රටේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ගවල කිසිදු හිඟයක් නැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා ප්‍රකාශ කර තිබිණි. රජයේ රෝහල් ඇතුළුව රට පුරා අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් පවතින බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් ප්‍රශ්න නැගූ අවස්ථාවේ අමාත්‍යවරයා එම පිළිතුර ලබා දුන් බව සඳහන්ය. රජයේ රෝහල් නිසි පරිදි නඩත්තු නොකිරීම සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරුන් මෙහිදී කරුණු මතු කර තිබිණි.
තමන් කෙසේ කීවත් රටේ ජනතාව ඒවා අසා සිටින්නේ හොඳ සිහිබුද්ධියෙන් බව සෞඛ්‍ය අමාත්‍යවරයා තේරුම්ගෙන සිටින්නේදැයි අපි නොදනිමු. එහෙත් අඩු තරමින් රටේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග හිඟයකින් තොරව තිබෙනවාද නැද්ද යන්න පිළිබඳව හොඳින්ම දන්නේ මේ රටේ මැති ඇමැතිවරුන් නොව පොදු මහජනතාව බව හෝ අමාත්‍යවරයා දැන සිටිය යුතුය.
රට තුළ ඖෂධ හිඟයක් පවතින විට එය කෙසේවත් මැති ඇමැතිවරුන්ට අදාළ වන්නේ නැත. ඔවුන් මොන රෝගයක් වැළඳුණත් කුමන සැත්කමකට භාජනය වුවත් ඒවා කෙරෙන්නේ රට ඇතුළේ රෝහල්වලට වඩා වෙනත් රටවල රෝහල්වල බව මේ රටේ කුඩා දරුවෝ වුවද දැන සිටිති. සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් ඇතුළු අති සුඛෝපභෝගී, එසේම කිසිදු ඖෂධයකින් හෝ වෛද්‍ය උපකරණවලින් හෝ අඩුපාඩුවක් නැති ඉහළ පෙළේ රෝහල් පමණක් නොව ඔස්ට්‍රේලියාව, එංගලන්තය වැනි රටවලින් පවා ප්‍රතිකාර ගැනීමට මේ රටේ මැති ඇමැතින්ට වරම් තිබේ. එසේ නැතිනම් මේ රට තුළ වුවද ඉහළම පෙළේ පෞද්ගලික රෝහල්වලින්ද ඔවුන්ට ප්‍රතිකාර ලබාගත හැක. ඒවායේද ඖෂධ හෝ උපකරණ හිඟයක් ගැන වාර්තා වන්නේ නැත.
එහෙත් රටේ පොදු මහජනතාව යා යුත්තේ රජයේ රෝහල්වලටය. ඒවායේ ඖෂධ හිඟයක් පවතීද නැද්ද යන්න සොයා ගැනීමට අමාත්‍යවරයාට අවශ්‍යම නම් කළ යුත්තේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව රජයේ ප්‍රධාන රෝහලකට උදෑසනින්ම ගොස් එහි බෙහෙත් නිකුත් කරන කවුන්ටරයක් අසල රුඳී සිටීමය. ඒ සමඟ රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් අසලට ගොස් ඔවුන්ට නියම කර තිබෙන ඖෂධ ලැබෙන්නේ කෙසේදැයි විමසා බැලීමය. රට තුළ ඖෂධ හිඟයක් නැති බවට නිවේදන නිකුත් කිරීම තරම් එය සරල සහ පහසු නොවන බව අපි දනිමු. නමුත් රටේ පවතින ඖෂධ හිඟය සම්බන්ධ නිවැරදි චිත්‍රය හරිහැටි හඳුනා ගැනීමට ඊට වඩා සුදුසු වෙනත් ක්‍රියාමාර්ගයක් නැත. රටේ ඖෂධ හිඟය කොතරම් බරපතළ තත්ත්වයක පවතින්නේද යන්න එවිට හොඳින් වටහාගත හැකිවනු ඇත. මෙවැනි යෝජනාවක් අප විසින් කරන්නේ කිසිදු ඖෂධ හිඟයක් නැති බවට මිස එවැනි හිඟයක් පවතින බවට කිසිදු නිලධාරියකු අමාත්‍යවරයාට නොකියන බව අප දන්නා බැවිනි.
