රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ධුරයට පත්වීමෙන් පසුව අවස්ථා කිහිපයකදීම ජාතිය අමතා විශේෂ ප්‍රකාශ කිහිපයක්ම සිදු කළේය. එම සෑම ප්‍රකාශයකම අන්තර්ගතයෙන් වැඩිපුර ප්‍රමාණයක් වෙන්වුණේ ආර්ථික කාරණා සම්බන්ධයෙන් දැක්වූ අදහස්වලටය. දේශපාලන කාරණාවලට වෙන්වුණේ සුළු කොටසක් පමණි. පසුගිය බදාදා (19) සිදුකෙරුණු නවතම විශේෂ ප්‍රකාශයේ ප්‍රධාන තේමාව ද ආර්ථිකයට වෙන් විය. රට ගොඩනැගීමට අකැමැත්තෙන් වුවද අසීරු තීන්දු ගන්න සිදුවෙන බව එම කතාවේ ප්‍රධාන තේමාව විය.
මේ රටේ දේශපාලන නායකයන් සිදු කරන ප්‍රකාශ ගැන දැන් රටේ මහජනතාවගේ උනන්දුව සහ අවධානය පවතින්නේ බින්දුව මට්ටමේය. ඒ තත්ත්වයට වගකිවයුත්තේ ද දේශපාලන නායකයන්ම පමණි. ඔවුන් කවදාවත් කියන දේ නොකළ සහ කරන දේ නොකියූ පිරිසක් බවට ජනතාව තුළ මුල් බැසගත් අදහසක් තිබීම ඊට හේතුවය. එහෙම වුණත් රටේ ජනාධිපතිවරයා ආර්ථිකය ගැන කතා කරන විට අසීරු තීන්දු ගන්න වෙන බව කියන විට ඒ ගැන යන්තමින් හෝ උනන්දුවක් දැක්වීමට ජනතාව පෙළඹීම සාමාන්‍ය තත්ත්වයකි.
ජනාධිපතිවරයාගේ කතාවෙන් කියැවුණේ මේ රටේ ජනතාවට ඉදිරි කාලය තුළදී බරපතළ ආර්ථික පීඩනයකට මුහුණ දීමට සිදුවන බවය. ඒ සඳහා බොහෝ හේතු කාරණා ජනාධිපතිවරයා ඉදිරිපත් කළත් රට මේ තත්ත්වයට ඇද දැමූ පුද්ගලයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවට එහි කිසිම සඳහනක් නොවීම කැපී පෙනෙයි. එහි සඳහන් කරුණු කෙටියෙන් සඳහන් කළොත් ඒවා මෙසේ පෙළගැස්විය හැකිය.
• ණය ප්‍රතිව්‍යුහගත කර නිවැරදි ආර්ථික කළමනාකරණයක් ඇතිකර ගැනීමට රජය සූදානම්.
• රටේ ආදායම වැඩි නොකර ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නෑ.
• 2015 මුල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙහි පැමිණි අවස්ථාවේ ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් අවශ්‍ය බව දැනුම් දුන්නා. අපි 2017 – 2018 වර්ෂවල ඒ අතිරික්ත ලබා දුන්නා.
• 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් එය අඩු වුණත් අතිරික්තය නිසා ප්‍රශ්නයක් වුණේ නෑ. දළ දේශීය නිෂ්පාදනය 17%ක් 18%ක් දක්වා වැඩිකර ගන්න අපේ එකඟත්වයක් තිබුණා.
• 2019 දී මේ රටේ විශාල ලෙස බදු අඩු කළා. මේ නිසා රජයේ ආදායම 8.5%කට අඩු වුණා. අපට රුපියල් බිලියන 600ක් 700ක් පමණ ඒ වසරේ අහිමි වුණා. ජාත්‍යන්තර අරමුදල ඒ ගිවිසුම්වලින් ඈත්වෙලා ආධාර දීමට නොහැකි බව ප්‍රකාශ කළා. ඒ සමඟ කොවිඩ් වංසගතයටත් මුහුණ දීමට සිදු වුණා. ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුව වුණේ මේ තත්ත්වයයි.
• ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපට දැන් දැනුම් දී තිබෙනවා ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් තිබිය යුතු බව. ඔවුන්ගේ සහාය අවශ්‍ය නිසා අප එයට එකඟ වුණා. දළ දේශීය නිෂ්පාදනය වැඩිකර ගැනීමටත් එකඟ වුණා.
• පසුගිය වසර දෙකේ මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 2300ක්. මේ නිසා උද්ධමනය 70%ක් 75%ක් දක්වා ඉහළ ගියා. ආහාර උද්ධමනය ඊටත් වඩා වැඩි වී තිබෙනවා.
• මේවා පාලනය කිරීමටත් ආදායම වැඩිකර ගැනීමටත් ජාත්‍යන්තර අරමුදල සමඟ සාකච්ඡාවේදී අලුත් බදු ක්‍රමයක් ඉදිරිපත් වුණා.
• ඍජු බදුවලින් 20%කට වඩා ලැබිය යුතු බවත් සාමාන්‍ය ජනතාවටත් බදු ගෙවීමට සිදුවන බවත් දැනුම් දුන්නා. අවසානයේ ලක්ෂයකට වැඩි ආදායමක් ලබන පිරිසගෙනුත් ආදායම් බදු අයකිරීමට සිදු වුණා.
• මෙවන් පසුබිමක් තුළ මෙම බදු ක්‍රමය අනුගමනය නොකළහොත් ඉලක්කය කරා ළඟාවිය නොහැකියි. අප එකඟ වුණේ 2026 වනවිට දළ දේශීය නිෂ්පාදනයෙන් 14%ක 15%ක ආදායමක් ලබාගැනීමයි. මේ වැඩපිළිවෙළින් අපි ඉවත් වුණොත් ජාත්‍යන්තර අරමුදලේ ආධාර අපට ලැබෙන්නේ නෑ. අරමුදලේ සහතිකය නැත්නම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ වෙනත් රටවලින් අපට සහාය ලැබෙන්නේ නෑ.
• අප ඉතා අසීරු කාලයකට මුහුණ දී සිටිනවා. මේ කාලය තුළ අසීරු තීරණ ගන්න වෙනවා. මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම්.
මේ කතාවේ බැලූ බැල්මට පෙනෙන්නේ රට මේ තත්ත්වයට ඇදවැටීමේ පාපය ගෙවිය යුත්තේ පොදු මහජනතාව විසින් බවය. රටේ ආර්ථිකය මේ තරමට කඩා වැට්ටුවේ පොදු ජනතාව නිසා ඔවුන් බදු ගෙවීම හරහා එහි වන්දිය ගෙවිය යුතු බවට වන ඉඟියක් මේ කතාවේ ගැබ් වී තිබේ. එය යථාර්ථයෙන් බෙහෙවින් ඈත කාරණයක් බව රටේ ජනතාව දැන සිටිති. ඍජු බදු, වක්‍ර බදු ආකාරයට බදු ගෙවමින් රජයට ජනතාව වැඩිකර දුන් ආදායමෙන් කොටසක් අවසානයේ නැවතුණේ දූෂිත, වංචනික දේශපාලකයන්ගේ සහ ඔවුන් සමඟ එක්වී විවිධ ජාවාරම්කාර ගනුදෙනු සිදු කළ හෙංචයියන්ගේ මෙරට සහ පිටරට බැංකු ගිණුම්වලය. මේ මුදලින් යම් ප්‍රමාණයක් මෑතකදී අත්අඩංගුවට පත් තිළිණි ප්‍රියමාලිගේ බැංකු ගිණුම්වලටද බැර වී තිබෙන බවට ද තොරතුරු හෙළිවෙමින් තිබේ. එම කෝටි ගණන් මුදලට කිසිදාක බදු ගෙවා නැති බවට සහතිකයක් දීම අවශ්‍ය නැත.
