2022 දෙසැම්බර් 04 වන ඉරිදා

ඇමැති වැටුප නොගන්නා රාජ්‍ය ඇමැතිලාගේ තෙල් ගැහිල්ල

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 139

රාජ්‍ය ඇමැතිධුර 38ක් ලබාදීම පසුගිය කාලයේ රටේ ලොකු කථිකාවකට හේතු විය. එම අමාත්‍ය ධුර ලබාදීමෙන් අතිරේක බරක් ආර්ථිකයට ඇතිවන බවට විපක්ෂය චෝදනා කළේය. එම චෝදනාවලට පිළිතුරු වශයෙන් ආණ්ඩුව කිව්වේ එම රාජ්‍ය ඇමැතිවරුන්ට ඇමැති වැටුප නොලැබෙන බවය. රාජ්‍ය අමාත්‍යවරුන්ද ප්‍රකාශ කළේ තමන් ගන්නේ මන්ත්‍රී වැටුප පමණක් බවය. වෙනත් කිසිදු වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවන බවත් තමන්ට අවශ්‍ය රටට සේවය කිරීමට බවත් ඔවුන්ගේ ප්‍රකාශවල සඳහන් විය.

කෙසේ වුවද මන්ත්‍රී වැටුප, රාජ්‍ය ඇමැති වැටුප සහ ඔවුන් ලබන අතිරේක වරදාන ගැන ජාතික ජනබලවේගයේ ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් පසුගියදා අපූරු විග්‍රහයක් කළේය. මොනරාගල පැවැති පක්ෂයේ බල මණ්ඩල රුස්වීමේදී ඔහු කළ කතාවේදී රාජ්‍ය ඇමැතින් වෙනුවෙන් රටේ මහජනතාව දරණ වියදම ඔහු ගණන් හදා පෙන්නුවේය. එම රුස්වීමට විශාල ජනතාවක් සහභාගි වී සිටියහ.

''ඊයේ පෙරේදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ඇමැතිවරුන් තිස් අටක් පත් කළා. පත්කරපු ගමන් රාජ්‍ය ඇමැතිවරුන් කිව්වේ අපි ඔය ඇමැති පඩිය ගන්නේ නෑ. මන්ත්‍රී පඩිය විතරයි ගන්නේ කියලයි. තමුන්නාන්සේලා කාගේවත් ආදායම වැඩිවුණේ නෑ. වියදම වැඩිවුණා. තෙල් මිල වැඩිවුණා. බස් ගාස්තු වැඩි වුණා. පාසල් පොත්පත් පෑන් පැන්සල් මිල වැඩිවුණා. ආදායම් වැඩිවුණේ නෑ. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආදායම් වැඩිවුණා. ජූනි මාසය වෙනකම් වැටුප තෙල් ලීටරය රුපියල් එකසිය දාහතට ගලපලා ගණන් හදලා. ජූලි මාසයේ ඉඳන් තෙල් ලීටරය නැග්ගා හාරසිය තිහට. පඩියත් නැග්ගුවා ඊට ගැලපෙන අනුපාතයෙන්.

ජූනි මාසෙ වෙනකම් මගේ පඩිය රුපියල් දෙලක්ෂ හැත්තෑ තුන්දාහයි. ඒකත් ලොකු එකක්. ජූලි මාසේ ඉඳන් මගේ පඩිය පේ ෂීට් එකේ රුපියල් තුන්ලක්ෂ අසූහයදාහයි. ජාතික ජනබලවේගයේ අපි තුන්දෙනා වැඩිවෙච්ච පඩිය ගත්තේ නෑ. අපි කිව්වා අපි තුන්දෙනා බාරගන්නෙ නෑ කියලා. ලිඛිතව කතානායකතුමාට දැනුම් දීලා බාරගත්තෙ නෑ. හැබැයි මන්ත්‍රීවරුන්ට පඩිය වැඩි කළා. රාජ්‍ය ඇමැතින්ට පඩිය වැඩිවෙන්නේ ඊට වඩා රුපියල් පහළොස්දාහකින්. ඒ කියන්නේ හාරලක්ෂ එක්දාහයි. මන්ත්‍රී පඩිය තුන්ලක්ෂ අසූහයදාහයි. රාජ්‍ය ඇමැති පඩිය හාරලක්ෂ එක්දාහයි.