මේ සම්බන්ධයෙන් අපූරු කතාවක් පසුගිය දිනක අපට අසන්නට ලැබිණි. අපගේ හිතවතකුගේ ඥාතියකුට නිවෙසේදී සිදු වූ අනතුරකින් හිසට බරපතළ තුවාලයක් සිදුවිය. කොළඹට ආසන්නව පිහිටි රජයේ රෝහලකට ඔහු ගෙන යනු ලැබීය. තුවාලකරු පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා තිබුණේ මෙම තුවාලය මැහුම් දැමිය යුතු එකක් වුවද ඊට අවශ්‍ය උපකරණ රෝහලේ නැති බැවින් ඒවා පිටතින් රුගෙන ආ යුතු බවය. ඒ සඳහා වැය වන මුදල රුපියල් දෙදහස් ගණනක් බව ඇසූ තුවාලකරු අතේ මුදල් නැති නිසා රෝහලේ තිබූ යම් ඖෂධයක් ගල්වාගෙන ආපසු නිවෙස කරා ගොස් තිබුණේ එකී වියදම දැරීමට හැකියාවක් නොතිබීම හේතුවෙනි. මෙය එක් සිදුවීමක් පමණි. එහෙත් එය එක් හුදෙකලා සිදුවීමක් නොව බොහොමයක් රෝහල්වල තත්ත්වය එය බවත් කිව යුතුය. වෛද්‍ය සායනවලදී වෛද්‍යවරුන් විසින් ලියා දෙන ඇතැම් බෙහෙත් වර්ග දැන් බොහෝ දුරට කවුන්ටරයෙන් නිකුත් කෙරෙන්නේ නැත. ඇතැම් ඖෂධ පිටතින් මිලදී ගැනීමටද නැත. මෙය ඉතා නරක තත්ත්වයකි. එසේ තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යවරයා රට තුළ ඖෂධ හිඟයක් නැතැයි ප්‍රකාශ නිකුත් කරන විට හැකියාවක් තිබෙන ඕනෑම අයකුට මේ රට අතහැර යන්නට හිතෙන එක ගැන පුදුම විය යුතුද?
සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය ගැන පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 636න් 185ක් දැනට රටේ නොමැති බවය. සේලයින් පවා තිබෙන්නේ ඉදිරි මාසයක කාලයකට පමණක් බවද තමන් මේ දත්ත ලබාගත්තේ වෛද්‍ය සැපයුම් අංශයෙන් බවද ඔහු සඳහන් කර තිබිණි. රජයේ රෝහල්වල උග්‍ර ඖෂධ හිඟයක් පවතින බව මේ සංඛ්‍යාලේඛනවලින්ද පැහැදිලි වෙයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීම වන්නේ පවතින තත්ත්වය නිවැරදිව තේරුම්ගෙන ඖෂධ හිඟය නැති කිරීමට වහාම පියවර ගැනීමය. ආහාර සහ ඖෂධ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා අතර ඉහළින් තිබේ. ඒවා ලබාදීම පැහැර හැරීමට ඒවා සැපයීමේ වගකීමෙන් මිදීමට කිසිදු අමාත්‍යවරයකුට හැකියාවක් නැත. රටේ කොතරම් මුදල් අහේනියක් තිබුණත් අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වා ගැනීමට එය බාධාවක් කර නොගත යුතුය. ආණ්ඩුවක් තිබෙන්නේ ආහාර, ඖෂධ සපයා දීමට මිස හිඟයක් නැති බවට ප්‍රකාශ නිකුත් කිරීමට නොවේ.
ඖෂධවල අවශ්‍යතාව හොඳින්ම දැනෙන්නේ රෝගියකුටම පමණි. ඊළඟට එය දැනෙන්නේ රෝගියාගේ සමීපතම ඥාතීන්ටය. වෙන කුමන අවශ්‍යතාවක් කල් දැම්මත් අත්‍යාවශ්‍ය ඖෂධ අවශ්‍ය රෝගියාට ඖෂධ ලබාගැනීම කල් දැමීමට හැකියාවක් නැත. එම ඖෂධය නැත්නම් රෝගියාට ඉතිරි වන්නේ මරණය වැළඳ ගැනීම පමණි. ඖෂධ හිඟයේ යථාර්ථය එයයි.