මේ රටට විදේශ විනිමය සමඟ ආදායම් උපදවා දෙන තොරතුරු තාක්ෂණ සේවයේ දහස් ගණනක් වන රැකියාලාභීන්ටද ඍජු බදු ඔස්සේ වදින පහර හේතුවෙන් සිදුවිය හැකි අනතුර එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් පෙන්වා දී තිබුණි. ඔවුන්ටද බදු ගසන යෝජනා ගෙන ආවත් මේ රටේ බදු ගෙවීම පැහැර හැර සිටින තෝරුන් මෝරුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ජනාධිපතිවරයා තම විශේෂ ප්‍රකාශයෙන් යෝජනා කර නොතිබීම බරපතළ අඩුපාඩුවකි. රට බංකොළොත් කළේ මේ රටේ පොදු මහජනතාව හෝ රටට ආදායම් උපදවා දෙන විවිධ ක්ෂේත්‍රවල රැකියාලාභීන් හෝ නොවේ. දැන් සිදුවෙන්නේ මේ රටේ ආර්ථිකය බංකොළොත් කළ ජාවාරම්කාරයන් නිදැල්ලේ සිටියදී දැනටත් බදු බරෙන් මිරිකී සිටින විවිධ ආකාරයට බදු ගෙවන සාමාන්‍ය ජනතාවට දඬුවම් කිරීමක් බව පෙනෙන්නට තිබේ. අප එසේ බදු එකතු නොකළොත් මුල්‍ය අරමුදලේ ආධාර අතහැරිය යුතු බවට ද ජනාධිපතිවරයා සඳහන් කර තිබීමෙන් එය පැහැදිලි වේ.
මේ ආකාරයට බදු ගැසීමට ගියොත් එය මේ රට විශාල අර්බුදයක් ඇතිකිරීමක් වනු ඇති බව නිසැකය. දැනටම මේ පිළිබඳ විපක්ෂය දැඩි ලෙස විරෝධය පෑම අරඹා තිබේ. බදු වැඩි කිරීමට නියමිත ආකාරයට සලකා බලන විට විපක්ෂයේ විරෝධයට රටේ පොදු මහජනතාව එක්වන බවට කතා දෙකක් නැත. එය ඉතා බරපතළ උද්ඝෝෂණයක් වීමට ඉඩ තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේදී කැපීපෙනෙන තවත් කාරණයක් නම් මේ රටේ මුල්බැසගෙන තිබෙන දූෂණ සහ වංචා නැති කිරීමට නිශ්චිත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවට මුල්‍ය අරමුදල මේ සාකච්ඡා ආරම්භයේ සිටම කළ යෝජනාව පිළිබඳ කිසිදු සඳහනක් කිරීමෙන් වැළකීමය. එය ජනාධිපතිවරයා අමතක කළත් රටේ ජනතාවට නම් කවදාවත් අමතක වන්නේ නැත. උසුලාගත නොහැකි ලෙස තමන්ගේ කර මතට බදු බර වැටෙන විට රට බංකොළොත් කළ ජාවාරම්කාර දූෂිත දේශපාලනඥයන් සහ හෙංචයියන් කිසිදු දඬුවමක් නොලබා සියලු සැප විඳිමින් නිදැල්ලේ සිටීම ඔවුන්ගේ බලවත් විරෝධයට හේතුවන බව ජනාධිපතිවරයාට අමතක වී නම් ඒ බව මතක් කර දීම ඔහුගේ ආර්ථික උපදේශකයන්ගේ වගකීම විය යුතුව තිබිණි. ඒ වගකීම ඉටු වී නැත.
