මේ දවස්වල පාර්ලිමේන්තුවේ ඉන්න හැම දේශපාලන පක්ෂයක්ම ඉන්නේ ඇඟිලි ගනිමිනි. ආණ්ඩුවේ පැවැත්ම තීරණය වෙන අයවැය ඡන්දයේදී කළ යුතු දේ කුමක්ද ගැන තවම මේ අය අතර තිබෙන්නේ දැඩි අවිනිශ්චිත බවකි. ආණ්ඩු පක්ෂය කෑලි කිහිපයකට කැඩී වෙන්වී සිටීම මේ අවිනිශ්චිත බවේ අපිකේන්ද්‍රයයි. ආණ්ඩුව එකට ඉන්නවා නම් ඇතුළේ මොන ගැටලු තිබුණත් අයවැයට ඡන්දය නොදී ඉන්න මන්ත්‍රීවරුන් නැත. සාමාන්‍යයෙන් සිදුවෙන්නේ විපක්ෂයේ මන්ත්‍රීන් කිහිප දෙනකු ආණ්ඩුවත් එක්ක ඡන්දය භාවිත කර ආණ්ඩුව ශක්තිමත් කිරීමය. එහෙම ඡන්දය දෙන මන්ත්‍රී ඊළඟට ඇමැතිවරයෙකි. නැතහොත් රාජ්‍ය ඇමැතිවරයෙකි.
මේ පාර මේ සියල්ල පවතින්නේ උඩු යටිකුරු වෙලාය. අයවැය ඉදිරිපත් කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයාද වෙයි. එහෙත් ඔහුට ඍජුව සහාය දක්වන ශක්තිමත් අමාත්‍ය මණ්ඩලයක් නැත. ඔහුට එකතු වන බවට තිරය පිටුපස විශාල කතිකාවක් නිර්මාණය කළ රාජිතත් අවසානයේ නිහඬ වූ බවක් පෙනෙන්නට තිබේ. නමුත් අවසානයේ ඡන්දය විමසන අවස්ථාව වනවිට රාජිත පමණක් නොව තවත් කිහිප දෙනකු වුවද ආණ්ඩුවට එකතු වී ඡන්දෙත් ලබා දී ඇමැති පට්ටම්ලාභීන් බවට පත්වෙන්නත් බැරි නැත. ලංකාවේ දේශපාලනයේ හැටි එහෙමය.
එසේ වුවත් අයවැයේ යෝජනා සම්බන්ධයෙන් පොහොට්ටුව ඇතුළේද ප්‍රබල ඒකමතික බවක් පෙනෙන්නට නැත. අයවැයේ සියල්ල හොඳ නැති වුවත් එහි ධනාත්මක යෝජනා ද පවතින බවත් රට මුහුණ දී සිටින බරපතළ ගැටලු විසඳීමට එයින් කිසියම් පිටුබලයක් ලැබෙනු ඇති බවටත් පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් කියයි. අයවැය සම්මත කිරීමට පොහොට්ටුවේ සහාය ලබා දෙන බවට ඔහු ප්‍රකාශ කර තිබිණි. එහෙත් පොහොට්ටුවේ හැමදෙනාම ඊට එකඟ නැත. සාගරගේ මතය එලෙසම පිළිගන්නා කී දෙනකු පොහොට්ටුව ඇතුළේ ඉන්නවාද යන්න සොයා ගැනීමට තවම වේලාසන වැඩිය.
පොහොට්ටුවේ බහුතරයක් දෙනා තමන්ගේ මතය නොපැකිලිව ප්‍රකාශ කිරීමට පසුබට වීමට ප්‍රධාන හේතුවක් තිබේ. ඒ කැබිනට් අමාත්‍ය ධුර පිළිබඳ තමන්ගේ ඉල්ලීම් තවමත් ඉටු නොවීමය. ඒ ගැන ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සංවාද අවසන් වූයේ ස්ථිර තීන්දුවක් නැතුවය. ඊට ප්‍රධාන හේතුව පොහොට්ටුවේ ඇමැති ලිස්ට් එකේ කිහිප දෙනකුට ජනාධිපතිගේ අනුමැතිය හිමි නොවීම බව පැහැදිලිය. ඒ ගැන පොහොට්ටුව අමනාපයෙන් සිටියත් ජනාධිපතිවරයාගේ පැත්තෙන්ද ඊට බලපාන දේශපාලන කාරණා කිහිපයක්ම තිබේ.
රටේ අභ්‍යන්තරයේ පවතින දැඩි පීඩාකාරී තත්ත්වය හේතුවෙන් ජනතාව සිටින්නේ දැඩි ආතතියකින් බව ජනාධිපතිවරයා නොදැන සිටීමට හේතුවක් නැත. එවැනි තත්ත්වයකදී ජනතාවගේ දැඩි ආවේගාත්මක විවේචනයකට ලක්වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍ය ධුර ලබාදීම රට ඇතුළේ පවතින නොසන්සුන් බව තවදුරටත් වර්ධනය කරන බව පැහැදිලිය. පීඩනයට පත්ව සිටින පොදු මහජනතාවට කිසිදු සහනයක් නැති, ප්‍රතිපත්තිමය වෙනසක් හරහා රටේ ආර්ථිකය වර්ධනය ගැනීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා ජනතාව අතරේ ජනප්‍රිය මාතෘකාවක් නොවන බව ජනාධිපතිවරයාද පිළිගෙන තිබුණි. එවැනි තත්ත්වයකදී දොළපිදේනියක් ලබා දෙන ආකාරයට අමාත්‍ය පදවි ලබාදීම ජනතාව තවදුරටත් කලකිරවීමට හේතු වනු ඇත.
