2022 දෙසැම්බර් 04 වන ඉරිදා

බැසිල්-ෆීලික්ස් සහ පොලිටික්ස්

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 187

අරගලයේ කලබල මැද්දේ දවසක බැසිල් හදිසියේම වගේ අමෙරිකාවට යාමට පාන්දර යාමේ කටුනායක ගුවන් තොටුපළට ගියේය. අවශ්‍ය ලියැකියවිලි ඔක්කොම තිබුණත් ඔහුට සේවය ලබා දීමට ගුවන්තොටේ ඒ වෙලාවේ සිටි නිලධාරීන් ක්‍රියා කළේ නැත. විශේෂ අමුත්තන්ගේ ග්‍රීන් චැනල් එකෙන් අමෙරිකාවට යන්න ගිය බැසිල්ට සිදු වුණේ නිලධාරීන්ගේ විරෝධය මැද ආපසු හැරීමටය.

ඊට මාස කිහිපයකට පෙර රටේ ඉතාම බලවත් දේශපාලන චරිතය වූ බැසිල් කවදාවත් එහෙම තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇතැයි සිතන්න නැත. ඔහු ඒ වෙලාවේ රටේ ජනාධිපති නොවුණත් හිටපු ජනාධිපති ගෝඨාභය බලයට ගෙන එන ගේම ගැහැව්වේ බැසිල් බව රහසක් නොවීය. ඊට පස්සේ පාර්ලිමේන්තු මහ මැතිවරණය තියා තුනෙන් දෙකේ ආණ්ඩුවක් පිහිටුවීමේ ගේම් එකද බැසිල්ගේ බව නොදන්නා කවුරුත් නැත. තුනේ දෙකට අඩු වූ ආසන කිහිපය අවශ්‍ය වෙලාවේදී වැඩිපුරත් එක්ක පොහොට්ටුවට ලැබුණි. ඒකෙන් එකක් සජබ හදන්න පක්ෂය දුන් ඩයනා ගමගේ වීම කාටත් පුදුමයක් විය. හැබැයි බැසිල්ගෙ හැටි දන්නා අයට නම් ඒත් පුදුමයක් වුණේ නැත. බැසිල් දේශපාලන පිටියේ හොඳම වැඩකාරයෙක් බව එතනදිත් ඔප්පු විය.

හැබැයි බැසිල් අමාරුවේ වැටුණේ මුදල් ඇමැතිකම බාරගැනීමෙන් පස්සේය. මුදල් ඇමැතිකම කරන්න ගිහින් තමාත් අමාරුවේ වැටී පක්ෂයත් ආණ්ඩුවත් දෙකම අහිමි කරගත් දේශපාලනඥයෝ තවත් මේ රටේ සිටියහ. එයින් එක් අයෙක් වුණේ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායකය.

'70 පිහිටුවූ සිරිමාවෝගේ ආණ්ඩුවේ ෆීලික්ස්ගේ භූමිකාව තරමක් දුරට බැසිල්ගේ අද භූමිකාවට සමානය. ෆීලික්ස් ඩඩ්ලිගේ 65 – 70 හත් හවුලේ ආණ්ඩුවට අන්ත පරාජයක් අත්කර දෙමින් සිරිමාවෝගේ සමගි පෙරමුණ රජයට තුනෙන් දෙකේ ආණ්ඩුවක් පිහිටුවීමේ ප්‍රධාන නියමුවෙක් විය. ඔහු තිරය පිටුපස සිටිමින් ඩඩ්ලිගේ ආණ්ඩුවට එරෙහිව සාර්ථක ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට උර දුන්නේය. ජනතාව ඒ කතා පිළිගත්තේය. අත දිගහැර ඡන්දය දුන්නේ සිරිමාවෝගේ ආණ්ඩුවටය. ඒ ආණ්ඩුවේ ෆීලික්ස් ප්‍රධානම ඇමැතිවරයෙක් විය. 