ඉතින් කියනවා ඇමැති පඩිය එපා කියලා. පහළොස්දාහ ගානේ ඒක නැතිවුණාට කමක් නෑ ගණන් හදලා බලන්න ලක්ෂ හතර ගානේ දෙසිය විසිපහට පඩි ගෙවන්න මාසෙකට වියදම විතරක් රුපියල් කෝටි 100ක්.

ඒ පත්වෙච්ච ඇමැතිවරු ඇමැති පඩිය ගත්තෙ නැති වුණාට වාහන ටික ගන්නවා. එක ඇමැතිට වාහන තුනයි. ලේකම්වරු හතරට වාහන හතරයි. ලේකම් කියන්නෙ නෝනයි පුතයි මස්සිනයි බෑණයි. ඒකත් පවුලෙනෙ. ඇමැතිගේ එක වාහනේට තෙල් ලීටර් පන්සීයයි. වාහන තුනට ලීටර් එක්දාස් පන්සීයයි. පෞද්ගලික ලේකම්ට මාසෙට ලීටර් දෙසීය හතළිස් පහයි. අනෙක් ලේකම්වරු තුන්දෙනාට එක්කෙනාට ලීටර් දෙසීය විසිපහ ගානෙ ලීටර් හයසිය හැත්තෑපහයි. මේ ලේකම්වරු හතරදෙනාටම මාසෙකට ලීටර් නමසිය විස්සයි. එකතු කළාම මාසෙට ලීටර් දෙදාස් හාරසිය විස්සයි.

අපේ ගමේ වලස්මුල්ල ටවුමෙ ත්‍රීවීල් පදින සුනිල් මල්ලිට මාසෙටම හයර් දුවන්න බෙහෙත් ගන්න ගමන් බිමන් යන්න මාසෙටම හම්බ වෙන්නෙ ලීටර් 20යි. ඇමැතියට දෙදාස් හාරසිය විස්සයි. සාධාරණද? ඇයි පාන් රාත්තල රුපියල් එකසිය හැත්තෑපහ? ඇයි සන්ලයිට් කැටේ රුපියල් එකසිය හැත්තෑව? වී කිලෝ එකක් විකුණාගන්න පුළුවන්ද ඒ ගාණට. අපේ ගොවි මහත්තුරු මාස ගණන් කඹුරල අව්වට පිච්චිලා මඩ නාගෙන වී ටික ගෙදර ගෙනාවම මඩ හෝදගන්න සන්ලයිට් කෑල්ල රුපියල් එකසිය හැත්තෑවයි වී කිලෝ එකට හම්බවෙන්නෙ රුපියල් එකසිය දහයයි, පහළොවයි. අර ඇමැතිවරුන් තිස් අට දෙනාගෙ තෙල් වියදම බලන්න. තිස් අටෙන් වැඩි කරන්න ඒක. දෙදාස් හාරසිය විස්ස වැඩිකරන්න තිස් අටෙන්. ඒක වැඩිකරන්න දොළහෙන්. ඒක වැඩි කරන්න ලීටරේ මිල හාරසිය තිහෙන්. අවුරුද්දකට මේ පත්වෙච්ච අලුත් ඇමැතිවරුන් තිස් අට දෙනාට තෙල් ගහන්න විතරක් රුපියල් හතළිස් නව කෝටි හැටනව ලක්ෂයක්. ඉතිං බඩු මිල ගණන්. පොඩි එකාගෙ එක්සයිස් පොත ගණන්!

ගුරුවරියන්ට කෙවිටෙන් දඬුවම්!

ගුරුවරියන් සාරිය වෙනුවට වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමේ උණුසුම තවම පහ වී නැත. මේ උණුසුම් විවාදයේ දෙපාර්ශ්වයම දැඩිව අදහස් පළකරනු දැකිය හැකි විය.

පසුගිය 21 වැනිදා ආරම්භ වූ මේ සාරි විරෝධය දින කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක විය. වයඹ පළාතේ මිශ්‍ර පාසලක ආදි සිසුන් කණ්ඩායමක් ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් අදාළ විදුහලේ විදුහල්පති හමු වී තම විරෝධය ප්‍රකාශ කර තිබිණි. මෙකී ''ආදි ශිෂ්‍ය සංගමය'' (ආදි ශිෂ්‍යාවන්ගෙන් තොර) එම හමුව සම්බන්ධ ඡායාරෑප හා වීඩියෝ ෆේස්බුක් පිටුවේ සටහන් කරමින් ගුරුවරියන්ගේ ක්‍රියාවට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීමද ආරම්භ කර තිබිණි. ඔවුන් ගුරුවරියන්ගේ ක්‍රියාව හඳුන්වා දී තිබුණේ ''ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විනාශ කිරීමක්'' වශයෙනි.

