පසුගිය මාස කිහිපය තිස්සේම රටේ බඩු මිල, සේවා ගාස්තු නොකඩවා ඉහළ ගියේය. දැනට කාලයකට පෙර රුපියල් 10කින් 20කින් තෙල් මිල ඉහළ ගිය විට, ගෑස් මිල රුපියල් දෙතුන් සියයකින් නැග්ග විට ආණ්ඩුවට බැණ වැදීමට ජනතාවට වචන හොයා ගන්නත් අමාරු විය. ඒ තරම් ඇණුම් බැණුම් වැඩි විය. එහෙම තිබූ අපේ රටේ පසුගිය මාස කිහිපයේ තෙල් මිල ඉහළ ගියේ රුපියල් සිය ගණනිනි. ගෑස් මිල රුපියල් දහස් ගණනකිනි. සෙසු අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ මිල ද ඒ සමඟ නැග්ගේ රොකට් වේගයෙනි. ඒ වැඩිවීමේ තරම කොතරම් වී දැයි කිව්වොත් ජනතාවට කළ හැකි වූයේ ඇස් ඇරගෙන බලා සිටීම පමණි.
රටේ ආර්ථිකය බරපතළ කඩා වැටීමකට ලක්වී ඇති බව ජනතාවට දැනුණේ මේ අසාමාන්‍ය මිල නැගීමත් සමඟිනි. ඒ සමඟ තෙල් - ගෑස් ඇතුළු භාණ්ඩ වෙළෙඳපොළේ හිඟ විය. විදුලි කප්පාදුවද උග්‍ර විය. ජනතාව පාරට බැසීමද ඒ සමඟ ආරම්භ වී ආණ්ඩුව ද වෙනස් විය. එසේ වෙනස් වුවද බඩු මිල ඉහළ නැගීම අවසන් නොවීය. රටේ උද්ධමනය 70% ඉක්මවන විට ආහාර උද්ධමනය 95% දක්වා වැඩි විය.
මේ දැඩි අපහසුකම් මැද වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී ගනු ලැබූ ඇතැම් තීන්දු තීරණ සහ මහ බැංකුවේ තද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආර්ථික අර්බුදය මැද වුවද ඉහළ නැග්ග ඇතැම් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල යම් පමණකට දැන් පහත බැස තිබේ. තෙල් මිල රුපියල් 80කින් සහ ගෑස් මිල රුපියල් දහසකින් පමණ පහළ බැස්සේය. ඒ සමඟ ඇතැම් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන්ද තරමක් අඩු විය. එසේ අඩු වූ අත්‍යාවශ්‍ය ආහාර අතර පාන් පිටි, සීනි, පරිප්පු, කුකුළු මස්, මාළු පමණක් නොව ඇතැම් සහල් වර්ග මිල ගණන්ද විය.
එය එසේ වුවද මේ මිල ගණන්වලට සාපේක්ෂව ජනතාව පරිභෝජනය කරන ආහාරවල මිල අඩු නොවීම කැපී පෙනෙයි. එපමණක් නොව ත්‍රිරෝද රථ වැනි සේවා ගාස්තුද අඩු කළේ නැත. පෞද්ගලික බස් ගාස්තුද එක් වරක් අඩු කළත් ඊළඟට අඩු කෙරුණේ නැත. ත්‍රිරෝද රථ සංගම් කියන්නේ තමන්ගේ සෙසු වියදම් අධික වීම නිසා ගාස්තු අඩු කළ නොහැකි බවය. පාන් ඇතුළු බේකරි කෑම මිල ගණන්ද අඩු නොකරන බව බේකරි හිමියෝ කියති. හෝටල් සහ රෙස්ටුරන්ට්වල ආහාර මිලද අඩු වී නැත. තේ කෝප්පය, කොත්තුව වැනි ආහාරවල මිල අඩු කරන බව ප්‍රකාශ වුණත් ඉහළ ගිය තරමට එම අඩු කිරීම ප්‍රමාණවත් නැත.