කල් ගතවන විටදී ආණ්ඩුව ඇතුළේ ඇන්.ඇම්. - කොල්වින් ඇතුළු සමසමාජ - කොමියුනිස්ට් පක්ෂ නෙරපා හැරීමේ සටනක් දියත් කරන තරමට ෆීලික්ස් බලවත් විය. ඇන්.ඇම්. ආණ්ඩුවෙන් එළියට විසිවූ විට මුදල් ඇමැතිකමත් ලැබුණේ ෆීලික්ස්ටමය. ඒ වනවිට ඔහු අමාත්‍යාංශ ගණනාවක අමාත්‍යවරයෙක් විය. ඒ කාලයේ ඇතැමුන් කිව්වේ සිරිමාවෝ අගමැතිනිය වුණාට රට පාලනය කළේ ෆීලික්ස් කියාය. ගාමිණී ෆොන්සේකා ප්‍රධාන චරිතය රඟපෑ ''සාගරයක් මැද'' චිත්‍රපටය බිහිවුණේ ෆීලික්ස්ගේ දේශපාලන චරිතය මූලික කර ගනිමින් බවට ඒ කාලේ කතාවක්ද තිබුණි. එහි ප්‍රධාන චරිතයට පණ දුන් ගාමිණී ෆොන්සේකා පැළඳ සිටි කණ්ණාඩි දෙක, කෝට් එක, ටයි එක පමණක් නොව දුම් පයිප්පය පරිහරණය කළ ආකාරය පුරා ෆීලික්ස්ගේ චර්යාවන් මතු වී පෙනුණේය.

එහෙම බලවත් චරිතයක් වුණත් ෆීලික්ස් සිරිමාවෝගේ ආණ්ඩුව ජනතාව අතර තදින් පිරිහීමට එක ප්‍රධාන හේතුවක් විය. ජනතාවට සිරිමාවෝටත් වඩා ෆීලික්ස් පෙන්නන්නට බැරිව ගියේය. ඔහුගේ මුදල් ඇමැතිගේ රුස් වළල්ල බලා සිටියදී කඩා වැටුණේය. '77 ඡන්දයෙන් මුදල් ඇමැති ෆීලික්ස් පමණක් නොව සෙසු ඇමැතිවරුන්ද පෙරළාගෙන ආණ්ඩුව ආසන 08ට බැස්සේය. ෆීලික්ස් දොම්පේ ආසනයෙන් පවා පරාජය විය.

ඒ එක මුදල් ඇමැතිවරයකුට සිද්ධ වුණු දෙයක් පමණි. ඇන්.ඇම්.ටත් ආපසු කවදාවත් රටේ අමාත්‍ය ධුරයකට හිමිකම් කියන්න බැරි විය.

ජේ.ආර්.ගෙ ආණ්ඩුවේ මුදල් ඇමැති වූ රොනී ද මෙල් නම් වසර 11ක් අඛණ්ඩව රටේ මුදල් අමාත්‍ය ධුරය දැරුවේය. හැබැයි ඒ වසර 11 අවසන් වනවිට රටේ දෙකොණම ගිනි ඇවිලෙමින් තිබුණි. දකුණේ ජවිපෙ ත්‍රස්තවාදයත් උතුරේ කොටි ත්‍රස්තවාදයත් නිසා ඇතිවූ එම තත්ත්වය යටතේ තම 11 වැනි අයවැය ඉදිරිපත් කරමින් රොනී කිව්වේ දැන් මුළු රටම තිබෙන්නේ ගිනි කන්දක් උඩ කියාය. එහෙම කියා රොනී මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

බැසිල්ට දේශපාලනයේ මේ අතීත කතා හොඳින් මතක ඇතිවාට සැකයක් නැත. හැබැයි ඒ මුදල් ඇමැතිවරුන් කිසිවකුත් බැසිල් තරම් අඩු කාලයකින් අමාත්‍ය ධුරයෙන් අස්වුණේ නැත. 2005 පිහිටුවූ මහින්දගේ ආණ්ඩුව 2015 පරාජය වනතුරු ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දැරුවත් බැසිල් මුදල් ඇමැති නොවීය. මුදල් ඇමැති වුණේ ජනාධිපති මහින්දමය.