අනෙක් කාරණය වන්නේ ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේ සඳහන් කර තිබෙන 2019 දී සිදු වූ බිලියන 560ක පමණ බදු කපා දැමීමය. එයින් රට ලැබූ පාඩුව මේ වනවිට බිලියන දෙදහසකට ආසන්න විය හැකි බව ඇතැම් ආර්ථික විශ්ලේෂකයන්ගේ පිළිගැනීමය. මෙම කපා දැමූ බදු ආපසු අයකර ගැනීමේ කිසිදු යෝජනාවක් නොකර ජනතාවගේ ඍජු බදු වැඩි කිරීමට යෝජනා කිරීම මහත් අසාධාරණයක් ලෙසට ජනතාව කල්පනා කරනු ඇත. අඩුම තරමින් ඒ ගැන කිසියම් හෝ සඳහනක් කර තිබුණා නම් ජනතාවට බලාපොරොත්තුවක් හෝ ඇතිකර ගැනීමට ඉඩ තිබිණි.
මෙතැනදී පෙනී යන තවත් කාරණයක් නම් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සජබ ද 2019 දී බදු කපා දැමීමෙන් සිදු වූ හානිය පිළිබඳ කැපීපෙනෙන විරෝධයක් පළ නොකිරීමය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණවලදී එම බදු ලොතරුයිය ඇදුණු මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සහාය බලාපොරොත්තුවෙන් එවැනි පියවරකට ඔවුන් අනුගත වී ඉන්නවා දැයි කියන්නත් බැරිය. එහෙත් එම බදු යළි අයකර ගැනීමට සහතිකයක් නොදීම බදු බරින් මිරිකෙන ජනතාවගේ විරෝධය සජබට එරෙහිව එල්ල වීමටද හේතු වනු ඇත.
රටේ ආර්ථිකය දිනෙන් දින වළපල්ලට යද්දී ණය ප්‍රතිව්‍යුහගතකරණයට නොගොස් ඩොලර් බැඳුම්කර ගෙවා දමා රටේ සංචිතය දිය කිරීමට අනුබල දුන් එසේම රටේ ආර්ථික විශ්ලේෂකයන්ගේ උපදෙස්වලට කන් නොදී බිලියන ගණනින් සල්ලි අච්චු ගැසීමට තීරණ ගත්, සහ මුල්‍ය අරමුදලට යාම අවශ්‍ය නැති බවට රජයට බල කළ සියලු දේශපාලකයන් සහ නිලධාරීන්ද ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ වැරදිකරුවන් හැටියට නම් කර නැති වීමද විශාල අඩුවකි.
මහජන මුදල් මෙසේ නැති නාස්ති කළ දේශපාලකයන්ගෙන් සහ නිලධාරීන්ගෙන් එම අලාභ ආපසු අයකර ගැනීමට කෝප් සහ කෝෆා (රාජ්‍ය මුදල් කාරක සභාව) ට බලතල ලබා දිය යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මගින් පසුගියදා ඉදිරිපත් කර තිබූ බවද සඳහන්ය. අඩුම තරමින් ඒ ගැන සඳහනක් හෝ විශේෂ ප්‍රකාශයේ අඩංගු වී නම් එය වැදගත් විය හැකිව තිබිණි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම බදු යෝජනා ද ඇතුළත් මීළඟ අයවැය සම්මත කර ගැනීම මහා අර්බුදයක් බවට පත්විය හැකි බව මේ අනුව පැහැදිලිය. 22 සංශෝධනය සම්මත කිරීමට වෙට්ටු දැමූ පොහොට්ටුව ජනතාව පීඩනයට පත් කරන අයවැයක් සම්මත කිරීමට සහාය දක්වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක. දූෂණ සහ වංචා චෝදනා එල්ල වූ මැති ඇමැති පිරිසකගේ සහයෝගය ඇතිව රට පාලනය කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දූෂණ සහ වංචා ගැන කතා කිරීමකින් තොරව මුල්‍ය අරමුදලේ ගනුදෙනුව ඉවර කරගත හැකිද යන්න නම් බරපතළ ප්‍රශ්නයක් වනු ඇත.
I ශශීන්ද්‍ර