වැඩි වූ මිල ගණන් අඩුවන විට ජනතාවට ඒවායින් සහනයක් නොලැබෙන්නේ නම් එතැන ඇත්තේ අසාධාරණයකි. මාධ්‍ය හරහා මිල ගණන් අඩු වූ භාණ්ඩ පිළිබඳ විස්තර කතා කළත් වෙළෙඳපොළට ගිය විට එවැනි අඩු මිල ගණන් දකින්නට නැත. එළවළු, මාළු, කුකුළු මස් මිල ගණන් තරමක් පහළ බැස්සත් හෝටල්වල කෑම පාර්සලයේ මිල බොහෝ ස්ථානවල තවමත් පෙර පරිදිමය. කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් හාරසියයකින් පමණ අඩු වූ බව නිෂ්පාදකයන් ප්‍රකාශ කර තිබේ. එහෙත් හෝටල්වල කුකුළු මස් සහිත කෑම එකක මිල තවමත් වැඩි වූ තැනින් පහළ බැස නැත. මාළු කෑම සම්බන්ධයෙන් තත්ත්වයද එසේමය.
හෝටල් ඇතුළු ආහාරපාන සැපයුම්කරුවන් මිල ගණන් පහත හෙලීමට අදිමදි කරන්නේ ගෑස් මිලද සෑහෙන ප්‍රමාණයකින් අඩු වී තිබියදී වීම විශේෂයකි. ගෑස් වැඩිවන විට ආප්පයක ඉඳිආප්පයක මිල ඉහළට විද්ද නමුත් ගෑස් සහ පිටි දෙවර්ගයේම මිල ගණන් බැස තිබියදී ඒවායේ මිල අඩු නොවීමෙන් පාරිභෝගික ජනතාවට සිදුවී තිබෙන්නේ බලවත් අසාධාරණයකි. එම අසාධාරණය වැළැක්වීමට බලධාරීන් මැදිහත් විය යුතුය.
ආර්ථික අර්බුදය හේතුවෙන් අමාරුවේ වැටී සිටින්නේ ව්‍යාපාරිකයන් සහ සේවාදායකයන් පමණක් නොවේ. වඩාත්ම අමාරුවට පත්වී සිටින්නේ පාරිභෝගිකයාය. පාරිභෝගිකයාට සිදුවන අසාධාරණය ගැන කතා කිරීමට කිසිවකුත් නැත. සංවිධානයක් හෝ දෙකක් කතා කළද ඒවායෙන් ප්‍රතිඵලයක් ලැබූ බවක් පෙනෙන්නට නැත.
මේ රටේ පමණක් නොව කුමන රටක වුවද පාරිභෝගිකයාට දැරිය හැකි ප්‍රමාණය ඉක්මවා මිල ගණන් ඉහළ යන විට සිදුවන්නේ එම භාණ්ඩ මිලදී ගැනීම ඇන හිටීමය. පසුගිය කාලයේ අප රටේද එය පෙනෙන්නට තිබිණි. මේ නිසා ඇතැම් සමාගම්වලට තම භාණ්ඩ මිල තරමක් පහළ දැමීමට සිදුවිය. තමන්ගේ භාණ්ඩ දිගටම මිලදී ගන්නැයි ඉල්ලීමක් කිරීමට පවා ඇතැම් සමාගම් පියවර ගත්තේය. පාරිභෝගිකයාට සාධාරණයක් ඉටුවන අන්දමින් මිල ගණන් හැකි පමණ පහළ නොදැමීම මගින් ඇතැම් ආයතන කර ගන්නේ තමන්ටම හානියකි. අප මෙසේ සඳහන් කරන්නේ ඉහළ ගිය පාන් පිටි, ගෑස් වැනි භාණ්ඩ මිල පහත වැටී තිබියදීත් පාන් ගෙඩියේ, ආප්පයේ, ඉඳිආප්පයේ පවා මිල පහත දැමීමට ක්‍රියා නොකරන ව්‍යාපාරිකයන් සහ ආහාරපාන සැපයුම්කරුවන් පිළිබඳ සැලකිල්ලට ගැනීමෙනි.
පාරිභෝගිකයාට ව්‍යාපාරිකයන් අවශ්‍ය සේම ව්‍යාපාරිකයාටද පාරිභෝගිකයා අවශ්‍ය බව අමතක නොකළ යුතුය. පාරිභෝගිකයන් භාණ්ඩ සහ සේවා ලබාගැනීම අවම කළහොත් ව්‍යාපාරවලට පැවැත්මක් නැතිවනු ඇත.