ගෝඨාභයගේ ආණ්ඩුවේ බැසිල් මුලින් පාර්ලිමේන්තුවට ආවේ නැත. ඔහු ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබාගෙන පසුව මුදල් ඇමැති ධුරය භාරගන්නා විටත් රටේ ආර්ථිකයේ සොහොන් ලකුණු පහළ වෙමින් තිබුණේය. ඒ කාලයේ හිටපු ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන්ද විපක්ෂයේ ඇතැම් ආර්ථිකය ගැන කතා කරන මන්ත්‍රීවරුන්ද මේ ලකුණු පෙන්වා දෙමින් එහි අනතුරුදායක බව ප්‍රකාශ කළත් එවකට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඒ බව වටහා නොගැනීම ගෝඨාභයගේ ආණ්ඩුවටත් රටටත් මහත් අවාසනාවක් ගෙන දුන්නේය. එයින් වැඩියෙන්ම බැට කෑමට සිදු වුණේ බැසිල්ටය. අමාරුම වෙලාවක මුදල් ඇමැතිකම අරගත් බැසිල්ට මාස කිහිපයකදී එය අතහැර යාමට සිදුවිය. ඒ වෙනකොට රටේ ආර්ථික ප්‍රශ්න ඔඩු දුවමින් තිබුණි.

ෆීලික්ස් මුදල් ඇමැතිකම අරගෙන ටික කාලයකදී තත්ත්වයත් එසේම විය. එක වෙනසක් තිබුණේ ඇන්.ඇම්.ගේ කාලයේ පටන්ම රටේ ආර්ථික අහේනිය ටිකෙන් ටික ඇතිවෙමින් තිබීමය. ඇන්.ඇම්. සතුව හොඳ සැලසුම්ගත ආර්ථික යෝජනා තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීම අපහසු විය. ඇතැම් ඒවා සාර්ථක නොවීය. ජනතාවට වැටුණු හාල් පොලු - මිරිස් පොලු වැනි තහංචි නිසා ඒ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ජනතාවට තිත්ත විය. ෆීලික්ස් යටතේ ඒ තහංචි තදින්ම ක්‍රියාත්මක විය. තම දරුවන්ට දීමට හාල් සේරුවක් මල්ලක දාගෙන බස් එකෙන් යද්දී අසුවූ ඇතැම් මවුවරුන් නැවතුණේ පොලිස් කූඩුවේය. ෆීලික්ස්ටත් ඒ දේවල් වෙනස් කළ නොහැකි විය.

බැසිල් මුදල් ඇමැතිකම දරද්දී යම් යම් වෙනස්කම් කිරීමට උත්සාහ කළත් ඒ වනවිට බොහෝ ප්‍රමාද වී තිබිණි. ඔහු ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දරද්දී සිදු කළ දියත් කළ ඇතැම් සංවර්ධන ක්‍රියා හොඳ ප්‍රතිඵල ලබා දුන්නත් ඒ සමඟ බැඳුණු ජාතික ධනය සූරාකන කතා හේතුවෙන් ඒවායේ අගයද විශේෂයෙන් මහින්දගේ දෙවැනි ධුර කාලයේදී පහළ ගියේය. ඒ කාලයේ සිදු කළ බොහොමයක් ව්‍යාපෘති ඇසුරින් ජාවාරම්කරුවන් බොහෝ පිරිසක් බිහිවූ බවටද කතා පැතිරුණේය. වර්ග අඩිය රුපියල් 30කින් නිම කළ හැකි ඇතැම් ඉදිකිරීම් නිමවන විට වර්ග අඩිය රුපියල් 3000ක් තරම් ප්‍රසාරණය වූ අවස්ථාද තිබූ බවත් සඳහන් වූ අවස්ථා බොහෝය. 2015 දී ආණ්ඩුව පරාජය වීමට බැසිල්ද ප්‍රධාන හේතුවක් වූ බව ශ්‍රීලනිපය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනකුගේ මතය විය. බැසිල් රහසේම වගේ කටුනායක ගුවන් තොටුපළ හරහා අමෙරිකාවට පළමු වතාවට ගියේ එම පරාජය සමඟිනි. ආපසු පැමිණි වහාම විවිධ චෝදනා මත අත්අඩංගුවට පත්වූ බැසිල් පසුව කාලය ගත කළේ රෝහලේය. ෆීලික්ස් නම් හැත්තෑ හතේ පරාජයෙන් පසුව දේශපාලන ලෝකයෙන්ම කැපී ගියේය. පසුව ඔහුට එරෙහිව චෝදනාවලට පාර්ලිමේන්තු පනතකින් වසර 07කට සිවිල් අයිතිවාසිකම් අහිමි කරනු ලැබීය.