මෙම කණ්ඩායමේ නායකයා පිළිබඳ සොයාබැලූ පිරිසකට දැනගන්නට ලැබී තිබුණේ ඔහු ප්‍රාදේශීය සභාවක සභාපතිවරයකු බවය. ඔහු තම වීඩියෝවෙන් විදුහල්පතිවරයාට තර්ජනාත්මකව පවසා තිබුණේ තමන්ගේ ඉල්ලීමට කන් නොදෙන ගුරුවරියන්ට වෙනත් ක්‍රම හරහා පාඩමක් ඉගැන්වීමට සිදුවනු ඇතැයි කියාය. ''අයිතිකරුගේ අණට කන් නොදෙන මී හරකුන්ට ඊළඟට සිදුවෙන්නේ අයිතිකරුගේ කෙවිටෙන් පහර කෑමටයි. අපේ ඉල්ලීමට කන් නොදෙන ගුරුවරියන්ට එරෙහිවත් මී හරක් අයිතිකරු ගන්නා ක්‍රියාමාර්ගයම ගැනීමට සිදුවනු ඇති බව'' ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.

ෆේස්බුක් පිටුවේ එම සඳහන වැඩි දෙනකුගේ විරෝධයට ලක්විය. පිරිමින් කිහිපදෙනකු විසින් කාන්තවන්ට තර්ජනය කිරීමක් වශයෙන් බොහෝ දෙනා විසින් එම කතාව හඳුන්වා දී තිබේ. දැන් ෆේස්බුක් පිටුවේ එම ප්‍රකාශයට විරෝධය පාන පෝස්ටු උතුරා යන බව සඳහන්ය.

කේක් කෑවේ කාලෙකට පස්සේ

ජනාධිපති කාර්යාලය ඇතුළු සියලු අමාත්‍යංශවල සංග්‍රහ වියදම් කපාහැර ඇත්තේ පවතින ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙනි. ඉකුත් සතියේ කැබිනට් රුස්වීමෙන් පසුව තෝරාගත් නිලධාරීන් පිරිසක් වෙනම රුස්වීමකට කැඳවනු ලැබ සිටියහ. අමාත්‍යංශ නිලධාරීන් කිහිප දෙනකුගෙන්ද සමන්විත වූ එම පිරිසට එදින කේක්වලින් සංග්‍රහ කරනු ලැබීය.

මේ රැස්වීමට පැමිණ සිටි අග්‍රාමාත්‍ය කාර්යාල නිලධාරියකු එහිදී ප්‍රකාශ කළේ ''අපිට බොහොම කාලෙකට පස්සෙයි මෙහෙම කේක් කෑල්ලක් කන්න ලැබුණේ'' කියාය. එදිනට යෙදී තිබූ ජනාධිපති කාර්යාල නිලධාරියකුගේ උපන්දිනය හේතුවෙන් ඔහුගේ වියදමින් එම කේක් සංග්‍රහය සිදුවූ බව ඔවුන් දැනගත්තේ පසුවය.

පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ජනාධිපති කාර්යාලයට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා මේ වනවිට අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. එයට අනුව පැයක කාලයක් ගතකරන අමුත්තකුට ප්ලේන් ටී එකකින්ද පැය දෙකක් සිටින අයකුට කිරි තේ එකකින්ද සංග්‍රහ කෙරේ. පැය තුනකට අධික කාලයක් ගත වන්නේ නම්  එකම කෙටිකෑමක් සමඟ කිරි තේ පිරිනැමෙයි.

මෙය කලින් පැවැති තරුපහේ හෝටල්වලින් සිදුකළ සංග්‍රහ ක්‍රමවේදයට හාත්පසින්ම වෙනස්ය. ඒ කාලයේ සංග්‍රහ බිල්පත් තවම ගෙවමින් සිටින බවද සඳහන්ය.

I සන්ඩේ ටයිම්ස්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00