැති ඇමැතිලා පසුගිය වසර කිහිපය තුළ විශාල ධනයක් සහ දේපළ හම්බ කරගෙන ඇති බවද කියති. මේ කිසිවකුත් පිළිබඳව සොයා බැලීමකින් තොරව එදාවේල සොයා ගැනීමට නොහැකිව අසරණ වී සිටින ජනතාවගේ බදු මේ ආකාරයට වැඩි කිරීම මහත් අසාධාරණයක් බව පෙන්වා දිය යුතුය.