එවැනි තත්ත්වයක් තිබුණත් අයවැය කෙසේ හෝ ඉහළ බහුතරයකින් සම්මත කර ගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවට සැකයක් නැත. මෙහිදී අයවැය සම්මත කිරීමට තමන්ගේ සහාය අවශ්‍ය නම් අමාත්‍ය ධුර යෝජනාවට ස්ථිර පිළිතුරක් ලබා දිය යුතු බවට පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම දැඩි ලෙස කොන්දේසියක් පැනවීමට පවා ඉඩ තිබේ. ඉරිදා (20) යළි ශ්‍රී ලංකාවට එන බැසිල්ගේ බලපෑමත් සමඟ තමන්ගේ ඉල්ලීම් ඉටුවනු ඇති බවට පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම තුළ ලොකු බලාපොරොත්තුවක් ඇතිවීමත් වැළැක්විය නොහැක. එහෙම තත්ත්වයක් තුළ ඉල්ලන ඇමැතිකම් ටික පොහොට්ටුවට දීලා අයවැය ගොඩ දාගන්න රනිල් වික්‍රමසිංහ මහතා තීන්දුවක් ගනියිද?
එහෙම නම් හිතන්න අමාරුය. 21 සංශෝධනය ගොඩ දාගැනීමට යන අවස්ථාවේදීත් පොහොට්ටුවේ කොන්දේසිය වුණේ තමන්ගේ ඉල්ලීම් ඉටු නොවන්නේ නම් සංශෝධනයට සහාය නොදෙන බවය. අන්තිමේදී පොහොට්ටුවේ කුඩා පිරිසක් හැර අනෙක් සියලු දෙනා ජනාධිපතිවරයාගේ ඉලක්කය ජය ගැනීමට ඡන්දය ලබා දී තිබුණි. ඒ ප්‍රතිඵලය පොහොට්ටුවට අදහන්නත් බැරිවෙන්නට ඇත. මේ දේශපාලනය තුළ සිදුවන වංගු ගැසීම් හරිහැටි හසුරුවා ගැනීමට සමත් දේශපාලන නායකයන් අතුරින් රනිල්ට හිමිවන්නේ ඉහළම ස්ථානයක් බව ඒ අවස්ථාවේදීත් පැහැදිලි විය. එහෙම දෙයක් මේ පාරත් වෙන්න බැරිද?
එහෙම වෙන්නත් ඉඩ තිබේ. අයවැය ඡන්දය විමසන අවස්ථාව වනවිට ආණ්ඩුවෙන් කැඩී ගොස් ස්වාධීනව සිටින පක්ෂ සහ කණ්ඩායම් සියලු දෙනා ආණ්ඩුවට සහාය දක්වන ස්ථාවරයක සිටියොත් එහෙම ප්‍රතිඵලයක් ලැබිය හැකිය. නමුත් පරහකට තිබෙන්නේ 21 සංශෝධන අවස්ථාවේදී ප්‍රධාන විපක්ෂය වූ සජබත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වුවමනාව වූ 21 සම්මත කර ගැනීම වෙනුවෙන් පෙනී සිටීමය. නමුත් මෙවර එහෙම සහායක් ලබා දෙන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට සිදු වුණේ ආණ්ඩුවෙන් කැඩී ස්වාධීන වූ අනුර යාපා පාර්ශ්වයේ මන්ත්‍රීන් 06 දෙනා පාර්ලිමේන්තුවේ කටයුතුවලදී එකඟතාවයකින් කටයුතු කළ හැකි අවස්ථා සම්බන්ධයෙන් විපක්ෂය සමඟ සාකච්ඡා පැවැත්වීමය. එය අයවැය ඡන්ද විමසීමේදී තීරණාත්මක සාධකයක් වීමට හොඳටම ඉඩ තිබේ. එම එකඟත්වය තුළ අමාත්‍ය ධුර ඩීල් එකක් නැත. අනුර යාපා මන්ත්‍රීවරයා &දේශය* පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් කියා තිබුණේ මේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයකු වනවාට වඩා ගෙදර යාම හොඳ බවය. (එම සම්මුඛ සාකච්ඡාව වෙනම පළවෙයි.) එය පොහොට්ටුවේ ස්ථාවරයට වඩා සම්පූර්ණයෙන් පරස්පරය. ඇමැති පදවි නැත්නම් තමන්ගේ සහාය අයවැයට නොලැබෙනු ඇති බවට පොහොට්ටුව රතු එළි දල්වන විට අනුර යාපාලා කියන්නේ තමන්ට කොහොමවත් මේ තත්ත්වය යටතේ අමාත්‍ය පදවි එපා කියලාය. විපක්ෂ නායක සජිත් ද පාර්ලිමේන්තුවේදී පසුගිය බ්‍රහස්පතින්දා (17) කියා තිබුණේ ඇමැති පැටව් ගැස්සවීම වෙනුවෙන් වැය කරන මුදල් ජනතාවට ඖෂධ වර්ග සහන මිලට ලබා දීමට වැය කරන්න කියාය.