බැසිල් නම් සිරගතව සිටියදීම ආපසු සක්‍රීය දේශපාලනයට පිවිසියේ පොහොට්ටුවේ ලාංඡනය නිර්මාණය කරමිනි. පසුව ශ්‍රීලනිපයෙන් වෙන්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පිහිටුවා වසර තුනකදී මුහුණදුන් පළමු ඡන්දය වූ පළාත් පාලන ඡන්දයේදී යහපාලන ආණ්ඩුවට තරු පෙන්වූ ප්‍රතිඵලයක් අරන් දුන්නේය. ඊට පසුව ඔහුගේම වචනවලින් කියනවා සේ ඉතාම වේගයෙන් ඉහළට නැග්ග පොහොට්ටුව ඉතාම වේගයෙන් පහළ බැස්සේය. දැන් යළිත් ඒ වගේම වේගයකින් ඉහළ නගිමින් සිටින බවද බැසිල් කියා තිබුණි.

පොහොට්ටුව ඉතාම වේගයෙන් පහළ බැස්ස අවස්ථාවේ කටුනායකින් යන්න බැරි වී ආපසු හැරුණු බැසිල් ඊළඟට කළේ අරගලය අස්සේම යළිත් තමන්ට අවශ්‍ය වූ ආකාරයකට රටේ දේශපාලනය මෙහෙයවීමය. රටේ මතු වූ බරපතළ ආර්ථික කඩා වැටීම හේතුවෙන් නිර්දේශපාලනිකව ආරම්භ වූ අරගලය පසුව ''අල'' වීමට පෙර රටේ දේශපාලනය උඩු යටිකුරු කිරීමට සමත් විය. කවදාවත් ලංකාවේ නොවී විරෑ ආකාරයකට රටේ දේශපාලනය වෙනස් විය. ඒ වෙනස ඇතුළේත් තමන්ට අවශ්‍ය ආකාරයට දේශපාලන භූමිකාව සකස් කර ගැනීමට තරම් බැසිල් සූක්ෂම දේශපාලනඥයෙක් විය.

මුදල් ඇමැති වශයෙන් අසාර්ථකභාවයක් පෙන්නුම් කළත් බැසිල්ට මේ පාර අමෙරිකාවේ ගොස් ආපසු එන විට කටුනායක ගුවන් තොටුපළේදී ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. ඒ සඳහා සහභාගි වී සිටි පිරිස සහ සහභාගි නොවූ පිරිස ගැනත් ගුවන් තොටුපළේ තේ පැන් සංග්‍රහය සහ ලැබුණු පොලිස් ආරක්ෂාව සම්බන්ධවත් විවිධ කතා පැතිරුණේය. ඒ කතා අස්සේ යටගිය කතාවක්ද තිබුණි. ලබන ජනවාරියේ ලංකාවට එන්න නියමිතව සිටි බැසිල් හදිසියේම පසුගිය 27 වැනිදා ඉරිදා ලංකාවට ආපු හේතුවය.

බැසිල් හදිසියේම ආවේ පොහොට්ටුව ඉල්ලීමකට වඩා ලංකාවට ඉන්දියාවේ සිට පැමිණි රෝ සංවිධානයේ ප්‍රධානියා හමුවීමටය. එම ප්‍රධානියා ලංකාවේදී හමුවුණේ ජනාධිපති රනිල් සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් පමණි. බැසිල් රජයේ කිසිදු තනතුරක් නොදැරුවත් පක්ෂ නායකයකු නොවුණත් ඉන්දියාවේ රෝ ප්‍රධානියාට ජනාධිපති හැරුණුවිට ඔහු හමුවීමට අවශ්‍යම වුණේ ඇයි?

ඒ ප්‍රශ්නෙට උත්තර හොයන එක නම් බොරුය. හැබැයි එක දෙයක් නම් කිව හැකිය. බැසිල්ගේ දේශපාලනය ෆීලික්ස්ගේ දේශපාලනය වගේ ඉවර නොවන බවය.

I ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00