එහෙම තත්ත්වයකදී මේ සියලු කතා අමතක කර පොහොට්ටුවට ඇමැතිකම් ටික දීලා අයවැය ගොඩ දාගන්න එක ජනාධිපතිවරයාගේ පැත්තෙන් ලොකු අවදානමක් ගැනීමකි. ඒ බව පැහැදිලි කර ගැනීමට පසුගිය 13 වැනිදා ඉරිදා කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවැති 33 වැනි ඉල්මහ විරු සමරුව අමතා ජවිපෙ නායක අනුර කුමාර කළ කතාව විමසා බැලිය යුතුය.
&එදා හයෙන් පහක පාර්ලිමේන්තු බලයකුත් ව්‍යවස්ථාවෙන් ඒකාධිපති බලයකුත් තියාගෙන ජනතා හඬ මර්දනය කළ, මැතිවරණ කල් දැමූ ජේ.ආර්. කොටියෙක් නම් ජනතා බලයක් නැති ව්‍යවස්ථා ගැටයකින් පමණක් බලයේ ඉන්න රනිල් කියන්නේ පූස් පැටියෙක්. කොටින්ට බය නොවුණු ජනතා විමුක්ති පෙරමුණ බය කරලා පස්සට තල්ලු කරලා ජනතා අයිතින් කප්පාදු කරන්න පූස් පැටියකුට පුළුවන්ද? අපි පූස් පැටියකුට බය වෙනවද?
ජේ.ආර්. තමන්ගේ බලය පවත්වාගෙන යන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනැත් අපේ රටේ ජනතාව දහස් ගණනක් රුඳවුම් මධ්‍යස්ථානවල ගාල් කර තැබුවා. අද එයාගෙ බෑනා රනිලුත් ඒ පනතම උපයෝගී කරගෙන විශ්විද්‍යාල ශිෂ්‍ය නායකයන් දෙදෙනෙක් රඳවාගෙන ඉන්නවා. එදා ජේ.ආර්. ජයවර්ධන ඡන්ද කල් දාලා ජනතා අයිතිය කොල්ලකෑවා. අදත් බෑනා රනිල් ඒකම කරන්න කැස කවමින් ඉන්නවා. පළාත් පාලන මැතිවරණය කල් දාන්න කටයුතු කරමින් ඉන්නවා. එදා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා උතුරේත් දකුණේත් යුද්ධයක් නිර්මාණය කළා. එදා වගේම අදත් අපි සූදානම් මර්දනයට එරෙහිව සටන් කරන්න.*
ජවිපෙ මෙහෙම කියමින් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරන විට පොහොට්ටුව සැනසීමට ඇමැතිකම් දෙන එක ජනාධිපතිවරයා කරයිද කියන එක නම් සැක සහිතය. එහෙම ඇමැතිකම් නොලැබී ගියොත් පොහොට්ටුවට ගන්න පුළුවන් පියවරත් සීමිතය. කිසියම් හෝ හේතුවකින් ආණ්ඩුවට නියම ඡන්ද සංඛ්‍යාව නොලැබුණොත් වැටෙන්නේ ජනාධිපති නොවේ. ආණ්ඩුවය. ආණ්ඩුව අයිති පොහොට්ටුවටය.
එහෙම වුණොත් ඊළඟට සිදුවිය හැක්කේ පොහොට්ටුව දැඩි බියකින් සිටින පුංචි ඡන්දය ඉක්මන් වීමය. ඒ වගේම ජනාධිපති ධුරයේ වසර දෙකහමාර ඉක්ම යන ලබන වසරේ අප්‍රේල් මාසයට පසුව මහ මැතිවරණයකට යාමටද ජනාධිපතිවරයාට බලය ලැබේ. මේ දෙකින්ම සිදුවන්නේ ජනාධිපතිවරයාගේ බලය එසේම තිබියදී පොහොට්ටුවේ බලය අභියෝගයට ලක්වීමය. එයට පොහොට්ටුව කැමැති වනු ඇතැයි හිතන්න අමාරුය. මේ නිසා ඇමැතිකම් කොන්දේසි නොදමා අයවැය දිනවීමට පොහොට්ටුවේ සහාය ලැබීමටත් ඉඩ තිබේ.
මර්දනයට ඡන්ද කල් දැමීමට එරෙහිව ජවිපෙ අභියෝගයත් අයවැයේදී එල්ල වන විපක්ෂයේ අභියෝගයත් මැද ජය ගනු ඇත්තේ ජනාධිපතිගේ ඉලක්කයද පොහොට්ටුවේ උවමනාවද? ඒක නම් කියන්න අමාරුය.
I ශශීන්ද්‍ර